අදට ඕනෑ ඡන්දයද? ආර්ථිකයකද?


පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නෛතික බලය මැතිවරණ කොමිෂන් සභාවට 2022 වසරේ සැප්තැම්බර් මස 19 වැනි දින සිට හිමි විය. එහෙත් ඒ සම්බන්ධයෙන් බලපැවැත් වූ බාධක කිහිපයක් තිබිණි. එම කොමිසම ප්‍රකාශ කළ ආකාරයට අදාළ බාධක ඉවත් වීමෙන් පසු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මුල දී මැතිවරණය කැඳවීමේ හැකියාවක් තිබුණ ද එය ප්‍රමාද විය.

කෙසේවෙතත් මේ වන විට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබේ. 2023 වසරේ මාර්තු මස ආරම්භක සතිය වන විට මෙම මැතිවරණය පැවත්වීමට පිළිවන. නාමයෝජනා භාර ගැනීමෙන් පසු අපේක්ෂකයන්ට ප්‍රචාරණ කටයුතු කිරීම සඳහා සති පහක කාලයක්වත් ලබා දිය යුතුය.

එහෙත් මෙම මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමේ උත්සාහයක ආණ්ඩුවත් මැතිවරණයට අකමැති පාර්ශවත් නිරත වී සිටින බව අපේ වැටහීමයි. එහි එක් අවස්ථාවක් නම්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව බෙදුණු තීරණයක සිටින බව සමාජගත කිරීමට දරන උත්සාහයයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉකුත් 6 වැනි දින මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කැඳවා සාකච්ඡා කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක එවැනි කැඳවීම් කිරීම සදාචාර සම්පන්න ක්‍රියාවක් සේ ගිණිය නොහැකිය.

මන්ද, එමගින් මැතිවරණ කොමිසමට වක්‍ර බලපෑමක් කරන්නේය යන ඇඟවුම සමාජගත විය හැකි බැවිනි. එහෙත් අපගේ වැටහීම අනුව, මේ මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ කිසිදු බෙදීමක් නොමැත. පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනි දින එම කොමිෂන් සභාව මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පිරික්සීමේදී ද ඒ බව පැහැදිලි වේ. එසේම ඉකුත් කාලයේදී මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් පස් දෙනාගෙන් කිසිවකු මේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර නොතිබිණි.

මෙම මැතිවරණය පැවැත්වීම කල්දැමීම වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉවත් වීමේ සූදානමක් පවතින බවටද ප්‍රචාරයක් නිර්මාණය කර ඇති බවක් දැකිය හැකිය. මැතිවරණයක් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට එම කොමිෂන් සභාවේ සාමාජිකයන් පස් දෙනාගෙන් තිදෙනකුවත් අවශ්‍ය වන අතර එහි සාමාජිකයන් තිදෙනකු ඉල්ලා අස්වුව හොත් මැතිවරණය පැවැත්වීමට අදාළව ප්‍රායෝගික බාධාවක් නිර්මාණය වේ. මැතිවරණය පැවැත්වීමට බාධාවක් වන ආකාරයට සිහිබුද්ධියක් සහිත කිසිදු සාමාජිකයකු ඉන් ඉල්ලා අස් වෙතැයි අපි විශ්වාස නොකරමු.

මෙම මැතිවරණය කල්දැමීම වෙනුවෙන් පෙනී සිටින පාර්ශව මතු කරන තවත් තර්කයක් වන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණය සඳහා වෙන් කිරීමට මුදල් නොමැති බවය. 2023 වසර වෙනුවෙන් සම්මත කරන ලද අයවැය ලේඛනය මගින් මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ කිසිදු මන්ත්‍රීවරයෙක් විරුද්ධත්වය පළ නොකළේය. ඒ අනුව, රටේ මුල්‍ය පාලනය පිළිබඳ බලය තිබෙන පාර්ලිමේන්තුව මෙම මුදල් වෙන් කිරීම එහි බහුතරයෙන් අනුමත කර ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව සහ මුදල් වෙන් කර නොමැති බවට පළ වන කතා මේ අනුව ප්‍රතික්ෂේප වේ.

