අපෙක්ෂකයන්ගේ කැරට් කතා


ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන් වැසි වසින්නට පටන්ගෙන ඇත. ඒ සියලු චමත්කාර සහ ආනන්දනීය කථා හුදු ‘බලය ලබාගැනීමේ' චේතනාවෙන් මිස අද රට මුහුණපා ඇති අනතුරුදායක සමාජීය සහ ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදාගැනීමට නොවන බව පැහැදිලිය. ඔවුන්ට 'බලය' ලබා ගැනීමේ අරමුණ හැර වෙනත් යථාර්ථවාදී සැලසුමක් හෝ උපාය මාර්ග නොමැති බවත් අපිට දැන් මනාව ඔප්පු කරමින් ඇත.

සිදුවන්නේ කුමක් ද?

මේතාක්කල් කිසිදු අපේක්ෂකයකුට ඉදිරි වසර දෙක -තුන ආවරණය පරිදි ‘සරල සැලැස්මක්’ (simple plan) හෝ ‘උපාය මාර්ගයක් (strategy)’ ඉදිරිපත් කිරීමට නොහැකි වීම විශ්මය ජනක කරුණකි. ඒ සඳහා අවධානයක් යොමු වී නොතිබීම ඊට වඩා ඛේදජනක කරුණකි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ 'භාණ්ඩවල මිල අඩුවීම, පෝලිම් නොමැතිකම, පවතින ක්‍රමය වෙනස් කිරීම, 'හොරු ඇල්ලීම', 'අහවලා හිරේ විලංගුවේ දැමීම' වැනි ජනප්‍රිය මාතෘකා යොදා කතා කරමින් , ඒ තුළට 'බැරෑරුම් තාක්ෂණික වදන් ' කිහිපයක් ඔබා රසවත් කර, තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය හරහා ජනතාව තාවකාලික මෝහනයකට ලක් කිරීමයි. ඔවුන් තවමත් අනුගමනය කරන්නේ 'අවලාද නැගීම් ' වලින් සමන්විත 'සාම්ප්‍රදායික කැන්වසින් ක්‍රම' පමණි. මෙය වැරදි තොරතුරු භාවිතයෙන් මහජනයා නොමඟ යවන සහ ඔවුන්ගේ ‘වගවීම’(accountability) මගහරිනා උපක්‍රමයකි.

රටක් හැටියට අපි සිටින්නේ කොතනද?

එදිනෙදා කටයුතු බාධාවකින් තොරව කරගෙන ගියද අප තවමත් ‘සාමාන්‍ය තත්වයට’ ළඟා වී නැත. 2013-19 කාලය තුළ ජනතාව අත්විඳින ලද ජිවන රටාව, මානසික සංහිදියාව තවමත් අත්විඳීමට වටපිටාවක් හෝ මානසිකත්වයක් නැත. ජනතාව එදා ආදායම් සහ වියදම් තම පාලනයට නතු කරගෙන සිටියත්, අද ඔවුන් වියදම විසින් සිරගත කරනු ලැබ ඇත. රටට ‘මානව සම්පත් ’, වෘත්තිකයන්, ‘ අහිමි වෙමින් ඇත. රටින් පිටට අනියමාකාරයෙන් ඇදී යන මුල්‍ය සම්පත්, රටේ විනිමය සංචිත සිඳ දමමින් ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වසා දමා ඇත. තවත් බොහොමයක් ව්‍යාපාර සහ ආයතන අමාරු අඩියකට ඇද වැටි ඇත. ‘පරිභෝජනය’(consumption) සහ මධ්‍යම පාන්තික පාරිභෝජන රටා ඉතාමත් පහළ මට්ටමකට වැටි ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පරිදි පැනවූ බදු, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වූ ‘මධ්‍යම පන්තිය’ දුප්පත් කමේ අගාධය වෙත තල්ලු කරමින් සිටි.

