බොහෝ දෙනකු වටහාගෙන නැති කරුණක් වන්නේ පසුගිය වසරක කාලය තුළ පාර්ලිමේන්තුව ඉතා බලසම්පන්න තත්ත්වයකට පත්කර ඇති බවයි. එහෙත් ඒ සමගම පැන නගින ප්‍රශ්නයක් වන්නේ පාර්ලිමේන්තුවට එසේ ලැබී ඇති බලතල භාවිත කිරීමට විපක්ෂයට හැකියාවක් ලැබී තිබේද යන්නයි. අනෙක් අතට රට නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් විපක්ෂයට ලැබී ඇති බලතලත්, කාර්ය භාරයත් මහජනතාවගේ සුබසිද්ධියට අදාළ වන අයුරින් භාවිත කරන්නේ ද යන්න ද ප්‍රශ්නයක් වී තිබේ.
රටේ සෞඛ්‍ය සේවා පිළිබඳව ඉතා නරක තත්ත්වයක් ඇතිව තිබෙන බව ප්‍රකාශ කරමින් විපක්ෂය සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින බොහෝ පක්ෂවල මන්ත්‍රීවරුන් එයට අත්සන් කර ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පවා එයට අත්සන් තබා ඇති බව ද පසුගිය දා සමගි ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී උදම් අනන ස්වරූපයෙන් ප්‍රකාශ විය. එවැනි විශ්වාසභංග යෝජනාවක් ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට ද මහජනතාවට කරුණු වටහා දීම සඳහා ඉතා සුදුසු අවස්ථාවක් උදාකරන්නේ යැයි සිතමි.
විපක්ෂය සිතුවේ ආණ්ඩුව විශ්වාසභංගයට බිය වී එය කල් දමනු ඇතැයි කියාය. එනිසා එය විවාදයට ගැනීම සඳහා වහාම අවස්ථාව ලබා දිය යුතු යැයි ද ඒ සඳහා දින තුනක කාලයක් අවශ්‍යයැයි ද ප්‍රකාශ කළේය. රටේ පවත්නා සැබෑ තත්ත්වය පිළිබඳ විපක්ෂයට අවබෝධයක් නොමැති වීමත් ආණ්ඩුවේ උපාය මාර්ග නිවැරැදිව වටහා ගැනීමට විපක්ෂයට නොහැකි වීමත් නිසා අමාරුවේ වැටෙන ආකාරය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රදර්ශනය විය.
ආණ්ඩුව විසින් විශ්වාසභංග යෝජනාව ඉතා දිගු කලක් යන තුරු විවාදයට නොගනු ඇතැයි සිතා විවාදය ආරම්භ කරන ලෙසත් එයට දින තුනක කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටින අවස්ථාවක දී විපක්ෂය ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා වහාම එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පසුදින සිටම විවාදයට ඉඩ ලබාදිය හැකි බවත් ඒ සඳහා ඉඩ වෙන් කරන බවත් ප්‍රකාශ කළේය. එහෙත් එම අනපේක්ෂිත පිළිතුරෙන් විපක්ෂය අමාරුවේ වැටී ඇති බව පැහැදිලි විය.
පසුදින සිට විවාදයට ඉඩ දුන්න ද එය ප්‍රතික්ෂේප කළ විපක්ෂය තවත් සති තුනක කාලයකට පසුව එය විවාදයට ගැනීමට එනම් ඔක්තෝබර් 03 වැනි දින සිට ඒ සඳහා සූදානම් බව දන්වා ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා තම ප්‍රතිචාරයේදී සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාවක එය හැකි මුල්ම අවස්ථාවේ දී විවාදයට ගත යුතු බව ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති බැවින් පසුදිනම ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට සූදානම් බවයි. එහෙත් විපක්ෂය එය මග හැරියේය.
රටේ සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳව විපක්ෂය ඉදිරිපත් කරන කරුණු ද ඒවාට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන ආකාරය ද ඔස්සේ අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය පිළිබඳව වටහා ගැනීමට මහජනතාවට ලැබුණු අවස්ථාවක් මග හැරී ගියේය. එසේම විපක්ෂය ආණ්ඩුව දුර්වල වී ඇතැයි නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනු ලැබූව ද දුර්වල වී ඇත්තේ විපක්ෂය බව තමන්ට ලැබුණු අවස්ථාව මගහැර යාමෙන් පැහැදිලි වේ.
පසුගිය වසර තුළ පාර්ලිමේන්තුව ඉතා බලවත් තත්ත්වයකට පත්ව ඇතැයි මා ඉහතින් සඳහන් කළේ එම කාලය තුළ පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් ද ඒ සඳහා පියවර ගෙන තිබීම හේතුවෙනි. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රජයේ ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම පිළිබඳව සහ ස්වාධීන කොමිෂන් සභාවලට නිලධාරීන් පත් කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට හිමි වී තිබේ.
එසේම ආංශික කාරක සභා විශාල සංඛ්‍යාවක් හඳුන්වා දීමෙන් පාර්ලිමේන්තුවට ඕනෑම විෂයයක් පිළිබඳව සොයා බැලීමට ද රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා, දූෂණ ආදිය පිළිබඳව කරුණු හෙළි කර ගැනීමට ද අවස්ථාව සැලසී ඇත. මහා බ්‍රිතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තහවුරු කිරීම සඳහාත් පාරදෘශ්‍යභාවය ආරක්ෂා කිරීම සඳහාත් ආංශික කාරක සභාවලට විශාල වගකීමක් පවරා තිබේ. ඒ තුළින් රටට කරුණු නිරාවරණය වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම සහ වගවීම පරීක්ෂා කිරීමට ද අවස්ථාව සැලසේ. ඒ ආකාරයටම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබුණ ද රටට ප්‍රයෝජනයක් වන අයුරින් විපක්ෂය ඉන් ප්‍රයෝජන ගෙන තිබේ ද යන ප්‍රශ්නය මතු වේ.
මුදල් කාරක සභාවේ සභාපති පදවියෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉවත් කර තිබූ අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී නැවත වරක් එය ඔහුටම ලබා දීමට කටයුතු කළේය. මුදල් කාරක සභාව එය ස්ථාපනය කිරීමෙන් පසුව පැවැති මුල්ම රැස්වීම්වල දී රටට ඉතාම වැදගත් වන කරුණක් පිළිබඳව රජයේ අවධානය යොමු කර තිබූ ආකාරය මතකයට නැගේ. එනම් රටේ සූදු සහ ඔට්ටු ඇල්ලීමේ කර්මාන්තය නියාමන කිරීම සඳහා කිසිදු ආයතනයක් නැති බව ද එවැනි ආයතනයක් පිහිටුවීම සඳහා යෝජනා ඉදිරිපත් විය යුතු බව ද නිගමනය කර තිබුණි. රජය එම යෝජනාව පිළිගෙන එවැනි ආයතනයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය.
මේ ආකාරයට ජනාධිපතිවරයා විසින් එක් අතෙකින් රටේ මීට පෙර කිසිදාක නොවූ ආකාරයට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට උත්සාහ කරද්දී ඇතැම් දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ එම බලය හීන වන ආකාරයෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉදිරිපත් කරන ලද දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව වූ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබීය.
ඒ අනුව අර්ථසාධක අරමුදල විසින් මිලදී ගනු ලැබ ඇති බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති මෙම පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර රජයේ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අහෝසි කරන ලෙස ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ රටේ මූල්‍ය කටයුතු පිළිබඳ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ඇතැම් කුඩා පක්ෂ එය අවුල් කිරීමට කටයුතු කරන බවත් රටේ මූල්‍ය බලතල පාර්ලිමේන්තුවෙන් මිස වෙනත් ආයතනයකට ක්‍රියාත්මක කළ නොහැකි බවත්ය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කථානායකවරයාගෙන් විමසීමක් කර තිබුණි. කථානායකවරයා එයට පිළිතුරු දෙමින් තම නියෝගය ප්‍රකාශයට පත්කළ අතර ණය ප්‍රශස්තකරණය පිළිබඳව යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් එයට පක්ෂව ඡන්ද 122ක් සහ විපක්ෂව ඡන්ද 62ක් ලැබී සම්මත වූ බවත් එය රටේ කිසිම ආයතනයකට ප්‍රශ්න කළ නොහැකි බවත් සඳහන් කළේය. මූල්‍ය කටයුතු පිළිබඳ වගකීම පාර්ලිමේන්තුවට පැවැරී ඇති වගකීමක් බවත් එය කිසිවකුට ප්‍රශ්න කළ නොහැකි බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ය.
කථානායකවරයා විසින් මෙම ප්‍රකාශය කරන අතරතුර තවත් වැදගත් සිදුවීමක් පාර්ලිමේන්තුවෙන් පිටත දී සිදුවෙමින් පැවැතුනි. එනම් ණය ප්‍රශස්තකරණය යටතේ අර්ථසාධක අරමුදල විසින් මිලදී ගනු ලැබ තිබුණු රජයේ බැඳුම්කර සම්බන්ධයෙන් කර තිබෙන වෙනස්කම් නවතා දමන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති විසින් පවරා තිබූ නඩුව පිළිබඳ තීන්දුව ලබා දීමයි. එම නඩුව විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි. කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු පනතක් සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවට ලැබී ඇති මූල්‍ය බලතල පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ද සමාන මතයක් දැරීම විය හැකිය.
කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව විපක්ෂයේ කිසිවෙක් ඒ හා සම්බන්ධව ඒ වහාම ප්‍රකාශයක් හෝ කිරීමට ඉදිරිපත් වූ බවක් නොපෙනේ. ඔවුන් එම ප්‍රකාශයෙන් අන්දමන්දව ගොස් එම අවස්ථාවට මුහුණ නොදී පලාගිය බවක් දැක්වෙන තත්ත්වයක් ඇතිවිය. කෙසේ වුවද ඉන් සෑහෙන වෙලාවකට පසු ඇතැම් මන්ත්‍රීවරු කිහිප දෙනකු කථානායකවරයාගේ තීරණය පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ආකාරය දැකගත හැකි විය.
2001 ජූනි මස 20 වැනි දින එවකට පාර්ලිමේන්තුවේ කථානායකවරයාව සිටි අනුර බණ්ඩාරනායක මහතා ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. ඔහු තීන්දු කළේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ප්‍රශ්න කිරීමට හෝ බාධා කිරීමට හෝ මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බවයි. එය සඳහන් කළ හැක්කේ රටේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය වෙත බලය බෙදී යෑම පිළිබඳවත් එකිනෙක ආයතනවලට පැවැරී ඇති බලතල පිළිබඳවත් නිශ්චිත තීන්දුවක් ප්‍රකාශ කළ අවස්ථාවක් වශයෙනි.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතරයක් අනුර බණ්ඩාරනායක මහතාගේ එම තීන්දුව පිළිගනු ලැබූයේ එය පාර්ලිමේන්තුව සතු බලතල ආරක්ෂා කිරීමට කටයුතු කර තිබීම හේතුවෙනි. එහෙත් අද ඇතැම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ බලතලවලට කුමක් සිදුවුවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය අසාර්ථක වී රට මහා ව්‍යසනයකට ලක්වනු දැකීම ඔවුන්ගේ සතුටට හේතුවන බව එම සිද්ධියෙන් ප්‍රකාශ වේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර