අනතුරක් නැත්නම් තහනමක් අවශ්‍යද?


ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06කට සහ පුද්ගලයන් 316කට මෙරට තුළ පනවා තිබූ තහනම ආරක්ෂක අමාත්‍යාංශය මගින් පසුගියදා ඉවත්කරනු ලැබීය. ආරක්ෂක අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වූයේ එම සංවිධාන සහ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ දීර්ඝ අධ්‍යයනයක නිරතවීමෙන් පසුව ලැබුණු නිර්දේශ මත මෙම පියවර ගනු ලැබූ බවය.

එම තීරණයත් සමඟ ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය (ACT), ගෝලීය දෙමළ සංසදය (GTF), ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව (WTCC), ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය (JEPA), කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC) සහ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF) යන ජාත්‍යන්තර දෙමළ සංවිධානවල තහනම ඉවත් වනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මුතිය අනුව පුද්ගලයන් 577 දෙනකු සහ සංවිධාන 18ක් අසාදුගත ලේඛනයට ඇතුළු කර තිබෙන බවය.

ආරක්ෂක මණ්ඩල සම්මුතිය අනුව තවත් පුද්ගලයන් 55 දෙනකු අසාදුගත කිරීමටත් සංවිධාන 03ක් තහනම් කිරීම සඳහා අලු‍තෙන් ලැයිස්තුගත කිරීමටත් යෝජනා වී ඇතැයිද සඳහන් වේ. ඒ අනුව ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) සහ දෙමළ පුනරුත්ථාපන සංවිධානය (TRO), ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) ඇතුළු ද්‍රවිඩ සහ මුස්ලිම් සංවිධාන 15ක්ද අසාදුගත ලේඛනයට තවමත් ඇතුළත් අතර එම සංවිධානවල තහනම ඉවත් කර නැත.

මෙම තහනම ඉවත් කිරීම මේ ආන්දෝලනයකට හේතු වූ අතර රටේ ඇතැම් පිරිස් ඒ පිළිබඳව තම විරෝධය ප්‍රකාශ කර තිබිණි. ඒ සමඟ ජනාධිපති කාර්යාලය ඊට අදාළව සවිස්තරාත්මක නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. මෙම ක්‍රියාවලිය 2014 වසරේ පටන් ක්‍රියාත්මක වූ බවත් ඊට අදාළ ගැසට් පත්‍ර 08ක් මේ වනවිට නිකුත් කර ඇති බවත් එහි සඳහන්ය.

2014 මාර්තු මස 21 වැනිදා මේ සම්බන්ධයෙන් පළමු ගැසට් නිවේදනය නිකුත් වූ අතර එමගින් පුද්ගලයන් 16කගේ නම් ඉවත් කර තිබිණි. ඒ අනුව වරින්වර පුද්ගලයන් සහ සංවිධාන තහනමෙන් ඉවත්කර තිබූ අතර අවසන් වරට පසුගිය අගෝස්තු 01 වැනිදා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයට අනුව පුද්ගලයන් 316කගේ සහ සංවිධාන 06කගේ තහනම ඉවත්කර ඇත. මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් නිසි බලධරයා වෙත ඊට හේතු සාධකද සහිතව ලිඛිතව ඉල්ලීම් කළ හැකි බවද සඳහන්ය. මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් ගනු ලබන තීරණය අවසානාත්මක වුවද එය මහාධිකරණයේදී අභියෝගයට ලක් කිරීමටද අවස්ථාව තිබේ.

මේ අනුව පැහැදිලි වන්නේ එය හදිසියේ ගනු ලැබූ තීන්දුවක් නොවන බවය. රටේ යුද්ධය අවසාන වීමෙන් පසුව වසර 05ක් ඇතුළත ආරම්භ වූ ක්‍රියාදාමයක තවත් දිගුවක් ලෙස මේ තීන්දුව ගෙන තිබේ. කොරහේ කිඹුලන් දකින පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට මෙය හදිසියේ ගනු ලැබූ තීරණයක් හැටියට පෙනී යා හැකිය. අවශ්‍ය නම් එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර ගැනීමේ ව්‍යායාමයේ දෙමළ දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීම වෙනුවෙන් ගනු ලැබූ තීන්දුවක් හැටියටද කෙනකුට හඳුන්වා දිය හැක.

එහෙත් සත්‍ය තත්ත්වය නම් යුද්ධය අවසන් වී වසර 13ක් ඉක්මවමින් සිටින අප තවදුරටත් අන්තවාදී ප්‍රතිපත්තිවල එල්ලී සිටීමෙන් පලක් නැති බවය. මෙම තහනම පවත්වාගෙන යාමෙන් රටට ලැබුණු කිසිවක් නැති බවය. විශේෂයෙන් ලබන මාසයේදී ජිනීවා මානව හිමිකම් සැසිය ශ්‍රී ලංකාවට මහත් බලපෑමක් ඇති කරන බව දැනටම ප්‍රකාශ වී තිබේ. එබඳු තත්ත්වයකදී සියලු‍ විමර්ශන අවසන් වීමෙන් පසුවත් එකී සංවිධාන සහ පුද්ගලයන් රටේ ජාතික ආරක්ෂාවට තවදුරටත් තර්ජනයක් නොවන බවට තහවුරු වී ඇත්නම් ඔවුන්ගේ තහනම ඉවත් කිරීම හැර තවදුරටත් එම තහනම පවත්වාගෙන යාමේ තේරුමක් නැත.

එවැනි තහනමක ලොකුම අවාසිය සිදුවන්නේ රටේ ප්‍රතිරූපයටය. ජිනීවා සැසිවාරයේදී රටේ සංහිඳියාව වෙනුවෙන් සිදුකෙරෙන කැපවීම ප්‍රශ්න කිරීමට ලක්විය හැකිය. ජිනීවා සැසිවාරයේදී සිදුවන්නේ අප කැමැති දේ නොවන බවත් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ බලවේග එහිදී ක්‍රියාත්මක වන බවත් යථාර්ථයයි. එහිදී උපක්‍රමශීලීව කටයුතු කිරීම හැර වෙනත් මගක් නැත.

යුද්ධය අවසන් වී මෙතරම් කාලයක් ගතවී තිබියදී ජාතික ආරක්ෂාවට අනතුරක් නැත්නම් මෙවැනි තහනමක් දිගටම පවත්වාගෙන යාමේ වැදගත්කම ඇත්තේ දේශපාලන සටන්පාඨවලට පමණි. පසුගිය කාලය මුළුල්ලේම රටේ සැබෑ ගැටලු‍ අමතක කරවා තම තමන්ගේ දේශපාලන ප්‍රතිරූප පුම්බා ගැනීමට යුද්ධය භාවිත කිරීමේ ප්‍රතිඵල අද රට වෙළාගෙන තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදවල එක් මහා පොදු සාධකයකි.

මේ තහනම ඉවත් කිරීමෙන් රටට විය හැකි අනතුරක් නැත. අප කළ යුත්තේ රටේ සියලු‍ ජාතීන් එකතු කරගෙන රට යළිත් ගොඩනැංවීමේ ක්‍රියාමාර්ගයකට යාමය. එසේ නැත්නම් ඔන්න කොටි තහනම ඉවත් කරලා කියමින් පරණ පුරුදු ජාතිවාදී තැටියම ගහගෙන දේශපාලනය කිරීමය. මේ දෙකින් වඩා වැදගත් කුමක්දැයි ජනතාව තීරණය කළ යුතුය.

(***)