ආබාධයට ලක්වන සතුන්ට ප්‍රතිකාර කරන්න ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක්


 

(නිමල කොඩිතුවක්කු)

ආබාධවලට ලක්වන දිවියන් ඇතුලු වනජීවීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදය විසින් උඩවලව සත්ත්ව රෝහලට  පරිත්‍යාග කරනු ලැබීය.

අවස්ථාවට උචිත ලෙස වෙනස් කළ හැකි අංගෝපාංග වලින් සමන්විතව මෙම කූඩුව නිෂ්පාදනය කර තිබිම විශේෂත්වයකි.

සත්වයාගේ ප්‍රමාණය අනුව මෙම කූඩුව වෙනස් කිරීමෙන් ඕනෑම වනජීවියෙකුට පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකිවන අතර එවැනි පහසුකම් වලින් යුතු කූඩුවක් වනජිවි දෙපාර්තමේන්තුවට ලැබුණු පළමු අවස්ථාව මෙය බවද  වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවැනි පහසුකම් වලින් සමන්විත කූඩුවක් මෙතෙක් නොතිබීම හේතුවෙන් වනසතුන්ට ප්‍රතිකාර කිරීම අසීරු වී තිබූ බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදය විසින් මෙම කූඩුව නිර්මාණය කර තිබේ.

ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ  වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදයේ  සභාපති දක්ෂිණ පලිහවඩන මහතා විසින් වෛද්‍ය මාලක අබේවර්ධන  මහතා වෙත මෙම කූඩුව ප්‍රදානය කළ අයුරු ජායාරූපයේ දැක්වේ.

(ඡායාරූප සහ වීඩියෝ - නිමල කොඩිතුවක්කු)