මේ වේලාවේ මැතිවරණයක් පැවැත්වීමට වඩා ප්‍රමුඛතාව දිය යුත්තේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට බවට වන කතාබහක් ද නිර්මාණය වී තිබේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් හැටියට එය සත්‍ය බව අපි ද පිළිගනිමු. එහෙත් ඒ සියලු දේට වඩා මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් බවත් අපි විශ්වාස කරමු. ඒ, රටේ පවතින සියලු අර්බුදවල නිර්මාතෘවරුන් දේශපාලනඥයන් වන බැවිනි. එනිසා දේශපාලනයෙන් තොරව මේ අර්බුදය විසඳීමට නොහැකිය. පුරවැසියන් සතු ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කෙරෙන්නේ මැතිවරණ හරහා නම්, ජනතාවට හිමි එම අයිතිය පැහැර ගැනීමට කිසිවකුට නුපුළුවන.

මෙම මැතිවරණය කල්දැමිය හැකි අවස්ථා දෙකක් තිබේ. එකක් නම්, පළාත් පාලන ආයතනවල කාලය අවසන් වූ පසු විෂය භාර අමාත්‍යවරයාට ඒවායෙහි මැතිවරණය පැවැත්වීම වසරකින් කල්දැමීමට හැකි වීමය. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විෂය භාර අමාත්‍යවරයා විසින් මැතිවරණය වසරකින් කල් දමනු ලැබූ අතර එම වසරක කාලය අවසන් වීම නිසා දැන් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් කටයුතු සූදානම් වෙමින් තිබේ. දෙවැනි අවස්ථාව ක්‍රියාත්මක කළ හැක්කේ තේරීම්භාර නිලධාරීන් මාර්ගයෙනි. පනතේ 38 (3) වගන්තිය ප්‍රකාරව මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු පාලනය කළ නොහැකි බරපතළ ආපදාවක් රටේ උද්ගත වුවහොත් මැතිවරණ කොමිසමට තේරීම්භාර නිලධාරීන් හරහා මැතිවරණ කල්දැමිය හැකිය.

කොවිඩ් වසංගතය සක්‍රීයව පැවති අවධියේ අවස්ථා දෙකකදී එසේ මැතිවරණ කල්දැමිණි. කෙසේවෙතත් දැන් රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය වැනි සාධකයක් එවැනි ආපදාවක් වශයෙන් සැලකිය නොහැකිය. මන්ද, ආර්ථික අර්බුදයක් මධ්‍යයේ මෙම මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත් කළ හෙයිනි. එබැවින් මැතිවරණය කල්දැමීම සඳහා එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය යොදා ගත නොහැකි බව අපේ වැටහීමයි.

පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ගෙනැවිත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමට හැකියාවක් නැතත් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් මාර්ගයෙන් ඒ සඳහා කටයුතු කිරීමට හැකියාවක් ඇත්ද යන්න ගැන සෙවිල්ලෙන් පසුවන බවක් පෙනේ. තරුණ නියෝජනයට අදාළ පනත් කෙටුම්පත මේ වන විටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ප්‍රචාරණ වියදම්වලට අදාළ පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබේ. මෙවැනි පනත් කෙටුම්පත් භාවිත කරමින් මේ මැතිවරණය කල්දැමීමේ සූදානමක් පවතින්නේ ද යන සැකය ජනතාවට තිබේ. ඒ, මෙරට දේශපාලන තන්ත්‍රය පිළිබඳ වන මහජන විශ්වාසය බිඳ වැටී ඇති නිසාය.

කෙසේවෙතත් මැතිවරණ කොමිසම සතු ව්‍යවස්ථාපිත වගකීම වන්නේ නිසි වේලාවේදී මැතිවරණ පැවැත්වීමය. වර්තමාන ජනාධිපතිවරයා අගමැතිව සිටියදී පළාත් සභා මැතිවරණය කල්දැමීමට කටයුතු කළ අතර මේ වන විට වසර තුනත් පහත් අතර කාලයක් එම මැතිවරණය කල්දමා තිබේ. එය පළාත් පාලන මැතිවරණයට ද සිදු කිරීම සඳහා ඉඩ ලබා දිය නොහැකිය. ආණ්ඩුව පැත්තෙන් ඒ වෙනුවන් අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බවක් පෙනේ.

පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය ඇති කිරීම ඉතා වැදගත් වේ. ඊට අදාළ යෝජනාව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් හැටියට ඉම්තියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා මීට අවුරුද්දකට කලින් ඉදිරිපත් කළේය. එහෙත් ආණ්ඩුව එම පනත් කෙටුම්පත ගැන සැලකිලක් නොදැක්වීය.

ඉන්පසු ඊට අදාළව ප්‍රේම්නාත් දොළවත්ත මන්ත්‍රීවරයා විසින් ගෙන එන ලද පනත් කෙටුම්පත ගැන ද ආණ්ඩුව මුල් කාලයේ සැලකිල්ලක් දැක්වූයේ නැත. කෙසේවෙතත් මේ අවසන් මාස කිහිපය ඇතුළත එම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ගෙන ඒම වෙනුවෙන් සූදානම් කර තිබේ. එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැතත් එය කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කරන්නේ සත්භාවයෙන් ද යන ප්‍රශ්නය මතු වේ.

මැතිවරණ අපේක්ෂක වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩු තුනක් යටතේ අවස්ථා තුනකදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එහෙත් එය මෙතෙක් ක්‍රියාතමක වූයේ නැත. එබැවින් එම පනත් කෙටුම්පතත් මෙම මැතිවරණය කල්දැමීම වෙනුවෙන් මෙහෙයෙහි යොදා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ද යන සාධාරණ සැකය මතු වේ.

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය සුදන්ත ලියනගේ ඇතුළු කණ්ඩායමක් වෙනම යෝජනාවක් සකස් කළහ. එහි ඇතුළත් යෝජනා ද මේ දක්වා ක්‍රියාත්මක නොවිණි. එසේම සභික සංඛ්‍යාව අඩු කළ යුතුය යන කතිකාව මීට වසර හතරකට ඉහතදී ද සාකච්ඡා වුවද අවශ්‍ය ක්‍රියාමාර්ග කිසිවක් නොගැනිණි. මැතිවරණය පැවැත්වීමට ආසන්න කාලය වන විට එය යළිත් සාකච්ඡාවට ගෙන තිබෙන්නේ මෙම මැතිවරණය කල් දැමීමටද යන සැකය ඇතිවීම වැළැක්විය නොහැකිය.

මෙම මැතිවරණයෙහි වදගත්කම අංශ ගණනාවකින් දැක්විය හැකිය. රටේ දේශපාලන සංස්කෘතිය ජනතාවගේ දැඩි විවේචනයට බඳුන්ව ඇති අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත් වේ. එවැනි සන්දර්භයක සුදුසු පුද්ගලයන්ට නාමයෝජනා ලබා දීමට දේශපාලන පක්ෂ අසමත් වුවහොත් එම පක්ෂ මැතිවරණයෙන් පරාජය වීමට පුළුවන. එසේම මෙම මැතිවරණය ජනාධිපතිවරයා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියකු ද යන්න පරීක්ෂා වන අවස්ථාවක් වනු ඇත. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු දක්වන සහයෝගය හෝ ඇති කරන බාධා කිරීම් මත හෝ එය නිශ්චය වේ.

රටේ දරුණු ආර්ථික අරබුදයක් උද්ගතව තිබියදීත් මෙවැනි මැතිවරණයක් පැවැත්වීම හරහා ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයක්ය යන පණිවුඩය ලෝකයට සන්නිවේදනය වනු ඇත. මැතිවරණයෙහි ප්‍රතිඵලය කුමක් වුවත් ජාත්‍යන්තර ප්‍රජාවේ සහ ලංකාවට ආධාර ලබා දෙන ආයතනවල ඉහළ අවධානයක් යොමු වී ඒ ඔස්සේ ආර්ථික අර්බුදය තුනී කර ගැනීම වෙනුවෙන් පහසු වටාපිටාවක් නිර්මාණය වීමට ද පිළිවන.

මෙම මැතිවරණය වැදගත් වන තවත් කරණයක් නම්, ලංකා ඉතිහාසයේ මහජන අරගලයකින් රාජ්‍ය නායකයකු බලයෙන් පහ කිරීමෙන් පසු පවත්වන පළමු මැතිවරණය නිසාය. එබැවින් ජනතා පීඩනය ප්‍රකාශයට පත් වන මැතිවරණයක් ලෙස මෙය සැලකිය හැකිය. මැතිවරණය නොපැවැත්වුව හොත් එම ජනතා පීඩනය ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රකාශයට පත් වීමට ඉඩ ඇත. මැතිවරණය පැවැත්වීම හරහා ඒ ආකාරයේ ප්‍රචණ්ඩත්වයකට ඇති ඉඩ ඇහිරී ජනතාවට කතිරයෙන් සිය විරෝධය හෝ කැමැත්ත හෝ පළ කිරීමට පිළිවන.

සටහන - උපුල් වික්‍රමසිංහ

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆ්රල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි