​සිරිලක වෙසක් උත්සවයේ ඉතිහාසය


 

බුද්ධ කාලයට පෙර සිට පවා භාරතයේ වෙසක් දිනය වැදගත් කටයුතු සඳහා යොදා ගත් බව ඉන්දියා ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේත් උන්වහන්සේට සහ ශ්‍රාවකයන්ට ගෞරව කිරීම සඳහා ජනතාව විසින් විවිධ උත්සව සංවිධානය කරන ලද අතර ඒවාට බුදුන්වහන්සේ සහ ශ්‍රාවක පිරිස ද සහභාගී වූ බව දීඝනිකාය, බුත්සරණ වැනි කෘතිවල සඳහන් වෙයි. සූත්‍රවල සඳහන් නොවූවත් අටුවා සහ පැරැණි සාහිත්‍ය කෘතිවල සඳහන් වනුයේ සූවිසි බුදුවරුන් හැම ඉපදීම, බුදු වීම හා පිරිනිවන් පෑම වෙසක් දිනවලම සිදු වූ බවයි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කිරීම සඳහා පැවැති මහෝත්සවය පරිනිර්වාණ සූත්‍රයේ මැනවින් විස්තර කොට තිබේ. ඉන් පසු වෙසක් උත්සවය බෞද්ධ රටවල අද දක්වාම පවත්වනු ලැබේ.   


මීට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉහත දීපංකර බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ අප මහා බෝසතාණෝ සිටු කුලයක ඉපිද සියලු සම්පත් හැර දමා සුමේධ පණ්ඩිත නමින් තවුස් ගෙන ධ්‍යානලාභී වූහ. බොහෝ කාලයක් බුදු වීම පිළිබඳව සිතින් සිතමින්, බසින් කියමින් ගුණ දම් පුරමින් වෙසෙනුයේ දීපංකාර බුදුන් ගැන අසා උන්වහන්සේ බැහැදැකීමට ගියේය. බුදුන්වහන්සේ සුමේධ තාපසයන් දෙස බලා මේ තැනැත්තේ අසුවල් කාලයෙහි ගෞතම නමින් බුදු වන්නේ යි නියත විවරණ දී වදාළ සේක. ඒ වෙසක් පුන් පොහෝ දිනකය. විවරණ ලැබූ දා සිට දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන පාරමී ධර්මයන් පුරමින් බුදු බව සිදු කරන ගුණ දහමින් ක්‍රමයෙන් දියුණු වෙමින් විත් දෙව් ලොව උපන්නේය. පසුව සුදුසු කාලය, රටය, දේශය, කුලය, මවය යන පස් මහ බැලුම් බලා සුදොවුන් රජුට දාව මහාමායා දේවිය කුසින් වෙසක් පුන් පොහෝ දිනක මෙලොවට බිහි වූයේය.   


මෙසේ ඉපිද සියලු සැප සම්පත් විඳිමින් සිටින්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක සසර කල කිරී ගිහි ගෙය හැර දමා පැවිදිව විමුක්තිය සොයා විවිධ ගුරුවරුන් සොයා ගිය මුත් ඵලක් නොවීය. දුෂ්කර ක්‍රියා කිරීමෙන් එය ලබාගත හැකි වේ යයි සිතා එය ද අත්හදා බැලූමුත් එයින් ද ඵලක් නොවීය. පසුව එය ද අත හැර වීර්යය වඩන්නේ පුබ්බේනිවාසානුස්සති ඤාණය, දිබ්බචක්ඛු ඤාණය, ආසවක්ඛය ඤාණය නම් වූ ත්‍රිවිද්‍යා නුවණ දරා දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ගෙන සියලු කෙළෙසුන් නසා ඒ වෙසක් පුන් පොහෝදා බුදු බව ලැබූ සේක.   


