​ලොවටම පෙනුණු ඩොල්ෆින් දඩයම


වියරු හඬ නගාගත් අධිවේගී බෝට්ටු සාගරය පීරමින් තිබිණි. යාත්‍රිකයන්ගේ දෑස් යොමුව පැවැතියේ සයුරේ දිය මත කිසියම් චලනයක් සිදු වේ දැයි නොඉවසිල්ලෙනි. සයුරු දිය කළඹමින් උඩ පනින ඩොල්ෆින් සතුන් හඳුනාගත හැක්කේ එබඳු චලනයන්ගෙනි. එහෙත් එබඳු චලනයක් දකින්නට ඇතැම්විට කිලෝමීටර් තිහ හතළිහ තරම් දුර යාත්‍රා කිරීමට සිදු වේ. එදා මේ යාත්‍රිකයන් ඔවුන්ගේ මෝටර් බෝට්ටු කිලෝමීටර් හතළිස් පහක පමණ දුරකට යාත්‍රා කළෝය.

   
අන්තීමේදී ඔවුන්ගේ අරමුණ සැබෑ විය. දැවැන්ත ඩොල්ෆින් රංචුවක් මුහුදු දිය කළඹමින් උඩ පනිමින් ඔබමොබ පිහිනමින් සිටිනු දැකගත හැකි විය.   


යාත්‍රිකයෝ සැණින් බෝට්ටුව ඔවුන් වෙත යොමු කළෝය. බෝට්ටුවේ එන්ජින් හඬටත්, දෙබෑ වූ සයුරු දිය නිසා නැගෙන රළ පහරටත් බිය වූ ඩොල්ෆින් සත්තු වහා පලා යන්නට වූහ.   


ඔවුන් රැගෙන යා යුතු වෙරළ තීරය දෙසට හැරවූ බෝට්ටුවෙන් ඩොල්ෆින් රංචුව ලුහුබඳින්නට වූහ. බියපත් වූ සත්තු හැකි උපරිම වේගයක් ලබාගනිමින් පලා යති.   


යාත්‍රිකයෝ ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ.   


හෝරාවකට පමණ පසු ඩොල්ෆින් රංචුව වෙරළ අද්දර නොගැඹුරු මුහුදට පැමිණි අතර මෝටර් බෝට්ටුව සංසුන් විය. එහෙත් වෙරළේ බලා සිටි දඩයක්කරුවෝ ඔවුන්ගේ තියුණු දඩයම් පිහි අමෝරා ගත්හ. බියෙන් තැතිගත් ඩොල්ෆින් සතුන් වෙත ළං වූ දඩයක්කරුවෝ දඩයම් පිහිය සතුන්ගේ ගෙල හරහා යවා ඔවුන්ගේ දිවි තොර කළහ.   


වෙරළේ පොදිකකා සිටි ජනතාව දඩයම් ක්‍රීඩාව දෙස බලා සිටියේ ඔල්වරසන් දෙමිනි. නොගැඹුරු මුහුදු දිය රත්පැහැ වන්නට ගත වූයේ ඇසිල්ලක් තරම් කාලයකි.   


වෙරළට එන රළ ගෙඩිවලට අසුවන ඩොල්ෆින් සිරුරු වෙරළේ ගොඩ ගැසෙමින් තිබිණි. ළමයි පැමිණ ඩොල්ෆින් සිරුරු මත නැගී තියුණු කැපුම් තුවාල දෙස බලාසිටින්නට වූහ.   


තවත් මෝටර් බෝට්ටුවක් වෙරළට සේන්දු වෙමින් තිබිණි. ඒ බෝට්ටුවට ඉදිරියෙන් ද තැතිගත් ඩොල්ෆින් රංචුවක් එමින් තිබිණි. ඩොල්ෆින් සතුන් සිය ගණනක් මරා දමා සංග්‍රාමයේ ජය භුක්ති විඳිමින් සිටි දඩයම්කරුවෝ දෙවැනි ක්‍රීඩා වටයට සූදානම් වූහ.   


