අතීතයෙන් පාඩම් උගත්තාද?


පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුවේ සභාපතිවරයා ලෙස එම කමිටුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට විරුද්ධ වන බවට කළ ප්‍රකාශය මාධ්‍ය සිරස්තල ලෙස තැන තැන දිස්වන්නට ගත්තේය. ඊට හේතුව ලෙස දක්වා තිබුණේ එම ක්‍රියාවෙන් ජාතික ආරක්ෂාව උදෙසා අවදානමක් පවතීය යන්නයි. එය කමිටුවේ ඒකමතික අදහස වන්නේද නැතහොත් කමිටුවේ බහුතරයගේ අදහස වේද යන්න ගැන මම නොදනිමි.

ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය උදෙසා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම වාර්තාවේ කරුණුමය අන්තර්ගත පිළිගන්නා අතරම, ඒ තුළ විෂය කරුණුවලට අදාල තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විග්‍රහයක් නොමැති බව රජය විශ්වාස කරන බවයි. මෙම අඩුපාඩුවට විසඳුමක් ලෙස, ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන තාක්ෂණික සේවා සපයන්නන්ගේ අදහස් සහ තොරතුරු නියාමනය හා මෙහෙයුම් පරීක්ෂාවට ලක් කිරීම අවශ්‍ය බවත්, එම අංශයට අදාල මූල්‍ය දත්ත විග්‍රහයක් සිදුකොට, ශ්‍රී ලංකාවේ, මෙම ක්ෂේත්‍රයේ ජාතික අභිප්‍රායන් වටහාගෙන, පවතින ප්‍රාග්ධන ධාරිතාව ඇගයුමට ලක්කොට ඊට අදාල ගෝලීය ප්‍රවණතා අධ්‍යයනයක් පරිපූර්ණ ලෙස සිදු කළ යුතු බවයි.’’

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයෙන් ආංශික කමිටුවේ ප්‍රකාශය තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විග්‍රහයකින් තොර බව රාජ්‍ය තාන්ත්‍රික බසට හුරු වදන් තෝරා බේරා කියා සිටියද ඊට, විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව දුන් පිළිතුර එම මතයට මුළුමනින්ම විරෝධය ප්‍රකාශ කරන්නක් විය.

ජාතික ආරක්ෂාව යන්න හුඹස් බියක් දනවන්නක් බව අවධාරණය කළ ඔහු, මේ වනවිට අප වැටී ඇති ආර්ථික විනාශයෙන් ගොඩ එන්නට රටට වඩාත් අවශ්‍ය ප්‍රතිව්‍යුහ කරන පියවර එයින් වැළකෙන බවද කියා සිටියේය. විනාඩි 30කට වඩා දීර්ඝ වූ ප්‍රබල රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී හෙතෙම ආංශික කමිටුව ඉදිරිපත් කළ බොහෝ කාරණා සම්බන්ධයෙන් සිය මතය පළ කළේය.

2023 ජූනි 13 වැනිදා පැවැත්වූ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ආංශික කමිටුව ජාතික ආරක්ෂාවට අදාල බලධාරීන් වෙතින් කිසිදු තොරතුරක් ලබාගෙන නොමැති බව අනාවරණය වුණේ යයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේය. ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් වූ එම ප්‍රකාශය හා පරස්පර වන කිසිදු ප්‍රකාශයක් වීරසේකර කියා ඇති බවක් මම නොදනිමි.

මතු කළ යුතු තවත් ප්‍රශ්නයක් වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව තම මතය ප්‍රසිද්ධියේ පළ කිරීමට පෙර සමරජීව වැනි විශේෂඥයකුගෙන් උපදෙස් නොගත්තේ මන්ද යන්නයි. ඒ හා සමාන ජාතික ආරක්ෂාව පිළිබඳව ඔහු විශේෂඥයකු නොවිය හැකි නමුත්, විදුලි සන්නිවේදන තාක්ෂණයේ ලොවපුරා පිළිගත් නවතම ආරක්ෂණයන් පිළිබඳව ඔහු විශේෂඥයකු වන බව මම අනුමාන කරමි. බොහෝ රටවල විදුලි සංදේශන සේවා සපයන්නෝ පෞද්ගලික ව්‍යවසායකයෝය. ශ්‍රී ලංකාවේ ටෙලිකොම්, ඩයලොග් සහ වෙනත් බොහෝ ආයතන මෙන් එකී බොහෝ රටවල අයද විදේශීය කොටස් හිමියෝ වෙති.

අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන් මෑත අතීතයේ කළ වැරදිවලින් පාඩමක් ඉගෙන ගන්නා සෙයක් පෙනී යන්නේ නැත. හරි හැටි තොරතුරක් හෝ දැනුමක් නැතිව, විශේෂඥ මතයක් නොවිමසා ඔවුහු, මහජනතාවට විනාශකාරී ප්‍රතිඵල දෙන හදිසි තීරණවලට එළඹෙති. ඊට අදාල ලැයිස්තුවේ විවිධ කාරණා අඩංගු වන මුත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගන්නා ලද එවැනි වැරදි තීරණ කිහිපයක් මෙහිදී මතකයට නැගේ.

බදු කපා හැරීමේ ඔහුගේ තීරණය, රාජ්‍ය ආදායම සෑහෙන තරමින් පහත වැටීමට බලපෑවේය. එක රැයින් රසායනික පොහොර තහනම් කිරීම හේතුවේ සහල්වල සිට එළළුළු හා තේ දක්වා පරාසයක බෝගවල අස්වැන්න පහත වැටිණි. මහ බැංකුව මුදල් අච්චු ගසන මුද්‍රණාලයක් බටව පත් කර ගැනීම නිසා අධි උද්ධමනය ඇතිවිය. යථාවත් නොවූ විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීම හේතුවෙන් නිල බැංකු හරහා එන විදේශ ප්‍රේෂණ පහළ වැටිණි.

ජපානයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය එක රැයින් අවලංගු කරන ලද්දේ ජපානය සමග හොඳින් වර්ධනය වී පැවති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට සිදුවන හානිය තඹයකට හෝ නොතකාය. කොවිඩ් රෝගයට ගොදුරුව මියගිය වූන් භූමිදානය කිරීමට අවසර නොදීම  නිසා මුස්ලිම් ප්‍රජාවගේ සිත් දැඩි වේදනාවට පත් කෙරිණි.

ඉහත කී සියලුම තීරණ මහජනතාව මත අතිශය දරුණු ප්‍රතිඵල ඇති කරනු ලැබුවේය. අදක්ෂතාව මත පදනම්ව, නිපුණතාවක් හෝ දැනුමක් හරි හැටි නොමැතිව, විෂය කරුණු සම්බන්ධ විශේෂඥ මතය විමසීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කිරීම ආදිය නිසා මෙම තීරණවලින් ලැබු රුදුරු ප්‍රතිඵල, ස්වාධීන විමර්ෂණයකින් නියාමනය කරගත හැකිවන බවට කිසිදු සැකයක් නැත.

ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් විවිධ කමිටු රැස්වීම්වලට සහභාගී වූ, මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක පළ කළ වේදනාත්මක අදහස් තවමත් මගේ මතකයට නැගේ. එම කමිටුවල බොහෝ අය ඉදිරිපත් කළ පත්‍රිකා කියවා නැති බව ඇය නිරීක්ෂණය කළාය. එම ලේඛන කියවූ ටික දෙනා පවා ඒවායේ අන්තර්ගතය අවබෝධ කරගෙන තිබුණේ නැත.

ජාතිවාදය ආගම්වාදය හා වාර්ගික වෛරය ගිනි අවුළුවන චේතනාවෙන් තීරණ ගන්නා බවට අපගේ බොහෝ දේශපාලනඥයන්ට දීර්ඝ කාලයක පටන් චෝදනා එල්ලවී තිබේ. එවැනි දේ නිරීක්ෂණයට ලක්වීම නිසා පූජ්‍ය අජාන් බ්‍රාහ්මි හිමිහට, ශ්‍රී ලංකාව කළ වරද අතහැර සමාව දෙන සුළු රටක් බවට පත්කරන අයුරින් ජනාධිපතිවරයාට තම ශක්තිය වැය කරන ලෙස උපදෙස් දෙන්නට සිදුවූ බව මම අනුමාන කරමි.

රජය ලාභ උපදවන රාජ්‍ය හිමි ව්‍යවසාය පවා විකිණිය යුත්තේ ඇයිද යන්න පිළිබඳව මම මෑතක දී පුවත්පත් ලිපියක් පළ කළෙමි. එම ලිපියේ, මගේ චින්තනයට ඉවහල් වන මූල්‍යමය කරුණු මම ඉදිරිපත් කළෙමි. අපේ දේශපාලනඥයන් එවැනි මූල්‍යමය තීරණ ගැනීමට අදාල විකල්ප ග්‍රහණය කර ගත්තේද යන්න සැක සහිතය. එවැනි විකල්ප දේශපාලනඥයන් තේරුම් ගත්තේ නම් අපගේ රට බංකොළොත් භාවයට පත්වන්නේ නැත.

ගෝඨාභය රාජපක්ෂ රජයෙන් සහ ඊට පූර්වගාමීන්ගේ ආර්ථික කළමනාකරණ දුර්වලතා හේතුවෙන් මූල්‍යමය සම්පත් අඩුවීම නිසා ජාතික ආරක්ෂාවට ඍණාත්මක බලපෑමක් ඇතිවන්නට ඉඩ තිබුණු බව මම විශ්වාස කරමි. අද දවසේ ජාතික ආරක්ෂාව පිළිබඳව හඬ නගමින්, ලාභ උපයන රාජ්‍ය හිමි ව්‍යවසාය විකිණීමට එරෙහි වන උදවිය එවකට නිහඬව උන්නේ ඇයිද යන්න මතු කළ යුතු වලංගු ප්‍රශ්නයකි. ලර්න් ඒෂියා නම්, පර්​ෙ ය්ෂණ ආයතනය මෑතකදී සිදුකළ පර්​ෙ ය්ෂණයකින් 2019 පටන් මෙරට මිලියන හතරක අමතර ජනකායක් දරිද්‍රතාව වෙත ඇද වැටුණු බව අනාවරණය වූයේය. ආසන්න වශයෙන් ජනගහනයෙන් තුනෙන් එකක් පමණ නියෝජනය කරන ජනයා මිලියන හතක් ජීවත්වන්නේ දරිද්‍රතාවයෙනි.

අවසාන වශයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සහ අනෙකුත් ප්‍රතිපත්තිමය විකල්ප ගැන හඬ තලමින්, පුරෝගාමීව උපදෙස් සපයන අයම, අප රටේ බොහෝ ජනයාගේ ජීවිතය උසුලාගත නොහැකි තත්ත්වයට පත්කිරීම ගැන වගකිවයුතු වීම ගැන මම කම්පනයට පත්ව සිටිමි.

ඔවුන් තවමත් මහජනයා ඉදිරියට පැමිණ කෙසේ රට කරවිය යුතුද යන්න ගැනත්, අනාගත මැතිවරණවල තරග කිරීමේ බලාපොරොත්තු තබා ගැනීම ගැනත් නන් දොඩවන්නට තරම් එඩිතරවීම අදහාගත නොහැක්කකි. අරගලය සිදුවූ සැණෙකින් එකී බොහෝ දෙනා නිහඬ වූහ. එහෙත් අවාසනාවකට මෙන් ඔවුහු නැවත තම කටයුතුවලට පැමිණ කෙසේ රට කරවිය යුතුද යන්න ගැන දැඩි විශ්වාසයකින් දොඩවති.

Do we learn from our mistakes? 
ලිපියේ පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ

සංජීව ජයවීර විසිනි