මම ස්ථාන පරීක්ෂාවක් කළා - ආනවිළුන්දාවට කිසිම පරිසර හානියක් වෙලා නෑ


 

(හේමලතා ඩී හේවගේ)

     ‘‘ජනාධිපවරයා මගෙන් කතාකරලා ඇහුවා නිශාන්ත ආනවිළුන්දාව සම්බන්ධයෙන් මොකද්ද ඔය සමාජ මාධ්‍ය ජලා වල යන්නේ ඒකට මොකද්ද ඔයාගේ තියෙන සම්බන්ධය කියලා, මම ජනාධිපතිවරයාට කිව්වා මේ කිසිඳු දේකට මගේ සම්බන්ධයක් නෑ, මගේ වචනයකින් හරි සම්බන්ධයක් තියෙනවානම් මම ඕනෑම දඬුවමකට යටත් වෙන්න සූදානම් කියලා. නමුත් මේක මගේ ප්‍රදේශයේ මගේ ඡන්ද දායකයෙක් කරපු කටයුත්තක් කියලා මම ජනාධිපතිවරයාට කිව්වා.‘‘  යැයි ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.  

ඒ මහතා මේබව පැවසුවේ දංකොටුව සිංග්ගක්කුලිය ගොවිසෙවන ක්‍රීඩාපිටියේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා පානීය ජල ටැංකි බෙදාදීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිණි.                     

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

                     ‘‘හැබැයි මෙතනදී ඉතාමත්ව පැහැදිලිව කියන්න ඕනෑ සමහර සමාජ මාධ්‍ය ජාලාවල මම දැක්කා මෙම රැම්සා තෙත්බිමේ ඉස්සන් පොකුණ හඳන්න පෙර ඉස්සන් පොකුණ හැඳුවට පසු යනුවෙන් නිර්මාණය කරලා හදපු ඡයාරූප වගයක් තියෙනවා.

එහි කිසිඳු සත්‍යතාවයක් නැහැ. මේ සිද්ධවෙලා තියෙන අපරාධය සම්බන්ධව මම ස්ථාන පරීක්ෂාවක් කළා. මම ඇස්දෙකෙන් දැක්කා. මේ ගැන මම තමුන්නාන්සෙලාට පැහැදිලි කරන්න ඕනෑ.

රැම්සා තෙත්බිම් විදිහට මේක නම් වෙන්නේ 2002 අග භාගයේ ඡාත්‍යන්තර රැම්සා ගිවිසුම අත්සන් කළාට පසුවයි. ඒ වාගේම කුරුළු අභය භූමියක් විදිහටත් වනජීවී සහ වන සංරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් නම් වෙනවා.

මේ ප්‍රදේශය අක්කර භාගයක අක්කරයක කුඩා එකක් නෙමෙයි ග්‍රාම නිලධාරී වසම් හයක් පුරාවට විසිරී ඇති මහා දැවැන්ත භූමි භාගයක්. මේ ප්‍රදේශය තුළ  2001 අග භාගයේදී ඉස්සන් කර්මාන්ත  ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වූණා. ලංකාවේ ඉස්සන් කර්මාන්තය පටන්ගත්තේ බහු ජාතික සමාගම් මම හිතන්නේ.

අද එක්සත් ජාතික පක්ෂයේ සමහර උදවිය තප්පුලනවා රැම්සා තෙත්බිම කලාපයට හානිකරලා කියලා. මේකේ පරිසරයට කිසිඳු හානිකිරීමක් සිදුවෙලා නැහැ.

මේ භූමිය නිර්මාණය වුණේ  1986 ජේ.ආර් ජයවර්ධන මහත්තයා රටේ ජනාධිපති , කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ එතුමා තමයි රාජ්‍ය නොවන බහුජාතික සමාගම් සඳහා මේ ඉස්සන් කර්මාන්තයට විශාල භූමි ප්‍රමාණයක් වෙන්කළේ.

සමාගම් කිහිපයකට මේ භූමිය වෙන්වෙනවා. මේ ගැටළුවක්වී ඇති කොටස ‘කාසන්‘ කියන සමාගමට එදා ජේ.ආර් ජයවර්ධන මහත්තයා බදුදීලා තිබුණ කොටසක්. මේ ‘කාසන්‘ කියන සමාගමේ බ්ලොක් 01 02 03 කියලා කොටස් තුනකට වෙන්වෙනවා.

අක්කර 600 ක් විතර භූමිභාගයක් තුළ තමයි මේ ඉස්සන් කර්මාන්තය සිදුවෙන්නේ. මේ ප්‍රශ්න ගත කොටස වන්නේ බ්ලොක් 3 කොටසේ. මේ බ්ලොක් 3 කොටස ගත්තහම අක්කර 200 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.

තමුන්නාන්සේලාට හිතෙන්නත් පුළුවන් මේ පිළිබඳව විස්තරාත්මකව සනත් නිශාන්ත කියන්නේ කොහොමද කියලා. ඒ ඉතිං මම මේකේ ධීවර ඇමතිවෙලා හිටියනේ. ඒකයි විස්තර හොඳට දන්නේ. බ්ලොක් 3 කොටස ඉස්සන් කොටු හදලා තිබුණ ප්‍රදේශයක්. 1996 අගභාගයේ සුදු පුල්ලි වයිරසය පැමිණීමත් එක්ක මේ කර්මාන්තය පාඩුවෙනවා.

පසුව ඒ සමාගම කර්මාන්තය අතහැරලා දාලා යනවා. ඔවුන් දාලා ගියාට පස්සේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ බලපත්‍රයකින් මේ බ්ලොක් 3 කොටස ප්‍රදේශයේ තරුණ පිරිස් සහ ව්‍යාපාරිකයෝ එකතුවෙලා කොටස් වශයෙන් ලබාගෙන වාර්ෂික බලපත්‍රයකින් ඉස්සන් කර්මාන්තය කිරීමට අවසරය අරගෙන තිබුණා. 

මේ අවසරය මත ඉස්සන් කර්මාන්තය කරගෙන ගියා.ග්‍රාම සේවා වසම් 6 ක් ඇති මෙහි ඉස්සන් ගොවිපලවල් ඉස්සන් පොකුණු 350 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ගොවියන් 25 කට ආසන්න සංබ්‍යාවක් මෙහි කර්මාන්තයේ නියයැලී හිටියා. පසුගිය කාලයේ අති විශේෂ ගැසට් නිවේදනයකින් ගැසට් කරනවා වනජීවී ප්‍රදේශය ආසන්නයේ සහ වන සංරක්ෂණ ප්‍රදේශය ආසන්නයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් සතුව තියෙන කිසිම ඉඩමකට බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ කියලා.

මේ ගොවිපලවල් තුළ සමහර අයට සින්නක්කර ඔප්පු තිබුණා.  සමහර අයට ස්වර්ණභූමි ඔප්පු තිබුණා. සමහර අයට වාර්ෂික බලපත්‍ර තිබුණා. වාර්ෂික බලපත්‍ර තිබුණු කිසිම කෙනෙකුට අර නිකුත්කළ ගැසට් නිවේදනයෙන් පස්සේ බලපත්‍ර නිකුත්කළේ නැහැ.

ප්‍රාදේශීය ලේකම් හරහා බලපත්‍ර නිකුත්  කළේ නැහැ. කියලා මේ කර්මාන්තකරුවෝ තමුන්ගේ ගොවිතැන් කටයුත නතර කෙරුවේ නැහැ. පෙරසේම ගොවිපලවල්වල ගොවිතැන් කටයුතු කරගෙන ගියා. මේ බිම් කොටස එක්තරා ව්‍යාපාරිකයෙක් තමුන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා අර එක් සමාගමක කොටසක් ශුද්ධ කිරීම් කටයුතුකරලා තියෙනවා.

ඩෝසරයක් උපයෝගිකරගෙන මෙන්න මේක තමයි වෙලා තියෙන සිද්ධිය. රැම්සා තෙත්බිමට හානියක් කරලාවත් රැම්සා තෙත්බිම විනාශ කරලා ඉස්සන් ගොවිපලවල් නිර්මාණය කිරීමක්වත් මෙතන සිද්ධවෙලා නැහැ.

ඒ නිසා මෙය ඉතාමත් මුසාවක්. මේ පොකුණු ශුද්ධ කිරීම සම්බන්ධයෙන් මගේ කිසිම  සම්බන්ධයකුත් නැහැ. රැම්සා තෙත්බිමට කිසිම හානියක් සිදුවෙලා නැහැ කියලා මම පැහැදිලිව කියනවා‘‘ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.