බුදු බව ලැබීමෙන් පසු 45 වසරක් ලෝ වැසි ජනතාව සසර දුකින් මුදවාලීම සඳහා අපමණ වෙහෙසක් දරා ඒ වෙසක් දා අරුණෝද්ගමනයට පෙරාතුව චතුත්ර්ථ ධ්‍යානයෙන් නැගී සිට ඒ මහා කාරුණික භාග්‍යවත් අර්හත් සමයක් සම්බුද්ධ ශාන්ති නායකයාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවට තමන් වහන්සේ ද ආදර්ශ කෙරෙමින් නිරූපාදීශේෂ නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. එදා සිට සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙම ත්‍රෛමංගල්‍යය බැතියෙන් සමරනු ලැබේ. ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට තවත් හේතූන් කිහිපයක් නිසා මෙය ආගමික මෙන්ම ජාතික හා සංස්කෘතික වශයෙන් ද ඉතාමත් වැදගත් දිනයක් වන්නේය.   


බුදුන් වහන්සේ තෙවරක්ම ලක්දිවට වැඩි සේක. ඒ හැම අවස්ථාවකදීම ජනතාව බෞද්ධාගම වැලඳ ගත්හ. අසල්වැසි ඉන්දියාවෙන් ද විවිධ හේතූන් මත පුද්ගලයන් මෙහි පැමිණෙන්නට ඇත. ඔවුන් වෙසක් උත්සව පවත්වන්නට ඇතැයි සිතිය හැක. මහින්දාගමනයෙන් පසු දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධාගම වැලඳ ගත් පසු වැසියා ද බෞද්ධාගම වැලඳ ගත්හ. ලිඛිත සාක්ෂි නොමැති වුවත් දේවානම්පියතිස්ස රජතුමා ද වෙසක් උත්සව පවත්වන්නට ඇතැයි සිතීම යුක්ති යුක්තය. මහින්දාගමනයෙන් පසු බුද්ධාගම ලක්දිව රාජ්‍ය ආගමට බවට පත්වීමෙන් මෙහි තිබූ සංස්කෘතිය බෞද්ධ සංස්කාතිය බවට පරිවර්තනය විය. ආගමික උත්සව පැවැත්වීමෙහි ද උනන්දුවක් දක්වන්නට වූහ. ආගමට සම්බන්ධ විවිධ උත්සව රැසක්ම ආරම්භ විය. අද දක්වාත් ඒවා විද්‍යමාන වන්නේ ඒවායේ ඇති ආගමික දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසාය.   


එහෙත් වෙසක් උත්සව ගැන පොත පතෙහි සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිටයි. මහා වංශයට අනුව දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161-137) වෙසක් පූජා 24ක් පවත්වා ඇත. එතුමාගේ පිං පොතේ අවුරුද්දක් පාසා වෙසක් පූජා 24ක් කරවූයෙමි යනුවෙන් සඳහන් වෙයි. භාතිකාභය රජතුමා (ක්‍රි.පූ. 20 - ක්‍රි.ව. 09) වෙසක් උත්සව 28ක් පවත්වා ඇත. වසභ රජතුමා (ක්‍රි.ව. 65 - 109) වෙසක් උත්සව 44ක් පවත්වා තිබේ. වෝහාරිකතිස්ස රජතුමා (210-232) මහා වෙසක් පූජා පවත්වා සියලුම භික්ෂූන්ට තුන් සිවුරු දෙවීය. මෙකවණ අභය නොහොත් ගෝඨාභය රජතුමා (249-262) වසරක් පාසා මහා වෙසක් පූජා පවත්වා සංඝයාට ෂට් චීවර පූජා කළේය. පළමු වැනි​ ජෙට්ඨතිස්ස හෙවත් කළකැන් දෙටුතිස් රජතුමා (262-272) වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වා ෂට් චීවර පූජාව ද කරවීය. මේ අනුව මහා වංශ කාලය තුළ වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ. පාහියන්ගේ දේශාටන වාර්තා අනුව ක්‍රි.ව. 412 පමණ මෙහි භික්ෂූන් හැටදහසක් පමණ සටියහ. දළදාවහන්සේ මුල් කරගෙන පැවැත්වූ උත්සව තෙමසක් පමණ පැවැතුණ බව ද සඳහන්ය. වෙසක් දිනය ද ඇතුළත් වෙන්නට ඇතැයි සිතිය හැකිය.   


චූල වංශයේ දැක්වෙන පරිදි දෙවෙනි මොග්ගල්ලාන රජතුමා (618-623) වෙසක් උත්සවය මෙන්ම අනෙකුත් බෞද්ධ උත්සව ද පවත්වන ලදී. දෙවෙනි සේන රජතුමා (855-557) වෙසක් උත්සව පවත්වා දුප්පතුන්ට ආහාර පාන, වස්ත්‍රාභරණ ලබා දී ඔවුන් සමග ප්‍රීති වූ බව සඳහන් වෙයි. මෙකල මෙය ආගමික උත්සවයක් පමණක් නොව ජාතික උත්සවයක් බවට ද පත්ව තිබූ බව පැහැදිලිය. මහාවංශයේ ද වෙසාඛ කීලං නොහොත් වෙසක් කෙළි යනුවෙන් සඳහන් වෙයි. පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා (1153-1186) දළදා පූජා, වෙසක් කෙළියත්, තුලාභාරයක්, දිය කෙළියත් පැවැත්වූ බව පූජාවලියේ සඳහන් වෙයි.   


17 වැනි සියවසේ ලියැවුණු රොබට් නොක්ස්ගේ සහ 19 වැනි සියවසේ ලියැවුණු ජෝන් ඩේව්ගේ කෘතිවල වෙසක් උත්සව ගැන සඳහනක් නොමැත්තේ උත්සව නොපැවැත්වීම නිසා හෝ නොවැදගත් යයි සිතූ නිසා හෝ විය හැකිය. වෙසක් පොහෝ දින සුවිශේෂී කරුණු කිහිපයක්ම සිදු වී තිබේ.   


බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩි අවස්ථාවේ සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොළ පව්ව මත සිරි පතුල් සටහන පිහිටෙව්වේ වෙසක් පොහෝ දිනකය. විජය කුමරු සහ පිරිස ලක්දිවට පාවී ආවේත් බුදුරදුන් පිරිනිවන් පෑ වෙසක් පොහෝ දිනයේය. අශෝක රජතුමා දේවානම්පියතිස්ස රජතුමා වෙත එවන ලද අභිෂේක භාණ්ඩ පිළිගෙන දෙවැනි වරට බෞද්ධ රජකු ලෙස අභිෂේක කරන ලද්දේ ද වෙසක් පොහෝ දිනකය. ඉන් පසු බොහෝ රජවරු අභිෂේක මංගල්‍යය වෙසක් පොහෝ දිනකම සිදු කළහ. මිහිඳු මහ රහතන්වහන්සේගෙන් පසු ඇති වූ සඟ පරපුර කලක් යන තුරුම වසරක් පාසා සිදු කළ උපසම්පදා මහෝත්සවය වෙසක් දිනකම සිදු කළහ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ ද වෙසක් පුන් පොහෝ දිනකය. මහා වංශය එය පවසන්නේ “මෙසේ උපකරණ සම්පූර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක විසා නැකත පැමිණි කල්හි මහ සෑය පිණිස ආරම්භ කළේය” යනුවෙනි.   


දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ සිට ජනතාව භූක්ති විඳින ලද වෙසක් නිවාඩුව ලන්දේසි ආණ්ඩුකාරයා විසින් 1770 නොවැම්බර් පළමුවැනිදා ඔවුන්ගේ අණසක පිහිටුවා තිබූ මුහුදුබඩ පළාත්වල තහනම් කරන ලදී. බ්‍රිතාන්‍ය ජාතිකයන් රටම යටත් කරගත් පසු 1817 අප්‍රියෙල් පස් වැනිදා ඉරිදා නිවාඩුව හඳුන්වා දී වෙසක් නිවාඩු තහනම රට පුරා ක්‍රියාත්මක කරන ලදී. 1883 දී බොරැල්ලේ සිට කොටහේනේ දීපදුත්තාමාරාමය වෙත ගමන් කළ බෞද්ධ පෙරහරක් අන්‍යාගමික කණ්ඩායමක් විසින් කඩාකප්පල් කරන ලදී. ඉන් පසු බෞද්ධයන්ට බොහෝ කෙනෙහිලිකම් සිදුවන්නට විය. එය ඉවසා දරාගත නොහැකිව බෞද්ධ ආරක්ෂක කමිටුව යනුවෙන් කමිටුවක් පත් කර ගන්නා ලදී. අකටයුතු ගැන කරුණු ඉදිරිපත් කිරීම සඳහා කමිටුව ගත් තීරණයක් අනුව සෙන්පති ඕල්කට්තුමා යටත් විජිත ලේකම් හමුවීමට 28.01.1884 දින ලන්ඩනය බලා ගියේය.   


ලන්ඩනයේ දී සය වැදෑරුම් ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරන ලදී. ඒවා අතුරින් වෙසක් පොහෝ දින නිවාඩුවට ලබා දීමට එකඟ වී 27.03.1885 දින ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලදී. මෙයින් උද්දාමයට පත් බෞද්ධ ආරක්ෂක කමිටුව මෙම ජයග්‍රහණය සැමරීම සඳහා කිසියම් සංකේතයක් වශයෙන් කොඩියක් නිර්මාණය කළ යුතුයි තීරණය කරන ලදී. ඉන්දියාවේ සිට පැමිණි ඕල්කට්තුමා කොඩිය දැක බෙහෙවින් සතුටට පත්ව එය ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් කළ යුතු යැයි යෝජනා කරන ලදී.   


1950 මැයි මස 25 වැනිදා රටවල් 29ක නියෝජිතයන් 138 දෙනකුගේ සහභාගීත්වයෙන් මහනුවර දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ ප්‍රථම රැස්වීමේදී ප්‍රථම සභාපති වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ යෝජනාවක් අනුව අපගේ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙස ඒකමතිකව සම්මත කර ගන්නා ලදී. 13.12.1999 දින එක්සත් ජාතීන්ගේ 54 වැනි සැසිවාරයේ දී අනිකුත් බෞද්ධ රටවල ද එකඟත්වයෙන් දිවංගත රාජන් කදිරගාමර් මහතාගේ යෝජනාවක් අනුව වෙසක් පොහෝ දිනය අන්තර්ජාතික වශයෙන් පිළිගත යුතු යයි සම්මත කර ගන්නා ලදී.   


වෙසක් උත්සවය විවිධ අයුරින් සැමරීමට ජනතාව හුරු පුරුදු වී සිටිති. පහන්, පහන් වැට, පහන් ගස්, වෙසක් කූඩු, ජපානයෙන් කඩදාසි ගෙන්වීම ඇරැඹූ දා සිට වෙසක් ලන්තෑරුම් ආදිය දැල්වීම, කොඩිවලින් සැරසීම, 19 වැනි සියවසේදී පමණ ඇමෙරිකාවෙන් හඳුනා ගත් විදුලි බුබුළුවලින් ආලෝකමත් කිරීම, 1842 දී ක්‍රිස්තියානි ආගමිකයන් හඳුන්වා දුන් නත්තල් කාඩ් යැවීම අනුව වෙසක් කාඩ් යැවීම, 8 වැනි හෝ 9 වැනි සියවසේ හඳුනාගත් වෙසක් දන්සල් දීම ජාතක කතා රැගත් තොරණ ඉදිකිරීම ආදිය ප්‍රධාන වේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයත්, දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යයත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් ස්වකීය ඤාණයෙන් ප්‍රත්‍යර්ථයෙන්ම අවබෝධ කොට ගෙන ලෝක ජනතාව ද දුකින් මුදවා විමුක්තිය ළඟා කර ගැනීමට මඟ පෙන්වූ අසමසම විමුක්ති මාර්ග දේශකයාණන් වූ ඒ තිලෝගුරු බුදුරජාණන්වහන්සේ පිළිබඳ තෙමඟුල මෙම වෙසක් සමයේ බැතියෙන් සැමරීම යහපත පිණිසම වන්නේය.

 

 

 

කේ. ඩබ්ලිව්. ඒ. ජයවර්ධන   
හිටපු වෛද්‍ය පුස්තකාලයාධිපති