රනිල් රජ කළ රාජපක්‍ෂ මෙහෙයුම


රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්ලිමේන්තු වරම් දිනාගත්තේ 1977 වසරේ ජූලි මස 21 වැනිදා පැවති මහ මැතිවරණයෙන්ය.

ශ්‍රී ලංකා පුරවැසියෝ සහ ලෝක වාසීහු, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සභාගර්භයේ සිට ඔහු රටේ ජනපතිධූරය උසස් වනු බලා සිටියහ. එය, පැය ගණනක්ට සීමා වූ ඡන්ද විමසුමක ප්‍රතිඵලයක් විය.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, එවක අගමැතිවරයාව කටයුතු කළ වික්‍රමසිංහ මහතාව තමන් රටේ නොමැති අවස්ථාවේ වැඩ බලන ජනපතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කළ තැන සිට, දිවයිනේ ඉහළම පුටුව දක්වා ඔහු පැමිණියේ ව්‍යවස්ථාවෙන් සළසා දී තිබෙන සම්පාදනයන් ප්‍රකාරවය. මෙය, කොහෙත්ම, කිසිවෙක්වත් අපේක්ෂා නොකළ දෙයකි.
 
2020 අගෝස්තු මස 5 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් වික්‍රමසිංහ මහතා නියෝජනය කළ, රටේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට එකම හෝ ආසනයක් දිනාගත නොහැකි විය. නමුත්, එම මැතිවරණයේ දී, පක්ෂයට හිමිවූ ඡන්ද 249,435 ප්‍රකාරව, 2020 අගෝස්තු මස 7 වැනිදා වන විට එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු අසුනක් වෙන්කර දීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එම අසුනේ දිව්රුම් දුන්නේ එයින් ද, මාස 10කට පසුව, එනම් 2021 ජූනි මස 23 වැනිදාය.

එතැන් සිට වසරක් සහ දින 27ක් ගෙවී තිබෙන තැන, පාර්ලිමේන්තුවේ අනෙක් දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 134 දෙනෙක්, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධූර කාලයට- එනම් ඉදිරි වසර 2 සහ මාස 4ක කාලයට, රටේ ජනපතිවරයා ලෙස කටයුතු කිරීම සඳහා වික්‍රමසිංහ මහතාව තෝරා ගත්හ. හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පළාගොස් දැනට සිංගප්පූරුවේ රැඳී සිටින බව කියැවේ.

මෙම ඡන්දය පැවැත්වූයේ රහසිගත ඡන්දයක් ලෙසිනි.

සිංගප්පූරුවේ සිටින හිටපු ජනපති ගෝඨාභය මහතා, එහි සිට මෙරට සිටින සිය හිතවතුන් අමතමින් සුවදුක් විචාරමින් සිටී. රාජපක්‍ෂ මහතාගෙන් ඇමතුමක් ලැබී, ඔහු හා අදහස් හුවමාරු කරගත් අයෙක්, නැවත දිවයිනට පැමිණෙන්නැයි ද, දැන් රටේ තත්ත්වය ආරක්ෂිත යැයි ද, ඔහුට උපදෙස් දී ඇත. තවද, තනතුරින් නික්ම යන ජනපතිවරයෙක්ට නිවසක් හිමි වන්නේය යන්නත්, එහි, ප්‍රමාණවත් තරම් ආරක්ෂාවක් සහිතව, ඔහුට ජීවත් විය හැකිය යන්නත්, මෙම පුද්ගලයා හිටපු ජනපතිවරයාට කියා ඇත.

වික්‍රමසිංහ මහතාගේ ළගම තරගකරුවා වූ ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82ක් හිමිවූ අතර, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග කළ අනුර කුමාර දිසානායක මහතාට හිමිවූයේ එම පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි ආසන ගණනට සරිලන පරිදි ඡන්ද 3ක් පමණි.

ඡන්ද 4ක් අවලංගු ගණයට වැටෙන්නේ යැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා නිවේදනය කළ අතර නොපැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිටින්නේ යැයි ද, ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඡන්ද 52ක බහුතරයකින් වික්‍රමසිංහ මහතා රටේ ජනපතිවරයා ලෙස පත්වීම බොහෝ දෙනෙක් මවිතයට පත්කළ සිදුවීමක් විය.

වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ පවා බොහෝ දෙනෙක් සිතාගෙන සිටියේ දාදු කැටය පෙරළෙනු ඇත්තේ ඔහුට එරෙහි අතට බවය. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැඩිවම පෙනී සිටියහ. මේ දෙදෙනාම හිටපු ප්‍රබල අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ අර්බුදයකට මුල පිරූ, එම අර්බුදයත් සමග සන්ධානයෙන් කැඩී වෙන්ව ගිය දේශපාලන පිළට අයත් දෙදෙනෙකි.

