අධීක්ෂණයට යටත් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන


ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා  ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක් පසුගිය වසර කිහිපයේ දිවිනසාගෙන ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කළ ප්‍රකාශය නොබෝදා අප ලංකාදීප පුවත්පතේ පළ වූයේය.

පසුගිය වසර කිහිපය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකිව දිවි නසාගත් කාන්තාවන්ගේ සංඛ්‍යාව ඇත්තෙන්ම මීටත් වැඩි  සංඛ්‍යාවකි. 2021 වසරේ දෙසැම්බර් 21  දාතමින් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවකු ප්‍රසිද්ධියට පත් කළ වාර්තාවකට අනුව එම වසරේ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙසීයකට අධික සංඛ්‍යාවක් ක්ෂුද්‍ර මූල්‍ය ණය හා පොලී   ගෙවාගත  නොහැකි වීම නිසා සියදිවි හානිකර ගෙන තිබේ.

එම වාර්තාවට අනුව ඒ වන විට කාන්තාවෝ ලක්ෂ 28ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකිව එකී ණය උගුලේ වැටී සිටියහ. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ මේ වන විට වැටී සිටින කාන්තාවන් සංඛ්‍යාව මීට වැඩි යයි අනුමාන කළ හැකි වේ.

සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර මූල්‍ය සේවාවල අරමුණ විය යුත්තේ අඩු ආදායම් ලාභීන්ට මූල්‍ය සේවා සැපයීමයි. මෙම කාර්යය කළයුතු වන්නේ දුප්පත් ජනතාවට සහාය වන උපදේශක කණ්ඩායම් විසිනි. සාමාන්‍ය බැංකු වලින් ණය ලබා ගැනීමේදී ඉල්ලා සිටින  ඇප /සුරැකුම් ලබාදීමට නොහැකි දුගී ජනයාට ණය, තැන්පතු සහ වෙනත් මූල්‍ය පහසුකම් සැපයීම ක්ෂුද්‍ර මූල්‍ය සේවා වලින් බලාපොරොත්තු වේ.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අරමුණ විය යුත්තේ ඉහත කී ආකාරයෙන් දුගී ජනතාවට පිහිට වීමය. ග්‍රාමීය මට්ටමේ අඩු ආදායම්ලාභී පවුල් මෙරට ආර්ථික වර්ධනයේ ක්‍රියාකාරී මෙහෙවරක් ඉටු කරති. ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ඔස්සේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමෙන්  ආර්ථිකය වර්ධන වේ යැයි සාමාන්‍යයෙන් බලාපොරොත්තුවේ. ඔවුන් ආර්ථික පරිපීඩිත භාවයට ගොදුරුවීම ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම්  ඔස්සේ වැළැක්විය හැකි වේ යැයි ද එයින් බලාපොරොත්තු වේ. එහෙත් ඇත්තෙන්ම සිදුව ඇත්තේ එහි විරුද්ධාර්ථය බව කාන්තාවන් ණය ගෙවා ගත  නොහැකිව සිය දිවි හානිකර ගැනීමෙන් පෙනී යයි.

රජයේ නියාමනයට යටත් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ග්‍රාමීය මට්ටමේ ක්‍රියාත්මක වී තිබීම මෙම  තත්ත්වයට මූලික හේතුවයි. මෙරට ග්‍රාමීය මට්ටමේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් එක්  දහස් පන්සියයක් පමණ  ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරීව පවතින බව වාර්තා වේ.  ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ නියාමනයට යටත් වන ආකාරයෙන් ලියා පදිංචි වී ඇත්තේ මෙම සමාගම් වලින් පනස් හතරක් පමණකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ එයිනුත් සමාගම් හතරක නම් පමණකි.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත, 2016 ජූලි 15 වැනි දින පටන් බලාත්මක කරනු ලැබුවේ ඊට දශකයකට පමණ පෙර පටන් ක්‍රියාත්මකව තිබූ  ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ලියාපදිංචි කොට නියාමනයට යටත් කරනු සඳහාය. එහෙත් තවමත් එකී පනතෙන් බලාපොරොත්තු වූ කාර්ය භාරය  ඉටු වී නැත.

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ නියාමනයට යටත් නොවූ  ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්, ග්‍රාමීය මට්ටමේ  ජනතාවගෙන් හිතුමතේ අධික පොලී අය කරති. ඔවුහු ණය අය කර ගැනීමේදී සදාචාරාත්මක නොවූ ක්‍රම ගම් මට්ටමේ ණය එකතුකරන්නන් යොදාගෙන  ක්‍රියාත්මක කරති. එකී බොහෝ ක්‍රම ජනතාවගේ ආත්ම ගරුත්වය  තුට්ටුවට ඇද දමන ඒවාය.

ඒ සියල්ල ඔස්සේ නියාමනයට නතු නොවූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් කරන්නේ ගම්බද දුගී ජනයාට ආර්ථික වශයෙන් උපකාර කරනු වෙනුවට ඔවුන් සූරා කෑමට ලක් කිරීමයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවා ඔස්සේ රජයෙන් ලබාදෙන සහන කිසිවක් නියාමනයට යටත් වූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 54න් මිස ඊට පරිබාහිර මූල්‍ය ආයතනවලින් ග්‍රාමීය ජනතාවට නොලැබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය සංකල්පයේ මුඛ්‍ය අරමුණ ග්‍රාමීය ජනයාගේ ආදායම් උත්පාදනය වර්ධනය කොට ආර්ථිකය නගාසිටුවීම වුවද  රජයේ අධීක්ෂණයට යටත් නොවූ සමාගම් කරනුයේ ජනයා ණය උගුලේ පටලවා උපරිම ලාභ ලබා ගැනීමයි. අධීක්ෂණයට යටත් නොවූ මූල්‍ය සමාගම් නියාමනය කිරීම උදෙසා 2016 අංක 6  දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත ප්‍රමාණවත් නොවේ නම් ඒ සඳහා නව නීති පණගන්වා ග්‍රාමීය ජනයා සූරා කෑම  නවතාලීමට කාලය එළඹ තිබේ. රටේ ආර්ථිකය යථාතත්ත්වයට පත් කිරීමේ දී එම කාර්යයද වැදගත් වේ. 

(***)