මේ සියලු බාධා මධ්‍යයේ අද ශ්‍රී ලංකාව පරිභෝජනය සහ ආයෝජන(investment) යථා තත්වයට පත් කර ගැනීමට සහ ස්ථාවරත්වයකට(stability) ළඟාවිමට දෛනික අරගලයක නිරතව සිටියි. 2023 දෙසැම්බරය හා සසඳන විට රටේ විනිමය සංචිතය ඩොලර් බිලියන 1 කින් වැඩි දියුණු වී ඇතත්, එය අවශ්‍ය මට්ටම් හා සසඳන විට අප තවමත් සිටින්නේ යම් අවදානම් සහගත තත්වයකය.

මෙවන් වටපිටාවක, විශේෂයෙන් ම, ක්ෂය වූ සම්පත් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මගින් ගෙල සිරකර ඇති රටක් වශයෙන් අපට ‘ස්ථාවරත්වය’ තීරණාත්මක සහ වැදගත් සාධකයක් බවට පත්ව ඇත. මෙවන් වටපිටාවක ජනාධිපති මැතිවරණයක් පැවැත්වීම ඉතාම අනුවණ ක්‍රියාවක් බව නොකියාම බැරිය. ව්‍යවස්ථාව අනුව එවැන්නක් සිදුවිය යුතු වුවත්, රටේ පාර්ලිමේන්තුව මේ තීරණය දෙස ඥානාන්විතව සහ අවස්ථා ගෝචරව බැලිය යුතුව තිබුණි. නුමුදු ඔවුන් ට 'බලය' ඔවුන්ගේ පැවැත්ම සඳහා වැදගත් ය. 'රටේ පැවැත්ම' වැදගත් නැත. බහුතරයක් මහජනතාවද, ඡන්දයකින් ජනාධිපති සහ පාර්ලිමේන්තුව වෙනස් කිරීමෙන් ඔවුන්ගේ සියලු ප්‍රශ්න විසඳි සැප පහසු ජිවිතයක් ලබා ගත හැකි බව විශ්වාස කරති. එය නුගත්කම නිසා සිදුවන්නක් ද , එසේ නොමැති නම් අපේක්ෂා භංගත්වය නිසා සිදුවන්නක් ද යන්න සොයා බැලිය යුතුව ඇත.

IMF හි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, බෲයර් මහතා ආඥාදායකයකුගේ ස්වරයෙන් කළ අනතුරු ඇඟවීමක් 2024 ජූනි 16 වැනි දින සන්ඩේ ටයිම්ස් හි බිස්නස් ටයිම්ස් හි මෙසේ සටහන් විය. “රාජ්‍ය ආදායම අඩුවීම ශ්‍රී ලංකාවේ ඉතා දරුණු අර්බුදයකට දායක වූ ආකාරය සැලකිය යුතු බැවින් කිසිදු පරිපාලනයකින් බදු අඩු කිරීම කළ නොහැකිය ”. ජනාධිපති අපේක්ෂකයන් කිසිවකු ප්‍රසිද්ධියේ IMF කොන්දේසි වලින් මිනිසුන්ට ලබාදෙන 'කිසිදු සහනයක්' ගැන සාකච්ඡා නොකිරීමට හේතුව, IMF නිලධාරියාගේ මෙම අවවාදාත්මක අනතුරු ඇඟවීමට කීකරු වීමක් ලෙස සැලකිය හැකිය. වේදිකාවල ගොරවන නායකයන් විදේශිකයකුගේ අනතුරු හැඟවීමකින් හිලෑ වන බව පෙනෙන්නට ඇත. එම අනතුරු හැඟවීම, 'තර්ජනයක් ද , අවවාදයක් ද යන්න කාලය විසින් පෙන්වා දෙනු ඇත.

අපේක්ෂකයන්ගේ සුරංගනා කතා

වඩාත් පළපුරුදු සහ දේශපාලනික වශයෙන් තීක්ෂණ වුත් උපායශීලි වුත් ජනාධිපති අපේක්ෂකයා මේ දිනවල, 'අනාගතයේ සහන ලබා දීමට උත්සාහ කිරීම', 'IMF කොන්දේසිවල බැරෑරුම් කම ', '2048 වන විට සංවර්ධිත ජාතියක් ගැන දවල් සිහින මැවීම ', ණය ගෙවීම ආරම්භ කිරීම' සහ ආදායම් බදු අඩු කිරීම වැනි ආකර්ශනීය සුරංගනා කතා පවසමින් සිටියි. නුමුදු, රට 2022 දී තිබු ‘අරාජික’(anarchical) තත්වයේ සිට ‘ යම් ස්ථාවරත්වයකට ’(stability) ගෙන ඒම, සැපයුම් යථා තත්වයට පත් කිරීම සහ සුපුරුදු පරිදි ජනජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට වටපිටාව නැවත ඇතිකිරීම සම්බන්ධයෙන් ඔහුට නිසි ගෞරවය සහ පැසසුම ලබා දිය යුතුය. කෙසේ වෙතත්, ඔහු IMF වැඩසටහන මත රැඳී සිටිනවා විනා වෙනත් ක්‍රමෝපායික සැලසුමක් ඉදිරිපත් කර නොමැති අතර, IMF වැඩ සටහනේ අයහපත් සමාජ-ආර්ථික බලපෑම නොසලකා හරිමින්, කම්කරු පන්තිය සහ වෘත්තිකයන් පමණක් නොව, ව්‍යවසායකයන් ද එහි ගොදුරු බවට පත්වීමට ඉඩ හරිමින් ඇත. ඔහු තවමත් රැකියා සහ ආදායම් මාර්ග උත්පාදනය පිළිබඳ උපාය මාර්ගයක් එළි දක්වා නොමැත.

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයෙන් වෙන්වී වෙනම පක්ෂයකින් ඉදිපත්වන අපේක්ෂකයා විවිධ සුරංගනා කතා පවසන අතර ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අහිතකර බලපෑම් ගැන සාකච්ඡා නොකිරීමට පරෙස්සම් වී ඇත. ඔහු තවමත් අනුගමනය කරන්නේ ජනතාවගේ සහ රටේ වත්මන් සමාජ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබා 'නොදුන්' සහ 'නොදෙන' ‘සාම්ප්‍රදායික’ දේශපාලන කැන්වසින් ක්‍රමයයි. ඔහු විටක තොරතුරු සහ ඩිජිටල් තාක්ෂණයේ පාරිභාෂික වචන යොදමින්, යම් යම් දේශපාලන මත ඉදිරිපත් කර 'ප්‍රේක්ෂකයන් වසඟ කිරීමට' උත්සාහ කළත් අතර, රටක් මෙහෙයවීමේ දී මුහුණ පෑමට ඇති මූලික ගැටලු සහ අභියෝගවලට විසඳුම් සෙවීමට ඔහුට හොඳ සැලැස්මක් නොමැති බව ඔහුගේ ම සුරංගනා කතාවලින් පෙන්නුම් කරයි.

තුන්වැනි ප්‍රධාන අපේක්ෂකයා 'රැල්ලේ අපේක්ෂකයා' ලෙස සන්නාම කළහැක. ඔහුගේ සුරංගනා කතාවල තේමා වී ඇත්තේ පසුගිය දශක තුනක කාලය තුළ ඔහුගේ සහ ඔහුගේ පක්ෂයේ ප්‍රධාන තේමාව වූ 'හොරු ඇල්ලීම' ගැන පමණක් වන අතර, ආර්ථිකය ගැන ඇත්තේ විවේචන පමණි. ඔවුන් එකි සියලු හොරුන්ට දේශපාලනික වශයෙන් සහාය දුන් බව සහ ඔවුන්ට තේරී පත්වීමට උදව් කළ බව ඔහුට අමතක වී ඇති බව පෙනේ. ඔහු ණය(debt) ව්‍යක්තව දේශනා කරතත්, නමුදු පියවීමේ ක්‍රමෝපායික මාර්ග ගැන සඳහන් නොකරයි. පසුගිය දා ඔහු ක්ෂේත්‍ර කිහිපයක වැට් බද්ද අඩු කරන බවට පොරොන්දු වූ නමුත් රාජ්‍ය ආදායම වර්ධනය කිරීමේ වෙනත් ක්‍රමවේද ගැන ප්‍රකාශ කළේ නැත.

සමතයක් ලෙස එකී සහ අනෙකුත් අපේක්ෂකයන් එකිනෙකාගේ අඩුපාඩු, දුර්වලකම් හුවා දැක්වීම සහ අවලාද නැගීම, පොදු සහ සුලභ ක්‍රියාකාරකමක් ලෙස අත්දැකීමට පුළුවන. රටේ පවතින පහත් දේශපාලනික ක්‍රමය, අපේක්ෂයන්ගේ ද අනුගාමිකයන්ගේ ද 'පෞරුෂය ' බරපතළ සෝදාපාළුවකට ලක් කර ඇති බව නොකියාම බැරිය.

අපේක්ෂකයන් එවන් බොළඳ ක්‍රියාකාරකම් වෙනුවට, අවධානය දියයුතු අංශ වන, ආදායම් බදු සහ වැට් බදු සීමා නැවත සමාලෝචනය කිරීම සලකා බැලීම, නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම, රැකියා අවස්ථා ඇති කිරීම සහ සෘජු විදේශ ආයෝජනවලට බාධා කරන රාජ්‍ය/පෞද්ගලික නිලධාරිවාදය ඉවත් කිරීම සහ IMF ගිවිසුම නැවත සාකච්ඡා කිරීමේ ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කළේ නම්, ඔවුන්ට ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් ආකර්ෂණය කර ගත හැකිව තිබුණි. .

ඡන්දය 'කුමක්' සඳහා ද ? වෙනස ද ? ස්ථාවරත්වය ද ?

ඡන්දදායකයන්ට සාවද්‍ය තොරතුරු(misinformation) වලින් බේරී කරුණු කාරණා විශ්ලේෂණය කොට තීරණ ගැනීමේ අභියෝගාත්මක කාර්යයක් පැවරී ඇත. ශ්‍රී ලාංකික ජනතාව දශක ගණනාවක් තිස්සේ ස්වකීය ඡන්දය පාවිච්චි කළේ අපේක්ෂකයන් සහ ආණ්ඩු 'තෝරා පත් කිරීමට(elect) ' වඩා 'ප්‍රතික්ෂේප කිරීමට'යි(reject). ඔවුන් සාමාන්‍යයෙන් ඡන්දය දුන්නේ ජනප්‍රියත්වය හෝ වීරත්වය මතය. වත්මන් වටපිටාව ඉල්ලා සිටින්නේ 'රැඩිකල් 'වෙනස්කම්' වලට වඩා 'මෙතෙක් ළඟා කර ගත් ස්ථාවරත්වය තව දුරටත් ශක්තිමත් කිරීම' ය.

මෙවර 'තේරීම'(choice) රඳා පවතින්නේ පක්ෂ හෝ පුද්ගලයන් මත නොව ‘ස්ථාවරත්වය(Stability)’ හෝ ‘වෙනසක් කිරීම’(Change) යන අන්ත දෙක මත බව අවබෝධ කර ගත යුතුය.. එය 'තේරීමක් ' නොමැති 'තෝරාගැනීමක්'(Choiceless Choice) විය හැක. (‘Choiceless-Choice’ යනු ලෝරන්ස් ලැන්ගර් විසින් යුදෙව්වන් සමූලඝාතනය වූ සමයේදී යුදෙව්වන් මුහුණ දුන් කිසිදු ජයක් නැති තත්වය(no-win situation)' විග්‍රහ කිරීමට නිර්මාණය කරන ලද යෙදුමකි).

කෙසේ හෝ සියලු දේ අවසානයේදී , අපේ රට යහපතක්ම වේවා, යන්න අප සැමගේ නිසැක ප්‍රාර්ථනයයි !

මිහිඳු රාජරත්න

විද්‍යුත් ලිපිනය[email protected]