විමල් සහ ගම්මන්පිළ දෙදෙනට බොහෝ දෙනෙකුගේ සහයෝගය ලැබුණත්, අවසන ඔවුන්ට හිමිවූයේ පරාජයයි. සම්පත් පවා තිබුනේ වික්‍රමසිංහ මහතාට අවාසි පැත්තටය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා තම ආධාරකරුවන් කිහිපදෙනෙක් සමග රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිනාදෙන ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන යෑමට සමත් විය. දේශපාලනමය වශයෙන් පරාජයව සිටියත්, තම ව්‍යායාමය ඔහු කෙළවර කළේ ජයග්‍රහණයෙනි.

ජූලි මස 13 වැනිදා දිවයිනෙන් බැහැරව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා යාමට බැසිල් රාජපක්ෂ උත්සාහ කළේය. එහෙත් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේ ස්ථානගත කර සිටි ආගමන විගමන නිලධාරීන් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය නොපිළිගැනීම නිසා බැසිල්ගේ ඇමරිකානු ගමන ව්‍යර්ථ විය. නව ජනපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසුමට මැදිහත් වෙමින් ඔහු මුලින්ම කළේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේම වුවමනා එපාකම් තේරුම් ගැනීමය. ඔවුන් එකිනෙකාගේ තොරතුරු ඇතුළත් ලිපිගොනු ඔහු ඉදිරියේ විය.

“ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුනු සැළකීමක්. ඒ නිසාම ඒක වැඩ කළා” යයි එක් ආරංචි මාර්ගයක් අනාවරණය කළේය.

මේ අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් දුරකතනය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සම්බන්ධ වෙමින් සිටියේය. ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් පෞද්ගලිකවම හමුවී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව, නාමල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා, එය සමරමින් බදාදා රැයේ සාදයක්ද පැවැත්වූයේය.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට නව අගමැතිවරයා ලෙස දිව්රුම් දුන් අවස්ථාවට ද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී විය.

මේ අනුව අදටත් ආණ්ඩුකරණය සිදුවන්නේ රාජපක්ෂ නියමය අනුව බව පැහැදිලිය.  කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දුන් මන්ත්‍රීවරුන්ගෙන්, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන දෙදෙනා හැරෙන්නට අනෙක් සියලුදෙනාම පොදුජන පෙරමුණ ප්‍රමුඛ පාලක සන්ධානයේ සාමාජිකයෝය.

වඩා පුලුල් අන්තර්වාර රජයක් යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක්ම ඔවුන් එම තනතුරු දරමින් සිටින්නට ඉඩ තිබේ. එසේවුවත්, රාජපක්ෂවරුන්ට එවැනි රජයක් යනු බරපතල තර්ජනයක් ද නොවේ. පොදුජන පෙරමුණ ප්‍රමුඛ පාලක සන්ධානයේ දේශපාලනය අත්විඳි ප්‍රධානතම වෙනස වන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම සහ රනිල් වික්‍රමසිංහ නව ජනපතිවරයා ලෙස පත්කෙරුණු ඡන්ද විමසීම පමණි.

වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය හමුවේ රාජපක්ෂ පවුල ජයපැන් බීම සැළකිල්ලට ගත්විට පැහැදිලි වන තවත් වැදගත් කාරණයක් වන්නේ ඩලස් අලහප්පෙරුම මහතා ජනපතිවරයා ලෙස පත්වුවහොත් කුමකින් කුමක් සිදුවේදැයි ඔවුන්ට තිබූ බියයි.

රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක දී, අලහප්පෙරුම මහතාගේ නම රටේ නව අගමැතිවරයා ලෙස පත්කිරීමට යෝජනා කෙරුණු දිනයේ පටන් රාජපක්‍ෂවරුන් සහ ඩලස් අලහප්පෙරුම මහතා අතර සබඳතා ඉරි තැලී ගියේය. ඔහුගේ නම අග්‍රාමාත්‍ය ධූරය සඳමා යෝජනා කළේ රාජපක්ෂවරුන්ට එදිරි, ආණ්ඩු පක්ෂයේ සිටි කණ්ඩායමකි.

මේ පිරිස අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නැත. ඔවුන් පාර්ලිමේන්තුවේ අද අසුන්ගෙන සිටින්නේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙසය.

ජනපතිවරයා තෝරාගැනීම සඳහා වූ ඡන්ද ව්‍යාපාරයේ දී පවා, රාජපක්ෂ විරෝධී කණ්ඩායමේ සාමාජිකයන්ගේ සහාය හිමිවූයේ අලහප්පෙරුම මහතාටය. මෘදුව, සංයමයෙන් යුතුව, කතාකරන අලහප්පෙරුම මහතා, රනිල් වික්‍රමසිංහ මෙන් ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් නොවීය.

තරගය කෙතරම් උණුසුම් ස්වරූපයක් ගත්තේද කිවහොත් එක් අවස්ථාවක දී බැසිල් රාජපක්ෂ පවා කලබලයට පත්විය.

සිය හිතවතෙක් මෙන්ම අතකොලුවක් ද වන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඇමතූ හෙතෙම, රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියේය. එම නිවේදනය නිකුත් කළ වහාම වාගේ පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස් මහතාගෙන් හැරෙන තැපෑලෙන්ම කාරියවසම්ට ලිපියක් ලැබිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහට හිමිවන බවට නිවේදනය කිරීම සම්බන්ධයෙන් තමා පුදුමයට පත්වූ බව ඔහු එම ලිපියේ සඳහන් කර තිබූ අතර ප්‍රශ්න කිහිපයක් ද නගා තිබිණ. දැන් ජී.එල්.පීරිස් මහතාට පක්ෂයේ සභාපති පුටුවත් අහිමිවන්නට යන ලකුණු පෙනෙන්නට ගෙන ඇත.

කොටින්ම, ජනපති ගෝඨාභය රජපක්‍ෂ යටතේ පැවති කැබිනට් මණ්ඩලයේ ඔහු දරමින් සිටි විදේශ අමාත්‍ය තනතුර මෙවර ඔහුට නොලැබිණ. ඒ වෙනුවට නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුණේ, අධිකරණ සහ මුදල් අමාත්‍යධූර දරා අත්දැකීම් ඇති අලි සබ්රි මහතාවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් මෙහෙයවෙන්නේ බැසිල් රාජපක්ෂගේ හස්තය යටතේ බව මෙයින් හොඳින්ම පැහැදිලි වේ.

කුමක් සිදුව ඇතත්, බැසිල් රාජපක්ෂ සිය ස්ථාවරය වඩාත් ශක්තිමත් කරගැනීමට සමත්ව ඇත. එහි බලපෑම කෙතරම් ද යත්, පක්ෂයෙන් ඉවත්ව ගිය සහ වැට උඩ සිටි ඇතැමුන්, නැවතත් ඔහු වෙතට එන්නට පටන්ගෙන ඇත.


ආපස්සට පත්තු වුනු ප්‍රේමදාසගේ උපාය
වික්‍රමසිංහ මහතා ද සෑම දේශපාලන පක්ෂයකම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමගම වාගේ අදහස් හුවමාරු කරගත්තේය. පැවැත්වුනේ රහස් ඡන්දයක් බැවින් කවුරුන් කාට ඡන්දය භාවිතා කරන්නට ඇතිදැයි කිව නොහැකි වුවත්, වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවැත්වූ සංවාදයන්, විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවැත්වූ සංවාදයන්, නැවත සිතන්නට බොහෝ දේවල් ඉතිරි කර ඇත.

ඔවුන්ගෙන් ඇතැමෙක්, පක්ෂයේ මුල් පෙලේ සාමාජිකයෙක් ද ඇතුලුව, වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් විවෘතවම අදහස් දැක්වූයේය. මෙම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් අසතුටින් සිටි බව පැහැදිලිය. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ඩලස් අලහප්පෙරුම සමග ඇතිකරගත් එකඟතාවයකින් පසුව ජනපති අපේක්ෂක තරගයෙන් ඔහුගේ නම ඉවත් කරගැනීම හමුවේ ඔවුහු තවත් කෝපයට පත්වූහ. එසේ කිරීම ඔවුන් හඳුන්වාදුන්නේ දේශපාලන ඩීල් එකක් ලෙසය.

ඩලස් සමග ඇතිකරගත් එකගතාවයෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබූ ප්‍රේමදාස මහතා, දේශප්‍රේමීත්වය සහ ශ්‍රී ලංකා පුරවැසියන් කෙරේ සිය ආදරය හුවා දක්වමින්- සිය මාතෘ භූමියේ වුවමනාවන් සහ ශ්‍රී ලංකා වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් සුදුසු වේලාවේ දී, නියම තීරණය ගන්නා බව එහි සඳහන් කර තිබිණ.

මාතෘ භූමියේ වුවමනාවන් සහ සියලු ශ්‍රී ලංකා වැසියන්ව ඔහු ආරක්ෂා කරගත්තේ කෙසේ ද?
සරලවම කියතොත්, රටේ ප්‍රධාන විපක්ෂයේ නායකයා ලෙස ජනපති සටනට ඉදිරිපත් කර තිබූ සිය අපේක්ෂකත්වය ඉවත් කරගෙන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනයෙන් ඉදිරිපත් වූ ස්වාධීන අපේක්ෂකයෙක් වන ඩලස් අලහප්පෙරුමට සහයෝගය දක්වමින්, දෙවැනි තැනක් ගැනීමට එකගත්වය පළකරමින් එය කළ හැකිද ?

තවත් ආකාරයකට කියන්නේ නම්, ජනපති අපේක්ෂකයකු ලෙස තරගයට ඉදිරිපත්වීමට නියමිතව සිට, ජනපති අපේක්ෂකයෙක් ලෙස අනෙක් පසින් ඉදිරිපත්ව සිටි ඩලස් අලහප්පෙරුම යටතේ රටේ අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කළ විය හැක.

දේශපාලනමය වශයෙන් ඔහුගේ තර්කය, අඩුම තරමින් ඔහුගේ සමීපතම උපදේශකයින් ඔහුට පෙන්වාදෙන්නට ඇති තර්කය, එසේ පයක් පසුපසට ගැනීමෙන් වික්‍රමසිංහව පරාජයට පත්කරන්නට හැකිය යන්න බව පෙනෙන්නට ඇත. නමුත් ඔහු නොදැන සිටි කාරණය වූයේ ඔහු සහ ඩලස්ගේ ව්‍යායාමය පරාජය කරන්නට තවත් බොහෝ පියවර ඒ වන විටත් ගෙන තිබු බවය. නැතහොත් ඒ සඳහා අවහ්‍ය පියවර ගැනෙමින් තිබුනු බවය.

