ජනපති ගෝඨාභය පළායාමේ පසුබිම් කතාව


මෙතෙක් ගෙවී ඇති මාස 3කට ආසන්න කාලය ඇතුළත, ඉතිහාසයේ නොවිරූ අයුරක ආර්ථික අර්බුදයකින් ශ්‍රී ලංකාවේ පුරවැසියෝ බහුතරයක් බැට කමින් සිටිති. ඇතැමෙක් සහනයක් පතා රටින් පැනගොස් ඇත. තවත් පිරිසක් රටින් පැන ගැනීමට අවසරය ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පාස්පෝට් පෝලිමේය.

දෛවයේ සරදමක් වැනිව දෝ, ගෙවුණු සතියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිටියේ එසේ රටින් පැන ගැනීමේ අදහසින්ය.

යුද විරුවෙක් ලෙස වරක් අතිශය ජනාදරයට පත්ව සිටි නමුත්, දැන් සියලුදෙනාගේ උදහසට ලක්ව සිටින ගෝඨාභය රාජපක්‍ෂ මහතා වර්තමානයේ මේ රටේ පවතින සියලුම ගැටලුවලට පාහේ යම් ප්‍රමාණයකින් මුල්ව සිටින්නෙකි. පසුගිය අප්‍රේල් මාසයේ මිරිහානේ පිහිටි සිය නිවසට විරෝධතාකරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඔහු ගෙවූයේ සියල්ලන්ගෙන් වෙන්ව හුදෙකලා වූ ජීවිතයකි.

ජනපති පුටුවෙන් පිටමං විය යුතුයැයි ශ්‍රී ලංකා පුරවැසියන් බහුතරයක් නගමින් සිටින හඩ හමුවේ, ජනපති ගෝඨාභය සූදානමින් සිටියේ පළා යාමටය.

ඔහු, බිරිඳ අයෝමා ඇතුලු කණ්ඩායමක් එසේ ශ්‍රී ලංකාවෙන් පළා යෑමට සැළසුම් කර තිබුණු අතර, ඔවුන්ගේ සැළසුම වූයේ ජූලි මස 14 වැනිදා පස්වරු 6.25 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ යූල් 225 දරණ යානයෙන් දිවයිනෙන් බැහැර වීමටය. එහි ආසන පවා වෙන්කර තිබූ අතර, පිටත්වීම සඳහා වූ අනෙක් කටයුතු ද, සැළසුම් කර අවසන් කර තිබිණ.

ජූලි මස 9 වැනිදා විරෝධතාවය හමුවේ ජනාධිපති මන්දිරයෙන් පළා ගොස් සිටි ජනපතිවරයා, ඒ වන විට නැවතත් හෙලිකොප්ටර් යානයකින් කොළඹට පැමිණ සිටියේය. දිවයිනෙන් බැහැරව යන දෙවැනි සැළසුම සකස් කර තිබෙන්නේ ඉන් පසුවය.

ඔහුත් සමග යන කණ්ඩායමට ආරක්ෂක පිරිවර සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ රටේ ආරක්ෂක ලේකම්වරයාව සේවය කළ සමයේ සමුදුරු ආරක්ෂක සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ වෙනත් සේවා සැපයීම හරහා ධන කුවේරයෙක් බවට පත්ව සිටි එක්තරා ව්‍යාපාරිකයෙක් ද අයත් විය. ඔහු, ගෝඨාභය රාජපක්ෂගේ 2019 ජනපතිවරණ ව්‍යාපාරයටත් අතදිගහැර වියදම් කළ අයෙකි.

ජනපතිවරයා ඇතුලු පිරිසක් රටින් පිටවීමට සූදානම් යැයි යන්න ජූලි 12 වැනිදා අගහරුවාදා දින රාත්‍රිය වන විට ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ගුවන් නියමුවන්ට සහ කාර්යමණ්ඩල සාමාජිකයන් නියෝජනය කරන වෘත්තිය සමිතිවලට දැනගන්නට ලැබී තිබිණ.

ජනපතිවරයාට සහ ඔහුගේ කණ්ඩායමට සේවා සැපයීම ඔවුන් දෙපාර්ශයවම දැඩිව ප්‍රතික්ෂේප කළහ.

2019 ජනපතිවරණයෙන් ලක්ෂ 69 ක සුවිශාල ජනවරමක් ලබා ශ්‍රී ලංකාවේ අභිනව ජනපතිවරයා ලෙස පත්වූ මිනිසාට, අවසානයේ හිමිවුණු ජනතා සැළකීම එවැනි විය.

අමාත්‍ය ටිරාන් අලස් සහ ජනපතිවරයාගේ මිතුරෙක් වන අනුර ප්‍රනාන්දු යන මහත්වරු මෙහිදී මැදිහත්ව ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ උදව් ඉල්ලා සිටියහ. අනුර ප්‍රනාන්දු යන ජනපතිවරයාගේ වියත්මග සංවිධානයේ සාමාජිකයෙක් වන අතර, ගෙවුණු මැතිවරණයේ දී උතුරු කොළඹ ආසනයනයට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුනෙක් ද, වේ. නමුත් ඔහුට හිමිවූයේ අන්ත පරාජයකි.

නියමුවන්ගේ සහ ගුවන්සේවා කාර්ය මණ්ඩලයන්ගේ කැමැත්ත ලබාගත නුහුණු තැන, ඔහු මනා සංයමයකින් ඒ පිළිබඳව ජනපතිවරයා දැනුවත් කළේය. තත්ත්වය එවැනි වූ හෙයින් ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ යානයකින් දිවයිනෙන් බැහැර වීම තවදුරටත් වලංගු නොවුණා පමණක් නොව, ඒ ගැන නැවත සිතන්නට ද, කණ්ඩායම පෙළඹවූ කාරණයක් විය. එය වූයේ, ජනපතිවරයා ඇතුලු කණ්ඩායම යානයට ගොඩවුවහොත්, එක්ව ඒ සියලුදෙනාට පහරදෙන බවට ගුවන්යානයේ වූ එක් මගියෙක් කරන ලදැයි කියන තර්ජනයකි.

මේ සමග ජනපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම එටිහාඩ් ගුවන්සේවයට අයත් ඊ.වයි. 267 යන යානයට අනුයුක්ත කිරීමට ඔහුගේ කාර්යමණ්ඩලය උත්සාහ කළේය. එම යානයට පිටත්වීමට නියමිතව තිබුණේ ද, එදිනම පස්වරු 9.20 ටය.

මෙම කටයුතු සිදුවන අතරවාරයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයටම පැමිණ සිටි ජනපතිවරයා තවදුරටත් නොසිට හැකි ඉක්මනින්ම රටෙන් පිටත්වීමට කළ හැක්කේ කුමක්දැයි තෝරාබේරා ගනිමින් සිටි බව ආරංචි මාර්ගයක් අනාවරණය කළේය.
 
තීරණයක් ගැනීමෙන් අනතුරුව ජනපතිවරයා හැරුණේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ දෙසටය. මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපල බලා යෑම සඳහා තමන්ට රුසියාවේ නිශ්පාදිත ඇන්ටොනොව් ඒ.එන්.-32 වර්ගයේ ප්‍රවාහන යානයක් අනුයුක්ත කරන්නැයි ඔහු ගුවන් හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය. ඒ අනුව වහාම එම යානය ජනපතිවරයාට වෙන්කර දීමට සුදර්ශන පතිරණ පියවර ගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ ඒ වන විටත් රටේ සේනාධිනායකයා වූ හෙයින්, ඔහුගේ අණ නොපිළිපැදිය සිටිය යුතුව තිබුණේ යැයි ගැටලුවක් ගුවන් හමුදාපතිවරයා සම්බන්ධයෙන් මතු වූයේ නැත.


මාලේහි ගෙවූ කාලය
ජනපතිවරයා මාලේ නුවරට පැමිණියේ මධ්‍යම රාත්‍රියත් පසුවීය. ඒ වන විට දිනක් ගෙවී ජූලි 13 වෙනිදා එළැඹ තිබිණ.

එරටින් ලැබුණු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවෙන් පැමිණි ඒ.එන්.-32 යානයට ගොඩබැස්වීමේ අවසරය ලබාදීම මාලේහි ගුවන්ගමන් පාලන මධ්‍යස්ථානය මුලින්ම ප්‍රතික්ෂේප කර ඇත.
මාලදිවයිනේ ජනපතිවරයා ඒ වන විට සිට ඇත්තේ හජ්ජි වන්දනා සමග නිමිත්තෙන් දිවයිනෙන් බැහැරවය. ඔහු වෙනුවට මැදිහත්ව යානයට ගොඩබැස්වීමේ අවසරය ලබාදී ඇත්තේ මාලදිවයිනේ පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් විසිනි.

ඔහුට ශ්‍රී ලංකාවේ සමීප දේශපාලන මිතුරෝ බොහෝ දෙනෙක් සිටිති. එම සමීපභාවය කොතෙක්ද යත්, අගමැතිවරයා ලෙස දිව්රුම් දීමෙන් දින කිහිපයක් ගතවූ තැන, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සහාය ලබාගැනීමේ කටයුතු වෙනුවෙන් වන සම්බන්ධීකාරකවරයෙක් ලෙස නෂීඩ්ව නම් කිරීමට පවා එදවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකා ජනපතිවරයාගේ ආගමනය ගැන ජූලි මස 14 වැනිදා එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් විය.

ශ්‍රී ලංකා රජයෙන් නිල වශයෙන් කෙරුණු ඉල්ලීමක් ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ ජනපතිවරයා සහ ඔහුගේ බිරිඳ රැගෙන පැමිණි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයට, අතරමැදි ගුවන් නැවතුමක් ලෙස මාලදිවයිනේ වෙලානි ගුවන්තොටුපලට ගොඩ බෑමේ අවසරය ලබාදීමට මාලදිවයිනේ රජය, 2022 ජූලි මස 13 වැනිදා පියවර ගන්නා ලදී. ජනපතිවරයා සහ ඔහුගේ බිරිඳ 2022 ජූලි මස 13 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව යන ලදී.

මින් පැහැදිලි වන ආකාරයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් ගමන සඳහා යොදාගැනීමට තීරණය ගෙන තිබෙන්නේ ජූලි 13 වැනිදා රාත්‍රියේය. එයද, වානිජ ගුවන්සේවා හරහා ආසන වෙන්කරගැනීමට ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වීමෙන් පසුවය.

එහෙයින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිලිටරි පන්තියේ ගුවන් යානයකට මාලදිවයිනට ගොඩ බෑමේ අවසරය ලබාගැනීම සඳහා නිල වශයෙන් එරටින් ඉල්ලීමක් කෙරුණේ කෙසේද යන්න බරපතල ගැටලුවකි. එම ඉල්ලීම කෙරුණේ එරට විපක්ෂ දේශපාලන පක්ෂ නගමින් සිටින විරෝධතාවයන් සැළකිල්ලට ගෙනවත් ද? අනෙක් අතට, මාලදිවයිනේ රජය ඉහත නිවේදනය නිකුත් කළේ ද ජනපති ඊබ්‍රාහිම් සෝලිහ් නැවත සියරට පැමිණියායින් පසුවය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පිරිවර නවාතැන් ගත්තේ මාලදිවයිනේ ජිරිෆුෂි දිවයිනේය. ඒ, දැඩි ආරක්ෂක රැකවල් මැදය. මෙම දිවයිනේ හමුදා පුහුණු මධ්‍යස්ථානයක් ද, පිහිටා තිබෙන අතර, ජනපතිවරයාට එවන් ස්ථානයක නවාතැන් ලබාදීමට මාලිදිවයිනේ බලධරයින් පියවර ගත්තේ ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් හිමි බව සහතික කිරීමටය.

මුලින් අදහස් කෙරුණේ එසේ ආරක්ෂාව ලබාදීමට සිදුවනු ඇත්තේ පැය කිහිපයකට පමණක්ය කියාය. ඒ මන්දයත්, ජනපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම එදිනම සිංගප්පූරුව බලා යාමට නියමිත වූ නිසාය. එදින සවස මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව යන ගුවන් යානයක් ද, විය. තමන්ට කොළඹ සිට පැමිණ සිංගප්පූරුව බලා යන යානයකට ගොඩවීමේ කිසිඳු වුවමනාවක් නැතැයි ජනපතිවරයා සිය කාර්යමණ්ඩල සාමාජිකයන්ට අවධාරණය කළේය.

ඔහු සිය ආරක්ෂාව ගැන සිටියේ බියෙනි. මාලදිවයිනේ සිට මෙම ගුවන්යානය පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් මාධ්‍ය කණ්ඩායම් ඒ වන විටත් සිංගප්පූරුවේ චන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියේය. නමුත් මේ සියල්ල මැද, අවසාන මොහොතේ යම් වෙනසක් සිදුවන්නට නියමිතව තිබිණ.

ඩුබායි රාජ්‍යයේ නව සහ පොහොසත් ව්‍යාපාර සබඳතා ඇතිකරගෙන සිටින රාජපක්ෂ පවුලේ තරුණ සාමාජිකයෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂව දුරකතනය ඔස්සේ ඇමතුවේය. සිංගප්පූරුව බලා යෑම සඳහා ඔහු වෙනුවෙන් පෞද්ගලික ජෙට් යානයක් සූදානම් කෙරෙමින් පවතින බව මෙම තරුණ සාමාජිකයා පැවසුවේය.

නවතම තත්ත්වය හමුවේ, ජනපති ගෝඨාභය, මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පිටත් වූ සිංගප්පූරු ගුවන්සේවයට අයත් යානය මගහැර, පොරොන්දු වූ පෞද්ගලික ජෙට් යානය එන තෙක් බලා සිටියේය. නමුත් එය පැමිණියේ නැත. අනතුරුව මාලේ සිට සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිතව තිබූ එකම ගුවන් යානය වන සෞදියා (සෞදි අරාබි ගුවන් සේවය හඳුන්වන නාමය) ගුවන් සේවයට අයත් ගුවන් යානයක නැගීමට ඔහු තීරණය කළේය.

අංක 788 දැරූ මෙම ගුවන් යානය මාලේ නුවරින් පිටත්වීමට නියමිතව තිබුණේ පෙරවරු 11.30 ටය. යානයේ සිටියේ මක්කම සිට මාලදිවයිනත්, සිංගප්පූරුවත් බලා පැමිණෙමින් සිටි වන්දනාකරුවන් පිරිසකි. මෙම යානය නියමිත වේලාවට වඩා විනාඩි 7 කට පෙර සිංගප්පූරුවට පැමිණීම නිසා යානය එනතෙක් බලා සිටි විදෙස් මාධ්‍යවේදීන් අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.  

පැහැදිලි කරගත නොහුණු හේතුවක් නිසා ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම මෙම යානයෙන් සිංගප්පූරුවට පැමිණ නැතැයි රාවයක් එයත් සමග පැතිර ගියේය.

කොටින්ම, සිංගප්පූරුව පදනම් කරගෙන ක්‍රියාත්මක වන චැනල් නිව්ස් ඒෂියා පුවත් සේවය පවා එය වාර්තා කළේය. කෙසේවුවත්, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය වහාම වගන්ති දෙකකට සීමා වූ නිවේදනයක් නිකුත් කළේය. එහි මෙසේ සඳහන් විය.

පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවට පිවිසීමේ අවසරය ලබාදුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරයි. රැකවරණය ලබාදෙන්නැයි ඉල්ලීමක් කර හෝ එසේ රැකවරණය ලබාදීමක් හෝ කර නොමැත.

සිංගප්පූරුවට පැමිණි පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු රාජකාරිය වූයේ අලුතින් සකස් කරන ලද ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් තැබීමය. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපතිනී ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය ඉදිරියේ ඔහු එය කළ අතර, අනතුරුව එය විද්‍යුත් තැපෑල හරහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කෙරිණ.

ලිපියේ වලංගුභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුවත්, කොළඹ සහ සිංගප්පූරුව අතර සිදුවූ දුරකතන සංවාද කිහිපයකින් පසුව ජනපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය රැගත් කාර්යමණ්ඩල සාමාජිකයෙක් ශ්‍රී ලංකාවට පිටත් කිරීමට ශ්‍රී ලංකා තානාපතිනිය පියවර ගත්තාය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිකුරාදා පැවැති මාධ්‍ය හමුවක් අමතමින්, ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්ව ඇතැයි නිල වශයෙන් තහවුරු කළේ ඉන් අනතුරුවය.

යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙක්ව සිට, ඇමරිකාව බලා සංක්‍රමණය වීමට වුවමනා වූ නිසාවෙන් නියමිත කාලයට පෙර එම තනතුරින් ඉවත් වුණු, පසුව ශ්‍රී ලංකාවේ ජනපති පුටුව දක්වාම පැමිණි ගෝඨාභය රාජපක්ෂගේ මෑත දේශපාලන කතාන්දරය, කතානායකවරයාගේ ප්‍රකශයත් සමගින් නිමා විය.

2005 ජනපතිවරණයේ දී, සිය සොයුරු මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට නැවත දිවයිනට පැමිණි ඔහු ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීම් ලැබුවේය. 2019 ජනපතිවරණයට තරග කළ ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 69ක සුවිශාල ජනවරමක් හිමිවිය.

නමුත් මේ සියලු ජයග්‍රහණයන් මධ්‍යයේ වුව ද, ඔහුට අවසානයේ ශ්‍රී ලංකාවෙන් පළා යෑමට සිදුවිය.

ඔහු ඉතිරි කරගොස් තිබෙන්නේ ආන්දෝලනවලින් ගහණ වසර 3කි. ඔහු සිය ගමන අවසන් කරනු ඇත්තේ කොතැනින්ද යන්නට තවමත් පිළිතුරක් නොමැතිවා මෙන්ම, ඔහු හමුවේ තිබෙණ ගැටලුවල ද, ඉවරයක් ළගකදී දකින්නට නම් නැත.


ගෝඨාට අපහැදිලි ගමනාන්තයක්
ගෝඨාභය රාජපක්‍ෂ මුහුණ දී සිටින එක ගැටළුවක් වන්නේ ජනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී, ඔහුට එරෙහිව නගන්නට නියමිතව තිබෙන චෝදනාවන්ය. එම චෝදනාවන් නැගෙන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රධාන කණ්ඩායමේ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන නව යෝජනාවලියක් පදනමේ සිටය.

දිවයිනෙන් බැහැරවීමට ප්‍රථමයෙන් එක්සත් ජනපදයට පිවිසීමට වීසා පත්‍ර ලබාගැනීමට ගෝඨාභය උත්සාහ කළ ද එයත් සාර්ථක වූයේ නැත. තම රටේ පුරවැසිභාවය අත්හළ පුද්ගලයෙක්ට නැවත වීසා නිකුත් කිරීම එක්සත් ජනපදය සිදුනොකරන තරම්ය. එවන් පුද්ගලයෙක්ට වීසා නිකුත් කිරීම සිදුවන්නේ ද, ඉතාම සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණකි.
මේ කරුණු මැද, ඔහුගේ අවසන් ගමනාන්තය ද අපහැදිලිය.

හිටපු ජනපතිවරයා සෞදි අරාබියට පළායනු ඇතැයි මුලින් සඳහන් කෙරුණ ද, ඔහු ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එදිරිව අනුගමනය කළ දරදඬු පිළිවෙත පෙන්වා දෙන රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් එවැන්නක් සිදුවීමට ඉඩ තිබෙන්නේ ඉතාම අවම ඉඩකඩක් බව පවසයි.

කෝවිඩ්-19 වසංගත සමයේ දී, ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය නොව ආදාහනය කළ යුතුයැයි ඉතාම දැඩි පියවරක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම නිසා අරාබි ලෝකය ඉතා දැඩිව කෝපයට පත්ව සිටියේය. ඉතිහාසය සැළකූ විටදීත්, සෞදි අරාබියේ රැකවරණය ලබාගෙන ඇති ආන්දෝලනාත්මක රාජ්‍ය නායකයින් සියලුදෙනාම පාහේ මුස්ලිම් ජාතිකයන් බව හඳුනාගත හැකිය.


බැසිල්ගේ අසාර්ථක උත්සාහය
ගෝඨාභය රාජපක්ෂගේ ජවනිකාව අවසන් වූ පසුව බණ්ඩාරනායක ගුවන්තොටුපල තවත් ජවනිකාවකටත් පසුතලය විය. මෙවර වේදිකාව මතට පිවිසියේ හිටපු මුදල් අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ මහතාය.
බදාදා රැයේම ඔහුටත් දිවයිනෙන් බැහැරවීමට වුවමනා වී තිබූ අතර, එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ. 649 දරන යානයේ නැගී ඩුබායි දක්වාත්, එතැන් සිට ඊ.කේ. 231 දරන යානයේ නැගී වොෂින්ටන් නුවර ඩලාස් ගුවන්තොටුපල දක්වාත් ගමන් කිරීම ඔහුගේ සැළසුම වී තිබිණ.

ඔහු මේ සඳහා ව්‍යාපාරික පන්තියේ ආසනයක් වෙන්කරගෙන සිටි අතර, සම්පූර්ණ ගමන සඳහා ගුවන් ටිකට් පතේ වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවීය.
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි සිය නිවස වෙත ළගාවීම ඔහුගේ අරමුණ විය. ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙක් වීමට පෙර බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවේ සිය නිවස බලා පියාසර කළේ සාමාන්‍ය පන්තියේ මගියෙක් ලෙසය.

ගුවන්තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගීන්ට වෙන්කර ඇති සේද මාවත දොරටුව අසළට ඇවිද ගිය අතර, ඒ වන විට ව්‍යාපාරික පන්තියේ මගීන්ගේ නම් ලැයිස්තුවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අතට ලැබී තිබිණ. එය සැළකිල්ලට ගෙන සිටි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුර කනුගල මහතා, මෙම දොරටුවෙන් ඇතුල්වන මගීන්ට ඔවුන්ගේ සේවය ලබා නොදීමට තීරණය කර තිබිණ.

එමිරේට්ස් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ ටිකට් නිකුත් කරන කවුලුව අසළට යාමට බැසිල් රාජපක්ෂ අදිමදි කරමින් සිටි අතර, දිවයිනෙන් බැහැර වීමට අවැසි විගමන අවසරයත් තමන්ට නොලැබෙන බවත් ඔහු ඒ අතරවාරයේ දැනගත්තේය. එයින් පසුව බැසිල් රාජපක්ෂ සිය ආරක්ෂක පිරිවර සමග කලු වෑන් රථයක නැගී ගුවන්තොටුපලෙන් පිටව ගියේය. ඔහු දැනට සිටින්නේ කොළඹය.

සිකුරාදා නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ජූලි 28 වෙනිදා දක්වා බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ සොයුරු මහින්ද රාජපක්ෂට දිවයිනෙන් බැහැර වීම තහනම් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ ට්‍රාන්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය ගොනු කර තිබූ පෙත්සමක් සැළකිල්ලට ගනිමිනි.


පළායාමේ පළමු පියවර
ජනපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාව අතහැර පලාගිය කතාන්දරයේ ආරම්භය ඇත්තේ එම අගහරුවාදා දින රැයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නොව, ජූලි මස 9 වැනිදා ජනාධිපති මන්දිරයේය.

සෙනසුරාදාවක් වූ එදින රාත්‍රියේ විරෝධතාකරුවන් එතෙක් ඔවුන්ගේ දැවැන්තම විරෝධතාව සංවිධානය කර තිබිණ. ජනපති ගෝඨාභය රාජපක්ෂ බලහත්කාරයෙන් බලයෙන් පහකර දැමීම ඔවුන්ගේ අරමුණ විය. විරෝධතාකරුවන්ගේ සැළසුම් ආණ්ඩුවේ නායකයෝ සහ ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීහු සිකුරාදා වන විටම දැන සිටියහ. එදින, එනම් සිකුරාදා දින, රාත්‍රී 8.00 සිට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමටත්, ආරක්ෂක අංශ සාමාජිකයන් තව තවත් කොළඹට අනුයුක්ත කිරීමටත් ඔවුන් පියවර ගත්තේ එම දැනුවත්කම මතය.

දුම්රිය සේවා ද, අවලංගු කෙරිණ. නමුත් මේ සියලු බාධා මධ්‍යයේ ලොරි රථවල මෙන්ම පාපැදිවල පවා නැගී විරෝධතාකරුවෝ කොළඹට පැමිණෙමින් සිටියහ.

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට යන්නේ යැයි කැළඹුමට පත්ව සිටි කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව, ඊට එරෙහිව හඩ අවදි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුදා පෙරවරු 8.00 වන විට ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අතර, ප්‍රවාහන සේවා නැවත ක්‍රියාත්මක විය.

ඉන්ධන හිගයක් පැවතිය ද, දහස් ගණන් ජනතාව ජනාධිපති මන්දිරය වට කරනු විමතිය දනවන සුලු විය. ලංකා බැංකුවට ප්‍රතිවිරුද්ධව පිහිටන මාර්ගයේ රැඳී සිටි යුද්ද හමුදා සාමාජිකයන්, ජනාධිපති මන්දිරය දක්වා වැටී තිබෙන මාර්ගයේ එමින් සිටි ජනතාවට සිය අත තිබූ ටී-56 අවිවලින් වෙඩි තැබූහ. මෙම මාර්ගය වැටී තිබෙන්නේ කින්ග්ස්බරි හෝටලය අසලිනි. ආරක්ෂක අංශවලට අවැසිව තිබුණේ විරෝධතාකරුවන්ගේ පාගමන මර්දනය කිරීමටය. පොකුරු ගණන් විරෝධතාකරුවෝ ලේ වැකී ගිය සිරුරුවලින් බිම ඇද වැටුණහ.
ජනාධිපති මන්දිරයට පිවිසෙන අනෙක් මාර්ගවලට මාර්ග බාධක යොදා තිබුණු අතර, ඇතැම් ඒවායේ පේලි 2 බැගින් එසේ බාධක යොදා තිබිණ. ඒවායේ පසුපස සිටියේ අවිගත් පොලිස් සහ හමුදා සාමාජිකයන්ය.

ඔවුන්ට මුහුණලා සිටි විරෝධතාකරුවෝ ඒ වන විට එන්න එන්නම කෝපාවිෂ්ඨ වෙමින් සිටියහ.  සටන් පාඨ කියමින් ඔවුහු, මාර්ග අවහිර කරමින් යොදා තිබූ බාධක තල්ලු කළහ.
ඒ වන විට ජනපති ගෝඨාභය රාජපක්ෂ සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ මාලයේය. ඔහු උදැෑසන ආහාර වේල අවසන් කළා පමණකි. බිම් මහලේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ පොලිස්පති චන්දන වික්‍රමසිංහ යන මහත්වරු සිටියේ ජනපතිවරයා පැමිණෙන තෙක්ය.

පියගැට පෙල බැසගෙන පැමිණි ජනපතිවරයා ඔවුන් හමුවට පැමිණි පසුව සාකච්ඡාවක් ආරම්භ විය.


උපායමාර්ගික ඉවත්වීමක්
කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ජනතාව විසිරුවා හැරිය යුතුව ඇතැයි යන්න ජනපතිවරයාගේ අදහස වූ මුත්, ආරක්ෂක අංශයේ මුල් පුටු සියල්ලම පාහේ සිටියේ වෙනත් මතයකය. දිගහැරෙමින් තිබූ සිදුවීම් ගැන දැඩි අවධානයෙන් සිටි ඔවුන්ගේ අරමුණ වූයේ තත්ත්වය තවත් නරක අතට හරවා ලේ ගැලීම් සිදුවන තැනට බරපතල වීම වළක්වාගැනීමය. කිසිවක් පාලනය කළ නොහැකි එවන් තැනකට පත්වීමේ වුවමනාවක් ඔවුන්ට නොතිබිණ.
එවැනි තත්ත්වයක වුව, විරෝධාකරුවන්ගෙන් යම් පිරිසක් ජනාධිපති මන්දිරයට කෙසේහෝ පිවිසෙනු ඇතැයි ද බිය පළව තිබිණ. එහෙයින් මෙම අවස්ථාවේ වඩා සුදුසු වන්නේ ජනපතිවරයා උපායමාර්ගිකව ස්ථානයෙන් ඉවත්ව, වාතාවරණය සන්සුන්වීමට ඉඩ හැරීම බව ඔවුන්ගේ මතය විය.

එවිටම වාගේ ලැබුණු පුවතකින් කියැවුණේ චැතම් වීදියේ යෙදා තිබූ බාධක බිඳගෙන විරෝධතාකරුවක් ජනාධිපති මන්දිරය දෙසට පැමිණෙමින් සිටින බවයි. ඔවුන් ඇතැමෙක් ඒ ආසන්නයේ පිහිටි පැරණි ඔරලෝසු කණුවටද, නැග සිටියහ.

ලේ සෙළවීමක් සිදුවීමට තිබෙන ඉඩකඩ අහුරනු වස්, රටේ ආරක්ෂක අංශයේ ඉහළම නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් ප්‍රකාරව කටයුතු කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළේය.

වහවහා සකස් කරගත් බෑගයන් කිහිපයක් ද අතැතිව, ජනපතිවරයා සහ ඔවුගේ භාර්යාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් උළුගේතැන්නගේ නිල රථයෙන් කොළඹ වරායේ ඒ වන විට නැංගුරම් ලා තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නම් නෞකාව අසළට ගෙන යනු ලැබිණ. ශ්‍රී ලංකාවේ පැරණි රණකාමියකුගේ නමින් නම් කර තිබෙණ මෙම නෞකාව, නවීන මෙහෙයුම් යාත්‍රාවක ගණයට වැටෙන්නක් වන අතර, එය එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක හමුදාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ත්‍යාගයකි. මීට පෙර මෙම නෞකාව නම් කර තිබූයේ එක්සත් ජනපදයේ 32 වන භාණ්ඩාගාර ලේකම්වරයා වන ජෝන් ෂර්මන්ගේ නමින්ය.
හෙලිකොප්ටර යානාවක් බැස්වීමට පහසුකම් ද, මෙම යාත්‍රාවේ ඇත.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නිරන්තර මුර සංචාරවල යෙදෙන මෙම නෞකාවට නැගුණු ජනපති රාජපක්ෂ සහ පිරිස ත්‍රිකුණාමල වරායෙන් ගොඩබැස එතැන් සිට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර යානාවලින් ගුවන්තොටුපල බලා ගියේ ද, හෝ නෞකාව වෙත පැමිණි හෙලිකොප්ටර යානයක නැගී එසේ ගියේ ද, යන්න පැහැදිලි නැත.

විරෝධාකරුවන්ට ගොඩබිම දී මිස මුහුදේ දී ජනපතිවරයාට ප්‍රහාර එල්ල කිරීමට නොහැකිය යන්න මෙසේ ඔහුට නෞකාවක ආරක්ෂාව සළසා දීමට හේතු වූ පදනම විය. නෞකාවේ දී, ජංගම දුරකතනයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇමතූ ජනපතිවරයා ජූලි 13 වැනිදා වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවීමට කටයුතු කරන්නේ යැයි ඔහුව දැනුවත් කළේය. නෞකාවේ සිටම සිය සමීපතමයන් සහ හිතවතුන්ව ද, ඇමතූ ජනපතිවරයා ඔවුන් සමග ද, සංවාදයේ යෙදිණ.

ජනපති රාජපක්ෂව සාර්ථකව ජනාධිපති මන්දිරයෙන් පන්නා දැමීමෙන් පසුව විරෝධතාකරුවෝ එය අත්පත් කරගත්හ. දැකීමට තරම් නොවන සිදුවීම් ද අනතුරුව දිග හැරිණ.

ඇතැම්හු බීර සහ මත්පැන් පානය කළහ. තවත් පිරිසක් කාඩ්බෝඩ් පෙට්ටි කඩා විවෘත කරමින්, ඒවායේ තිබූ කිරි පැකට්ටු ගෙන පානය කළහ. ඒ අතරවාරයේ තවත් කණ්ඩායමක් ජනාධිපති මන්දිරයේ තිබෙණ පිහිනුම් තටාකයට පැන්නේය. ජනපතිවරයාගේ ඇඳ මත නිදාගත් පිරිසක් ද, විය.

මේ කලබල අතරවාරයේ විරෝධාකරුවන්ගේ සහභාගීත්වයෙන් කැබිනට් රැස්වීමක් ද, පැවැත්විණ. හිටපු තරුණ අමාත්‍යවරයෙක් අනුකරණය කරමින් එහි පෙනී සිටි එක් විරෝධතාකරුවෙක් අපි හොරු නෙවෙයි යැයි බැගෑපත් විය. මුලුතැන්ගෙයි තිබූ ආහාර අනුභව කිරීමේ යෙදුනෝ ද විරෝධතාකරුවෝ අතර වූහ.


මුදලින් රුපියල් ලක්‍ෂ 170 ක්
යටත්විජිත සමයේ ආණ්ඩුකාරවරුන් විවිධ රැස්වීම් සහ සාද පවත්වන්නට යෙදුණු ශාලාවේ තිබූ පියානෝව එක් තරුණ විරෝධතාකරුවෙක් වාදනය කරනු ද, දැකගත හැකිවිය. පිරිසක් අත්පුඩි ගසමින් නැටූහ. සෙල්ෆි ඡායාරූපයක් නොගත් අයෙක් ඔවුන් අතරින් සොයාගැනීම පවා අපහසු විය.

මේ අතර තවත් කණ්ඩායමකට ගබඩා කර තිබූ මුදල් නෝට්ටු මිටියක් හමුවූ අතර, එය ගණන් කර කොටුව පොලිසියට භාර දීමට ඔවුහු පියවර ගත්හ. ලක්ෂ 170ක මුදලක් එතැන විය.

පොලිසිය එම මුදල ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා භාරයේ තැන්පත් කළේය. බිත්තියට අල්ලා තිබූ අල්මාරියක ස්වරූපයෙන් වූ දොරක් විවෘත කළ එක් විරෝධතාකරුවෙක්, භූගත බංකරයකට යන මාර්ගය පෙන්වීය. එය ඉදිකර තිබුණේ ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයට පැමිණීමට බොහෝ කලකට පෙරය.

ජූලි මස 9 වැනිදා සිදුවීම් ඓතිහාසිකය.
තත්ත්වය බරපතල වීමට ඉඩ නොතබා සීරුවෙන් සහ ඉවසිල්ලෙන් කටයුතු කළ පොලිසිය සහ ආරක්ෂක අංශ නිසාම විරෝධාකරුවන්ට සිය විරෝධය පූර්ණ වශයෙන්ම දැක්වීමට අවස්ථාව හිමිවිය.

එහිදී, මෙම ජන නැගිටීමේ ප්‍රථම වතාවට, ඇතැම් විරෝධාකරුවන්ට ඔවුන්ගේම න්‍යාය පත්‍රයන් පවතින්නේය යන්න මනාව පැහැදිලි විය. ඔවුන් ඇතැමෙක්ට තිබුණේ ව්‍යවස්ථාවෙන් ද, බැහැරට යන අරමුණුය. එම එක් නායකයෙක් මාධ්‍ය හමුවක දී, තර්ක කරමින්- ඔවුන්ගේ උත්සාහය නිසා ජනපති ගෝඨාභය රාජපක්ෂ දැන් තනතුරින් ඉවත්ව ඇතිවා වුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ තනතුරුවල සිටින බව පෙන්වා දෙමින්, ඉදිරි කටයුතු තීරණය කිරීමේ අයිතිය ඇත්තේ සිය කණ්ඩායමට යැයි පැවසුවේය. එතැනින් නොනැවතුණු ඔහු, මන්ත්‍රීවරුන් කටයුතු කළ යුත්තේ ද සිය කණ්ඩායමේ නියමයන්ට අනුව යැයි පැවසීමට තරම් සැහැසි විය.


කොටුකර ගැනීමේ සූදානමක්
මෙම තත්ත්වය වෙනස් කෙරෙනු ඇති බවට පැහැදිලි ලකුණු දැනටමත් පළව අවසන්ය.
දැඩි පිළිවෙතක් අනුගමනය කරන්නැයි වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ පොලිසියට සහ හමුදාවට උපදෙස් දී තිබෙන අතර විරෝධතාකරුවන් කොටු කරගැනීමක් සිදුවනු ඇත යන්න එහි අරුතයි.

බොහෝ විට මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගැනීම් ද සිදුවනු ඇත. ව්‍යවස්ථාවට පරිබාහිර අරමුණු ප්‍රවර්ධනය කිරීමේ යෙදෙන පුද්ගලයින් හසුරුවා ගැනීමේ ක්‍රමය එය වීමට යන්නේ නම් එහි විපාකයන් ද ඇත.

විරෝධතාකරුවන් කොටුකර ගැනීමට යාම, විශේෂයෙන්ම එය පාලනයකින් තොර මට්ටමකට ගෙන යාම, රට තවත් අස්ථාවර කරවීමට හේතු වනු ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින විදේශීය පාර්ශවයන් ඉල්ලා සිටින්නේ මෙහි අනෙක් පැත්ත, එනම් රට ස්ථාවර කළ යුතුව ඇත යන්නය.

පොලිසිය සහ හමුදාව විරෝධතාකරුවන්ට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු යැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබීම නිසාම ගෝඨා ගෝ ගම සහ එය හා බැඳුණු වෙනත් ක්‍රියාකාරකම්වලට මග පෑදීය. ඒ සියල්ල කාලයත් සමග වියැකී යනු ඇත.
කෙසේවුවත්, යතාර්ථය තවමත් එසේමය. එය නම්, ආර්ථිකය ඉතාම දුර්වල ලෙස කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය කෙරේ ජනතාව අතර ඇවිලෙමින් තිබෙණ කෝපය සහ කළකිරීමයි. ඔවුන්ට වුවමනා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමටය.


විරෝධතාව දෙමුහුන් ව්‍යාපාරයක් ලෙස
විරෝධතාවන් දෙමුහුන් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය වීමේ පසුබිම යටතේ අන්තවාදී දේශපාලන මතවාදයන් ප්‍රවර්ධනය කිරීමේ සහ ඇදහීමේ යෙදෙන පාර්ශවයන් එය ආක්‍රමණය කළ බව කිව හැකිය. එය වඩාත් හොඳින් පැහැදිලි වූයේ ජූලි මස 9 වැනිදා පැවැති දැවැන්ත විරෝධතාවයන්ගෙන් පසුවය.

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික කළමණාකරන පිළිවෙත් හමුවේ දැඩි ලෙසම බැටකෑ සහ බැටකමින් සිටින පුරුෂයෝ සහ කාන්තාවෝ දහස් ගණනක් මෙම විරෝධතාවයන් සමග අත්වැල් බැඳගෙන සිටිති. සැබෑ ලෙසම ඔවුන්ගේ විරෝධය දැක්වීය යන්න එසේ සඳහන් කිරීමෙන් කිසිඳු ලෙසකින්වත් අවතක්සේරු නොකෙරේ.

විරෝධතාවලට අන්තවාදී කණ්ඩායම් අතපොවමින් සිටින්නේය යන්න ආරක්ෂක අංශයේ ඉහළ පෙලේ සාමාජිකයන් කල්තියාම දැනගෙන සිටි දෙයකි. මේ සම්බන්ධයෙන් ජනපතිවරයාට ද, ඔවුන් අනතුරු ඇගවීම් කර තිබී ඇත. නමුත් ජනපතිවරයා, “ඒ දේවල් ගැන දැනගන්න මට වුවමනාවක් නැහැ” යැයි පවසා ඇත.


ඔහු එසේ කීවේ ඇයි?
කරුණු දැනගෙන සිටියේ නම් කොටුකර ගැනීම දැන් නොව එදා කරන්නට තිබුණා නොවේ ද? එය තමන්ටම කැරකී එනු ඇතැයි ඔහු බිය වුනාවත් ද?

මෙම කාරණා ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයකින් වඩාත් පැහැදිලි වේ. එම සංගමයේ සභාපති සාලිය පීරිස් සහ මහලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරු එම නිවේදනයේ මෙසේ සඳහන් කළේය.


1981 අංක 2 දරණ ජනාධිපති මැතිවරණ (විශේෂ විධිවිධාන) පණත යටතේ සහ ව්‍යවස්ථාවේ අදාළ සම්පාදනයන් යටතේ ජනපති අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ වගකීම දැන් පාර්ලිමේන්තුව සතුය.

2022 ජූලි මස 9 වැනිදා පැවති පක්ෂ නායක රැස්වීමේ දී, ගත් තීරණවලට ගරු කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ නෛතික සහ ව්‍යවස්ථාපිත යාන්ත්‍රණයන් සහ ඒවායේ ආයතන ව්‍යුහයන් කෙරේ පොදුජන විශ්වාසය ප්‍රතිස්ථාපනය කෙරෙන අයුරින් කඩිනමින් කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී. ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම්දීමේ යම් ප්‍රමාදයන් පැවතිය ද, පාර්ලිමේන්තුව හෙට දිනයේ (සිකුරාදා) කැඳවෙන බැවින්, මෙම ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නියම කර තිබෙන දිනය වන 2022 ජූලි 20 වැනිදා, තවදුරටත් එළෙසම තබාගැනීමේ හැකියාව ඇත.

සමාජමය, දේශපාලනමය සහ ආර්ථිකමය වශයෙන් රට පවතින්නේ අස්ථාවර අවදියකය. එවන් පසුබිමක, 2022 ජූලි මස 9 වැනිදා පටන් මේ දක්වා ගෙවී තිබෙන කාලය ඇතුළත, ජනපතිවරයාගේ ඉල්ලා අස්වීමත්- ව්‍යවස්ථාවේ 37(1) ව්‍යවස්ථාව ප්‍රකාරව වැඩ බලන ජනපතිවරයෙක් පත්වීමත් මුල් කරගෙන නිර්මාණය වී තිබෙන අස්ථාවරත්වය ද එසේමය. එහෙත් එවැන්නක් නිර්මාණය වීමට ඉඩ නොදී වළක්වාගත හැකිව තිබුණේය යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි.

නව ජනපතිවරයෙක් තෝරාගැනීමේ දී, පාර්ලිමේන්තුව දැන් සමස්ත ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර එහෙයින්ම එහි සිටින ජනතා නියෝජිතයන් මෙම භාරදූර රාජකාරිය ජනතාවගේ ස්වෛරීභාවයට ගරු කරමින්, ජනතාවගේ වුවමනා එපාකම් සැළකිල්ලට ගනිමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරක්ෂිත කරමින් ඉටු කළ යුතු වේ.

රටට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ රටේ සැබෑ සහ නියම වුවමනාවන් සළකා ගැනෙන තීරණ මිස, පෞද්ගලික හෝ දේශපාලන පක්ෂ සළකා ගැනෙන තීරණ නොවේ. ශ්‍රී ලංකාව තවදුරටත් අර්බුදයට තල්ලුවීමට ඉඩ නොදී, සමාජමය, දේශපාලනමය සහ ආර්ථිකමය ස්ථාවරත්වය ඇති කරවීමට තමන්ට හැකි සියලුම දේ කිරීමට පාර්ලිමේන්තුවේ සාමාජිකයන් කටයුතු කළ යුතුව ඇත.


පෞද්ගලික න්‍යාය පත්‍ර
නිසැක වශයෙන්ම පෞද්ගලික න්‍යාය පත්‍ර පෙරදැරිව කටයුතු කරන කණ්ඩායමක් දෝ, දැනට වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ පස්වන පටුමගේ පිහිටි නිවසට ගිනි තැබීම තත්ත්වය තවත් බරපතල කළේය. වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ මෛත්‍රී, කොළඹ රාජකීය විද්‍යාලයට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කිරීමට ආරක්ෂා කරගෙන සිටි පොත්පත් රැසක් ගින්නෙන් විනාශ විය. කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි මෙම ක්‍රියාව පොදුවේ දේශපාලකයින් මෙන්ම සිවිල් සමාජයත් හෙළා දැක්කේය. මෙය සැළසුම් කළ සහ ක්‍රියාවට නැංවූ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතියෙන් නියම කළ හැකි උපරිම දඩුවම් නියම කෙරෙන බව සහතික කිරීම දැන් තිබෙන්නේ වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ අතය.

සටහනක් තැබිය යුතු තවත් දෙයක් වන්නේ හමුදා භටයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් අත තිබූ ගිනි අවි සහ ඒවායේ පතරොම් පැහැර ගැනීමක් සිදුව ඇත යැයි පළවූ වාර්තාය. මෙය සිදුව ඇතැයි වාර්තා කෙරුණේ කතානායකවරයාගේ නිවස ඉදිරිපිට ඇතිවූ ගැටුමේදීය.

තුවාළ ලැබූ හමුදා සාමාජිකයන්ව බැහැ දැකීමට යුද හමුදාවේ ඉහළ නිලධාරීන් ගොස් සිටිනු දැක්වෙන ඡායාරූප පෙළක් ප්‍රසිද්ධ කිරීමට යුද හමුදා මාධ්‍ය අංශය කටයුතු කළ අතර ඒවා බැලීමෙන් නම් පෙනෙන්නේ හමුදා සාමාජිකයන් දෙදෙනකුට වඩා වැඩි දෙනෙක් එදා ගැටුමේ දී, තුවාළ ලබා ඇති බවය. මෙම සිදුවීමේ දී තමන්ට සැළකුණු ආකාරය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් කෝපයට පත්ව සිටින බව තේරුම්ගත හැකිය. එය යහපත් දෙයක් නොවේ.


දෙවරක් දිව්රුම් දීම
වැඩබලන ජනපතිවරයා ලෙස දෙවරක්ම රනිල් වික්‍රමසිංහ දිව්රුම් දුන්නේ ඇයිදැයි සම්බන්ධයෙන් යම් වියවුලක් ජනතාව අතර ඇතිව තිබෙනු ද, හඳුනාගත හැකිවිය.
මුල් අවස්ථාවේ සිදුවූයේ 37 වන ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනපතිවරයෙක් රටට සිටින විට ඔහු වෙනුවට වැඩ බලන ජනපතිවරයෙක්  ලෙස රනිල් වික්‍රමසිංහව පත් කිරීමය. යම් ව්‍යාධියක් හෝ, රටින් බැහැරව සිටින නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ වේවා බලයේ සිටින ජනපතිවරයාට ඔහුගේ බලතල යොදා රට පාලනය කළ නොහැකි අවස්ථාවක මෙසේ වැඩබලන ජනපතිවරයෙක් පත්කිරීමට අවැසි සම්පාදන 37 වැනි ව්‍යවස්ථාවෙන් සපයා තිබේ.

අවසානයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමග, වික්‍රමසිංහගේ එම පත්වීම තවදුරටත් වලංගු නොවන තත්ත්වයට පත්වූ අතර, ඔහු නැවත වැඩබලන ජනපතිවරයෙක් ලෙස පත්කිරීම සිදුවූයේ එවැනි තත්ත්වයකට අවැසි සම්පාදන සපයන 40(ඉ) ව්‍යවස්ථාව යටතේය. ජනපති පුටුව හිස්ව පවතින අවස්ථාවක, නව ජනපතිවරයෙක් පත් කෙරෙන තෙක්, අගමැතිවරයා ජනපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි ද, අගමැතිවරයා ලෙස කටයුතු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් තෝරාගන්නා අමාත්‍යවරයෙක් පත්කරනු ඇතැයි ද, එහි සඳහන් වේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉක්මන් නික්ම යෑමෙන් පුරප්පාඩු වූ ජනපතිධූරයේ ඉතිරිව ඇති වසර 2ක කාලයට නව ජනපතිවරයෙක් පත් කරගැනීම පාර්ලිමේන්තුව සිදුකරනු ඇත. එසේ වන්නේ, ජනපතිවරයා ලෙස සිය ධූර කාලය අවසන් කර මිස, ජනපතිධූරයෙන් ඉවත් නොවන්නෙමැයි පැවසූ පුද්ගලයෙක් ජනතාවගේ බලයෙන් එම පුටුවෙන් තල්ලු කර ඉවත් කර දැමුණු පසුබිමකය.

 

සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර