අන්‍යයන්ගේ සංස්කෘතිවලට අවමන් කිරීම මිනිස්කමට නිගාවක්


‘‘වළාකුළු විසිර ගොස් එක් වන්නා සේ මානව වර්ග සියල්ල නිදහසේ දෙමුහුන් වෙමින් අනතුරුව එකිනෙකා වෙන්ව නැවත කවලම්ව ආපසු එකමුතු විය හැකි බව අපි මතක් කරගත යුතු වෙමු. මානව වර්ගයා නැවත එක් නොවන සේ බෙදී ගිය ගසක අතු ඉති සේ බෙදී නොයන්නේ ම ය.”‍  ඉහත දැක්වෙන්නේ එච්.ජී වේල්ස් ගේ A short History of World නම් ග්‍රන්ථයේ ප්‍රාථමික නියෝලිතික ශිෂ්ටාචාරය නම් පරිච්ඡේදයේ එන කියමනක සිංහල පරිවර්තනයකි.

පෘථිවියේ ප්‍රභවයට අදාල මතවාදවල පටන් කරුණු තාර්කිකව ගෙනහැර පාන එච්.ජී. වේල්ස්, සත්ව හා මානව පරිණාමයත්, ශිෂ්ටාචාරය පුරා මානව වර්ග එකිනෙකා මිශ්‍ර වෙමින් ලෝක ශිෂ්ටාචාරය ඉදිරියට ඇදී ආ අයුරුත් සිය කෘතිය තුළ විග්‍රහ කරයි.

යම් යම් විෂයයන් හොඳින් හදාරා ඒවා අතැඹුලක් සේ දැන සිටියත්, අන්‍ය සංස්කෘතීන් දිරවා ගන්නට නොහැකිව තමාට උරුම යැයි සිතා ඉන්නා ජනවර්ග ගති ලක්ෂණම උතුම් යයි උදම් අනමින් අන් ජාතීන්ට එරෙහිව සටන් වදින්නට සූදානම් වූවෝ මෙරට ද නැත්තෝ නොවෙති.

ලොවෙහිත් එවැන්නෝ බහුල වෙත්. අන්‍ය සංස්කෘතීන් නොඉවසීම නිසා මානව ඉතිහාසය පුරා නහුතයක් මිනිස්සු එකිනෙකා කා කොටාගෙන මිය ගියහ. නොබෝදා ඇවිළුණු ඊශ්‍රායල පලස්තීන (හමාස්) ගැටුම්වලට මුල් වී ඇත්තේ ද තමන්ගේ ජන වර්ගය ම උතුම් යයි සිතන මුග්ධ ආකල්පයයි.

තිස් අවුරුද්දක් පුරා මෙරට පැවති ජනවාර්ගික යුද්ධයේ දී රටේ මානව සම්පත් හා ද්‍රව්‍යමය සම්පත් වනසා දැමීම උදෙසා දෙපාර්ශවයේම මූනිස්සම් කෝටි ගණනක් පුළුස්සා දමනු ලැබුවේය. රටේ මිනිස්සුන්ගේ සුබ සාධනයට වැය කළ හැකිව තිබූ ධනසම්පත් ගිනි අවි මිලදී ගැනීමට වැය කරන්නට සිදු විය. එකී මිලට ගත් ගිනි අවි වලින් කළේ ද රට තුළ මානව සම්පත් හා අනෙකුත්  සම්පත් වනසා දැමීමයි. එවැනි ජාතියක් ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වූ පසුවත් එකිනෙකාගේ ජාති භේද, ආගම් භේද  ඇදගෙන කුලල් කා ගන්නේ නම් අන් රටවලට ණයවී මෙරට සංවර්ධනයට ධන සම්පත් වැය කිරීමේ අරුතක් තිබේද?

”‍රට සංවර්ධනයට කලින් ජාතික සමගිය නංවන්න ඕනෑ”‍  යනුවෙන් ජනාධිපතිවරයා මඩකලපුවේ දී කළ ප්‍රකාශයක් පසුගිය දිනෙක අප පුවත්පතේ පළ වූයේය. ජනවාර්ගික හා ආගමික ගැටලු‍වලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව එහි දී ජනාධිපතිවරයා නොවලහා කියා සිටියේය.

මෙරට ජනවාර්ගික හා ආගමික ගැටුම් මතුවෙන ප්‍රවණතාවක් පවතින හැම වතාවකම රටේ ප්‍රගතිශීලී ආර්ථික විද්වතුන් ද එකී මතය හොඳින් විග්‍රහ කර තිබිණි.

මෙරට ජනවාර්ගික අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට තිබූ සෑම අවස්ථාවක්ම  ගිලිහී ගියේ පොදු ජනතාවගේ වරදින් නොවේ. යම් පාර්ශවයක් ඊට දේශපාලන විසඳුම් දීමට  පෙළඹෙන සෑම අවස්ථාවකදීම, මෙරට ජනතාවගේ ආගමික හා වාර්ගික හැඟීම් අවුස්සා ඡන්ද ලබා ගත්තෝ දේශපාලකයෝ ය.

මේ රට සිංහල දමිළ මුස්ලිම් බර්ගර් ජනයා, එකිනෙකා කෙරේ සහෝදරත්වයෙන් බැඳී සිටියහ. මුස්ලිම් ජනයා ඉතා විශ්වාසවන්ත ලෙස සිංහල රජවරුන් සමග කටයුතු කළ බවට සාක්ෂි එමටය. හින්දූන්  මෙරට සංස්කෘතිය හා කෙතරම් යහපත් ලෙස බැඳී සිටියේ ද යන්න  පොලොන්නරුවේ  ඉතිහාසයෙන් පැහැදිලිය.

කිසිම ආගමක ශාස්තෘවරයකු මිනිසා මිනිසාට මෛත්‍රිය පෑම ආදරය දැක්වීම ප්‍රතික්ෂේප කොට නැත. ශාස්තෘවරුන් ප්‍රතික්ෂේප කොට ඇත්තේ එකිනෙකාට වෛර කිරීමයි. එම නිසා ආගමේ නාමයෙන් එකිනෙකාගේ සංස්කෘතීන්ට ගරහා ගැනීමත් තමන්ගේ සංස්කෘතිය අනිකාට වඩා අගනේ යැයි හුවා දැක්වීමත් මුග්ධ ක්‍රියාවකි. මෙකී  මුග්ධ අදහස් මුල් කොටගෙන  හටගන්නා වාර්ගික ගැටලු දුරදිග යාම නිසා මානව සම්පත් හා අනෙකුත්  සම්පත් විනාශ කර දැමීම  අතිශය අමනෝඥ ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ලෝකයට ණය වී ඒ ණය ගෙවා ගත නොහැකිව අවාසනාවේ පතුලට වැටී ඉන්නා බංකොලොත් ජාතියක් කළ යුත්තේ එකිනෙකා පරයා තමන්ගේ ආගම් ජාති කුල ගොත් හුවා දැක්වීම නොව, සැවොම එකා මෙන් බැඳී සංවර්ධනයට උර දීමයි.

(***)