(කාංචන කුමාර ආරියදාස)
ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.
මේ දිනවල නිතරම අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට අකුණු පාත් වූ බවත් මෙහි පවතින අවදානම පිළිබඳව ජනපති ඇතුළු වගකිව යුතු සියලු අමාත්‍යාංශ නිලධාරින් ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ පවසති.
අවුකන බුද්ධ ප්‍රතිමාවට අකුණක් මගින් යම්කිසි හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම විෂයභාර ඇමැති දැරිය යුතු බවත් එමෙන්ම වහලය නිසියාකාරව සවි නොකිරීම නිසා වහලය මත වෑස්සෙන වතුර බුදු පිළිමය පිහිටි මලුවට පතිත වන බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
තමන් වහන්සේගේ මෙම ඉල්ලීම පිළිබඳව බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන නිසා තමන් බලවත් කනස්සල්ලට පත්ව සිටින බවද උන්වහන්සේ පවසති. මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ හෝ අවධානය යොමුවී අවුකන බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි උන්වහන්සේ පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.