මේ වන විට ලංකාවේ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය මීට පෙර දැකගන්නට නොලැබුණු එකකි. ජනප්‍රියත්වයේ උච්චතම තලයක සිටි පාලනාධිකාරිය වසර දෙකහමාරක් ඇතුළත පිරිහීමට ලක් වීමත් ජනතා අරගලයක් හරහා එම පාලනය අහෝසි කිරීමත් සිදු විය. මෙවැනි තත්ත්වයක් පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ඇති නොවුණි. 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදීත් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලැබූ 1971 සහ 1987 සහ 1989 සන්නද්ධ අරගලවලදීත් ආණ්ඩු බලය වෙනස් කිරීමට ප්‍රයත්න දරනු ලැබුවද ඒවා සාර්ථක නොවීය.
එහෙත් මෙම ජනතා අරගලය ආරම්භ වී මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත බලසම්පන්නව සිටි අග්‍රාමාත්‍යවරයාත් පසුව ජනාධිපතිවරයාත් එම ධුරවලින් ඉවත් කිරීමට හැකි විය. මේ ජනතා ක්‍රියාකාරීත්වයෙහි සාධනීය ලක්ෂණ මෙන්ම නිශේධනීය ලක්ෂණ ද තිබෙන බව අප අවබෝධ කර ගත යුතුය.
රටේ මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට පවතින ආර්ථික අර්බුදය ප්‍රබල ලෙස බලපෑ බව අපි දනිමු. එයින් ජනතාව දැඩි පීඩනයට ලක්ව සිටි අතර අපේක්ෂාභංගත්වයට ද පත් විය.
එම මිනිසුන්ගේ නැගිටීම මෙම ජනතා අරගලයේදී සිදු විය. එසේම පුරවැසි සංවිධාන වඩාත් තියුණු ලෙස සංවිධානගත වීමක්ද මෙහිදී දැකගන්නට ලැබිණි. ඒවායෙහි ක්‍රියාකාරීත්වය ද මේ ජනතා නැගිටීම සාර්ථක වීම සඳහා හේතු විණි.
ආණ්ඩුවේ ජනප්‍රියත්වය හීන වීමත් ගත් ඇතැම් තීන්දු තීරණ ආණ්ඩුවටම පාරාවළල්ලක් වීමත් සහ ආණ්ඩුවේ බලාධිකාරිය ඛණ්ඩනය වීම ආදී තත්ත්ව නිසා ආණ්ඩුවට රාජ්‍ය බලය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි විය. එසේම රාජ්‍ය බලය යොදා ගනිමින් විරුද්ධ බලය මර්දනය කිරීමේ හැකියාව ද අහිමි විය. මෙපරිදි රාජ්‍ය බලය භාවිත කිරීමට ආණ්ඩුවට නොහැකි වීම සඳහා බලපෑ හේතු ගණනාවක් හඳුනා ගත හැකිය. එකක් නම්, පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි ජනතා නැගිටීම් මර්දනය කිරීමට හමුදාව හෝ පොලිසිය හෝ යෙදවීමට නොහැකි වීමය.
දෙවැන්න, මෙම ජනතා ක්‍රියාකාරීත්වය හමුවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ විශේෂිත වර්ධනයන් කිහිපයක් ඇති වීමය. එය අවධානයට ගත යුත්තකි. වෙසෙසින්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැනි ආයතන මේ අර්බුදය සමථයකට පත් කිරීම පිණිස අනුගමනය කළ පුරවැසි කේන්ද්‍රීය ප්‍රවේශය හේතුවෙන් මර්දනය භාවිත කිරීමේ ආණ්ඩුවේ හැකියාව කැපීපෙනෙන ලෙස දුර්වල විය.
මැයි 9 වැනි දින ගාලුමුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට එල්ල කෙරුණු ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙරට තානාපති කාර්යාල ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වූ බලපෑම ද එහිලා වැදගත්ය. මෙම තත්ත්ව හමුවේ සුපුරුදු මර්දනය මුදා හැරීමට ආණ්ඩුවට අවකාශයක් නොවීය. ජනතා නැගීසිටීම සාර්ථක වීමට එය ද හේතුවක් විය.
කෙසේවෙතත් මෙම සංසිද්ධිය සමස්තයක් වශයෙන් ගත් විට ජයග්‍රහණයක් ලෙස සැලකීමට මා අකැමැතිය. ඒ, පුරවැසි ජයග්‍රහණයක් යන්නෙන් මෙවැන්නක්ම අදහස් නොකරන හෙයිනි. මෙවැනි තත්ත්වයකදී පුරවැසි සංවිධානවල ක්‍රියාකාරීත්ව පැවතිය යුත්තේ යම් යම් සීමාවලට යටත්වය. වෙසෙසින්ම ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීමෙන් පසු රටේ ඇති වූ වර්ධනයන් සමග සමාජ ව්‍යාපාර ඒවායෙහි ක්‍රියාකාරීත්වය ගැන නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබිණි.
ආණ්ඩු බලයෙහි සීමා තිබෙන පරිදිම පුරවැසි සංවිධානවල බලයෙහි ද සීමා පවතින බව අප තේරුම් ගත යුතුය. පාර්ලිමේන්තුව වටලෑමට ගත් උත්සාහයේදීත් එකවර ජනාධිපතිවරයා අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් විය යුතු බවට ඉදිරිපත් කළ යෝජනාවලත් රට අස්ථාවර වීමේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුද හට ගැනීමේත් අනතුරක් තිබිණි. මේ පසුබිමේ පුරවැසි සංවිධාන ඔවුන්ගේ කාර්ය වපසරිය සහ වගකීම් නිසි පරිදි අවබෝධ කරගෙන ක්‍රියා කිරීම වැදගත්ය.
කෙසේවෙතත් පමා වී හෝ පුරවැසි සංවිධාන ඒවායෙහි සීමාව අවබෝධ කර ගත් බවක් පෙනෙන්නට තිබේ. ඒ අනුව, සෙසු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කිරීම පාර්ලිමේන්තුවේ වගකීමකි. ඒවා ඉටු කිරීමේදී ඇතැම් දේශපාලන න්‍යායපත්‍ර අනුව ක්‍රියා කිරීමට නොහැකි වීමට ඉඩ ඇති අතර එවැනි අවස්ථාවල යම් යම් ප්‍රශ්න මතු වීමටද ඉඩ ඇත.සැබෑ ජනවරම තිබෙන්නේ කාටද සහ ආණ්ඩුව භාර ගත යුත්තේ කවර පාර්ශවයද යන්න සම්බන්ධයෙන් මේ අවස්ථාවේ තිබෙන්නේ අවිනිශ්චිතභාවයකි.
එම පසුබිමේ රට මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තාවකාලික ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපති ධුරයේ ඉතිරි ධුර කාලය දැරීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කර ගැනීමත් ශක්තිමත් අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමත් අවැසිය. පෞද්ගලික න්‍යායපත්‍ර පසෙකලා රට ඉදිරියට ගෙන යා හැකි ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීම මේ අවස්ථාවේ ඉතා වැදගත්ය.
ධුරය දරමින් සිටියදී ජනාධිපති ධුරය පුරප්පාඩු වූ එක් අවස්ථාවක් පමණක් අපි අත්දැක ඇත්තෙමු. දැන් නැවතත් එවැනි අවස්ථාවක් උදා වී තිබේ. ජනාධිපතිවරයකු ධුරය දරන විට එය පුරප්පාඩු වුවහොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගත යුතු ආකාරය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතුළත්ය. ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විටෙකදී ඉතිරි ධුර කාලය දැරීම පිණිස අනුප්‍රාප්තිකයා පත් කර ගැනීමට නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැත. එය සාධනීය තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකිය. ඒ අනුව, ජනාධිපති ධුරයේ ඉතිරි ධුර කාලය සඳහා සුදුස්සකු පත් කර ගැනීමේ බලය ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව වෙත පවරා තිබේ.
ඊට අදාළ ව්‍යවස්ථාමය පටිපාටිය අනුව, ජනාධිපති ධුරය හිස් වූ දා සිට මාසයක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කරනු ලැබිය යුතුය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතරින් නාම යෝජනා ඉදිරිපත් විය යුතු අතර එය එක් නාම යෝජනාවක් මෙන්ම නාම යෝජනා කිහිපයක් විය හැකිය. එක් නාම යෝජනාවක් ඉදිරිපත් වුවහොත් අදාළ පුද්ගලයා සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කළ හැකිය.
එහෙත් නාමයෝජනා එකකට වැඩි ගණනක් ඉදිරිපත් වුවහොත් රහස් ඡන්දයක් මගින් ජනාධිපති ධුරය සඳහා කෙනකු පත් කර ගැනේ. එහිදී සෑම මන්ත්‍රීවරයකුටම එක් ඡන්දයක් බැගින් හිමි වේ. එසේම දෙවැනි සහ තුන්වැනි යනාදී වශයෙන් ඒ ඒ අපේක්ෂකයන් වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට සිය මනාපය ඡන්ද පත්‍රිකාවල සලකුණු කළ හැකිය. ඡන්ද ගණනයේදී පළමු වටයේදීම මුළු ඡන්දවලින් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයකු වෙතොත් ඔහු හෝ ඇය හෝ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වේ. පළමු වටයේදී කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාව අභිබවා යෑමට නොහැකි වුවහොත් දෙවැනි වටයේදී ද මනාප ගණන් කිරීමක් සිදු වේ.
මේ වන විට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත් කර ගැනීමට නම් කිහිපයක් යෝජනා වී ඇති බවක් පෙනේ. එහෙත් මෙවැනි අවස්ථාවක දේශපාලන පක්ෂ සාකච්ඡා කර එක් නමක් යෝජනා කළ හැකි නම් එය වඩාත් සුදුසුය යන්න මගේ අදහසයි. පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ එවැන්නක් සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. සැබෑ ලෙසම එවැන්නක් සිදු වෙතොත් පුරවැසි මතය ජයග්‍රහණය කිරීමක් සිදු වේ.
ඉදිරියේදී සිදු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ද ස්ථාවර ආණ්ඩුවක් පැවතීම වැදගත්ය. ශක්තිමත් ජනාධිපතිවරයෙක් සහ ව්‍යවස්ථාදායකයක් තිබීමද අවශ්‍යය. ජනාධිපති ධුරයේ බලතල සම්බන්ධයෙන් සිදු කරන සංශෝධන තීරණය කළ යුත්තේ ද පාර්ලිමේන්තුවයි.
රාජ්‍ය පාලනයේදී පුරවැසි සංවිධානවල සම්බන්ධතාව කවරාකාර විය යුතුද යන්න නව දෘෂ්ටිකෝණයකින් බැලිය යුතුය යන්න මගේ ස්ථාවරයයි. මින් පෙර රාජ්‍ය පාලනය සඳහා පුරවැසි සංවිධානවල සහයෝගය සහ මැදිහත්වීම් ප්‍රශස්ත මට්ටමකින් සිදුව නොමැත. ඒ අරබයා වන යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතුය යන්න මේ වන විට සාකච්ඡා වෙමින් තිබේ. ආණ්ඩුව ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් වන ජනතා මතය සහ ප්‍රතිචාර ලබා ගැනීමට අදාළ ක්‍රමවේදයක් එවැනි යාන්ත්‍රණයක මූලික අංගයක් විය යුතුය.
මහජන අභිලාෂ සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අතර ගැළපීමක් තිබිය යුතුය යන්න ඉතාම වැදගත් කාරණයකි. ඒ, මේ මොහොත වන විට එම දෙක අතර පරස්පරයක් තිබෙන නිසාය. මහජන අභිලාෂ සහ මහජන විශ්වාසය කොපමණ දුරට පාර්ලිමේන්තුවෙන් නිරූපණය වනවාද යන කාරණය මෙහිදී ඉතා වැදගත්ය. ඊට අදාළව මතයක් නිර්මාණය කිරීම සහ බලපෑම් කණ්ඩායම් වශයෙන් ක්‍රියා කිරීමේ වගකීම මේ අවස්ථාවේ පුරවැසි සංවිධානවලට ඇත. ජනාධිපති ධුරය ඇතුළු පාලනයේ වැදගත් ධුර සඳහා සුදුස්සන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ඒවායෙහි මතය ප්‍රකාශ කිරීමෙන් එම කටයුතුවලදී පාර්ලිමේන්තුවට යම් ආකාරයක බලපෑමක් කළ හැකිය.
එවැනි ක්‍රියාකාරීත්වයක දී වුව පුරවැසි සංවිධානවලට කටයුතු කළ හැක්කේ නිශ්චිත සීමාවක සිට බව යළි අවධාරණය කළ යුතුය. ඒ, එවැනි සංවිධානවලින් එළිදක්වන මත සහ අභිලාෂ සමස්ත සමාජයේම පිළිබිඹුවක්ද යන්න නිශ්චය කිරීමේදී ගැටලු පැන නගින නිසාය. මේ මොහොත වන විට පුරවැසි මතය සහ අභිලාෂ කණ්ඩායම්ගත වී ඇති ස්වාභාවයක් දැකිය හැකිය. එසේම පුරවැසි මතය යන්න දේශපාලන පක්ෂ අතට ගොස් ඇති ආකාරයක් ද නිරීක්ෂණය කළ හැකිය.
පුරවැසි අභිලාෂ පාර්ලිමේන්තුවේ අභිලාෂ සමග සහසම්බන්ධීකරණය කිරීම තරමක් දුෂ්කර කාර්යයකි. එබැවින් අලුතින් ස්ථාපනය වන ආණ්ඩුව පවතින අර්බුදවලට පිළියම් යෙදීම ප්‍රමුඛ කර ගත් පාලනයක් විනා අප අපේක්ෂා කරන යහපාලන මූලධර්මවලින් සැදුම්ලත් ආණ්ඩුවක් වනු ඇතැයි සිතිය නොහැකිය. එවැනි පරිපූර්ණ ආණ්ඩුවක් පිළිබඳ අභිලාෂය අර්ථවත් කර ගත හැක්කේ ඉදිරියේදී පුරවැසියා සහ ආණ්ඩුව අතර ඇති කර ගන්නා සම්මුතියකින් පමණි. එහෙත් මේ අවස්ථාවේදී පැරණි ආදේශකයන් සමග නව සම්මුතියක් ඇති කර ගැනීමේ හැකියාවක් නොමැත. පැරණි ආදේශකයන් භාවිත කළ හැක්කේ බිඳවැටී තිබෙන ආර්ථිකය යළි නගාසිටුවීමේ ආධාරකයක් වශයෙන් පමණි.
මෙවැනි අවස්ථාවකදී ප්‍රතිසංස්කරණ සඳහා වන කතිකාව වඩාත් තියුණු කළ යුතු බව මගේ යෝජනාවයි. දිගු කාලීන වශයෙන් ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගීමට අවැසි ප්‍රතිසංස්කරණ සඳහා ගමන් කළ යුතුය. මෙහිදී මහජන නියෝජිතයන්ගේ සුජාතභාවය පිළිබඳ ප්‍රස්තුතය කෙරෙහි වැඩිමනත් අවධානය යොමු කළ යුතුය. එනම්, ඔවුන් තත්‍ය ලෙසම මහජන මතය නියෝජනය කරන්නන් විය යුතුය යන මතය ස්ථාවර කරන මැතිවරණ ක්‍රමයක් අවශ්‍යය. එය ඡන්දදායකයාට පහසුවෙන් සම්බන්ධ විය හැකි එකක් වීමද වැදගත්ය.
ජනතා අභිලාෂවලට පටහැණිව ක්‍රියා කරන මහජන නියෝජිතයන් නැවත කැඳවීමට අදාළ ප්‍රතිපාදන හඳුන්වා දීමටද පිළිවන. මේ අවස්ථාවේ රාජ්‍ය නායකයන් ඇතුළු එවැනි මහජන නියෝජිතයන් නැවත කැඳවීම සිදු කරන්නේ මහජනයා මහමගට බැස අරගල කිරීමෙනි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසන්නේ නම් එය යහපත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල පැහැදිලි ලෙස අඩු කළ නොහැකිය. එවැන්නක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහිම අන්තර්ගත ප්‍රතිපාදනවලට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථනිරූපණය කළ හැකිය. එවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ බලය සහ පාර්ලිමේන්තුවේ බලය අතර සම්මුතියක් ඇති කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකැස්මක් වැදගත් වනු ඇත.
එවැන්නකින් ජනාධිපතිවරයාට තවදුරටත් පාර්ලිමේන්තුව නොසලකා ක්‍රියා කිරීමට ඇති හැකියාව බෙහෙවින් දුර්වල කරනු ඇත. විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කිරීමේ ක්‍රමවේදයකට අනාගතයේදී යොමු විය හැකි යැයි මම විශ්වාස නොකරමි. එහෙත් පාර්ලිමේන්තුවට වගකියන විධායක ජනාධිපති ධුරයක් ඇති කර ගත හැකි වනු ඇතැයි මම සිතමි.
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ
(***)