සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට වෙහෙසෙමින් සිටින්නේ දිනෙන් දිනම අපේක්ෂාභංගත්වයට පත්වෙමිනි.
ඔහු සිංගප්පූරුවට පැමිණියේ ජූලි මස 14 වැනිදාය. ඒ, සති 2ක කාලසීමාවකට සිංගප්පූරු රජය ඔහුට ලබාදුන් සංචාරක වීසා බලපත්‍රයක් යටතේය.
සිංගප්පූරුවට පැමිණෙන ඕනෑම සංචාරකයෙකුට මෙම බලපත්‍රය ලබාදේ. ගෝඨාභය සිංගප්පූරුවට පැමිණියේ, වසර 5ක ජනපතිධූරයෙන් මාස 31ක් සහ දවස් 27ක් ගෙවීමෙන් පසු, සිය ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට පැය කිහිපයකට පෙරය. අනතුරුව ඔහුගේ ඉල්ලීම ප්‍රකාරව වීසා බලපත්‍රයේ වලංගු කාලය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට සිංගප්පූරු බලධරයෝ පියවර ගත්හ.
දැන් නික්ම යෑමට කාලය පැමිණ ඇත. බලපත්‍ර කාලය දීර්ඝ කිරීමට නැවත කෙරුණු ඉල්ලීම් ද, ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.
ගෙවුණු සතියේ මෙම තීරුවෙන් අනාවරණය කළ ආකාරයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ සෞදි අරාබියේ රැකවරණය ලබාගැනීමට ගත් සියලුම උත්සාහයන් ව්‍යර්ථ වූ පසුබිමක, හිටපු ජනපතිවරයා වැඩකටයුතු රැසකට අතගසා ඇත. ඒ සියල්ලේ පරමාර්ථය, ඊළගට කළ යුත්තේ කුමක්දැයි නිශ්චිත සැළසුමක් සකස් කරගැනීමය. හිටපු ජනපතිවරයා සමග ඔහුගේ බිරිඳ අනෝමා, ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටින බි්‍රගේඩියර්වරු දෙදෙනෙක් සහ හිටපු ජනපති ආර්යාවගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටින ශරීරාරක්ෂකයින් දෙදෙනෙක් වෙති.
හිටපු ජනපති රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ සිටින සිය සමීපතම පවුලේ සාමාජිකයන් සමග නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යමින් සිටින අතර, රැකවරණය ලබාදීම සඳහා රටක් සොයාගන්නා තෙක් කෙටි විරාමයක් ලැබීමට ඔහු තෝරාගත්තේ තායිලන්තයයි.
තායිලන්තයේ රැඳී සිටින කාලය අතරතුර, තමන් මේ දක්වා ගෙන ඇති පියවරවලින් ප්‍රතිඵල ලැබෙණු ඇතැයි යන්න ඔහුගේ අපේක්ෂාවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ගෝඨාභයගේ පවුලේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කළ නමුත්, ඔවුන් සියලුදෙනාම අවධාරණය කළ එක් කාරණයක් වූයේ හිටපු ජනපතිවරයා ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය සැළකිලිමත් බවය. ඔහු සිය සියලුම ආකාරයේ ගමන් බිමන් හැකිතාක් සීමා කිරීමට පියවර ගෙන ඇත.
ගෝඨාභය මහතාට, තායිලන්තය බලා යෑමට ගමන් මාර්ගය පිරිසිදු කරදීමේ කාර්යය පැවරුණේ හිටපු ජනපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර මහතාටය. ගෝඨාභය රාජපක්ෂගේ එදිනෙදා කටයුතු නිසි අයුරින් කළමණාකරනය කෙරෙන බව සහතික කිරීමත් මෙම කටයුතුවලට අයත් විය.
වීසා අර්බුදය
බණ්ඩාර, ජනපති ලේකම් සමන් ඒකනායක මහතා අමතා වීසා බලපත් නිකුත් කිරීමට අවැසි සහාය ඉල්ලා සිටියේය. හිටපු ජනපතිවරයා සහ ඔහුගේ ආර්යාව සතුව තවමත් වලංගු රාජ්‍යතාන්ත්‍රික ගමන බලපත් තිබෙන අතර, ඔවුන් සමග යන ආරක්ෂක සාමාජිකයන් සිව් දෙනාට ද, නිල වශයෙන් නිකුත් කැරුණු ගමන් බලපත් සතුය. එහෙයින්, තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණ ඉන් අනතුරුව එරට රැඳී සිටීමට වීසා ලබාගැනීමේ අවසරය (ගමනාන්තය කරා අවතීර්ණ වීමෙන් පසුව දෙනු ලබන වීසා) මේ සියලුදෙනාටම හිමිව තිබිණ.
කෙසේවුවත්, ශ්‍රී ලංකා පුරවැසියන් සම්බන්ධයෙන් තායිලන්ත රජය අනුගමනය කරන නීති ප්‍රකාරව, එරටට පැමිණීමට පෙරම වීසා ලබාගෙන තිබිය යුතුය. එය එරට වීසා ක්‍රමය අවභාවිතා කිරීම වළක්වණු වස් තායි බලධරයින් ගෙන තිබෙන පියවරකි. තායිලන්තයට යාමට නම්, වීසා බලපත්‍රයක් ලබාදීමට පෙර වලංගු ගුවන් ටිකට්පතක් තිබීම සහ ආදායම් සම්බන්ධ විස්තර ලබාදීම ඔවුන් දැන් අනිවාර්යය කර ඇත.
ජනපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පළමු කාර්යය වූයේ මේ සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබාගැනීමය. හිටපු ජනපති ගෝඨාභය මහතා ළඟකදී ශ්‍රී ලංකාවට පැමිණීම නුසුදුසු යැයි ජනපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ ඊට දින කිහිපයකට පෙරය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බුද්ධි යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මකව පවතී. ඒවායින්ද දැනුවත් කරනු ලැබුවේ හිටපු ජනපතිවරයා තවමත් ඉහළ මට්ටමේ ඉලක්කයක් බවය. එහෙයින්, අනතුරකට නිරාවරණය වීමේ සුළු හෝ ඉඩක් තිබෙන සියලුම කටයුතුවලින් ඔහු වැළකී සිටිය යුතු විය. ජනපතිවරයාගේ වුවමනාව වී තිබුණේ මිරිහානේ පිහිටි සිය නිවසට පැමිණ ආරක්ෂක අංශවල ආරක්ෂාව යටතේ ජීවත්වීම වුවත්, පවත්නා තත්ත්වය යටතේ එයට අනුමැතියක් නොලැබිණ.
දේශපාලනමය වශයෙන් ගත්විට, ජනපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ආධාරකරුවන් ගෝඨාභයගේ නැවත ආගමනයකට බිය වූ අතර ආර්ථිකය නැවත හරි අතට ගැනීමට ජනපතිවරයා ගනිමින් සිටින පියවරයන් එවැන්නක් සිදුවුවහොත් ගඟට කැපූ ඉණි මෙන් වනු ඇතැයි ඔවුන්ගේ අදහස විය. හිටපු ජනපතිවරයා ඔහුගේ පවුලේ සාමාජිකයන් හා එක්ව සක්‍රීය දේශපාලනයට නැවත පිවිස යළි නැගිටීමකට අර ඇඳීමට තිබෙණ ඉඩකඩ ඔවුහු මතු කළහ. එවැනි අවස්ථාවලට උදාහරණයත් එමටය.
ජනපතිවරයාගෙන් ලැබුණු අනුමැතිය ප්‍රකාරව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ඉටු කිරීමට අවැසි පියවර ගැනීමට ජනපති ලේකම් සමන් ඒකනායක මැදිහත් විය.
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී චමින්දා කොළොන්නේ හා සම්බන්ධ වූ ඔහු, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වීසා බලපත්‍රයක් ලබාගැනීමට අවැසිව ඇතැයි සම්බන්ධයෙන් එරට බලධාරීන් දැනුවත් කරන ලෙසට උපදෙස් දුන්නේය. එම උපදෙස් අනුව ඇය තායිලන්තයේ ප්‍රොටෝකෝල සම්බන්ධ ප්‍රධානී බවකට් තන්ක්සුල් හා සම්බන්ධ වූවාය.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපතිනී ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සමග ද, සම්බන්ධ වූ ඒකනායක මහතා ඇයටත් උපදෙස් දුන්නේය. ඔහු එසේ කළේ තායිලන්තය බලා යෑමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වීසා ලබා ගැනීමට යන්නේ ශ්‍රී ලංකා රජයේ අනුදැනුම සහ සහාය යටතේ බවට දෙරටම දැනුවත් කිරීමේ අදහස ඇතිවය.
සිංගප්පූරුවේ තායිලන්ත තානාපති කාර්යාලයත් මේ පිළිබඳව දැනුවත් කරන ලෙසට ප්‍රේමවර්ධන මහත්මියට උපදෙස් ලැබිණ.
තායි විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම කාරණය ජනපති ජෙනරල් ප්‍රයුට් චැන්-ඕ-චාගේ අවධානයට යොමු කිරීමත් සමග ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයාට තායිලන්ත වීසා ලබාගැනීම තායි රජයේ ඉහළම පුටුවල අවධානයට ලක්විය. කෙසේහෝ ඉල්ලීමට තායි රජයේ අනුමැතිය හිමිවූ අතර, එය හිටපු ජනපතිවරයාට දන්වන්නැයි සුගීෂ්වර බණ්ඩාරට දැනුම්දෙනු ලැබිණ.
කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනම ගමනාගමන පහසුකම් හෝ නවාතැන් පහසුකම් සැපයීමක් සිදුනොවන බවත්, පෞද්ගලික ආරක්ෂාවක් ලබාගැනීමට කෙරෙන ඉල්ලීමක් මුදල් ගෙවා සපුරාගත යුතු බවත් තායිලන්ත රජය වැඩිදුරටත් දැනුම්දුන් බව මෙම කටයුතු පිළිබඳව දැනුවත් ආරංචි මාර්ගයක් සඳහන් කළේය.
හිටපු ජනපතිවරයාට වීසා බලපත්‍රයක් ප්‍රදානය කර ඇතැයි මුලින්ම නිල වශයෙන් නිවේදනය කළේ තායි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක තානී සැන්ග්‍රට්ය. ඔහු මෙසේ කීවේය.
“හිටපු ජනපතිවරයාට තායිලන්තයට පිවිසීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක් ශ්‍රී ලංකා රජයෙන් තායි රජයට ලැබුණා. එය අප සැළකිල්ලට ගත්තේ දෙරට අතර ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවතින ඉතාම සමීප සහ සුහද සම්බන්ධතාවය මත සිටයි”
“ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක් ලෙස, හිටපු ජනපතිවරයාට, වීසා බලපත්‍රයක් නොමැතිව දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටිය හැකියි. එම අවසරය හිමිවන්නේ තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර 2013 වසරේ දී, ඇතිකර ගැනුණු වීසා ගිවිසුම අනුවයි. මෙසේ රැඳී සිටීම සිදුවන්නේ තාවකාලිකවයි. ඉදිරියේ වෙනත් සංචාරයක නියැළීමේ අදහස ඇතිවයි. දේශපාලන රැකවරණය ලබාගැනීමට ඉල්ලීමක් ඉදිරිපත්ව නැහැ.” යයි තානී සැන්ග්‍රට් කීවේය.
එසේ වූවත්, ශ්‍රී ලංකාවේ මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ප්‍රතිරූපය ලෝක මාධ්‍ය ඉදිරියේ දෙවැනි තැනට පත්කැරුණු ආකාරයේ ප්‍රකාශයක් තායි අගමැති ජෙනරල් චෑන්-ඕ-චා පසුව සිදුකළේ ය. බැංකොක්හි වාර්තාකරුවන් සමග අදහස් දැක්වූ ඔහු,
“මේක මානවවාදී කටයුත්තක්. රැඳී සිටින්නේ තාවකාලිකව බවට අපි පොරොන්දුවක් ලබාගෙන තිබෙනවා. කිසිම දේශපාලන කටයුත්තකට අවසරයක් නැහැ. එසේ සිටීම, රැකවරණය ලබාදෙන්නට කැමති රටක් සොයාගන්නට ඔහුට උදව්වක් වේවි”
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තායි විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුදවිනයි, හිටපු ජනපතිවරයාට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි නිසා දින 90ක කාලයක් ඔහුට තායිලන්තයේ රැඳී සිටිය හැකි බව පැවසුවේය. හිටපු ජනපතිවරයාගේ තායිලන්ත සංචාරය සම්බන්ධව ශ්‍රී ලංකා රජයෙන් විරෝධයක් එල්ලවී නොමැති බවත්, ඔහු වෙනුවෙන් නවාතැන් සැපයීමක් හෝ වෙනත් අදාළ කටයුතු පිළියෙල කිරීමක් හෝ තායිලන්ත රජයෙන් නොකරන බවත්, ඔහු වැඩිදුරටත් කීවේය.
ගෝඨාභය රාජපක්ෂ බලයේ සිටි සමයේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ඔහු යටතේ සේවය කර තිබෙණ නිසාම, ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයාගේ තායිලන්ත සංචාරය මුල්කරගෙන දෙරට අතර ගැටලුවක් ඇතිවීමට ඉඩක් නොමැති බව ද තායි විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය. තායිලන්තයේ රැඳී සිටින සමයේ ගැටලුවක් ඇතිවන ආකාරයේ කිසිඳු කටයුත්තක් නිරත නොවන්නේය යන්න, හිටපු ජනතිවරයාට තායිලන්තයේ රැඳී සිටීමට අවසරය ලබාදීමට ප්‍රථම ඉදිරිපත් කළ එක් කොන්දේසියක් යැයි ඔහු අනාවරණය කළේය.
තායි අගමැතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා කර තිබෙණ මෙම ප්‍රකාශයන්ගෙන් පවත්නා තත්ත්වය ගැන යම් අවබෝධයක් ලබාගත හැකිය. එහිලා වඩාත්ම වැදගත් වන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට, තායිලන්තයේ සිටින්නේ නම් කිසිඳු දේශපාලනමය කටයුත්තක නිරත විය නොහැකි බවට, ඔවුන් පනවා තිබෙණ කොන්දේසියයි.
ලොව බොහෝ රටවල් කළාක් මෙන්, තායිලන්තය ද, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ වූ පෙරැළිය, විශේෂයෙන්ම, මාස 3කට අධික කාලයක් පුරා පැවැති විරෝධතාවයන් හමුවේ රටේ ජනපතිවරයාට සිය තනතුර අතහැර රටින් පළායෑමට තරමට වූ පෙරැළිය ගැන අවධානයෙන් සිටි රටකි. එමෙන්ම, හිටපු ජනපතිවරයාගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව ආර්ථිකමය අතින් දරුණු කඩා වැටීමකට ලක්වූ බව ද, ඔවුන් දනී. එහෙයින්, තායිලන්තයේ සිටින්නේ නම් කිසිඳු දේශපාලන කටයුත්තක නිරතවීමට ඉඩ නැතැයි කොන්දේසියක් පැනවීම, තායි පොළවේ සිට ශ්‍රී ලංකාවේ සිටින ඔහුට හිතැති පුද්ගලයින් හා සම්බන්ධ වෙමින් සිය දේශපාලනය බලය ගොඩනගා ගැනීමට කිසිඳු අවස්ථාවක් නොමැතිය යන්න හිටපු ජනපතිවරයාට උපක්‍රමිකව ඒත්තු ගැන්වීමක්වත් ද?
ස්වෛරීභාවය සම්බන්ධයෙන් වගකීමක් ලබාදෙමින්, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වීසා ලබාදීමට ශ්‍රී ලංකා රජයම මැදිහත්ව ඇතත්, මෙම කාරණයේ දී තායිලන්ත රජය අනුගමනය කරන පැහැදිලි නිර්පාක්ෂික ස්ථාවරය කැපී පෙනේ. වෙනසක් ඇත්තේ එය තායි අගමැතිවරයා හඳුන්වාදුන් ආකාරයේ පමණකි.
ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයාට තායිලන්තයට පිවිසීමට අවසරය දීම ඔහු හඳුන්වාදුන්නේ මානවවාදී උපකාරයක් ලෙසය. එසේ කීම ම, එසේ වීම ම, වරක් ශ්‍රී ලංකාවේ බලවත්ම පුද්ගලයා වූත්, බොහෝ අවස්ථාවල ආරක්ෂක අංශවල බලය ස්වකීය අභිමතය පරිදි මෙහෙයවනු ලැබුවා වූත්, පුද්ගලයාට කෙතරම් නින්දාවක් ද?
අනෙක් අතට, තමන්ගේ ජනපතිවරයෙක් ආරක්ෂා කරගැනීමට අසල්වැසි මිත්‍ර රටක සරණ යන්නට ශ්‍රී ලංකාවට සිදුවීම, රටේ ප්‍රතිරූපයට කරන යහපතක් නැත. එය තවත් ආකාරයකට කියතොත්, කුමන හෝ හේතුවක් නිසා, රටේ හිටපු ජනපතිවරයෙක් බලාකියා ගැනීමට තමන්ට නොහැකි බවට ලෝකය ඉදිරියේම පිළිගැනීමකට සමානය.
ධම්මික යළි කැබිනට්ටුවට?
එය සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසුවය.
හිටපු ජනපතිවරයාගේ අගසව්වන් කිහිපදෙනෙක් ඔහුගේ පත්වීමට එරෙහිව අදහස් දැක්වූ අතර, ඔවුන් අතරින් කැපී පෙනුණු අයෙක් වූයේ හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වූ ධම්මික පෙරේරා මහතාය. මුදල් අමාත්‍යවරයා ද වූ අගමැති වික්‍රමසිංහ, එම අමාත්‍යධූරයෙන් ඉවත් විය යුතුව තිබෙණ බව ඔහු ප්‍රසිද්ධියේ කීවේය. නමුත් අවසානයේ ඇමති පුටුවෙන් ඉවත් කෙරුණේ පෙරේරාවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ද ඉවත්වීමට අදහස් කරගෙන සිටියත්, පක්ෂයේ බලකිරීම මත ඔහු එය කළේ නැත. දැන් පළවන වාර්තාවලට අනුව, ජනපතිවරයා සමග ආරවුල විසඳාගෙන සිටින ධම්මික පරේරා නැවත කැබිනට් මණ්ඩලයට පැමිණෙන ලකුණු පෙනෙන්නට ගෙන තිබේ. මෙම සමස්ත ව්‍යායාමය පසුපස සිටින්නේ හිටපු මුදල් අමාත්‍යවරයෙක් ද වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතාය.
වික්‍රමසිංහ ජනපතිධූරය දක්වා පැමිණීම ගාලුමුවදොර පිටියේ සහ දිවයිනේ අනෙක් ප්‍රදේශවල සිදුවූ ජනතා අරගලවල සෘජු ප්‍රතිඵලයකි. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂව ජනපති පුටුවෙන් ඉවතට තල්ලු කැරුණේ ඒවායේ බලපෑමෙන්ය. නමුත්, අරගලකරුවන් නීතිය උල්ලංඝණය කර ඇතැයි කියමින් ඔවුන්ව මර්දනය කිරීමේ පිළිවෙතක් නව ජනපතිවරයා අනුගමනය කරමින් සිටී.
මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් පවතින අතර, ඒ හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවලින් නැවත නැවතත් නැගෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා අලුත්ව ඇත. අවධානය වහාම යොමුකළ යුතුව තිබෙණ ප්‍රවණතාවක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙමින් ඇතැයි නව ජනපතිවරයාව දැනුවත් කිරීමට යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ගෙවුණු සතියේ ඔහු හමුවිය.
ජීඑස්පී බදු සහන ක්‍රමයේ අනාගතය, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග පැවැත්වෙමින් තිබෙණ සාකච්ඡා සහ එළඹෙන මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය යන කාරණා සම්බන්ධයෙන් ඔවුහු අවධානය යොමු කළහ.
මානව හිමිකම් කවුන්සිලය රහසේ වැඩ
ගෙවුණු සතියේ මෙම තීරුවෙන් අනාවරණය කළ ආකාරයට ජගත් මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන තොරතුරු පිරික්සීමේ කණ්ඩායමක්, පුරා සතියක මෙහෙයුමක් දියත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා (18 වැනිදා) දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අතරම, එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රධාන කණ්ඩායමේ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව වඩා දැඩි ස්වරූපයක යෝජනාවලියක් ගෙන ඒමටත් සැළසුම් කරමින් සිටින බව ද සැළය. මෙම යෝජනාවලියේ පදනම වන්නේ මෑත සමයේ සිදුවූ විරෝධතා ව්‍යාපාරයන්ට සහ අනෙක් කාරණාවලට අදාළව ආරක්ෂක අංශයේ සහ පොලිසියේ හැසිරුණු ආකාරයන්ය.
අනෙක් අතට, අරගලකරුවන් මර්දනය කිරීමෙන් ජනපති වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ සහාය දිනාගැනීමට හැකිවිය. මෙම සියලුදෙනාම, ඔවුන්ගේ නිවාස සම්පූර්ණයෙන්ම ගිණිබත්ව විනාශවූවෝ හෝ දැඩිව අලාභහානි ලැබූවෝ වෙති.
විනාශවුණු දේපළ නැවත ගොඩනැගීමට අවැසි වන්දි ලබාදෙන බවට වික්‍රමසිංහ මහතා ඔවුන්ට පොරොන්දු වී තිබේ. මෙසේ විනාශවුණු දේපළ අතරට කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ නිවසද අයත්ය. වටිනා පොතපත මෙන්ම කෞතුක භාණ්ඩ ද තිබුණු මෙම නිවස නිරීක්ෂණය කළ ගොඩනැගිලි නිර්මාණකරුවන් සහ ඉන්ජිනේරුවන් පවසා තිබෙන්නේ එය පිළිසකර කළ නොහැකි බවත්, අලුතින් ගොඩනැගිය යුතු බවත්ය. එයට මුදල් වියදම් කළ යුත්තේ ඔහුමය.
මීට දින කිහිපයකට පෙර එක්තරා දිනයක රාත්‍රියේ ජනපති වික්‍රමසිංහ මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට දීර්ඝ ප්‍රකාශයක් ද කළේය.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කොවිද ගුණසේකර
ඡායාරූපය - ගයාන් අමරසේකර