අද - හෙටට කල්දැමීමේ ආදීනව


ආර්ථිකය රටේ ප්‍රමුඛ මාතෘකාවය. ඒ සම්බන්ධව විවේචන, චෝදනා අඩුවක් නැත. ඒ සියල්ල මධ්‍යයේ ආර්ථිකයේ පවත්නා යථාර්ථය ගෙනහැර දක්වන අය ද සිටිති. ආර්ථිකයේ වත්මන් තත්ත්වය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන්නකි. අද තත්ත්වය දෙස බැලිය යුත්තේ, ගෙවුණු දෙවසරක කාලය පිළිබඳ අවබෝධයකින් යුතුවය.

එකී කාලයේ ජනතාව සිටියේ බලාපොරොත්තු භංගවය. රට පැවැතියේ විනාශයට, අගාධයට යන ගමනකය. ඉන්ධන, ගෑස් පෝලිම්ය. විදුලිය කප්පාදුව ජනතාවටත්, ආර්ථිකයටත් දැඩි පීඩනයක් එල්ල කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ විය. එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම බරපතළ අභියෝගයකට ලක්විය. ඒ අනුව බලන විට වත්මන් තත්ත්වය යහපත්ය. අඳුරේ සිටිමින් යම් එළියක් දකින අවස්ථාවක් වශයෙන් මේ තත්ත්වය හැඳින්වීමේ වරදක් නැත.

අසීමිත ණය කන්දරාවක් දරා ගැනීමට රටට සිදුව තිබේ. පරම්පරා ගණනක් කළ වැරැදිවල උච්චම අවස්ථාවට රට මුහුණ දී සිටී. සුද්දන් මේ රටට කළ විනාශය පසෙකින් තැබුවහොත්, ඔවුන් දියුණු යටිතල පහසුකම් පද්ධතියක් දායාද කර ඇති බව හඳුනාගත හැකිය. අනෙක් බොහෝ රටවලට එවන් පහසුකම් ලැබී නැත. එතරම් පහසුකම් ලැබුණු රටක් අද මේ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් සියලු දෙනාම වගකිව යුතුය. අද ආසියාවේ දියුණුවට ගොස් ඇත්තේ, සුද්දන්ගෙන් අපට තරම් පහසුකම් නොලැබූ රටවල්ය. ඒ රටවල් දියුණු වී ඇත්තේ, නිසි නායකත්වයක්, කළමනාකරණයක් ලැබුණු නිසාය.

රටට දරාගත නොහැකි දේශීය ණය කන්ද ඩොලර් බිලියන 42කි. එය ප්‍රශස්තකරණයට ආණ්ඩුව කටයුතු කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කුමක් වුව ද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම්, රටක් වශයෙන් නිවැරැදි වැඩපිළිවෙළක් ජාත්‍යන්තරයට පෙන්නුම් කළ යුතුය. අපේ අවංකභාවය ප්‍රදර්ශනය කළ යුතුය. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ණය ගෙවීම ඇරැඹීමෙන් රට බංකොළොත්භාවයෙන් මිදෙනු ඇත. මේ ප්‍රශ්නයට වෙනත් කිසිවකු වගකිව යුතු නොවීම එයට ප්‍රධාන හේතුවය. මේ තිබෙන්නේ මේ රටේ පාලකයන් සහ ජනතාව විසින්ම අැති කරගනු ලැබූ ප්‍රශ්නයකි. එසේ නම්, පිළිතුරු සෙවීමේදී අපේ කැපවීම මුලින්ම පෙන්නුම් කළ යුතුය. ඉතිහාසයේ අති බිහිසුණු අර්බුදයට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේදී දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් මැවූ යකා අපි නොදැක්කෙමු. ඒ හරහා බැංකු ක්ෂේත්‍රයට වූයේ අවම බලපෑමකි. තැන්පතුකරුවන්ට ද බලපෑමක් නොවූ බව පැහැදිලිය. බැංකු පද්ධතියට ප්‍රශ්නයක් වන්නේ නම්, එය රට අරාජික වීමට හේතුවකි. එවැන්නක් වීමට ඉඩ නොතැබුවේ බැංකු නියාමන ආයතනයයි. එනම්, ශ්‍රී ලංකා මහ බැංකුවයි. මෙරට බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට මහ බැංකුව එදා පටන්ම කටයුතු කළේය. මේ අවස්ථාවේ බැංකු පද්ධතිය ශක්තිමත්ව තිබෙන්නේ එකී තීරණවල ප්‍රතිඵලයක් වශයෙනි.

