‘‘ලංකාවේ ලස්සන ලෝකෙටම කියනවා‘‘


(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී කපිල)

ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයකු, ගීත රචකයකු සහ ව්‍යවසායකයකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලංකා රජය සහ ජාතික පර්යේෂණ හා සංවර්ධනය කටයුතු සඳහා මුලපිරීමේ වැඩසටහන හා සහයෝගයෙන් කටයුතු කිරීමට එය අද්විතීය අවස්ථාවක් වන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදු වන විවිධ ආයෝජන සහ සංවර්ධනය වෙමින් පවතින නව සංකල්පය පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඉතාමත් සුවිශේෂි අවස්ථාවක් වන බව සඳහන් කළ ඇලෝ බ්ලැක් මහතා, එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින බොහෝ ආයෝජකයින් සමඟ තමන්ට ඉතාමත් සමීප සම්බන්ධතා පවතින බවත්, ශ්‍රී ලංකාවේ පවත්නා විභවයන් පිළිබඳව ඔවුන් හා කරුණු සාකච්ඡා කිරිමට තමන් අදහස් කරන බවත් ප්‍රකාශ කළේය.