තියුණු පිහි අමෝරාගත් ඔවුහු තව තව ඩොල්ෆින් සතුන්ගේ ගෙල දෙකඩ කරන්නට වූහ.   
දැන් මුහුද පමණක් නොවේ​ වෙරළේ වැල්ල ද රක්ත වර්ණය. ඒ මත ඩොල්ෆින් සිරුරු සිය ගණනක් වැතිර තිබිණි. මේ ගෙවුණු දොළොස් වැනිදා ඉරිදාවේ උතුරු අත්ලාන්තික් සාගරය මැද පිහිටි ෆාරෝ දුපතේ සිදු වූ දඩයම් සැණකෙළියේ ඛේදනීය චිත්‍රයයි. ඩොල්ෆින් සතුන් 1,428 දෙනකු මරා දැමූ එකී දඩයම් සැණකෙළිය වූ කලී වසර එක්දහස් දෙසීයක පටන් ෆාරෝ දුපතේ වාර්ෂිකව සිදුවන උළෙලක තවත් පිටුවක් පමණකි.   
අයිස්ලන්තය හා ෂෙට්ලන්ඩ් දූපත් අතර පිහිටි යමහල් දූපත් විසිදෙකකින් සැදුම්ලත් ෆාරෝ වූ කලී වත්මන ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන කලාපයකි. මේ දූපත් අතරින් දූපත් පහක් පමණක ජනාවාස වී ඇති අතර, ඒවායේ හැත්තෑපන් දහසක් පමණ ජනතාවක් ජීවත් වෙති. අර්තාපල් ප්‍රමුඛ එළවළුත් වගා කරන ඔවුහු කුකුළන් තාරාවුන් වැනි කුඩා සතුන් මස් පිණිස ඇති කිරීම ද කරති.   

 


ඒ හැරුණුවිට ඔවුන්ගේ ප්‍රධාන ජීවන වෘත්තිය වන්නේ ධීවර කර්මාන්තයයි. අවට මුහුදේ වෙසෙන තල්මසුන් පවා දඩයම් කරන ෆාරෝ වැසියන් දඩයමට හුරු වූයේ වයිකිංවරුන්ගෙනි. කලක් නෝර්වේ පාලනයට අවනතව සිටි ඔවුහු මේ වනවිට ඩෙන්මාර්කයට අවනතව සිටිය ද අතීත වයිකිංවරුන්ගෙන් ලද පුරුදු චාරිත්‍ර වාරිත්‍ර තවමත් එලෙසින්ම අනුගමනය කරති. මේ දඩයම් සැණකෙළිය ඒ චාරිත්‍ර වාරිත්‍රවල අවාසනාවන්ත ප්‍රතිඵලයකි.   


හැම වසරකම සිදුකරන මේ දඩයම් සැණකෙළිය වෙනදා ලෝකවාසී අවධානයට යොමු නොවූ තරම්ය. හේතුව වෙනදා ඔවුන්ගේ දඩයමට ගොදුරු වන්නේ ඩොල්ෆින් සතුන් සුළු ගණනක් පමණක් වීමය. ගිය වසරේ දහයකි. ඊට කලින් වසරේ තිස්පහකි. කොටින්ම කිවහොත් උපරිමය දෙසීයකට වඩා වැඩි නොවීය. එදා මෙදා තුර සංඛ්‍යාලේඛනවලට අනුව දෙසීය ඉක්ම වූ ඝාතන වාර්තා වන්නේ අවුරුදු හතරකින් නැත්නම් පහකිනි. 1879 වසරේදී ඩොල්ෆින් සතුන් 900ක්, 1873 වසරේදී ඩොල්ෆින් සතුන් 856ක්, 1938 වසරේදී ඩොල්ෆින් සතුන් 854ක් හා 1940 වසරේදී ඩොල්ෆින් සතුන් 1,200ක් වශයෙනි. එහෙත් මේ වසරේ මොකක්දෝ අවාසනාවකට ඩොල්ෆින් සතුන් 1,428ක් ෆාරෝ දූපතේ දඩයම් සැණකෙළිය කරා පැමිණ තිබිණි.  
එනිසාම මෙදා දඩයම් සැණකෙළිය ලෝක මාධ්‍යවලට මාතෘකාවක් නැති නම් පුවතක් වී තිබිණි. එසේ වීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ඩොල්ෆින් යනු ආරක්ෂිත සත්ව විශේෂයක් වීමය. තව පැත්තකින් ඩොල්ෆින් මිනිසාගේ හිතමිතුරකු ද වේ.  


 අතීතයේදී ගොඩබිම වාසය කළ මේ සතා පසුව මුහුදට සංක්‍රමණය වූ බව ද විශ්වාස කෙරේ.   
ඩොල්ෆින් ලංකාව ආශ්‍රිතව ද දැකිය හැකිය. ලංකාවේ සංචාරක කර්මාන්තයට ද ඩොල්ෆින් සතුන්ගෙන් ලැබෙනනේ ලොකු සහායකි. ඩොල්ෆින් සහ තල්මසුන් නිරීක්ෂණ චාරිකා සංචාරක කර්මාන්තයේ එක් විශේෂාංගයකි. ලංකාවේ කල්පිටිය ආශ්‍රිතව ද මිරිස්ස ආශ්‍රිතව ද ඩොල්ෆින් නිරීක්ෂණ චාරිකා ක්‍රියාත්මකය.  
පුරුදු පුහුණු කළ විට ඩොල්ෆින් සර්කස්කාරයකු ද වේ. බොහෝ රටවල සෆාරි ලෝකවල ඩොල්ෆින් රැඟුම් සංචාරක ආකර්ෂණයට හේතු වේ. සංගීතයට නැටීම, බෝල ගැසීම, උඩ පැනීම ඇතුළු බොහෝ සුන්දර ක්‍රීඩා ඉරියව් ඩොල්ෆින්ගෙන් දැකගත හැකිය.

  
එසේ පුරුදු පුහුණු කළ හැක්කේ ඩොල්ෆින් බුද්ධිමත් සත්වයකු වන බැවිනි. මහ මුහුද මැද බෝට්ටුවලින් වැටී අසරණ වූ මිනිසුන්ට ඩොල්ෆින් ආදරය ලැබුණු අවස්ථා ගැන අසන්නට ලැබේ.  


ගිලෙන්නට නොදී තම සිරුර මත තබාගෙන වෙරළකට ගෙනැවිත් හරින ලද මිනිසුන් ​ඔවුන්ගේ ඒ ත්‍රාසජනක අත්දැකීම් හෙළි කර තිබේ.  


මේ නිසාම මිනිසුන්ගේ ආදරය ද ඩොල්ෆින්ට ලැබිය යුතු වේ.  
කෙසේ වෙතත් අද වනවිට ඩොල්ෆින් නම රතු දත්ත පොතේ ද සඳහන් වේ. මේ නිසා ඩොල්ෆින් යනු ආරක්‍ෂිත මුහුදු ජීවියකු වේ. ෆාරෝ දූපතේ දඩයම් සැණකෙළියේදී සතුන් 1,428ක් මරා දමන ලද්දේ ඩොල්ෆින්ට එබඳු ආරක්‍ෂාවක් සපයා තිබෙන වටපිටාවක වීම ඛේදජනකය.  
“මේක ලොකුම අත්වැරැදීමක්” ෆාරෝ දූපතේ ප්‍රකාශකයෙක් මාධ්‍ය හමුවේ කියා තිබිණි.  
කෙසේ වෙතත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ මාධ්‍යවේදීහු ෆාරෝ වැසියන් සම්බන්ධ කරගෙන සමීක්ෂණයක් කළහ.  


මේ ඉපැරැණි දඩයම් චාරිත්‍රයට තිත තැබිය යුතු ද නොඑසේ නම් ඉදිරියටත් පැවැතිය යුතු ද යනුවෙන් විමසමිනි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ සියයට 80ක්ම මේ ම්ලේච්ඡ දඩයමට කැමැති බවය.  
දැන් ඉතින් ඩොල්ෆින්ගේ ජීවිත ඇත්තේ සත්ව ආරක්‍ෂකයන් සතුවය.  


සතුන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ඔවුන් නිරතුරුවම මේ ම්ලේච්ඡ දඩයමට එරෙහි වනු ඇත. ඔවුන් සමග ෆාරෝ දූපත වට කරන්නට ඩොල්ෆින් හමුදාවක් පැමිණේ නම් ප්‍රතිඵල වඩාත් සාර්ථක වීමට පුළුවන.  

 

 

 

ශාන්ත කුමාර විතාන