දිවයිනට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව සතියෙන් සතිය වැඩි වෙද්දී සංචාරකයන් සතු දේ පැහැර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා වන සිද්ධි ද වැඩි වෙන්නට පටන් ගෙන තිබේ. ඉකුත් සෑම සතියකම පාහේ එවැනි කනගාටුදායක සිදුවීම් වාර්තා විය.
බ්‍රිතාන්‍ය තරුණියකට අයත් ලක්ෂ දෙකහමාරක ජංගම දුරකථනයක් සමඟ රුපියල් 40,000 ක මුදලක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් උදුරාගෙන පලායාමේ සිද්ධියක් අප පුවත්පතේ ඉකුත්දා පළවිය.
2023 ජනවාරි මාසයේ 102545 ක් සංචාරකයන් මෙරටට පැමිණි අතර, පෙබරවාරියේ සංචාරකයන් 107639ක් මෙරටට පැමිණි බව වාර්තා විය. මාර්තු මාසයේ මුල් දින විසි හයේදී ලක්ෂය ඉක්මවූ සංචාරක පිරිසක් මෙරටට පැමිණි බව වාර්තා විය.
2022 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස ආශ්‍රයෙන් බැලූවිට මෙය වඩාත් හොඳ ප්‍රගතියකි. ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය හිඟ කමින් පීඩා විඳින ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම ආශිර්වාදයක් සේ ය. එසේ වන්නේ සංචාරක කර්මාන්තය ඔස්සේ මෙරටට ගලා එන ආදායම වැඩිවෙන ප්‍රවණතාවක් පවතින බැවිනි.
මෙම ප්‍රවණතාව ආරක්ෂා කර ගැනීම ජාතික වගකීමක් වන අතර එම ප්‍රවණතාවට හානිකර ක්‍රියා සිදුවන්නේ නම් ඒවා එකහෙළා නවතා දැමීම ජාතික යුතුකමකි. මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයත් සංචාරක අමාත්‍යාංශයත් අත්වැල් බැඳගත් වැඩපිළිවෙළක් දියත් කිරීම වඩා ඵලදායී වේ.
දිගින් දිගටම සංචාරකයන්ට සිදුවන හිරිහැර වැඩිවීමෙන් පෙනී යන්නේ ඔවුන් වෙනුවෙන් සැපයෙන ආරක්ෂාවේ සහ සහාය සේවාවල යම් අඩුපාඩු පවතින බවයි. එම අඩුපාඩු සොයා බලා කිසිදු උපද්‍රවයකින් තොරව ඔවුන්ට සංචාරය කිරීමේ අවකාශය සැලසීමේ වගකීමක් අපට ඇත.
අප ආගන්තුක සත්කාරයට ළැදි, විදේශවලින් පැමිණෙන අමුත්තන්ට සුහදව සලකන පිරිසක් ලෙස දිනාගෙන ඇති හොඳ නම මෙවැනි සිද්ධි දිගින් දිගටම සිදු වුවහොත් ඉක්මනින්ම අපට අහිමි වී යා හැකිය. ඒ නිසා දිනාගෙන ඇති හොඳ නම වැඩි බරක් යොදා රැකගත යුතුවේ.
රටේ බහුතරය ඒ හොඳ නම ආරක්ෂා කරගන්නට කටයුතු කරන බව සැබෑය. සොරු සහ තක්කඩි කොයි රටෙත් සිටිති. සංචාරක කර්මාන්තය හොඳින් දියුණු වූ, සංචාරකයන්ට ආරක්ෂාව ඇති රටවල සංචාරකයන්ට හානි කිරීමට සොරුන්ට සහ වංචනිකයන්ට ඇති ඉඩකඩ හැකි සෑම අයුරකින්ම අහුරා තිබේ. එවැනි ආරක්ෂක වැඩපිළිවෙළ අප ආදර්ශයට ගත යුතුය.
විශේෂයෙන් සංචාරකයන් අනාරක්ෂිත බවට නිරාවරණය වන වාතාවරණය මුළුමනින්ම අහුරා තැබීම අපට ඒ ඔස්සේ කළ හැකි වේ. අනාරක්ෂිත තත්ත්වයකට සංචාරකයන් භාජනවන ඉඩකඩ අවුරා දැමීම සඳහා අන්තර්ජාලය හරහා පහසුවෙන් ම ඔවුන්ට අදාළ උපදෙස් දීම කළ හැකිය.
දැනට අප වැටී සිටින ආර්ථික අර්බුදය මධ්‍යයේ අපනයන වර්ධනයෙන් විදේශ වෙළඳාම ඔස්සේ විදේශ විනිමය ඉපයීම් වැඩි කිරීම හිටි හැටියේ කළ නොහැක්කකි. සෘජු විදේශ ආයෝජන රට තුළට කැඳවා ඒ මගින් අන්තර්ජාතික වෙළඳාම් වැඩි කරගැනීම ද ක්ෂණිකව කළ නොහැකිය. එම නිසා වඩාත් ඉක්මනින් කළ හැක්කේ සංචාරකයන්ට මේ රට විවෘත කොට රට තුළට එන විදේශ විනිමය වැඩි කර ගැනීමයි.
සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම උදෙසා මෙරට සම්පත් ප්‍රශස්ත අයුරින් තවමත් භාවිතා කරන සෙයක් පෙනෙන්නට නැත. උදාහරණයක් ලෙස ගතහොත් කොළඹ නගරයේ ශේෂ වී ඇති පුරාණ ලන්දේසි හා පෘතුගීසි සිහිවටන සංචාරක ව්‍යාපාරය සඳහා මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැත. එම ස්ථාන කෙතරම් දුරට ඒ සඳහා ප්‍රයෝජනයට ගත හැකිද යන්න ආර්.එල්. බ්‍රෝහියර් ගේ Changing Face of Colombo (සිංහල පරිවර්තනය පද්මා එදිරිසිංහ ගේ කොළොම්පුර පුරාවෘත) කියවීමෙන් අයකුට දැනගත හැකිවේ.
කොළඹ නගරයේ තරම් පැරණි සිහිවටන නැතත් මැලේසියාව මලක්කා නගරයේ අලුතෙන් ආකෘති ඉදිකොට එම කාර්යය කරන ආකාරය දැක බලා අපට පාඩම් උගත හැකි ය.
සංචාරකයන් කැඳවා ගැනීමේ විභවතාව ප්‍රශස්ත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතරම ඔවුන්ට පිරිනමන ආරක්ෂාව හා සහාය සේවා වර්ධනය කිරීම ද වැදගත් වේ.
(***)