අපි මරණාසන්න ජාතියක් වෙලාද?


 

රෝග ලක්ෂණ වසාගෙන ඉතිහාසය ගැන පම්පෝරි ගසමින් අසීමාන්තික ලෙස විවිධ පාර්ශව වලින් ණය ගෙන ඒවායෙන් අනුභව කරමින් සිටි ජාතියකට සැබෑ රෝගය හමුවී ඇත. පිඟාන හිස්වෙමින් තිබෙන අතර ජාතියේ සජීවි බව ක්‍රමයෙන් වියැකෙමින් තිබේ. 


(නිලන්ත ඉලංගමුව )

ජාතීන් වූ කලී සජීවී වස්තූන්ය. ජාතීන් සදාතනික නොවේ. ජාතියක අනන්‍යතාවය තහවුරු කරන ලක්ෂණ යනු එහි ජීවී අවයව වේ. බාසාව, භූමිය, මුහුද ඇතුළු ඊට අයත් සියලුම  සම්පත් සජීවී දෑය. ඒවාට උපත සමග ජීවයක් තිබෙනවා මෙන්ම එම උපත සිදුවීම හෝ සිදුකිරීම සඳහා දිගුකාලීන ගමනක් (ක්‍රියාවලීයක්) තිබේ. ජාතියක උපත කෘතීමව හෝ ස්වභාවිකව සිදුවන බව ජාතීන්ගේ ඉතිහාසය දෙස බැලීමේදී තහවුරු වන සත්‍යයකි. ජාතියක්  කෘතීමව නිර්මාණය කිරීම වූ කලී අතිශය සංකීර්ණ ක්‍රියාවලීයක් බව අපි සියල්ලෝම දනිමු. එය ම්ලේච්ඡ අභ්‍යාසයකි.  කෘතීමව නිර්මාණය කරනු ලැබූ බොහෝ රාජ්‍යය වලට ආරම්භක පියවරුන් සිටින්නේ ඒ නිසාය.  

ජාතියක උප්පත්තියෙන් පසු එම නව උපන්  ජාතිය එහි ළමා කාලය, ගැටවර විය, තරුණ විය, මෙන්ම වැඩිහිටි විය සහ මහලුවිය පසු කරනු ලැබේ. අනෙකුත් ජීවීන්ට මෙන් ජාතීන්ටද ව්‍යාධීන් ඇතිවේ. ඇතැම් අවස්ථා වලදී ජාතීන් රෝගාතුර වූ විට දක්ෂ වෙදමහත්වරුන් එකතු වී ඒ සඳහා ප්‍රතිකාර කොට එම ජාතිය සුවපත් කරති. නමුත් බොහෝ අවස්ථාවලදී ව්‍යාජ වෛද්‍යවරුන් රෝගය  නොව රෝග ලක්ෂණ සැඟවීම සඳහා පැලැස්තර දමති. එවිට රෝගය ඇතුළතින් වැඩි දුරටත් ව්‍යාප්ත වේ. ගිලන් වූ ජාතීන් සුවපත් කිරීම සඳහා යැයි කියමින් ආනයනය කරනු ලැබූ වෙද්දුන් බොහෝ දෙනෙකු එම ජාතීන් සුවපත් කරන මුවාවෙන් කරනු ලැබුවේ රෝගයට සැඟවී ව්‍යාප්ත වීම සඳහා රෝග ලක්ෂණ නැති කිරීමය.

ජීවී වස්තුවක රෝගය ව්‍යාප්ත වන විට එම ජීවියාගේ අභ්‍යන්තර අවයව ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගන්නේ එම අවයව නිර්මාණය වී ඇති කුඩාම ජීවී ඒකකය වන ශෛල යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි මට්ටමින් විනාශ කරමිනි. එම විනාශය වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම සිදුවන විට ඇතිවන ආනිසංසය අපට අපැහැදිළි නොවිය යුතුය.

දේශපාලන විද්‍යාව සහ දර්ශනවාදය මෙන්ම බොහෝ විෂයන් තුළ ජාතියක උපත ගැන මූලික හැදෑරීම් ගැඹුරින් සිදුකොට ඇතත් ජාතීන්ගේ ආයු කාලය මැන බැලීම සඳහා නිශ්චිත මිනුම් දණ්ඩක් තවමත් නැත. ඇතැමෙකු බලය එහි මූලික මෙවලම ලෙස භාවිතා කරනු ලැබුවද, එය කෙතරම් දුරට සාදාරන මිනුම් දණ්ඩක්ද යන්න පැහැදිළි නැත. බලය, ධනය වැනි මිනුම් දඬු වලින් එක්සත් ජනපදය, චීනය, රුසියාව, සහ ඉන්දියාව වැනි මහා රාජ්‍යයන් මෙන්ම වතිකානුව සහ මොනාකෝ වැනි කුඩා රාජ්‍යයන් ගැන සරල අවබෝධයක් ලබා ගත හැකි වුවත් තම පැවැත්ම ඉතාම ස්ථායි කරගෙන සිටින භූතානය වැනි රාජ්‍යයක් ගැන හැදෑරීමේදී ඒවා වලංගු වන්නේ නැත. සජීවී ජාතියක ඇති ගතික ස්වභාවය මෙය යැයි සිතේ.

මෙහිදී මතක් කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම්, දේශපාලනය විද්‍යාවක් ලෙස හැදෑරු පුද්ගලයා ජාතියක උපත, එහි ආයු කාලය සහ විපත ඔහුගේ විෂයානුබද්ධ කාරණා වලට අනුව  දකින්නා සේම ගණිතඥයා මෙන්ම අර්ථ ශාස්ත්‍රඥයා එය ඔවුහුගේ විෂය ක්ෂේත්‍ර වලට අනුකූලව පැහැදිළි කර ගැනීමට උත්සහ කරති. මේ අයුරින් සෑම අයෙකුම ඔහු හෝ ඇය හදාරන  විෂය ක්ෂේත්‍රයට මුල් තැන ලබා දෙමින් තම වටපිටාව අවබෝධ කරගන්නා සේ ජාතිය ගැනද තේරුම් ගැනීමට උත්සහ කරති. මේ  විෂයානුබද්ධ අවබෝධයන් සියල්ලම සාපේක්ෂය. එක් අයෙකුගේ අවබෝධයක් කෝකටත් තෛලයක් නොවන්නේ මේ නිසාය. එසේම විෂය කරුණු ගැන කෙතරම් අවබෝධයක් තිබුණත් ප්‍රයෝගික දැනුමක් නොමැත්තේ නම් ඉන් ප්‍රයෝජනයක් නැත. මේ සඳහා කදිම නිදසුන දෙමෝදර දුම්රිය මාර්ගය ඉදිරි කිරීමේදී බ්‍රිතාන්‍යය ජාතික විශේෂඥයින් විසින් භූමියේ ස්වභාවය ගැන පළපුරුදු  සැබෑ විශේෂඥයෙකු වූ ගොපල්ලෙකුගෙන් උපදෙස් ලබාගත් බවට ඇති ප්‍රවාදයයි.

මෙහිදී වැදගත් වන්නේ එකිනෙක විෂය ක්ෂේත්‍ර වලට අනන්‍ය වූ එම විෂය කරුණු සහ අවබෝධයන් අව්‍යාජව සහසම්බන්ධ වීමය. ගණිතය සහ විද්‍යාව සමග කලාව සහසම්බන්ධ වීම නිසා ඇතිවන ප්‍රතිඵල වල සුන්දරත්වය අති විශාල වන්නා සේම ඉන් ශිෂ්ඨාචාරයන්ට ලබාදෙන දෑ බොහෝය. එය සෑම විෂය ක්ෂේත්‍රයකටම අදාළය. සජීවී ජාතියකට අවශ්‍යය වන්නේ එම සහසම්බන්ධය සෑම මට්ටමකම සිදුවීමය. රාජ්‍යක (ස්ටේට්) මූලික වගකීම වන්නේ ඒ සඳහා අවශ්‍යය විවෘත යාන්ත්‍රනය නිර්මාණය කිරීම සහ එය වරින් වර ඇගයීමට ලක් කරමින් නිවැරදිව නඩත්තු කිරීමය.
 
