සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි


(යොහාන් භාසුර)
සහල් පාලන මිල පිළිබඳව දැනුවත් කිරීම සඳහා සහල් ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ (22) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල මහතාගේ ප්‍රකාශයකට විරෝධය පළකිරීමත් සමඟ මාධ්‍ය හමුව දැඩි උණුසුම්කාරී ස්භාවයක් ගත්තේය. 
මහ පරිමාණ, මධ්‍ය සහ සුළු පරිමාණ යන සියලුම සහල් ව්‍යාපාරිකයන් සහල් රජයේ පාලන මිලට ලබාදෙන බවට ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව ලන්කේෂ්වර මිත්‍රපාල මහතා සහල් පාලන මිලට ලබාදිය නොහැකි යැයි පැවසීමත් සමඟ සිරිසේන මහතා බැන වදිමින් මාධ්‍ය හමුවෙන් නැගිට පිටව ගියේය.
එහිදී විවේචනය ආරම්භ කරමින් ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ පැවසීය. 
“බොරු කියන්න එපා මිත්‍රපාල. හාල් මිල වැඩි කරන්න මෙතන කථා කරන්න දෙන්න බෑ. ඔයා නැගිටින්න. හාල් මිල වැඩි කරන්න දෙන්න බෑ. ඔයා නැගිටින්න... මුන් තුන්දෙනා එකතු වෙලා කරන්නේ හාල්මිල වැඩි කරන එක. මේක මෙයා විරතක් නොවෙයි ලක් සහල්, නිපුන, රත්න ඔක්කොම ඉන්නවා මෙතන. වැඩි කරන්න දෙන්න බෑ, නැගිටිනවා. ඔයා යන්න. නැගිටිනවා. නැත්තනම් තමුසේ ඉන්නවා” යැයි පවසමින් සිරිසේන මහතා ප්‍රධාන මේසයෙන් නැගිට ගියේය.  
“මම තමයි මාෆියාව කියන්නේ, තොපි තමයි යකෝ මාෆියාව. සාධාරණව වෙළදාම කරන මට මාෆියාව කියනවා”
පිටව ගිය සිරිසේන මහතා නැවත පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.  
“මම හාල්මිල මීට වඩා වැඩි කිරීමට මේ මස තුන තුළ එකඟ වන්නේම නෑ.  
මම බොහෝම පැහැදිළිව කියනවා අපි ළග තියෙන වී තොග පිළිබඳව සමීක්‍ෂණයක් කරන්න. මිත්‍රපාල මහත්මයා මගේ යාළුවා, හිතවතා, අසල්වැසියා වුණාට මේකෙ වැඩි මිල ඉල්ලුවට පොඩිම මිනිස්සු කන වැඩිම නාඩු වී තියෙන්නේ එයා ළඟ. මගේ ළග තියෙන්නේ මේ රටේ ලොකු මිනිස්සු කන කීරි එක. මට මේ චෝදනාව කළාට. 
මෙච්චරකල් මෙහෙමනේ මේක නිකුත් කළේ. එහෙම නැත්නම් මේක රජයට පවරාගෙන, අපේ වී පොඩිමෝල් හිමියන්ට පටවන්න ඕන. මොකාගේ වුණත් කමක් නෑ. මගේ වුණත් කමක් නෑ. ඩීසල් නෑ, කරන්ට් එක නෑ වෙන ප්‍රශ්න නම් රජය මැදිහත් වෙලා මම කියපු මිලට ඔයාලා ගන්නවනේ. 
පාලන මිලට දෙනවද කියලා එයාගෙන් අහන්න ඕන නෑ. 7500 ට ගත්ත වී මේ ගාණට දෙන්න කියලා මම කිව්වට පස්සේ ආයි බම්බුව ද එක එකාගෙන් අහන්නේ. 
(මේ අතරතුර මිත්‍රපාල නැවතත් පාලන මිලට එකඟ නොවන බව ප්‍රකාශ කළේ) 
එකඟ නැත්නම් රජය මැදිහත් වෙලා වී ටික ගන්න ඕන. රටේ ජනතාව මේ පාලන මිලට වැඩිය ගන්න එපා. මේකට එකතු වෙන්න. රජය කරන අයගේ කොන්ද පණ නැත්නම් අපි එකතු වෙලා මේක කරමු. අපි මෙච්චරකල් රටේ ජනනතාවගෙන් හම්බ කළා. දැන් රටේ මිනිස්සුන්ට හාල් ගන්න බැරි තත්වෙට පත්වෙලා තියෙන්නේ. තෙල් පෝලිමට, ගෑස් පෝලිමට ගියාට පස්සෙ රටේ මිනිස්සුනට ජීවිකාව කරන්න බැරුව ඉන්නේ. දැන් මොන ලාභද?
මෙච්චරකල් රටේ තමය ඩඩ්ලිගේ මාෆියාවනේ, ඩඩ්ලිගේ මාෆියාවද මේ තියෙන්නේ එතකොට. ඩඩ්ලිගෙ එක විතරද තිබ්බේ. දැන් කාගෙද මාෆියාව. 
ජනතාව බහින්න පාරට, අරගලයත් ඕන නෑ. මේ වෙලාවේ ඉල්ලීමක් බෑ. දෙන්න ඕන. 
ගොවිජනතාව වස බිව්වා, විකුණගන්න බැරිව වීවලට ගනි තිබ්බා. අහිංසක මිනිස්සුන්ගේ වී ටික අරගෙන ගොඩනැගුණේ අපි. සෑම ව්‍යාපාරිකයෙක්ම ගබඩා හදලා, තාක්‍ෂණය ගෙනල්ලා අපි අගය එකතු කරලා තමයි ලාභ ලබලා තියෙන්නේ. ඒක පුරවැසියෙක් ලෙස මගේ අයිතිය. ඒවා කළේ රටේ නීතියට යටත්ව. අපි හොරාකාලා හබ්බ කරපු අය නොවෙයි”
මේ අවස්ථාවේදී නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල මහතා තව දුරටත් මාධ්‍ය හමුවේ රැදී සිටියේය. 
ඡායාරූපය:
ඩඩ්ලි සිරිසේන මහතා මිත්‍රපාල මහතාට මාධ්‍ය හමුවෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් අවස්ථාව.

 

-------------------------------------------------------------------------------

පෙරවරු 11.29  (යොහාන් භාසුර)

සහල් ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අළෙවිකරන බවත් පාලන මිලට සහල් අළෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පැවසීය.

පාලන මිල සහල් අළෙවි නොකරන වීමෝල වටලා වී තොග රජය භාරයට ගතයුතු යැයි පැවසූ සිරිසේන මහතා සඳහන් කළේ ඩඩ්ලිගේ සහල් මාෆියාව ලෙස හැදින්වුවද වර්තමානයේ සහල් වැඩි මිලට විකුණන පුද්ගලයන් මාෆියාවක් ගෙනියන බව පැහැදිළි බවයි.

තමන් ඇතුළු ප්‍රධාන සහල් මෝල් හිමියන් සහල් මිල අඩුකරා සේම වී මිල වැඩි කිරීමට පියවර ගත් බවත් රජය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබාදීමට ඉදිරිපත්විය යුතු බවත් සිරිසේන මහතා කීය.

සහල් ව්‍යාපාරිකයන් මෙතරම් රටේ ජනතාවට සහල් විකුණා ලාභ ලැබූ බව කී සිරිසේන මහතා ජනතාව සහල් කිලෝවක් මිලදීගැනීමට නොහැකි තත්වයකට පත්ව සිටින අවස්ථාවේ ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 7,500 බැගින් මීට පෙර මිලදී ගත් තොග ප්‍රධාන සහල් මෝල්හිමියන් සතුව පවතින බව කී සිරිසේන මහතා පැවසුවේ එම වීවලින් රජයේ පාලන මිලට සහල් දියහැකි බවයි.

රුපියල් 7,500 කට මිලදීගත් නාඩු සහ සම්බා වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 8,000 ක් දක්වා ද, රුපියල් 8,000 කට මිලදීගත් කීරි සම්බා වී කිලෝ 64 ක ප්‍රමාණයක් රුපියල් 8,500 බැගින් ද, මිලදී ගන්නා බවත් සහල් මිල අඩුකර වී මිල වැඩි කර ඇති බවත් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.

කොළඹදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඩඩ්ලි සිරිසේන මහතා එසේ පැවසූ අතර එම මාධ්‍ය හමුවට සහභාගි වූ නිව් රත්න සහල් අධිපති ලන්කේෂ්වර මිත්‍රපාල මහතා සහල් පාලන මිලට ලබාදිය නොහැකි යැයි පැවසීමත් සමඟ සිරිසේන මහතා මාධ්‍ය හමුවෙන් නැගිට පිටව ගියේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)