බැංකු මේ රටට කර ඇති සේවාව අවතක්සේරු කර ඇති බව ද කිව යුතුය. බැංකුවක වත්කම්වලින් ප්‍රාග්ධනය ඇත්තේ ආසන්න වශයෙන් සියයට විස්සකි. ඉතිරි සියයට 80 ජනතාවගෙන් බැංකු ණයට ගත් මුදල්ය. ඒ, විවිධ තැන්පතු මාර්ගයෙනි. කුමන අර්බුද මතු වුවත් මේ සම්බන්ධව බැංකු සහන ලබාගත්තේ නැත. එහෙත්, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර අවස්ථාවේ පටන් මේ දක්වාම බැංකු ජනතාවට විවිධ සහන සලසා තිබේ. බැංකුවල ආදායමෙන් සියයට පනහක් පමණ වඩා බදු ඍජු හා වක්‍රාකාරයෙන් දැනටත් ගෙවමින් තිබේ. ඒ, රටේ උන්නතිය වෙනුවෙනි. ඒ, බැංකු පද්ධතිය ශක්තිමත් නිසාය. ඒ කුමක් කළත්, බැංකු සම්බන්ධව ඇත්තේ විවේචනයකි.

පනවා තිබූ ආනයන සීමා මේ වන විට ටිකෙන් ටික ඉවත් කරමින් තිබේ. එය රටකට ඉතා වැදගත්ය. පරිභෝජනයට මෙන්ම රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රිය වීමට මේ පියවර හේතු වන බව පැහැදිලිය. මේ රටේ ආර්ථිකයේ පදනම වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හැඳින්වීමේ වරදක් නැත. පසුගිය කාලයේ ඇති වූ අර්බුදය හමුවේ මේවායෙන් සෑහෙන ගණනක් වැසී ගියේය. අද වන විට මේවායෙන් යම් ප්‍රතිශතයක් පවත්වාගෙන යන්නේ බෙහෙවින් අපහසු වාතාවරණයකය. තවත් ඇතැම් එවන් ව්‍යවසාය යම් ස්ථාවර බවක් පවත්වාගනිමින් තිබේ. එනිසා මේ සියල්ල ශක්තිමත් කිරීමට ආනයන සීමා ලිහිල් කිරීම හේතුවක් වනු ඇත. ආනයන සීමා පනවා තිබුණේ ද නිකම්ම නොවන බව ද වටහාගත යුතු කරුණකි.

උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. එය ඉතා අහිතකරව ජනතාවට බලපෑවේය. සියයට 70 ඉක්මවා ගිය උද්ධමනය මේ වන විට තනි ඉලක්කමක අගයක ආසන්නයට පැමිණ තිබේ. එය රට පැත්තෙන් සතුටු විය හැකි තත්ත්වයකි. ඒ වගේම පොලී අනුපාත ඒ හා බැඳුණු අනෙක් කරුණය. පොලී අනුපාත වැඩි වීම කාටවත් ලාබදායී නැත. ඉහළ නැගි පොලී අනුපාත ක්‍රමයෙන් පහළ යමින් තිබේ. මෙය සාධනීය තත්ත්වයකි. ආයෝජන වැඩි වීමට නම්, පොලී අනුපාත පහළ යාම අත්‍යවශ්‍යය. රටේ මූල්‍ය තත්ත්වය, නිෂ්පාදනය, පාරිභෝජනය වැඩි වීමට පොලී අනුපාත පහළ යාම හේතු වනු ඇත. සුළු හා මධ්‍ය ව්‍යවසාය දියුණු වන්නේ පරිභෝජනය වැඩි වන තරමටය. සාමාන්‍ය ජනතාව ජීවිකාව කරගන්නේ ඒ අනුවය. ඒ වගේම පොලී අනුපාත අඩු වීම හරහා බැංකුවලට ද ව්‍යවසාය ක්ෂේත්‍රයට වැඩි ශක්තියක් උත්තේජනයක් ලබාදීමට අවකාශ උදා වී තිබේ. ආර්ථිකය යහපත් අතට හැරවීමට ආරම්භයක් ගැනීමට මේ හරහා පුළුවන. පවතින වාතාවරණය අනුව බොහෝ දෙනා සිතන්නේ ප්‍රශ්න අවසන් කියාය. එසේ සිතීමම මුළාවක් විය හැකිය. සිදුව ඇත්තේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ආරම්භ වීම පමණකි. එය කිසි ලෙසකින්වත් මේ මොහොතේ අමතක නොකළ යුතුය. තමන්ට ද වගකීමක් ඇති බව ජනතාව අවබෝධ කරගත යුතුය.

සාක්ෂරතාව අතින් ජනතාව ඉහළ මට්ටමක සිටින බව පැවැසුණ ද විවේචනාත්මකව හරි දේ වටහා ගැනීමට මේ අයට නොහැකි වීම කනගාටුදායකය. ජනතාව බුද්ධිමත්ව තීරණ ගත්තා නම්, රට අද මෙතැනට වැටුණේ ඇයි දැයි උභතෝකෝටිකයකි. රටේ ප්‍රශ්න අවසන් යැයි සිතා තමන්ගේ ප්‍රශ්නවලට ප්‍රමුඛත්වය දීමට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. තමන්ගේ දීමනා, තනතුරු, වරප්‍රසාද ප්‍රශ්න ඉදිරියට ගෙන ඇත්තේ ඒ නිසාය. ජනතාව මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්න ඒ අනුව පසෙකට තල්ලු වී තිබේ.

සම්පත් අසීමිත යැයි ඇතැම් අය සිතති. එහෙත්, තිබෙන සම්පත් සීමිතය. අපට ඇත්තේ ජලය නොසිඳෙන පින් ළිඳක් නොවේ. ඇතැම් අය රටේ සම්පත් භාවිත කළේ රට පින් ළිඳක් යැයි සිතාය. සම්පත් නමැති ළිඳ සිඳෙන බව ඔවුහු නොසිතූහ. සම්පත් ලැබෙන මාර්ග ගැන නොසිතූහ. ක්‍රම සම්පාදනය නොකළහ. අවබෝධ කර නොගත්හ. අද ඇස්පනාපිට තිබෙන්නේ එකී අනවබෝධයේ කනගාටුදායක ප්‍රතිඵලය. මූල්‍ය කළමනාකරණයේ තිබෙන දුර්වලතා සහ බැරෑරුම්කම තේරුම් ගත් අය අඩු වීම අවාසනාවකි. ප්‍රාග්ධනයක් උත්පාදනයට කටයුතු කළේ නැත. මූල්‍ය විනය ඇති කරගත්තේ නැත. ණය මතම යැපුණේය. ණය, සම්පත් වශයෙන් සැලකුණි. ණය ගොඩගැසුණේ ඒ හේතුවෙනි. ණය නිවැරැදිව ආයෝජනය කළේ නම්, අද මේ අර්බුද නැත. නිසි මූල්‍ය විනයක අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන්නේ එනිසාය.

යාමට ඇත්තේ දුෂ්කර ගමනකි. ඒ ගමනේදී තව තවත් කැපකිරීම් කරන්නට සිදු විය හැකිය. ඒ, රටේ යහපත උදෙසාය. බදු සම්බන්ධයෙන් විවිධ විවේචන තිබේ. බදු බර දරාගත නොහැකි බවට චෝදනා බොහෝය. ඉහළ උද්ධමනය හමුවේ ජනතාව නගන චෝදනා අසාධාරණ නැත. එහෙත්, විය යුත්තේ, බදු අයකරන ක්‍රමවේදය, බදු දැල පුළුල් කිරීමය. හරි ක්‍රමයට මේ රටේ බදු ගෙවන්නේ ශ්‍රමිකයන් පමණි. ඒ වගේම ආයතන ස්වල්පයකි. බදු ගෙවිය යුතු විශාල පිරිසක් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙවැනි පිරිස් බදු දැලට හසු කරගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යය. ජනතාව ගෙවන බදු නිසියාකාරයෙන් කළමනාකරණය ද අවශ්‍යය. නාස්තිය, දූෂණය, අනිසි කළමනාකරණය, අකාර්යක්ෂමතාව ඇති තැනක බදු සම්බන්ධ ජනතා මැසිවිල්ල අසාධාරණ නැත.

ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොදුනහොත්, ජනතාව යළි පෙළ ගැසෙන්නට පුළුවන. අතීත අත්දැකීම අවතක්සේරු නොකර, ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුය. ඒ වගේම, මේ ප්‍රශ්න තවත් පරපුරකට උරුම කර නොදීම සැමගේ වගකීමය. ජනප්‍රිය තීරණ වෙනුවට නිවැරැදි තීරණ ගැනීමට කාලය එළැඹ තිබේ. සුබසාධන මානසිකත්වයෙන් ඉවත් වීම ද අත්‍යවශ්‍යය. තවත් පරපුරක් විනාශ කරන ගමනක් යාමෙන් වැළකිය යුතුමය.

වෘත්තිකයන් රට හැර යන බව නිරන්තරයෙන් ඇසෙන කතාවකි. බුද්ධිගලනයට ආර්ථික දරිද්‍රතාවත්, සමාජ දරිද්‍රතාවත් බලපා තිබේ. සමාජය අවලස්සනය. ඉල්ලීම්, වර්ජන, අරගල, ප්‍රශ්න ඒ අවලස්සනට හේතුය. කිසිදු සමාජ ආර්ථික ස්ථාවරත්වයක් නැත. අනාගතය ගැන ඇති අවිශ්වාසය මේ බුද්ධිගලනයට හේතුවකි. රටේ හොඳම කොටස මෙලෙස විදෙස් රටවලට යාම බරපතළ ප්‍රශ්නයකි. ඉහළ ලකුණු ගන්නා විශ්වවිද්‍යාල සිසුන් විදෙස් රටවලට යන්නේ ඇයි? අනාගතය අවිශ්වාස නිසාය. මේ ප්‍රවණතාව කිසිවකුගේ අවධානයට ලක්ව නැත. බුද්ධිගලනය බැංකු ක්ෂේත්‍රයට දැඩිව බලපා තිබේ. ඉතා පළපුරුදු, දක්ෂ අනාගතය බාරගැනීමට සිටින කළමනාකරුවන් රට හැර යාම බරපතළ ප්‍රශ්නයකි. එක් ආයතනයක 150කුත්, තවත් ආයතනයක 600කුත් මා දන්නා තරමින් රට හැර ගොසිනි. එහෙත්, මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය වී නැත. රටේ දේශපාලනය, ස්ථාවරත්වය, නායකත්වය, නීතිය, සාමය ගැන විශ්වාසයක් ඇති නොකොට මේ තත්ත්වය වළක්වාගත නොහැක.

දරිද්‍රතාව සහ විරැකියාව දුරු කිරීම අධ්‍යාපනයෙන් ඇරැඹිය යුත්තකි. ලෝකයත් සමග වෙනස් වන ආකාරයට නිසි අධ්‍යාපන වැඩපිළිවෙළක් එයට අවශ්‍යය. සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව නව ලොවට ගැළපෙන්නේ නැත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කොතරම් දුරට නව ලොවට අනුගත වන ආකාරයට සකස් වී තිබේ දැයි වෙනම විමසිය යුත්තකි. ගණිතය, විද්‍යාව අසමත් කර නව ලොවට ගැළපෙන අය සැකසිය නොහැක. හොඳ ශිල්පයක් උගෙනීමේ අවබෝධය සමාජයේ තිබිය යුතුය. එයට අවශ්‍ය වටපිටාව සැකසීම නිලධාරීන්ගේ, බලධාරීන්ගේ සහ රජයේ වගකීමය. ඒ වගේම රටේ තවත් අර්බුදයක් ඇති නොවන ආකාරයට වැඩ කිරීමේ වගකීම සියලු දෙනාගේ දෙවුර මත ඇති බව අමතක නොකළ යුතුය. මූල්‍ය විනය, දේශපාලනය, නීතිය හා සාමය රැකීම, විනය මෙන්ම ජාතික ප්‍රශ්නය විසඳීම ද මෙහිදී ප්‍රමුඛ කොට සැලකීම අවශ්‍යය.

රජයක් සිටිය යුත්තේ ව්‍යාපාර කිරීමට නොවේ. පවතින දේශපාලන සංස්කෘතියට මේවා තවත් ගැළපෙන්නේ නැත. මේවාට එක්වන්නෝ නුසුදුස්සෝය. රජයේ දායකත්වය වැඩි වන තරමට වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාව ද වැඩි වන බව පැහැදිලිය. රජය සතු ව්‍යවසාය 120කින් පමණ ආයතන තුන හතරක් හැරුණු කොට අනෙක් ඒවා රජය සතුව තබාගැනීම නිශ්ප්‍රයෝජනය. ඒවා රටට දායාද කරන්නේ අමතර බරකි. අකාර්යක්ෂමතාව සහ මාෆියා ඇතැම් ආයතන අරක්ගෙන තිබේ. මහා භාණ්ඩාගාරයට තවදුරටත් මේවා නඩත්තු කළ නොහැකි නිසා නිසි පිළිවෙළට, විනිවිදව මේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හෝ පෞද්ගලීකරණය රටට වාසියකි. දැඩි විනයකින්, කැපවීමෙන් කටයුතු නොකළොත්, ඊළඟ අර්බුදය වඩා භයානක විය හැකිය.

පෑන් ඒෂියා බැංකුවේ සභාපති ජයන්ත රන්ගමුව

සටහන – චමින්ද මුණසිංහ