සජීවී ජාතියක එම සජීවී බව රඳා පවතින්නේ ජාතිකත්වය (නැෂනලිස්ම්) මතය. මෙහිදී  මහාචාර්යය අර්නස්ට් ගෙල්නර් ඉදිරිපත් කළ අදහස වන, "ජාතීන් බිහි කරන්නේ ජාතිකවාදය විසින් පමණි", යන්න කිසිඳු කොන්දේසියක් යටතේ ප්‍රතික්ෂේප කළ නොහැකි බව මගේ පෞද්ගලික විශ්වාසය වේ. මෙම මූලික කාරණය තවදුරටත් ලිහා බැලීමේදී පෙනී යන්නේ ජාතියක් බිහිවීමට පමණක් නොව එහි පැවැත්ම සඳහා වැදගත් වන මූලික වාහකය ජාතිකවාදයයි.

එනම්, සජීවී වස්තුවක රුධිරය කරන කාර්යය භාරයය රාජ්‍යක ජාතිකත්වය විසින් සිදුකරනු ලබයි. රුධිරය යනු සජීවී ශරීරයකට පෝෂණය, ඔක්සිජන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අවශ්‍යය පහසුකම් සපයන නිරන්තරයෙන් සංසරණය වන තරලයකි. ජාතියක සජීවී බව තහවුරු කරනු ලබන ජාතිකත්වයේ වගකිවයුතු කාර්යයද ඒ හා සමාන විය යුතුය.  අවාසනාව නම් මෙම ජාතිකත්වය බොහෝ දෙනෙකු වැරදි ලෙස අවබෝධ කරගෙන ඇත. ඇතැමුන් එය හිතාමතාම විකෘති කොට ඇත. විවිධ කණ්ඩායම් විසින් ජාතිකත්වය තම පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා අවභාවිතා කරන අයුරු නිරන්තයෙන් දක්නට ලැබේ. ඒ ගැන පොදු සමාජ සංවාදයක් නොමැති අතර නිරන්තරයෙන් දක්නට ලැබෙන ඊනියා මහාවර්ගය විසින් සුළු වාර්ගිකයින් පීඩනයට සහ හිරිහැරයට ලක් කිරීම වැනි හිස් වාගලංකාර නමුත් ඉහළ වටිනාකමකට විකිණෙන වෙළඳ භාණ්ඩ වලින් බොහෝ සමාජ කතිකාවන් පිරී තිබේ. මෙය අවාසනාවන්ත තත්වයකි.    

ජාතිකත්වය නමැති රුධිරය අභ්‍යන්තර සහ පිටත ප්‍රහාර වලින් ආරක්ෂා කරගැනීම සඳහා මේ දක්වා හඳුන්වා දී ඇති සාර්ථකම පරිපාලන ව්‍යුහය රාජ්‍යය වේ. ජාතියක ජාතිකත්වය රුධිරය නම් එහි ඇටසැකිල්ල යනු රාජ්‍යයයි. ජීවීයෙකුගේ  මූලික ව්‍යුහය  දිරා යන විට එම ජීවියාට මුහුණදීමට සිදුවන ඛේදජනක ස්වභාවය ගැන අපි සියලුම දෙනාට අවබෝධයක් ඇත. ඒ හා සමානව මෙම සංසිද්ධිය ජාතියකට ආදේශ කර සිතීමේදී අපට ශ්‍රී ලංකාව වර්තාමානයේ මුහුණ දී සිටින අර්බුදයේ ඇති ඉතාම බිහිසුණු යථාර්තය තේරුම් ගැනීමට හැකිය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ ආර්ථික අර්බුදයකට පමණක් නොවේ. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ තම ජාතියේ පැවැත්ම පිළිබඳ පෙර නොවූ විරු අර්බුදයකටය. මෙය ඉතාම බිය ජනක කාරණයකි. ආර්ථික අර්බුදය මැනිය හැකිය. එහෙත් මෙම අර්බුදය  මැනිය නොහැකිය.  බොහෝ දෙනෙකු මෙම අර්බුදය තනි තනිව තේරුම් ගැනීමට උත්සහ කරන ආකාරයක් දක්නට ලැබෙන අතර එහිදී ඔවුහු පවතින ගැටලු වලට තනි තනිව විසඳුම් සොයන ආකාරයද දක්නට ලැබේ. එසේම එහෙන් මෙහෙන් දක්නට ලැබෙන කුඩා සමාජ කණ්ඩායම්ද වත්මන් අර්බුදය ගැන විවිධ අර්ථ නිරූපණ ලබා දෙමින් සිටිති. විවිධ විෂය ක්ෂේත්‍ර වලට අයත් පිරිස්  ජාතිය සහ ජාතිකත්වය ගැන අවබෝධ කර ගැනීමේදී ලබා ගත් දැනුම සහසම්බන්ධ නොකළා මෙන් වත්මන් අර්බුදය ගැන තනි පුද්ගලයින් සහ විවිධ කණ්ඩායම් විසින් ලබා ගන්නා අවබෝධයද  අව්‍යාජව සහසම්බන්ධ කිරීමේ නැඹුරුවක් දක්නට නොලැබේ.

මගක් සහ කිසිඳු මෙවලමක්  නොමැතිව මහමුහුද මැද අතරමං වී ඇති කපිතාන් මැරුණු නෞකාවක සිටින පිරිසක් ගැන සිතමු. අතරමං වූ නෞකාවට නිවැරදි මග පෙන්වීමට යැයි කියමින් විටින් විට ඊට ගොඩවන පිරිස උදව් කිරීමට නොව එම නෞකාව යම් කිසි දිනක යකඩවලට හෝ කපා විකුණා ලාභ ඉපයීමේ චේතනාවෙන් පැමිණෙනවා මිස සැබෑ ලෙස උදව් කිරීමේ චේතනාවක් එසේ පැමිණෙන අය නැති තරම්ය. අනෙක් අතින්, අව්‍යාජ මිත්‍රයින් ලංකර ගනිමින් ඔවුන්ගෙන් උදව් ඉල්ලා ජීවිතය බේරා ගැනීමට හැකි මොහොත පසුවෙමින් ඇතිබව තේරුම් ගෙන සාමූහිකව කටයුතු කිරීමට තරම් නෞකාවේ සිටින පිරිස අතර කිසිඳු සමගියක්ද නැත. ඒ අතර  මුහුණ දී සිටින බියජනක තත්වය අවබෝධ කරගෙන නැවෙන් පැන තම ජීවිතය බේරා ගැනීම සඳහා පිහිනන කිහිප දෙනෙකු විටින් විට දක්නට ලැබේ. ඔවුන්ට අමතරව නැවේ මිනිසුන් වර්ග කිහිපයක් සිටිති. ඉන් බොහෝ දෙනෙකු තමන් අතර මං වී ඇතැයි නොදනිති. තවත් කොටසක් මර නින්දේ පසුවෙති. තව කොටසක් ඇත්ත දැනගෙන කිසිවක් නොදන්නා මෙන් සිටිති. තවත් කොටසක් මේ තත්වයට වගකිව යුතු පුද්ගලයින් කිහිප දෙනෙකු සොයාගෙන ඔවුහුට එරෙහිව නෞකාව පුරා කෑ ගසමින් සිටිති.  මුහුණ දෙමින් සිටින ඛේදවාචකය ගැන බිය වී ඒ සඳහා සාමූහික එකඟතාවයක් වෙනුවෙන් කතා කරන ඉතා සුළු පිරිසක් විටින් විට හමුවන නමුත් ඔවුන් බොහෝ දෙනෙකුගේ අවඥාවට සහ උසුළු-විසුළු වලට ලක් වී සිටිති. එකිනෙකාට චෝදනා කිරීම හැර නිදා සිටින අයවලුන් අවධි කිරීමට හෝ මංමුලා වී සිටින මිනිසුන් දැනුවත් කිරීමට පොදු වැඩපිළිවෙලක් නැත. මෙම තත්වය වෙනස් නොවුණ හොත් නෞකාව අනිවාර්යෙන්ම එහි සිටින මිනිසුන් සමගම මුහුදු බත් වනු ඇත. මිනිසුන් මියෙනු ඇත. නුදුරු දිනෙක එම නෞකාව උනන්දුවක් දක්වන වෙළෙන්දන් හෝ මුහදු මංකොල්ලකරුවන් පැමිණ යකඩ වලට කපා විකුණනු ඇත.  

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්වය මේ හා සමානය. රෝග ලක්ෂණ වසාගෙන ඉතිහාසය ගැන පම්පෝරි ගසමින් අසීමාන්තික ලෙස විවිධ පාර්ශව වලින් ණය ගෙන ඒවායෙන් අනුභව කරමින් සිටි ජාතියකට සැබෑ රෝගය හමුවී ඇත. පිඟාන හිස්වෙමින් තිබෙන අතර ජාතියේ සජීවි බව ක්‍රමයෙන් වියැකෙමින් තිබේ. මේ බව තේරුම් ගැනීමට සුළු පිරිසක් හෝ සමත් වී සිටිති. එහෙත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍යය වෙදමහත්වරුන්  ඒකරාශී කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවට අදටත් ජාතික  තලයේ ජනමාධ්‍යය ආයතන වලින් පවා සිදු කරනු ලබන්නේ "විෂ්ණු දෙවියන්" ගෙන්වා පොල්ගෙඩි කෙලින් කරවීමය. මෙහි කෙලවර ජාතිය නියත වශයෙන්ම මියැදීම පමණක් නොව එහි මරණය ඉක්මන් වීම පමණි.  

මෙවැනි අවාසනාවන්ත වටපිටාවක පළමුව වැදගත් වන්නේ අපි ජාතියක් ලෙස මුහුණ දී සිටින දෛවෝපසහගත ස්වභාවය සහ එහි බැරෑරුම් බව තේරුම් ගැනීමය. එනම්, ජාතිය මියැදෙමින් ඇති බව තේරුම් ගැනීමය. එය මියැදීමට ඉඩහැර බලා සිටින්නේද? එසේ නොවේ නම් ජාතිය ජීවත් කරවීම සඳහා කළයුතු සාමුහික වැඩපිළිවෙලක් වෙනුවෙන් කටයුතු කරන්නේද යන්න අපි එකිනෙකා පළමුව විසඳා ගත යුතු ගැටලුවයි. අරගලය, මා දකින්නේ විසිරි සිටින පිරිසක් විසින් මෙම බැරෑරුම් ගැටලුවට විසඳුම් සොයා ගැනීම සඳහා උත්සහ කළ නමුත් ශෝකජනක ලෙස අසමත් වූ වෑයමක් ලෙසය.
 
 
[ලේඛකයා නිදහස් මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකි. මෙම ලිපියේ ප්‍රකාශිත අදහස් ලේඛකයාගේ පෞද්ගලික අදහස් වන අතර ඔහු අනුබද්ධ වෙනත් කිසිදු සංවිධානයක හෝ සේවා යෝජකයෙකුගේ නිල ප්‍රතිපත්තිය හෝ දැක්ම පිළිබිඹු නොකරයි.]