ප්‍රේමදාස මහතා බොහෝ සාකච්ඡා වට පවත්වන්නට යෙදුණ ද, තමන්ගේම පක්ෂයේ සාමාජිකයන් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරමින් සිටින බව හෝ ඔවුන් ඔහුට ඡන්දය දී තිබෙන බවත්, ඔහු දැන සිටියේ නැත.

ඡන්ද විමසීමෙන් පසුව, කලින් කී ලෙස මෙන් මාතෘ භූමියත්, ශ්‍රී ලංකා වැසියනුත් ගලවා ගන්නට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට තවදුරටත් නොහැකි වූ පසුබිමක අදහස් දක්වන්නට යෙදුණු ප්‍රේමදාස මහතා මෙසේ කීවේය.

“බිම් මට්ටමේ තත්ත්වය ඉතාම කණගාටුදායකයි. ජනතාවට ජීවත්වීම කියන එක අතිශය බරපතල දෙයක් බවට පත්ව තිබෙනවා..... ජීවත්වීමට ඔවුන්ට තිබෙන අයිතිය අපි ආරක්ෂා කළ යුතුයි”  යැයි කීවේය. නමුත් එය කළ හැක්කේ කෙසේද යන්න ඔහු පැහැදිලි කිරීමක් නොකළේය.

වික්‍රමසිංහ මහතා පවත්වන්නට යෙදුණු එක් රැස්වීමක් අනෙක්වාට වඩා වැදගත්ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70කට වඩා වැඩි පිරිසක් සමග පැවති එහි දී, ඔවුන් මුහුණදෙමින් සිටින බරපතල ගැටලු ගැන වැඩි වශයෙන් සාකච්ඡා කෙරිණ.

විරෝධතාකරුවන් සහ වෙනත් කණ්ඩායම් එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් විනාශව ගිය සිය දේපළ සහ වෙනත් සම්පත්වලට වන්දි ලබා ගැනීම ඔවුන් මතුකළ ප්‍රධාන ගැටලුවක් විය.

එයට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා සහ රජයේ දෙපාර්තමේන්තු නිලධාරියෙක් මේ වන විට එම අලාභයන් තක්සේරු කරමින් සිටින බව පෙන්වා දුන්නේය. ඔවුන්ගේ නිර්දේශයන් ලැබුණු පසුව, අදාළ පරිදි වන්දි ගෙවීම් සිදුවන්නේය යන්න තමා සහතික කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසුවේය. එසේ වන්දි ගෙවීම් කළ යුතුව ඇත්තේ සිය වත්කම් සහ බැරකම් (දැන් විනාශව ගොස් ඇති) ප්‍රකාශයට පත්කළ මන්ත්‍රීවරුන්ට පමණක් බවට ආණ්ඩුවේ පාර්ශවයෙන්ම හඩක් නැගෙමින් ඇත.

සාකච්ඡාවේ දී මතු කැරුණු තවත් කාරණයක් වූයේ ඔවුනොවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ තත්ත්වයයි. දැනට ඔවුන්ට ලබා දී තිබෙන ආරක්ෂක පිරිවරට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවල දී, යුද හමුදාවේ ආරක්ෂක රථ යොදවා ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත් පියවර ගන්නා බව ඒ වන විට ජනපති අපේක්ෂක තත්ත්වයේ සිටි වික්‍රමසිංහ මහතා කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයින් ගාලු මුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට රැඳී සිටි අරගලකරුවන්ට පහර දුන් මැයි මස 9 වැනිදා සිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින්නේ සිය පෞද්ගලික ආරක්ෂාව ගැන විමසිල්ලෙනි. තම තමන්ගේ නිවාසවලට ද, එල්ල වූ ප්‍රහාරයන් හමුවේ ඔවුන් ඇතැමෙක් රැය පහන් කරමින් සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටය. නව ජනපතිවරයෙක් තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම පවත්වන්නට දින කිහිපයකට පෙර වුවත්, මෙම තත්ත්වයේ වෙනසක් නොතිබිණ.

ජනපතිවරයෙක් තෝරාගැනීමේ ඡන්ද විමසීමට සහභාගීවිම සඳහා නියමිත වේලාවට පාර්ලිමේන්තුවේ පෙනී සිටීම වෙනුවෙන්, හෝටලයක නවාතැන් ගැනීමට මන්ත්‍රීවරුන් 40 දෙනෙකුට වැඩි පිරිසකට සිදුවිය. එසේ වුවත්, උසස්ම මට්ටමින් සේවය සපයන්නේ යැයි කියන කොළඹ තරු පහේ හෝටලයක් ඔවුන්ට නවාතැන් සැපයීම ප්‍රතික්ෂේප කළේය. එවැනි ඉහළ ගණනක මන්ත්‍රීවරුන් පිරිසකට නවාතැන් සැපයුවහොත්, එහි ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවීමේ තර්ජනයක් තමන්ට පවතින බව ඔව්හු දැනුම්දුන්හ. මේ අතර තවත් හෝටලයක් නවාතැන් ලබාදීමට එකඟත්වය පළකරමින්  පෙන්වා දෙන්නට යෙදුනේ හෝටලය පිහිටා ඇත්තේ විරෝධාකරුවන් විශාල කණ්ඩායම්වලින් රැස්ව සිටින ප්‍රදේශයක් ආසන්නයේ බවය.

මේ සියල්ල හමුවේ, ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමට නවාතැන් සැපයීම සඳහා තෝරාගන්නට සිදුවූයේ කිලෝමීටර 3 කට අඩු දුරකින් පිහිටා තිබූ කුඩා හෝටලයකි.

පාර්ලිමේන්තුවේ එක් අසුනක් පමණක් හිමි දේශපාලන පක්ෂයක් නියෝජනය කරන ලංකාවේ දකුණු පළාතෙන් එන දේශපාලකයෙක්ට අයත් කොළඹ පිහිටි නිවසක වූ සිදුවීමකට අවධානය යොමු කිරීම වටී.

සාකච්ඡාවකින් පසුව එම නිවසින් නික්ම යමින් සිටි නැගෙනහිර පළාතේ දේශපාලකයකුට, නිවසට පැමිණෙමින් සිටි උතුරු පළාතේ දේශපාලකයෙක් සම්මුඛ විය. දෙදෙන එකිනෙකාට සුභපතා ගත්තා පමණකි. අනතුරුව පසුව කියූ දේශපාලකයා, සිය සගයින් දෙදෙනෙක් ද, නිවසට ගෙන්වා ගත් අතර, ඔවුන් සමග සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ඇදිණ. අවසන් ප්‍රතිඵලය වූයේ උතුරේ දේශපාලන කණ්ඩායම දෙකඩ වීමයි.

ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දිය යුතුයැයි සිය නායකයා නියම කර තිබුණත්, සෑම අතින්ම පීඩනය එල්ල වෙමින් පැවතියත් එක් කණ්ඩායමක් ඒ සියල්ල මැද ඔවුන්ගේම තීරණයක් ගත්තේය.

ඡන්දය දක්වා දිවූ සිදුවීම් එකට කැටිකොට ගත් පැහැදිලි විස්තරයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා කළේය.

“ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව නියෝජනයක් වෙන්නේ නැහැ. ජනපතිවරයෙක් තොරාගැනීමේ ඡන්දයට පෙරාතුව ඇයි එහෙම ඡන්දයක් පවත්වන්නට අපට සිදුවුනේ ? ඇයි කටයුතු ගොඩක් අත-යටින් සිදුවුනේ ? යන්න අපි විමසා බැලිය යුතුයි” යයි චරිත හේරත් මහතා පැවසීය.

ඔහු සැබැවින්ම ඉඟි කළේ කටකතා සහ ඕපාදූපවලට සීමාව ඇති මුත් කිසිම අවස්ථාවක කිසිවෙක් ප්‍රසිද්ධියේ පිළිනොගන්නා, ඡන්දය සහ මුදල් අතර ඇති සම්බන්ධතාවය ගැනය.
ඡන්ද විමසීමෙන් පසුව අදහස් දැක්වූ ජාතික ජන බලවේගයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසුවේය.

“අද මේ ප්‍රතිඵලය ගැන මම කිසිම විදිහකින් පුදුමයට පත්වෙන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ සංයුතිය කොයි වගේද කියන එක මේ ප්‍රතිඵලයෙන් පැහැදිලි වෙනවා. නමුත්, පාර්ලිමේන්තුවේ අපි දකින මේ සංයුතිය සහ අංකවලින් බිම් මට්ටමේ යතාර්තය නිරූපණය වෙන්නේ නැහැ”

“කවුරුහරි හිතනවා නම් අද අපි මේ දැක්කේ ජනතාවගේ වුවමනාවල පිළිබිඹුවක්ය කියලා, එහෙනම් ඒ අය කරන්නේ තමන්වම රවටා ගැනීමක්. අපි අද දැක්කේ ජනතාවගේ සිතුම් පැතුම්වල විකෘතියක්. මේ සභාව සහ එළියේ ඉන්න ජනතාව අතර මහා පරතරයක් පවතිනවා. කෙසේවුවත්, මම මීට එහා දෙයක් මේ පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ” යයිද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“ඔබ බැලුවොත්, ඩලස් අලහල්පෙරුමට සහාය දක්වන්නට පොරොන්දු වුන සියලුම දේශපාලන පක්ෂ දිහා, ඔහුට පහසුවෙන්ම ඡන්ද 113කට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න පුලුවන් බව ඔබට පැහැදිලි වෙනවා. නමුත්, මේ ඡන්දය දීලා තියෙන සාමාජිකයන් ඔවුන්ගේ පක්ෂවල නියමයන්ට අනුව කටයුතු කර නොමැති බව මේ ප්‍රතිඵලයෙක් පැහැදිලි වෙනවා.

මේක ප්‍රතිපත්තිමය වශයෙන් සිදුවූ දෙයක් බව නම් මා විශ්වාස කරන්නේ නැහැ”
“තීරණාත්මක අවස්ථාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ව වෙන්දේසි කරගත් අවස්ථා අපි පාර්ලිමේන්තු ඉතිහාසයේ වුවමනා තරම් දැක තිබෙනවා. මේක එවැනි අවස්ථාවක්. අනෙක් අය එකඟ නොවෙන්නට පුලුවන්. නමුත් ඒක මගේ අදහස.... මේක වෙන තැනක කියන එකේ තේරුමක් නැහැ. මේ ඉන්න මුහුණුවලටම මට මේක කියන්න ඕනේ. මේක තමයි මේ පාර්ලිමේන්තුව අද වෙනකොට වැටී තිබෙන අශිෂ්ට තත්ත්වය” යයිද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ව්‍යවස්ථා සංශෝධන
මෙවැනි තත්ත්වයක, තමන් අගමැතිවරයා ලෙස සිටි කාලයේ පොරොන්දු වූ පරිද්දෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම හරහා පාර්ලිමේන්තුවේ බලය ඉහළ නැංවීමට නව ජනපතිවරයා කටයුතු කිරීමේ ඵලයක් තිබේ ද? දැන් අවධානය යොමුකළ යුතුව තිබෙන්නේ වංචනික සහ දූෂිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැහැනින් බැඳ තැබෙන බව සරි කරන, දැඩි පිළිවෙත් සහ පිරික්සුම් හඳුන්වාදීම නොවේද? තවද, මෙහි පිටතට නොපෙනෙන විෂම චක්‍රයක් ද, ඇත.
 
කඳුකරය නියෝජනය කරන ප්‍රකට දේශපාලකයෙක් වරක් ප්‍රසිද්ධියේ කියා සිටියේ 2020 මැතිවරණය සඳහා තමන්ට රුපියල් ලක්ෂ 1000ක මුදලක් වැය වූ බවත්, ඊළග මැතිවරණයට පෙර එම මුදල නැවත සොයාගත යුතුව ඇති බවත්ය.

ඒ අතර, දේපළ සහ තොග ගණනින් සුපිරි වාහන මිලයට ගත්තවුන් ද, සිටී. නමුත් මොවුන් කිසිවෙකුටවත් නීතිය ප්‍රකාරව දඩුවම් නියම වුණු බවක් පෙනෙන්නට නැත.

තවද, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය දැන් කුණු කූඩයට දැමීම හැර එය සම්බන්ධයෙන් තවත් කිරීමට තරම් දෙයක් ඉතිරි නොවනු ඇත. එය විජයදාස රාජපක්ෂ මහතාට නම් මහත් අස්වැසිල්ලක් වනු නිසැකය. ජනමත විචාරණයක් අවැසි නොවන සම්පාදනයන් පමණක් ඇතුළත් කර එම සංශෝධනය ඉදිරියට ගෙන ඒමට කළ උත්සාහයේ දී, එකී කාරණයට හේතු දක්වාම, ඔහුට තවත් කීමට තරම් දෙයක් ඉතිරිව නොතිබූ ගානය.

තමන් එසේ කළේ එවක ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයන්ට අනුව යැයි විජයදාස ඒ සෑම අවස්ථාවකම කියා සිටි අතර, අධිකරණ අමාත්‍යධූරය හිමිවීමට පෙර ඔහු ඉතාම දැඩිව ගෝඨාභය රාජපක්ෂව විවේචනය කිරීමේ යෙදුණු පුද්ගලයෙක් වේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත හඳුන්වාදීමේ කටයුතුවල ඔහුට අතිශයින් කාර්යබහුලවීමට සිදුවනු ඇති බව නම් කැට තබා කිව හැකිය.


මර්දනය තෙක් ආ ගමන
පුලුල් ආණ්ඩුවක් තැනීමේ කටයුතුවලට අවධානය යොමුකර තිබෙනවා සේම, රාජ්‍ය ආයතන අත්පත් කරගෙන සිටින විරෝධතාකරුවන් සම්බන්ධයෙන් ජනපති වික්‍රමසිංහ මහතා අනුගමනය කරමින් සිටින්නේ දැඩි පිළිවෙතකි.

රටේ නව ජනපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේ දී, දිව්රුම් දීමෙන් පසුව ඔහු ඉහළ පෙලේ ආරක්ෂක රැස්වීමකට සහභාගීවීම සඳහා අකුරේගොඩ පිහිටි ආරක්ෂක අංශයේ නව සංකීර්ණය බලා ගියේය. රජයේ ගොඩනැගිලි අත්පත් කරගෙන සිටින සහ පොදු ස්ථානවල රැඳී සිටින පුද්ගලයින් ඉවත් කිරීම සම්බන්ධව සවිස්තරාත්මක සංවාදයක් එහිදී සිදුවූ බව ආරක්ෂක ආරංචි මාර්ග අනාවරණය කළේය.

වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක අංශ, පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ කොමාන්ඩෝ සාමාජිකයන් අමතනු දැක්වෙන ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඊට පෙර අවස්ථාවක ජනපති මාධය අංශය කටයුතු කර තිබිණ. පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔහු ඔවුන්ට තුති පිදීය.

සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් පැය කිහිපයකට පසුව, අවිගත් හමුදා සාමාජිකයන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ කොමාන්ඩෝ භටයින්, වළල්ලක් සැදෙන ආකාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට භූමිය වටා සිට ගත්තේය. කැරලි මර්දන උපාංග සහ  බැටන් පොලු අතැතිව සිටි ඔවුහු, වළල්ල ඇතුළත සිටි සියලුමදෙනාට පාහේ ඉවක් බවක් නැතිව පහර දුන් අතර, ඔවුන්ගේ ප්‍රහාරයන්ට ගොඩනැගිලි අත්පත් කරගෙන සිටි පිරිස් පමණක් නොව අනෙක් අය ද, හසුවූහ.

යුක්රේනයට පමණක් දෙවැනි වන අන්තර්ජාතික මාධ්‍යවේදීන් පිරිසක් ආවරණය කරමින් සිටින ගාලුමුවදොර භූමියේ වූ මෙම සිදුවීම ඒ ක්ෂණයෙන් ලොව පුරා ප්‍රචලිත වූයේය. විරෝධතාකරුවන්ට පොලිසිය සහ ආරක්ෂක අංශ පහර දෙනු, සංස්කරණයක් නොමැතිව මුලු ලොවටම දැකබලා ගත හැකිවිය. එය, රජය තමන්ටම වෙඩි තබාගත්තාක් වැනි සිදුවීමක් වුනි.

පශ්චාත් මධ්‍යම රාත්‍රි ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රථම අඩුම තරමින් බලයේ සිටින පුද්ගලයෙක් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් හෝ කළ යුතුව තිබිණ. රජයේ ආයතන අත්පත් කරගෙන සිටින පසුබිමක රාජ්‍ය පාලනය අපහසු බව ඔවුන් පැහැදිලි ලෙස රටට කියා සිටිය යුතුව තිබිණ. එයින් අපහසුතාවයට පත්වන්නේ අන් කවරෙක්වත් නොව ජනතාවම බව ඔවුන් පෙන්වාදිය යුතුව තිබිණ.

මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ එසේ ගොඩනැගිලි අත්පත් කරගෙන සිටියෝ එම ස්ථානවලින් නික්ම යෑමට සූදානම් වෙමින් සිටි අවස්ථාවකය යන්න පසුව අනාවරණය විය. සිදුවීමේ දී, නීතිඥවරයෙක් ඇතුලු පුද්ගලයෙන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔවුන් සියලුදෙනාවම ඇප මත නිදහස් කෙරිණ.

ට්විටර් පණිවිඩ සහ නිවේදන නිකුත් කරමින් අන්තර්ජාතික ප්‍රජාව මෙම සිදුවීමට දැක්වූ ප්‍රතිචාරයන්ගෙන් ඇතැමක් පහත දැක්වේ.


ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චෙන්ග්-
“රාත්‍රියේ දී, විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකළ අනවශ්‍ය සහ තැති ගන්වන සුලු ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් මාගේ දැඩි අවධානය යොමුව තිබෙන බව මේ දැන් ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී ප්‍රකාශ කළෙමි. යහපත් අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පුරවැසියන් නගමින් සිටින හඩට සවන්දීමට අවස්ථාවක් මෙන්ම වගකීමක් ජනපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඇත.”

තවත් ට්විටර් පණිවිඩයක ඇය මෙසේ සඳහන් කළාය.

“මෙය පුරවැසියන් පෙළා දැමිය යුතු කාලය නොවේ. ඒ වෙනුවට රජය කළ යුත්තේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට, ස්ථාවරත්වය නැවත ඇති කිරීමට සහ ආර්ථිකය නැවත ගොඩනගා ගැනීමට වහාම ගත යුතුව තිබෙන පියවර ගැනීමය”

එක්සත් ජනපද තානාපතිනිය ජනපති වික්‍රමසිංහ හමුවට යාම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වටී. ඇයගේ රජය මෙම සිදුවීම දෙස බලන ආකාරය සහ එයට ඇඳී සිටින ආකාරය ගැන එයින් අදහසක් ලබාගත හැකිය.

ඇයගේ ට්විටර් පණිවිඩයේ දක්වා තිබෙන ආකාරයට, ශ්‍රී ලංකා රජය දැන් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ පුරවැසියන් පෙළීමට නොව ප්‍රධාන කරුණු 3ක් සම්බන්ධයෙන්- ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට, ස්ථාවරත්වය නැවත ඇති කිරීමට සහ ආර්ථිකය නැවත ගොඩනගා ගැනීමට අවැසි පියවර ගැනීමටය. ඔවුන් ශ්‍රී ලංකා රජය ඉදිරියේ තබා තිබෙන ප්‍රමුඛතාවයන් ඒවාය. එමෙන්ම, එක්සත් ජනපදය වර්තමානයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉතා සමීපව කටයුතු කරන බව අමතක නොකළ යුතුය. රටේ පාලක පක්ෂයට ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට හෝ ස්ථාවරභාවයක් ඇති කරගැනීමට නොහැකිව තිබෙන්නේය යන්න විශ්වාස කිරීමට තරම් හේතු දැනට එක්සත් ජනපදයට ඇත.

මේ හා සමාන තවත් වැදගත් පණිවිඩයක් ලැබුණේ එක්සත් ජනපදයෙන් සහ ජගත් මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායමේ රටවල් වලිනි.

“සාමකාමී විරෝධතා යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක මූලික කොටසක් වේ. ගෙවුණු රාත්‍රියේ ගාලුමුවදොර පිටියේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රධාන කණ්ඩායමේ රටවල් දැඩි කණස්සල්ලට පත්ව සිටී. මානව හිමිකම්වලට පූර්ණව ගරු කරන ලෙසත්, නීතිය රක්ෂා කරන ලෙසත්, අපි ඉල්ලා සිටිමු”
මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ එක්සත් ජනපදය සහ ප්‍රධාන කණ්ඩායමේ රටවල්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තවත් යෝජනාවලියක් මාස 2ක් වැනි කෙටි කාලයක් ඇතුළත ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමේ සූදානමෙන් සිටින පසුබිමකය.

ශ්‍රී ලංකාවේ මෑත මාස 3ක කාලය ඇතුළත විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව සහ පොලිසිය සිදුකර ඇතැයි චෝදනා නැගී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන තොරතුරු එම යෝජනාවලියට ඇතුළත් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් කියා සිටියේය. නීතියේ හස්තයෙන් ඔබ්බට ගොස් කටයුතු කර ඇති දේශපාලන නායකයින් සම්බන්ධයෙන් ද තොරතුරු එම යෝජනාවලියේ තිබෙන බව ඔවුන් වැඩිදුරටත් පැවසුවේය.

යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නියෝජිතවරිය වන හනා සින්ගර් සහ ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලය, වෙන් වෙන්ව ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ශ්‍රී ලංකා රජය, විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකළ ප්‍රහාරය සම්න්ධයෙන් අදහස් දැක්වූහ. ඔවුන් සියලුදෙනාම පොfදුව් එම ප්‍රහාරය හෙළා දැක තිබුණු අතර, පුරවැසියන්ගේ අයිතීන්ට සහ සාමකාමී විරෝධයක නියැලීමට ඔවුන්ට තිබෙන අවකාශය ගරු කරන ලෙස එම පණිවිඩවලින් ඉල්ලා තිබිණ.

තමන්ටම සිදුකරගෙන තිබෙන හානිය අනෙක් අතට හැරවීමට නම්, ඒ සඳහා රජය දැරිය යුතු වන වෙහෙස අති මහත්ය. එය කිසිසේත්ම ලෙහෙසි කටයුත්තක් නොවේ.

පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් රටේ ජනපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සභාව ඇමතූ නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකි.

“මම අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ ගතකරලා තියෙනවා. මේ අති මහත් ගෞරවය ලබාදුන්නාට මම පාර්ලිමේන්තුවට ස්තූති කරනවා. රටේ තත්ත්වය කොච්චර අමාරු මට්ටමක ද, තියෙන්නේ කියන එක ගැන මම ඔබට විස්තර කරන්නට වුවමනා නැහැ. අපිට ආර්ථික ගැටලු ගොඩක් තියෙනවා. අපේ තරුණයින්ට සිස්ටම් චේන්ජ් එකක් වුවමනායි.

අන්තර්ජාතික වේදිකාවෙත් මුහුණ දෙන්නට සිදුවෙලා තිබෙන ගැටලු ගොඩක් අපි හමුවේ තිබෙනවා. අපට බලා ඉන්නට බැහැ. ඉදිරියට ගිහිල්ලා ඒ ගැටලුවලට මුහුණදිය යුතුව තිබෙනවා”

“අපි නව වැඩසටහනක් නිර්මාණය කරගත යුතුයි. පරණ දේශපාලනය ජනතාවට වුවමනා නැහැ. ඒ නිසාම, මේ ගැටලු විසඳන්නට එකට එකතු වෙන්නය කියා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සෑම දෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා.”

“පැය 48ක් අපි බෙදී සිටියා. දැන් එකට එකතු වෙන්න වෙලාව. හෙට ඉදන් ඔබ සියලුම දෙනා සමග සාකච්ඡා පවත්වන්නට මම සූදානම්” යයි ද නව ජනාධිපතිවරයා කීවේය.
තරුණයින්ට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව ජනපති වික්‍රමසිංහ මහතාද පිළිගනී.

එය පාර්ලිමේන්තුවේ සිටින සාමාජිකයන් 225 දෙනාගෙන් කළ හැකි දෙයක් ද?
පාර්ලිමේන්තුවේ සිටින මෙම 225 දෙනා, තමන්ව පාර්ලිමේන්තුවට පත්කර එවූ, තමන්ගේම ජනතාවගෙන් ඉවතට පාවී සිටිනවා නොවේ ද?


ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර