ගුවන් යානය වැටුණේ නියමුවන්ගේ අත් වරදින්


(අංජුල මහික වීරරත්න)

ගුවන් හමුදා ප්‍රහාරක බල ගණයට අනුයුක්ත ගුවන් නියමුවන්ගේ පුහුණු ගුවන් යානයක් කඩා වැටීමට හේතුව එම පුහුණු නියමුවන්ගෙ අත්වැරැද්දක් බව ප්‍රවාහන, මහා මාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 

අදාළ ගුවන් යානය  කඩා වැටීම පිළිබඳ තාක්ෂණික විමර්ශන  වාර්තාව ආරක්ෂක ලේකම්වරයා වෙතින් ගෙන්වා ගත් බව කී අමාත්‍යවරයා එම වාර්තාවේ කියන පරිදි ගුවන් යානාවේ බඳේ හෝ ඇන්ජිමේ කිසිම ප්‍රශ්නයක් නැති බව සඳහන් වන්නේ යැයි පැවසීය.

අදාල පුහුණු ගුවන් නියමුවන් දෙදෙනාගේ දිවි බේරීම පිළිබඳ  සතුටට පත් වෙන බව කී අමාත්‍යවරයා ගුවන් යානය වැටීමෙන් ප්‍රදේශයේ ගස් කොළන් වලට හැර සෙසු දේපොළ හානියක් සිදුවී නොමැති බව කීය.

පුහුණු වීම් වලදී මෙවැනි ගුවන් යානා කඩා වැටීම් ලංකාවේ මෙන්ම ලොව සියලු රටවල වාර්තා වන බව කී අමාත්‍යවරයා ප්ලේන් එකේ "එල් බෝඩ්" නොතිබුණාට එහි ගියේ පුහුණු වෙන කට්ටිය බැවින් ඔවුගෙන් අත් වැරදීම් විය හැකි බව සඳහන් කළේය.

පාරේ පරණ වාහන  දිව්වාට අහසේ ගුවන් යානා එහෙම  දුවන්න බැරි බවද අමාත්‍යවරයා කීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පාදෙනිය මිනුවන්ගැටේ ප්‍රදේශයට ඉකුත් 21 වැනිදා මෙම පුහුණු ගුවන් යානය කඩා වැටුණු අතර එහි නියමුවෝ දෙදෙනා දිවි බේරා ගත්හ.