‘කරුණාකර සවන් දෙන්න. මේ පේරාදෙණිය ශික්ෂණ රෝහලයි. වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයෙක් රෝගී කතුන් පරීක්ෂා කරන මුවාවෙන් එම කාන්තාවන් සතු රන් භාණ්ඩ සොරාගෙන යන නිසා ඒ ගැන වඩාත් සැලකිල්ලෙන් පසුවන්න.’
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මේ ආකාරයේ දැනුවත් කිරීමක් සායනවලට එන රෝගීන් වෙනුවෙන් කළේ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් රෝගී කතුන් පරීක්ෂා කරන මුවාවෙන් එම කාන්තාවන් සතු රන් භාණ්ඩ සොරාගෙන යාමේ සිද්ධීන් කිහිපයක් වරින්වර වාර්තාවූ නිසා බව පෙන්වා දුන්නේ එම රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය.
දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකින්ද මෙවැනි ආකාරයේ සිද්ධීන් ගණනාවක් වාර්තාවූ නිසා රෝහල් බලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවලටද මේ හොර වෛද්‍යවරයා ඒ වනවිටත් මහත් හිසරදයක් වී තිබිණි.
රෝගී කතුන් සතු රන් භාණ්ඩ සොරාගෙන පලායන මේ හොර වෛද්‍යවරයා නිසා පොලිසියද මහත් අසීරුතාවයකට පත්ව සිට ඇත.
පොලිස් ඇසට වැලි ගසමින් හිටිහැටියේ රෝහල්වලට රිංගා රෝගී කාන්තාවන්ගේ රන්භාණ්ඩ සොරාගෙන පලායන හොර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසි ගණනාවකම බුද්ධි අංශ නිලධාරීන්ගේද සහාය ඇතිව පරීක්ෂණ මෙහෙයවීය.
එහෙත් මේ හොර දොස්තරවරයා අල්ලා ගැනීම හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.
ගාල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ජී. ආනන්ද මහතාට මේ හොර වෛද්‍යවරයා ගැන තොරතුරු ලැබී ඇත්තේ පොලිසි ගණනාවක්ම මොහු අල්ලා ගැනීමට සොයමින් සිටි අතරවාරයේදීය.
පොලිස් පරීක්ෂක නන්දන මහතාට ලැබුණු තොරතුරු අනුව ඔහු පොලිස් කණ්ඩායමක් සමග හෝමාගම ප්‍රදේශය බලා ගොස් ඇත්තේ හොර වෛද්‍යවරයා පදිංචිව සිටින නිවස වැටලීමටය.
පොලිස් කණ්ඩායම නිවස වටලා වෛද්‍යවරයාගේ චරිතය රඟපෑ පුද්ගලයා කොටුකරගත්තේය.
සැකකරු ඔහුගේ බිරිය, මව හා පියා සමග මෙම කුලී නිවසේ පදිංචිව සිට ඇත්තේ කාලයක පටන්ය.
සැකකරුගේ උපන් ගම අනුරාධපුර දෙවැනි පියවරේය.
සැකකරු අල්ලාගැනීමට ඔහු පදිංචිව සිටි හෝමාගම කුලී නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බිරිඳ රත්තරන් චේන් එකක් හා බ්‍රේස්ලට් එකක් පොලිසියට බාර දුන්නාය.
‘සර් මේ බ්‍රේස්ලට් එකයි චේන් එකයි මෙයා මට තෑගි කළා. නමුත් මම මේවා බාර ගන්න කැමැති වුණේ නැහැ. මම දන්නවා මේවා සැමියා අනුන්ට ගින්දර දීලා අරගෙන ආව ඒවා කියා. ඒ හින්දා කිසිම දවසක මම මේවා කරේ දාගන්නේ නැහැ. මම මේවා බාරගැනීම ප්‍රතික්ෂේප කළාට පස්සේ මෙයා ඒවා අරගෙන තියාගත්තා. දොස්තර කෙනෙක් විදිහට ඉස්පිරිතාලවලට ගිහින් රෝගී ගෑනු අයගේ රන් භාණ්ඩ සොරාගෙන එන බව මම දන්නවා. මේ වගේ අපරාධ කරන්න එපා කියා කොච්චරවත් කියලා ඇති. ඒත් මම කියන ඒවා මෙයා තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ.’ යැයි සැකකරුගේ බිරිඳ පොලිස් නිලධාරීන් සමග පැවසුවාය.
‘අනුන්ට ගින්දර දීලා සොයා ගත්ත සල්ලිවලින් අපිට කිසිම දෙයක් කන්න ගේන්න එපා. ඒක සහගහන අපරාධයක්. ඔය හොරකම් නවත්වලා යහපත් කෙනෙක් වෙන්න. රස්සාවක් කරලා සාධාරණව සල්ලි හොයන්න.’ යනුවෙන් බිරිඳ සිය සැමියාගේ ජංගම දුරකථනයට වරින්වර කෙටි පණිවිඩ යවා ඇත.
ඒ කෙටි පණිවිඩ සිය සැමියාව යහපත් මනුස්සයෙක් කරගැනීමට බිරිඳ දරා ඇති වෑයම කදිම සාක්කියකි.
සැකකරුගේ මව්පියන්ද හොරකම නවත්වන ලෙස පුතාට කොතෙකුත් අවවාද කර ඇතත් ඔහු ඒ කිසිවකුගේ කීම් තුට්ටුවකටවත් මායිම්කර නොමැත.
කාලයක් තිස්සේ පොලිස් ඇසට වැලි ගසමින් සිටි හොර වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ආහ.
වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් රෝහල්වලට ඇතුළුවන මෙම සැකකාර හොර දොස්තර, කිසිවකු නොමැති කාමරයකට ගොස් සායනවලට පැමිණෙන රෝගී කතුන් කැඳවා පරීක්ෂා කිරීම්වලට ලක් කර තිබේ.
එක්ස්රේ සහ ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට ඇති නිසා පැළඳ සිටින කනකර ආභරණ ගලවා මේස ලාච්චුවේ දමන ලෙස සැකකරු උපදෙස් දී ඇති අතර කතුන් කිසිම සැකයකින් තොරව ඔහුගේ කීමට අනුව කටයුතු සිදුකර ඇත.
රෝගී කතුන් එක්ස්රේ ලබා ගැනීමට හෝ ස්කෑන් පරීක්ෂණය සඳහා නියමිත කාමරයට ගිය පසු හොර දොස්තර මේස ලාච්චුවේ දැමූ රන් භාණ්ඩ සොරාගෙන රෝහලෙන් පලා ගොස් ඇත.
ගාල්ල ශික්ෂණ, ගාල්ල මහ මෝදර, මහනුවර ජාතික, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, පේරාදෙණිය ශික්ෂණ, ඇඹිලිපිටිය සහ පුත්තලම ඇතුළු දිවයින පුරා පිහිටි රෝහල් 50 ක පමණ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් රිංගා මෙවැනි ආකාරයට රෝගී කතුන් රවටා එම කතුන් සතු රන් භාණ්ඩ සොරාගැනීම් සිදුකර තිබේ.
පොලිසිය මේ තොරතුරු අනාවරණය කර ගත්තේ හොර දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීමේදීය.
ගාල්ල ශික්ෂණ රෝහලට වරින්වර හෝ ඇතුළු වී ඇති සැකකරු රෝගී කාන්තාවන් අට දෙනකු සතු රන් භාණ්ඩ මේ ආකාරයට සොරාගෙන ගිය බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.
මෙසේ හොර වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් සොරාගෙන ගිය රන් භාණ්ඩ සැකකරු විකුණා තිබුණේ මහනුවර රජවීදියේ රන් භාණ්ඩ සාප්පුවකටය.
පොලිස් පරීක්ෂක නන්දන මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මහනුවර පිහිටි රන් භාණ්ඩ සාප්පුවට ගොස් හොර වෛද්‍යවරයා සොරාගෙන ඇවිත් විකුණා තිබූ රන් භාණ්ඩ සොයාගත් අතර ඒ වනවිටත් ඒවා උණුකර තිබී ඇත.
සොයාගත් රන් භාණ්ඩ තොගයේ වටිනාකම ලක්ෂ 30 කට වැඩිය.
අ.පො.ස. උසස් පෙළ වාණිජ විෂයන් ඉගෙන ගෙන සමත්වී ඇති සැකකරු විවාහවී ඇත්තේ මීට වසර 10කට පමණ ඉහතදීය. ඒ ඔහුට ඥාතිකමක් ඇති තරුණියක සමගය. විවාහයෙන් පසු සැකකරු හෝමාගම ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන එහි පදිංචියට පැමිණ තිබෙන්නේ මව, පියා හා බිරිඳ ද කැටුවය.
වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් සැකකරු හොරකමේ යන්නට පටන්ගෙන ඇත්තේ වසර හයක පමණ කාලයක සිට බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.
‘මම ඉස්පිරිතාලවලට ගියාට දොස්තර මහත්තුරු රෝගී කාන්තාවන් එක්ස්රේ පරීක්ෂණවලට හා ස්කෑන් පරීක්ෂණවලට යවන්න කලින් කනකර ගලවා තබා යවා තිබෙන බව ඇහිලා තිබෙනවා. ඉතිං රත්තරන් බඩු හොරකම් කරන දොස්තර කෙනෙක් විදියට ගියාම ලෙහෙසි කියා මමත් කල්පනා කළා. එහෙම කල්පනා කරලා තමා වැඩේට බැස්සේ. අවුරුදු පහක විතර ඉඳලා මම දොස්තර කෙනෙක් විදිහට රඟපාලා රත්තරන් බඩු හොරකම් කිරීම මේ විදිහට කරගෙන ආවා.’
වසර පහක පමණ කාලයක් තිස්සේ දොස්තරවරයකුගේ චරිතයට පණ පෙවූ හොර දෙටුවා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඒ විදියට පවසා ඇති බව දැන ගැනීමට ඇත.
පොලිසිය පවසන ආකාරයට මීට වසර කිහිපයකට ඉහතදී අවස්ථා දෙකකදී පොලිසියට කොටුවී තිබෙන්නේ දොස්තර චරිතය රඟපා රෝගී කතුන් දෙදෙනකුගේ රන් භාණ්ඩ සොරා ගැනීම නිසාය.
කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවී ඇති මොහු පසුව අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබේ.
මහනුවර අධිකරණයේ විභාගවූ එක් නඩුවකට දිගින් දිගටම පෙනී නොසිටීම නිසා මේ හොර දොස්තරට වරෙන්තුද නිකුත් කර තිබී ඇත.
පොලිසියට දෙවරක් කොටුවී ඇතත් දොස්තර චරිතය රඟපා රෝගී කතුන්ගේ කනකර සොරාගෙන යාම ඔහු නවතා දැමුවේ නැත.
මෙසේ රන් බඩු සොරකම් කර ඒවා උකස් කර ලබාගන්නා සල්ලිවලට මොකද කරන්නේ කියා සැකකරුගෙන් දැන ගැනීමට පොලිසිය අමතක කළේ නැත.
‘රාත්‍රී සමාජ ශාලාවලට ගිහින් කැසිනෝ ක්‍රීඩාවේ යෙදුණා. ගණිකාවන් අැසුරු කිරීමට ගියා. ඒවා කරන්න සල්ලි සොයාගත්තේ රෝගී කතුන්ගේ කනකර සොරකම් කරලා. ඒවා උකස්කරලා’ යැයි සැකකාර හොර දොස්තර පොලිසියට පවසා ඇති බව කියයි.
සැකකාර හොර දොස්තර ගාල්ල පොලිසියට කොටුවීමට දවස් දෙකකට පෙර පුත්තලම රෝහලේ උගුර, කන හා නාසය සායනයට ආ 64 සහ 84 හැවිරිදි කාන්තාවන් දෙදෙනකුගේ රන් මාලයක් හා රන් මුදු තුනක් රැගෙන පලා ගොස් තිබුණ අතර ඒ ගැන කතුන් දෙදෙනා පැමිණිලි කර තිබුණේ පුත්තලම මූලස්ථාන පොලිසියටය.
හොර මැරකම් හෝ තක්කඩිකම් කරමින් හැමදාමත් සැඟවී සිටීමට නොහැකිය. කොයි මොහොතක හෝ නීතියේ රැහැනට කොටුවනවා නොඅනුමානය. හොර දොස්තරටද ඒ ධර්මතාවය පොදුවිය.
පොලිස් පරීක්ෂක ආනන්ද මහතාට මේ හොර දොස්තර ඉන්නා ඉසව්ව ගැන ඔත්තුවක් නොලැබෙන්නට ඔහු දොස්තර චරිතය බොහොම අපූරුවට රඟපාමින් තවත් අහිංසක රෝගී කතුන් සිය ගණනකගේ කනකර ආභරණ සොරකම් කරනු නොඅනුමානය.
ගාල්ල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතාගේ විශේෂ උපදෙස් මත ගාල්ල සහකාර පොලිස් අධිකාරී දුල්ෂාන් නාගහවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ජී. ආනන්ද, උප පොලිස් පරීක්ෂකවරුන් වන උමයංගන සහ සංජීව, පොලිස් සැරයන්වරුන් වන රෝහණ (31958), බණ්ඩාරිගොඩ (58971) සහ පොලිස් කොස්තාපල් ගීතප්‍රිය (78828) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්‍ඩායමක් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.
සටහන -
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය