ඉදිරියේ එන ජනපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ලහිලහියේ සූදානම්වෙමින් සිටින අවස්ථාවක ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර මුහුණට මුහුණ හමුවක් සිදුවීමට නියමිතය.
එවැනි අවස්ථාවක් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගිය සතියේ එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වීය.

යෝජිත නව දේශපාලන සන්ධානය - ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් වන අවසන් තීන්දු තීරණ ගැනීම සදහා නායක දෙපළට අවස්ථාව ලබාදීම මෙම හමුව සංවිධානය කිරීමේ තවත් අරමුණකි. මේ අරබයා දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා මේ වන විට එම සන්ධානය පිහිටුවාගැනීමේ පදනම වන සන්ධාන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ගොඩනැගී තිබීම දක්වාම පැමිණ තිබේ. කළමණාකරන මට්ටමින් විධායක කමිටුවක් පිහිටුවාගැනීමෙහි ලා ද දෙපාර්ශවය අතර එකඟත්වයක් ඇතිව තිබේ.
ජනපතිවරණයෙන් පසුව දේශපාලනයේ තම අනාගතය සැළසුම් කිරීමට ද ජනපති සිරිසේන මහතාට මෙම හමුව උපකාර වනු ඇත.
සාමාජික පක්ෂයක් ලෙස පොදු සන්ධානය හා අත්වැල් බැඳගැනීමට ජනපති සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙමින් සිටීම ඔහු මෙවර ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව සහතික කරන්නකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාකච්ඡාවල මේ දිවෙන අවසන් අදියරේ දී පොදු අපේක්ෂකයකු ගැන කිසිදු අවස්ථාවක අදහස් හුවමාරු කර නොගැනුනු අතර, පොදු ජන පෙරමුණ මුල සිටම කියා සිටියේ ජනපති සිරිසේන මහතාට එවැනි අවස්ථාවක් නොලැබෙන බවය. එම නිසා දැන් අවධානය යොමුව තිබෙන්නේ ජනපතිවරණයෙන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත්වීමට ජනපතිවරයාට අවස්ථාවක් ලබාගත හැකිදැයි සොයා බැලීමටය. ඒ සඳහා පොදු සන්ධානයේ සහාය ඔහු වෙත ලබාගැනීමට තිබෙන ඉඩකඩ විමසිල්ලට ගැනෙමින් තිබේ.
පසුගිය සිකුරාදා උදැෑසන පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ සහායක පක්ෂ ලෙස ක්‍රියාත්මකවීම අරබයා වෙන් වෙන් වශයෙන් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබුවේ ය.
එම පක්ෂ පහත දැක්වේ.
■ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ (විනයාගමූර්ති මුරලිදරන්)
■ මව්බිම ජනතා පෙරමුණ (හේමකුමාර නානායක්කාර)
■ එල්වාර් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (සරවනභාවන් දුෂ්‍යන්තන්)
■ මුස්ලිම් උලමා පක්ෂය (මුබාරක් අබ්දුල් මජීඞ්)
■ ලිබරල් පක්ෂ්‍ය (කමල් නිස්සංක)
■ නව සිහළ උරුමය (ලේකම් සරත් මනමේන්ද්‍ර)
■ ප්‍රජාතාන්ත්‍රික ජාතික ව්‍යාපාරය (ලේකම් අරුණ ද සොයිසා)
■ එක්සත් ලංකා මහා සභාව (ජයන්ත කුලතුංග)
■ භූමිපුත්‍ර පක්ෂය (සරත් විජේරත්න)
මෙම අවස්ථාව සදහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහභාගීව නොසිටීම කැපී පෙනුණු අතර, ඔවුන්ට එදිනට යෙදී තිබුණු වෙනත් රාජකාරි තිබෙන්නට ඇති බව ඇතැමුන් එය පසුව විස්තර කළේ ය. එහිදී කණ්ඩායම අමතමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කීවේ ය.
ආන්දෝලනාත්මක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම මගින් රජය රටත්, ජනතාවත් අනතුරේ හෙළා තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කිරීම මගින් රජය නැවතත් අන්තර්ජාතික ප්‍රජාව මුලා කරන්නයි හදන්නේ. එම නිසාම එක්සත් ජාතික පක්ෂ රජයේ මෙම උත්සාහය නැවැත්වීමේ පරම අරමුණින් දේශහිතෛහී පක්ෂ ප්‍රමුඛ සන්ධානයක් ගොඩ නැගීමට තමා සූදානමින් සිටි බව විපක්ෂ නායකවරයා පැවසුවේය. බලයට පත්වන සන්ධානයට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පූර්ණ වගකීම තමන් පවරා දෙන බව ද ඔහු කීවේ ය.
ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ ය.
බලය තියෙන්නේ ජනපතිවරයා අත ද නැතිනම් කැබිනට් මණ්ඩලය අත ද කියන අවුල ඇතිකරලා තියෙන්නේ මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන වැරදි සම්බන්ධයෙන් විපක්ෂය අදහස් දැක්වූ විට ජනපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් වෙනස් කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සති කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඒ සහතිකය මත තමයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළේ.
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කෙරුණානම්, පාර්ලිමේන්තු රජයන්ට වැඩකරන බහුතරය හිමිවෙලා පාර්ලිමේන්තුවට බලය ලැබිලා, බල තුලනයක් වන්නට ඉඩ තිබුණා. අපේ මන්ත්‍රීවරුන්ට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කැමැත්තක් නොතිබුණත්, කඩිනමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව පැවසූ නිසාම අපි 19 ට පක්ෂව ඡන්දය දුන්නා. මෙහෙම බලනකොට රජය විපක්ෂයත් මුලා කර තිබෙනවා.
විපක්ෂය බලයට පත්වුවහොත් ප්‍රමුඛතාවය හිමිවන පළමුවන කාරණය වන්නේ ව්‍යවස්ථා සංශෝධනය බව රාජපක්ෂ මහතාගේ මෙම අදහස් දැක්වීමෙන් පැහැදිලි වේ.
පැවැත්වීමට නියමිත සිරිසේන - රාජපක්ෂ හමුව සිය ධූර කාලයෙන් වසර 4 හමාරකට ආසන්න කාලයක් ගතකර අවසන්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාම වැදගත් සන්ධිස්ථානයකි. ජනපතිවරයා ලෙස බලයේ සිටි කාලය සහ ඉන් මත්තට කවරාකාරයෙන් කටයුතු සිදුවේ ද යන්න මුල් කොට ගනිමින් සිය දේශපාලන දිවිය අරභයා රාජපක්ෂ මහතාගෙන් සහතිකයන් ලබාගැනීමට ඔහු කටයුතු කිරීමට ඉඩ තිබේ.
ලබන 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රථම වාර්ෂික සමුලුවේ දී මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන්ම පක්ෂයේ නායකයා ලෙස වැඩභාර ගනු ඇති අතර ඉදිරි ජනපතිවරණය සදහා පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් ද යන්න ද ප්‍රකාශයට පත්කරනු ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනෙක් තනතුරු සදහා නව සාමාජිකයන් පත් කිරීමක් සිදුනොවේ.
දැනට එම තනතුරු දරමින් සිටින සාමාජිකයන්ම ඉදිරියට ද එම තනතුරුවලම කටයුතු කරනු ඇත. පක්ෂ සමුලුවට පෙර දිනයේ ජනපති අපේක්ෂකයා කවුරුන් ද? යන්න සිය නිල නිවසේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික දේශපාලන පක්ෂවල පක්ෂ නායක රැස්වීමක දී, රාජපක්ෂ මහතා ඔවුන් හමුවේ ප්‍රකාශ කරනු ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා වනු ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව දැන් සහතිකය.
හෘද සැත්කමකට මුහුණ දී සුවය ලැබීමෙන් පසුව ඔහු පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාව බලා පැමිණියේය. ඔහුව පිළිගැනීමට උත්සව සංවිධානය නොකෙරන බවට තරයේ වගබලා ගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උත්සුක විය. ඇතැමුන් යෝජනා කළේ විචිත්‍ර උත්සවයකින් ගෝඨාභයව පිළිගෙන ඔහු කැටුව කොළඹ පැමිණි හැකි බවය. නමුත් එයට අවසරයක් නොලැබිණ. ගෝඨාභයගේ අපේක්ෂකත්වය නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත්කර නොතිබීම එයට හේතුව විය.
ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ගෝඨාභයව පිළිගැනීම සදහා මහා පරිමානයෙන් උත්සව සහ වැඩසටහන් සංවිධානය කිරීමේ කටයුතු දැනටමත් ක්‍රියාත්මකය. අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඔහු කැළණිය රජමහා විහාරයේ පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගීවීමට නියමිතය. අනතුරුව රිය පෙළපාලියකින් අනුරාධපුරය බලා යනු ඇති ඔහු එහිදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිය ගෞරවය පුද කරනු ඇත. පසු දිනය වෙන්කර තිබෙන්නේ ගෝඨාභය එම රථ පෙළපාලියෙන්ම මහනුවරට පැමිණ, දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සහ අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීම සදහාය. එයින් පසු ඔහු රැගත් රථ පෙළපාලිය හම්බන්තොට සහ කතරගම බලා පිටත් වනු ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යෝජිත ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වීම, එම පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට යන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවට එක්සත් ජාතික පෙරමුණේ ඉහළම තලයන්ගේ පමණක් නොව ජනපතිවරයාගේ සමීපයන් අතර ඇතිව තිබූ කසුකුසුවට නැවතීමේ තිත තැබුවේය.
ඇමරිකා - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය, ජනපතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් කල්තියාම ඉවත් කරගෙන සිටි බවට අදහස් පළව තිබිණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට යන්නේ හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය බවද ඒ අතරවාරයේම ඇතැම්හු කීහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා යම් අසීරු තත්ත්වයකට මුහුණ දුන්නේය. ඒ, ඉදිරියේ එන ජනපතිවරණය ඉලක්ක කරගෙන සූදානම් විය යුතුව තිබෙන ආකාරය ගැන පක්ෂයේ සාමාජිකයන් අමතමින් පැයකට ආසන්න කාලයක් කළ දේශනයක් අවසානයේය.
දේශනය අවසානයේ සභාවේ සිටි අයෙක් නැගී සිටියේය.
තමා දේශනය හොදින් අසා සිටි බවත්, එකම අවස්ථාවක හෝ ගෝඨාභයගේ නම පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සදහන් නොකෙරුණු බවත් පැවසූ ඔහු එසේ කළේ ගෝඨාභය ගැන මනාපයක් බැසිල්ට නොමැති නිසාදැයි විමසා සිටියේය.
“එහෙම කිසි දෙයක් නැහැ....නිල වශයෙන් මම තවම දන්නේ නැහැ කවුද අපේක්ෂකයා කියලා....එයා ගෝඨාභය නම් මම මහින්ද අයියට වඩා හයියෙන් වැඩ කරනවා” බැසිල් පිළිතුරු දුන්නේ ය.
බැසිල් හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද හමුවක් පැවැත්විණ. වැඩිමහල් රාජපක්ෂ සොයුරු චමල් රාජපක්ෂගෙන් ද පසුගිය සතියේ මාධ්‍යවේදීන් පක්ෂයේ ජනපති අපේක්ෂකයා කවුරුන්දැයි විමසා සිටියද, ඔවුන්ට ලැබුණේ සුපුරුදු පිළිතුරමය.
“හරි වෙලාවට කියන්නම්” චමල් කීවේ ය.
රථපෙළපාලියේ සංවිධායකයන්ගේ අවධානයට යොමුව තිබෙන කාරණයක් වන්නේ එය නිසා සාමාන්‍ය ජනතාවට සිදුවිය හැකි අපහසුතාවයන්ය. මේ නිසාවෙන්ම රථපෙළපාලිය දිවෙන මාර්ගය දෙපස සිටින පදිංචිකරුවන් හා ඔවුනොවුන්ගේ ප්‍රදේශවල පොලිස් ස්ථාන දැනුම්වත් කර ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසට පක්ෂ සාමාජිකයන්ට දැනුම් දී තිබේ. සිය මැතිවරණ ව්‍යාපාරයට බැනර හෝ පොලිතින් යෙදා නොගන්නා ලෙසට ගෝඨාභය මහතා අවධාරණය කර තිබෙන බව ද සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය.
ගෝඨාභය මහතාගේ ජනපති අපේක්ෂකත්වය අරබයා නැවත නැවතත් මතු කැරෙන තවත් ගැටලුවක් වන්නේ ඔහුගේ ඇමරිකා පුරවැසිභාවය අහෝසි කිරීමේ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වයයි.
නාම යෝජනා භාරදීමට ප්‍රථම ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වනු ඇති බවට ඇතැමුන් විශ්වාස කරන අතර, ඇතැමෙක් පෙන්වා දෙන්නේ ජනපතිවරණ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා නීතිය යටතේ එවැනි අවශ්‍යතාවයක් නොමැති බවයි. මෙම ක්‍රියාවලිය පිළිබදව දැනුම්වත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආරංචි මාර්ගයක් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වමින් කියා සිටියේ තමන් තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවන බවට සහතික කිරීමට තරම් ලියකියැවිලි ගෝඨාභය සතුව දැනටමත් ඇති බවයි. ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙක් බව සහතික කිරීමට ප්‍රමාණවත් සාක්කි ගෝඨාභය සතු බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවේ ය.
