අපනයන ආර්ථිකය අනවශ්‍යද?


විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග බලාපොරොත්තු වූයේ අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩ නැගීමය. අපනයන සැකසුම් කලාප, කාර්මික ජනපද යනාදිය ගොඩ නැගුවේ ඒ සඳහාය. ඇඟලුම් කර්මාන්ත ශාලා මහා පරිමාණයෙන් ස්ථාපිත කළේ ද ඒ අරමුණෙනි. ඒ ක්‍රියා මාර්ගවල අරමුණ අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩ නගා ගැනීමයි. එහෙත් සැබැවින්ම වුණේ අපනයන වර්ධනයට සාපේක්ෂව ආනයන ඉහළ යාමය. එහි උග්‍රම අවධිය දැන් ගෙවමින් සිටියි.

අදහාගන්න බැරි වෙළෙඳ හිඟයකට රට මුහුණ දී සිටියි. 2022 වන විට ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 11.5 යි. ආනයන වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන 18.9 කි.

ඒ අනුව ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරය ඇමෙරිකන් ඩොලර් බිලියන 7.4 කි. ආර්ථික අර්බුදයට පෙර මේ පරතරය ඩොලර් බිලියන 10 ක් පමණ විය. එය අඩු වූයේ අර්බුදයෙන් පසු ආනයන සීමා කිරීම මගිනි.

 විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් අපනයන අභිමුඛ ආර්ථිකයක් බලාපොරොත්තු වුවත් දැන් එය නොපිට කැරකී ආනයන අභිමුඛ ආර්ථිකයක් බවට පරිවර්තනය වී තිබේ. එය දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. අද රට වැටී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවට දැන් යළිත් මත ප්‍රකාශ වෙයි.

එසේ නම් අපට වැරැදුණේ කොතැනදීදැයි දැන්වත් නිවැරැඳිව හඳුනාගත යුතුය. විවෘත ආර්ථිකය හඳුන්වා දී අවුරුදු 46 ක් ගෙවුණු තැන අපනයන අභිමුඛ ආර්ථිකයක් ගැන යළිත් කතා කරයි. එසේ නම් අපට වැරැදී තිබෙන බව දැන්වත් පිළිගත යුතුය. එසේ පිළිගැනීමෙන් අවබෝධ කරගත හැකි සත්‍යය වන්නේ ලංකාව බරපතළ ලෙස වෙනත් රටවල් මත යැපෙන බවය. රටේ ආර්ථිකය, ජන ජීවිතයට, ජාතික ආරක්ෂාවට එමගින් කෙතරම් බලපෑම් ඇති වූයේ ද යන්න අර්බුදයත් සමග අපට ප්‍රත්‍යක්ෂ සත්‍යයකි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා දෙකක දී ප්‍රකාශ කළේ චීනය හා ජර්මනිය සමග පවතින වෙළෙඳ ගනුදෙනුවලින් ඇමෙරිකාවට අවාසි බවය. එමගින්  ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජන ඇතිවන බවයි. ඒ නිසා ඇමෙරිකාව තම රට ඇතුළේ නිෂ්පාදන ප්‍රවර්ධනය කළ යුතු බව ට්‍රම්ප්ගේ මතයයි. ආර්ථික අර්බුදයත් සමග ලංකාවේ ඇතිවී තිබෙන්නේ ද එවැනි තත්ත්වයකි. එවැනි සාකච්ඡාවකි.

ලංකාවේ ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය පුළුල් වීමට බලපෑ කරුණු කිහිපයකි. ලංකාව ගත් විදෙස් ණය වෙළෙඳාමට සම්බන්ධ නොවන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම ඉන් එක් හේතුවකි. වෙළෙඳාමට සම්බන්ධ ක්ෂේත්‍රවල ඒ විදේශ විනිමය ආයෝජනය කළා නම් අපට ඩොලර් ඉපයීමේ හැකියාව ලැබෙයි. ණය ලෙස ගත් ඒ විදේශ විනිමය අපනයන උත්තේජනය කරන්නට දැනෙන ආකාරයකින් යොදාගෙන නැත.

දෙවැනි කාරණය අපනයන ව්‍යූහය සහ තරගකාරීත්වය පිළිබඳ සාධකයයි. අපනයන ව්‍යූහයේ නිතරම දක්නට ලැබෙන්නේ විවිධාංගීකරණය නොවූ ස්වභාවයකි. 2022 වෙද්දිත් අපනයන ආදායමෙන් සියයට 75 ක පමණ ලැබෙන්නේ ප්‍රධාන අයිතම හයකිනි. ඇඟලුම් අපනයනයෙන් සියයට 43 ක් ද, තේවලින් සියයට 10 ක්ද, රබර්වලින් සියයට 8.7 ක්ද, පොල්වලින් සියයට 6.7 ක්ද, කුළුබඩු වලින් සියයට 3.7 ක්ද, සැකසූ ආහාරවලින් සියයට 3.5 ක්ද, ලැබෙයි. අපේ අපනයන කොතරම් ගතානුගතික ද යන්න ඒ දත්තවලින් අනාවරණය වෙයි.

1977 ට පෙරදීත් අපේ අපනයනවලින් වැඩි නියෝජනයක් ලැබුණේ තේ, පොල්, රබර් හා කුළුබඩුවලටය. ඇඟලුම් ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය වන්නේ 1986 න් පසුවය. 1980 ගණන්වල පැවැති මා ඉහත කී සියයට 75 ව්‍යූහය අදටත් එලෙසම නඩත්තු කරයි. සරලව කිව්වොත් ලංකාව අපනයන අතින් දැනටත් සිටින්නේ පරණ ව්‍යූහයේමය. ඇඟලුම් අපනයනයෙන් දැන් ඩොලර් බිලියන 5.4 ක් ලැබෙයි. තවත් බිලියන 1.3 ක් තේ අපනයනයෙන් ද රබර් අපනයනයෙන් බිලියන 1.9 ක් ද ලැබෙයි. එහෙත් මේ ගතානුගතික අපනයන ව්‍යූහයෙන් ජාත්‍යන්තර වෙළෙඳාමේ වාසිය තවදුරටත් ලංකාවට ගත හැකි ද යන්න ප්‍රශ්නයකි. ජාත්‍යන්තර වෙළෙඳාමේ දී ප්‍රාථමික භාණ්ඩවලට තිබෙන වාසි ඉතා අඩුය.

ජාත්‍යන්තර වෙළෙඳාමේ දී වාසි අත්පත් කරගැනීමට නම් අගය එකතු කළ භාණ්ඩ සහ වටිනාකම ඉහළ භාණ්ඩ අපනයනයට අප යොමුවිය යුතුය. 1980 ගණන්වල දකුණු කොරියාව කළේ එයයි. ඇඟලුම් කොරියාවේද ප්‍රධාන අපනයන භාණ්ඩයක්ව තිබිණි. ඒ 1970 ගණන්වලය. ඇඟලුම් මත බර තැබීමේ අවදානම දුටු කොරියාව අධි තාක්ෂණික නිෂ්පාදනවලට මාරු වෙයි. 1930 සහ 1940 ගණන්වල සිට 1950 ගණන් වනතුර ජපානය ද ඇඟලුම් අපනයනයේ නිරත වෙයි.

යුරෝපය ඇඟලුම් අපනයන කළේ 1800 ගණන් වලදීය. එහෙත් කල් යද්දී ඒ රටවල් ඒවා අතහරියි. අධි තාක්ෂණික නිෂ්පාදනවලට මාරු වෙයි. ඒ රටවල පැවැත්මට හේතුව එයයි.ආර්ථිකයක් වෙනස් වෙවී ඉදිරියට යා යුතුය. නවෝත්පාදන මගින් ආර්ථිකය ඉදිරියට රැගෙන යා යුතුය. එහෙත් ලංකාව තවමත් කොරියාව, ජපානය වගේ රටවල් අත්හළ භාණ්ඩ බදාගෙන සිටියි. එහෙයින් අපේ ආර්ථීකය අර්බුදයකට යාම පුදුමයක් නොවේ.

අපනයන විවිධාංගීකරණය කළ යුතුය. එය කළ යුත්තේ කෙසේ ද? ඇඟලුම්, තේ, පොල්, රබර්, කුළුබඩු අපනයන මත තවදුරටත් රැඳී සිටීම අනතුරුදායකය. අගය එකතු කළ භාණ්ඩ අපනයන කළ යුතුය. උදාහරණයකට කුළුබඩු අමුද්‍රව්‍ය ලෙස රට පටවන්නේ නැතිව ඒවායෙන් වටිනාකම එකතු කළ නිෂ්පාදන කළ යුතුය. ඒවා අපනයනයෙන් ලැබිය හැකි ඩොලර් ආදායම ඉහළය. අගය එකතු කළ නිෂ්පාදන මතම රැඳී නොසිට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරී භාණ්ඩ මොනවාදැයි හඳුනාගෙන නවෝත්පාදන ලෙස ඒවා කළ යුතුය. එහෙත් ලංකා ආර්ථිකයේ අදටත් ඒ ක්‍රියාවලිය සිදු නොවෙයි. අපනයන ආර්ථිකයක් ගැන ඉහළින් කතා කළාට ඊට සූදානම් වන බවක්වත් නොපෙනෙයි.

ආනයන මත යැපීම අනෙක් බරපතළ කාරණයයි. පාරිභෝජන, අන්තර් හා ආයෝජන ලෙස ආනයන කරන භාණ්ඩ ත්‍රිවිධය. ඇඟලුම් අපනයනයෙන් 2022 දී ඇමෙරිකන් ඩොලර් බිලියන 5.4 ක ආදායමක් ඉපයූවත් ඒ ඇඟලුම් නිෂ්පාදනය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 3.06 ක අමුද්‍රව්‍ය ආනයනය කර තිබේ. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ ඇඟලුම් අපනයනයෙන් තරගකාරී වාසි අත්පත් කරගත නොහැකි බවය. මා මේ කතා කරන්නේ ලංකාවේ ආර්ථිකයේ ව්‍යූහය පිළිබඳවය.

ඩොලර් බිලියන 12 ක අන්තර් භාණ්ඩ ආනයනය කර තිබේ. පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා පමණක් ඉන් ඩොලර් බිලියන 4 ක් වැය වී තිබේ. ඒවා කපාහැරීම අපහසුය. ඒවා නිෂ්පාදන ක්‍රියාවලිය සමග බද්ද වූ භාණ්ඩය. රසායනික නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට වැයකර තිබෙන මුදල ඩොලර් බිලියනයකට ආසන්නය. එහෙත් ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ආනයනය සඳහා වැයකර තිබෙන්නේ ඩොලර් බිලියන 259 කි.

එකරැයින් කාබනික පොහොරවලට යාමේ හිටපු ජනාධිපතිගේ ප්‍රතිපත්තියත් සමග පොහොර ආනයනයට ගිය මුදල 2021 දී ඩොලර්  මිලියන 158 ක් දක්වා අඩුවෙයි. අඩුවී තිබෙන්නේ මිලියන 100 කි. 2022 දී එය යළිත් මිලියන 275 ක් දක්වා වැඩිවෙයි.

පොහොර ආනයන වියදම ඩොලර් මිලියන 100 කින් අඩුකර ගැනීමට ගත් අඥාන තීරණය නිසා ආර්ථිකයට වූ විනාශය බිලියන ගණනකි. අපනයන ආදායමෙන් බිලියන ගණනක් අඩුකර ගතිමු. ආහාර අතින් රටම අනාරක්ෂිත විය. දුප්පත්කම. මන්දපෝෂණය සේම විරැකියාවද ඉහළ ගියේය. පොහොර ආනයනයට වැයවන ඩොලර් මිලියන 100 ක් ඉතිරිකර ගැනීමට ගත් තීරණ නිසා ඇතිවූ ව්‍යසනය ඉතා භයානකය. මා මේ කියන්නේ අපේ ආණ්ඩුවල ප්‍රතිපත්තිවල දුර්වලතා සහ ඒවායේ ප්‍රතිවිපාකය.

විනිමය අනුපාත හෙවත් විදේශ මුදල්වල වටිනාකම විශාල වශයෙන් ඉහළ යාමද අපනයනවලට අහිතකරය. එමගින් තරගකාරිත්වයට ප්‍රශ්න ඇතිවෙයි. වෙළෙඳ බාධක සහ තීරුබදු ද ජාත්‍යන්තර වෙළෙඳාමට හානිකර ලෙස බලපා තිබේ. රජයේ ඇතැම් ප්‍රතිපත්ති ද අපනයන වර්ධනයට බාධාවකි. එමගින් විදේශ ආයෝජන අධෛර්යවත් කරයි.

සංකීර්ණ රෙගුලාසි සහ රජයේ නිලධාරීන්ගේ නිලධාරිවාදී ක්‍රියාකලාපය නිසාද අපනයන අධෛර්යවත් වෙයි. අපනයන වර්ධනයට අවශ්‍ය සහයෝගය අවශ්‍ය තරමට නොලැබුණු කල අපනයන ආදායම ද වර්ධනය නොවෙයි. අපනයනය මූලික අරමුණ කරගත් දේශීය හෝ විදේශීය ආයෝජකයන් ධෛර්යමත් කිරීම නීතිරීති හා රජයේ නිලධාරීන්ගේ අරමුණ විය යුතුය. එහෙත් සිදුවන්නේත් සිදුකරන්නේත් ආයෝජකයන් අධෛර්යමත් කිරීමය. ඒවා ලංකා ආර්ථිකයේ තිබෙන ව්‍යූහගත රෝග නොව නිධානගත ව්‍යාධීන්ය.

යටිතල පහසුකම්වල ද සීමාකම් පවතී. මාර්ග, වරාය හා ගුවන්තොටුපොළ යම් මට්ටමකින් සංවර්ධනය කර තිබුණාට ඒවායේ පිරිවැය අධිකය. ඒවායේ අකාර්යක්ෂමතාව ඉතා ඉහළය. ඵලදායිතාව ඉතා අඩුය. ඒ නිසා මෙහෙයුම් පිරිවැය වැඩිය. ඇතැම් ප්‍රතිපත්ති තීරණ ද ඊට හේතුවෙයි. වාහන ආයනයන සීමා කිරීම හොඳ උදාහරණයකි. ලංකාවට විශාල නැව් පැමිණීම ඒ නිසා නතර විය. අපේ බොහෝ අපනයන යැව්වේ ඒ නැව්වලය. ඒ නැව් පැමිණෙන්නේ නැති නිසා අපේ අපනයනය සඳහා වැඩි මිලක් ගෙවා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අපනයනකරුවන්ට සිදුවී තිබේ. වර්තමානයේ පවතින්නේ මෙවැනි පැටලිලි සහගත ස්වභාවයකි. එහෙත් මේ ප්‍රශ්න නිර්මාණය වී තිබෙන්නේ දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵල ලෙසය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ නොකිරීම තවත් බරපතළ දුර්වලතාවකි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ පවතින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව 80,000 ක් තරම් විශාලය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින්නේ ඒ ව්‍යාපාරවලින් 3,000 කට ආසන්න ගණනකි. අපනයන ආදායම වර්ධනයට ඒ ක්ෂේත්‍රයෙන් ලැබෙන්නේ සියයට පහක් තරම් සුළු දායකත්වයකි. ඒවා ගැටලු ලෙස හඳුනාගත යුතුය. එහෙත් ඒ සඳහා සූදානම් වන බවක්වත් නොපෙනෙයි. ආර්ථිකයට අලුත් නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් හඳුන්වා දීමට ද කිසිදු සැලසුමක් හෝ යාන්ත්‍රණයක් රටේ නොපවතියි.

රටේ අර්බුදය පවතින්නේ කොතැනදැයි හඳුනාගෙන තිබේ. 2025 වෙද්දී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 15 ක් දක්වා වර්ධනය කිරීමට ඉලක්ක ගත කිරීමෙන් ඒ බව අනාවරණය වෙයි. ආනයන වියදම ඩොලර් බිලියන 22 මට්ටමින් නවතා ගන්නා බවට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී සිටියි. ඒ සඳහා තිබෙන සැලසුම් මොනවාදැයි රට නොදනියි. අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කයක් වන්නේ 2025 වෙද්දී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන පහේ සිට අට දක්වා වැඩි කිරීමය. ඒ සඳහා වන සැලසුම මොකක්ද? 2022 දී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5.4කි.

2025 ආරම්භ වීමට ඇත්තේ තවත් මාස 18 කි. ඒ කාලය ඇතුළත දී අර ඉලක්කයට යන සැලසුම මොකක්ද? ඒ සැලසුම් තියෙන්නේ කොහේද? කා ළඟද? 80,000 ක් වන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලින් හතරෙන් එකක්වත් අපනයන ආර්ථිකයට සම්බන්ධ කිරීමට වැඩපිළිවෙළක් සැලසුමක් තිබේද? ඇසෙන පෙනෙන හැටියට නම් නැත. රාජ්‍ය නිලධාරීන්ගෙන් ඇහුවොත් කියන්නේ තමන් ඒ ගැන කිසිවක් දන්නේ නැති බවය. මා මේ කතා කරන්නේ මගේ ප්‍රායෝගික හා පර්​ෙ ය්ෂණ අත්දැකීම් මතය. කෙටියෙන් සරලව කිව හැක්කේ කළ යුතු දෙය නොකර නොකළ යුතු දේවල් කරන බවය.

රජරට විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ආර්.පී.අයි.ආර්. ප්‍රසන්න

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්