අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුරුතුමා


ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදීයා සහ දිවයින ආරම්භක කර්තෘවරයා වන එඩ්මන්ඩ් රණසිංහ මහතා වෙනුවෙන් උපහාර උළෙලක් අද 3 වැනිදා සවස 3.00 ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වෙයි.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

එඩ්මන්ඩ් රණසිංහ මහතා පුවත්පත් කලාවේ විප්ලවයක් කළ සෙන්පතියෙකි. පුවත්පත් කලාව අලුත් මාවතකට යොමු කළ චරිතයකි. එමෙන්ම අභියෝග රැසකට මුහුණ දුන් අභීත පුවත්පත් කලාවේදියෙකි.

මෙතුමා පුවත්පත් කලාවට යොමු වෙද්දීත් ඉන් පසුවත් එහි යුග කීපයක් තිබුණි. ඒ පුවත්පත් කලාවේ ස්වර්ණමය පිබිදීමක් එදා සමාජයේ පුවත්පත් කලාවට තිබුණි.

ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සිය ජීවිකාව ඇරඹු එඩ්මන්ඩ් රණසිංහ මහතා මාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වන්නේ 1952 වර්ෂයේදීය. විවිධ තනතුරු රැසක් එහි හෙබ වූ රණසිංහ මහතා ‘දිනමිණ’ සහ ‘සිළුමිණ’ පුවත්පත්වල කර්තෘ ධුරය ද හෙබ වූයේය.

ලේක්හවුස් ආයතනය රජයට පවරා ගනිද්දී එයින් ඉවත් වූ හෙතෙම නැවත ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වන්නේ දිනමිණ කර්තෘවරයා වශයෙනි. පසුව ‘සිළුමිණ’ කර්තෘවරයා වශයෙන් රණසිංහ මහතා පත්වෙයි. මෙම කාල සීමාව මෙම පුවත්පත්වල ඉහළම අලෙවියක් වාර්තා කළ අතර ඒ ලේක්හවුස් ආයතනයේ එක්තරා ස්වර්ණමය යුගයකි.

මා ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වන්නේද්‍ මේ යුගයේදීය.

‘සිළුමිණ’ පුවත්පතේ රණසිංහ මහතා සේවය කරද්දී එහි කොටස් වශයෙන් පළ වූ එක්තරා නවකතාවක් හේතුවෙන් පාලක පක්ෂය සමග මත ගැටුමක් ද ඇතිවිය. ඒ ටී. බී. ඉලංගරත්න මහතාගේ නව කතාවකි. මෙයට විරෝධය පළ කළ පාලක පක්ෂය එය ඉක්මනින් හමාර කරන ලෙස දැනුම් දී තිබූ බව රණසිංහ මහතාම ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධව කලකිරීමට පත්වී සිටි රණසිංහ මහතා ලේක්හවුස් ආයතනයෙන් තවත් කණ්ඩායමක් සමග ඉවත්ව ගියේ ‘දිවයින’ පුවත්පත ආරම්භ කිරීමටය.

රණසිංහ මහතා අලුත් දෙයක් අලුත් විදියට කළ අයෙකි. එමෙන්ම ඉතාම සුහදව කණ්ඩායමක් ලෙස සියලුම දෙනා මෙහෙයවීමේ දක්ෂතාවක්ද ඔහුට තිබුණි. නායකත්වය ගැන ඔහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ පාඩම් තිබුණි. පුවත්පත් කලාව මෙන් පාලනය පිළිබඳව ද පාඩම් ඒ අතර විය.

ඔහුගේ කතාව ද බොහෝ සෙයින් ඉදිරිය පෙන්වා දෙමින් කළ කතාවය. ඉතා දිගු ඉදිරියක් ඔහුට පෙනුණි. පසුව කල්පනා කරන විට ඒ බව ඉතා හොඳින් මෙනෙහි කළ හැකිය.

රණසිංහ මහතාගේ පත්‍ර කලාව කරුණු දෙකක් මත මෙහෙයවීය. ඒ පාඨකයන් දැනුවත් කිරීම සහ රසඥතාව ඇති කිරීම කරුණු දෙකය. ඇමරිකාවේ පුවත්පත් අදටත් අනුගමනය කරන්නේ මෙම කරුණු දෙකය. ඇමරිකාවේ ඉතා ප්‍රබල පුවත් පතක් වූ ‘වෝල් ස්ට්‍රීව් ජර්නල්’ පුවත්පත අදටත් ප්‍රචාරය කරන්නේ ‘ඔබේ දරුවා පංති කාමරයේ වීරයෙක් කරන්න මෙම පුවත්පත මිලදී ගන්න’ යනුවෙන්ය.

රණසිංහ මහතා හැම මොහොතකම කියවු කෙනෙකි. ඔහුගේ අතේ ඉංග්‍රීසි සඟරා එකක් දෙකක් නොතිබුණු අවස්ථාවක් නැති තරම්ය. චරිත කතා දේශපාලනය සමාජ, ආර්ථික තත්ත්වය දර්ශනය ඔහු ඉතා තදින් කියවීමට ආශා කළ විෂයන්ය.

ලෝක දේශපාලනය ගැන ඔහුට ඉතා විශිෂ්ට දැනුමක් තිබුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ තත්ත්වය සහ දේශපාලනය ගැන දැඩි උනන්දුවක් දැක් වූයේය. ඒ දැනුම පුවත්පතට ද විකාශනය වූයේය. දිවයින ඉරිදා සංග්‍රහය ආරම්භයේදී එහි දේශපාලන විග්‍රහය ලිපිය ඉදිරිපත් කළේ රණසිංහ මහතාමය. එමෙන්ම ඉතා ජනප්‍රිය වූ තීරු ලිපියක් ලෙස ‘කරළිය’ සඳහන් කළ හැකිය. එය රචනා කළේ ද එතුමාමය.

 රණසිංහ මහතාගේ උ​පදේශය වූයේ කාටත් තේරෙන පරිදි ඉතා ලිහිල් සිංහල සිය ලිපිවලට තෝරා ගන්නා ලෙසය. පුවත්පතක භාෂාව ඉතාම පහළ මට්ටමේ සිට විශ්වවිද්‍යාල සිසුන් ආචාර්ය මහාචාර්යවරුන් දක්වා දැනුමට සරිලන ලෙස නිර්මාණය විය යුතු බව ඔහුගේ අදහස විය. නිතරම ඔහු සඳහන් කළ කරුණක් විය. ඒ අප සියලු දෙනාටම වඩා උගත් පිරිසක් මෙම පුවත්පත් බලන බව තේරුම් ගෙන ඊට සරිලන පරිදි ඉතා උසස් මට්ටමක කරුණු ඇතුළත් විය යුතු බව තේරුම් ගන්නා ලෙස සඳහන් කිරීමය. එය ඉතා වටිනා අදහසකි.

හැම විටම පුවත්පතක ලිපි දෙකක්වත් එක පාඨකයෙකුගේ සිත දිනා ගත යුතු බව ඔහුගේ අදහස විය. ඒ නිසාම විවිධ මාතෘකා සහිත ලිපි තිබිය යුතු බවත් පෙන්වා දුන්නේය. එසේ නූනොත් පාඨකයන් එවැනි පුවත්පත් අතහැර දමන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම සියලු කරුණු ඉපදුනේ ඔහු විශ්වාස කළ පදනමක සිටය. ඒ සිංහල බෞද්ධ පදනමයි. වරක් ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවක දී ද රණසිංහ මහතා මෙය ප්‍රකාශ කර තිබුණේ ඔහු නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

දිවයින පුවත්පතට අමතරව The Island පුවත්පතේ ද කර්තෘකම හෙබ වූ රණසිංහ මහතා දීර්ඝ කාලයක් උපාලි පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළේය.

නවකතා කීපයක් සහ තවත් විෂයන් යටතේ පොත් කීපයක් රචනා කළ රණසිංහ මහතා අලුත් දේ නිතරම නිර්මාණය කළ මාධ්‍යවේදියකි. දිවයින පුවත්පත කියවන පාඨකයෝ එදා එය හොඳටම තේරුම් ගෙන සිටියහ. ඒ අලුත් අදහස් අලුත් නිර්මාණ සහ විශේෂාංග ගැන පාඨකයන් දැක් වූයේ ඉතා බලවත් බැඳීමක් සහිත සතුටකි. එය පුවත් පත්වල දියුණුවට ද බලපෑවේය. දිවයින  එදා රණසිංහ මහතා නිසා බැබළුණා මිස රණසිංහ මහතා දිවයින නිසා බැබළුනේ නැත.

 දවසින් දවස අලුත් අලුත් දේ ‘දිවයින’ට එකතු වූයේය. අලුත් අලුත් විශේෂාංග එකතු වූයේය. ඒ රණසිංහ මහතා අතිනි.

මේ ආකාරයටම අලුත් අලුත් මාධ්‍යවේදීන් ද රණසිංහ මහතා දිවයින තුළින් බිහි කළේය. එසේ දිවයින තුළින් බිහි වූ විශාල පිරිසක් පසු කලෙක පුවත්පත් රැසක කර්තෘ පදවි පවා හෙබවූ අතර ඒ ක්ෂේත්‍රයේ ප්‍රබලයෝ විශාල පිරිසක් වූහ.

එම ගෞරවය ද යා යුත්තේ ඔහුටමය.

රණසිංහ මහතා යටතේ ඕනෑම කෙනෙකුට නිදහසේ නිසි පරිදි සිය දක්ෂකම් ගෙන හැර දැක්වීමට  අවස්ථාවක් තිබුණි. ඕනෑම කෙනෙකුගේ දක්ෂකමක් ඔහු දුටුවොත් ඊට ඔහුගේ අත දීම සිරිතය. එය කපා කොටා නැති කිරීම ඔහුගේ ප්‍රතිපත්තිය නොවීය. ඔහුගේ මෙම ප්‍රතිපත්තිය නිසාම දිවයින රණසිංහ මහතා යටතේ ගොඩනැගුණු පිරිස අති බහුතරයකි.

දිවයින හි වරක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ උපාධිධාරියෙකු ප්‍රකාශ කළේ රණසිංහ මහතා සමග මාස හයක්  එක දිගට සේවය කළොත් වසර හතරක් විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තාට වඩා දැනුමක් ලබාගත හැකි බවය. ඔහු එසේ ප්‍රකාශ කළේ රණසිංහ මහතාගේ දැනුම පිළිබඳවය.

රණසිංහ මහතා සමග ඕනෑම අයකුට තර්ක විතර්ක කළ හැකිය. ඒ නිසාම ප්‍රබල මැති ඇමැතිවරුන් සමග ද ප්‍රශ්න කිරීමට ඇතැම් මාධ්‍යවේදීන් බිය සැක දුරු වූ බව ප්‍රකාශ කළ අවස්ථා තිබේ. මාධ්‍යවේදියකුට අවශ්‍ය පෞරුෂ්‍යත්වය ද ඔහු නිර්මාණය කළේය.

රණසිංහ මහතාට අභියෝග පැමිණි අවස්ථා ද බොහෝය. හිටපු රාජ්‍ය නායකයෙක් ප්‍රසිද්ධ රැස්වීම්වල දී නම කියමින් තර්ජනය කළේය. එමෙන්ම ඒ සමයේ එතුමා එල්ල කර කර නිවසට බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කළේය. එදා එතුමාගේ ජීවිතය අනතුරකට පත් නූනේ විශේෂ දේව හාස්කමකිනි.

මේ කිසි දේකින් රණසිංහ මහතා ගමන නතර වූයේ නැත. බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනට පසුදින ද සුපුරුදු පරිදි වෙනදා වේලාවට කාර්යාලයට පැමිණියේය. මෙම තර්ජනවලින් බියවී පුවත්පත ගමන් කළ මාර්ගය වෙනස් කළේ නැත. එහි තිබූ කිසිම දෙයක් ඇල්මැරුනේ නැත. සිදු වූවා නම් සිදු වූයේ තිබු බොහෝ දේ තවත් තද වූවා පමණි.

එවකට උපාලි පුවත්පත් ආයතනයේ සභාපතිනිය වූයේ ලක්මිණි විජයවර්ධන මැතිණියයි. එතුමියට වරක් සිරිසේන කුරේ මහතා රණසිංහ ප්‍රේමදාස මහතාගේ පණිවිඩයක් රැගෙන ආවේය. ඒ රණසිංහ මහතා පුවත්පතේ කර්තෘ ධුරයෙන් ඉවත් කළොත් ඔහුගේ රාජ්‍ය බැංකුවල තිබූ ණයවලට සහනයක් සලසන බවය. එහෙත් විජයවර්ධන මැතිනිය එදා එය ප්‍රතික්ෂේප කළාය. එවැනි නිර්භීත තීරණ ගත් කාන්තාවක් ලෙස ඇය හැඳින්විය හැකිය.

තවත් වරෙක පුවත්පත් ආයතනයට රජය අධ්‍යක්ෂවරයකු ද පත් කළේය. ඒ.ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේදීය. තවත් වරක දිවයින රජයට පවරා ගන්නා බවට රාවයක් පැතිරිණි. එක දිනක එසේ පවරා ගැනීමට පැමිණෙන ආරංචියට රණසිංහ මහතා දිවයින කාර්යාලයේ මුළු රාත්‍රියම ගත කළා මට මතකය. ඒ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේදීය. රණසිංහ මහතා මුහුණ දුන්න මෙවැනි අභියෝග රැසකි. මෙහි සඳහන් කළේ ඒවායින් ඉතා ස්වල්පයකි.

මෙසේ දිවයින වෙනුවෙන් කැපවූ රණසිංහ මහතා වරක් දිවයින කර්තෘ පදවියෙන් ඉවත් වන්නට තීරණය කළේය. ඒ පාලක පක්ෂය සමග ඇති වූ මතභේදයක් නිසාය. ඒ ගාමිණි දිසානායක අභාවය සම්බන්ධ ලිපියක් රණසිංහ මහතාට නොදන්වා ඉවත් කිරීම සම්බන්ධයෙනි. ඒත් පසුව දොස්තර රත්වත්තේ මහතාගේ ඉල්ලීම පරිදි කර්තෘ පදවියෙන් ඉවත්වී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කිරීමට එතුමා තීරණය කළේය.

මෙවැනි විප්ලව රැසක් කළ එමෙන්ම අභියෝග රැසකට මුහුණ දුන් රණසිංහ මහතා අද විශ්‍රාමිකය. රණසිංහ මහතාගේ එම නිවස දිවයින පිරිසට අමුතු තැනක් නොවේ. මසකට දෙකකට වරක් ඉතා ප්‍රීතිය ගෙන දුන් ස්ථානයකි. සතුට ගෙන දුන් තැනකි.

රණසිංහ මහතාගේ මේ සියලු කටයුතුවලට සෙවනැල්ලක් වූ කෙනෙක් විය. ඒ එතුමාගේ බිරිඳයි. ඇය අද ජීවතුන් අතර නැතත් එදා ඇයත් දිවයින පවුලේම කෙනෙක් විය. ඇගේ ශක්තිය රණසිංහ මහතාගේ සියලු කටයුතුවලට තවත් ශක්තියක් වුණි. අපි ඇයට නිවන්සුව පතමු. එමෙන්ම දරුවන් දෙදෙනාත් එම පවුලේ සියලු දෙනාත් ආදරයෙන් සිහි කළ යුතුයි.

රණසිංහ මහතාගේ එම පත්‍ර කලා ජීවිතය සහ එම විප්ලවය මෙසේ පේළි කිහිපයකින් සටහන් කළ නොහැකිය. ඒත් අපි එතුමාට උපහාර පුද කරන  මෙම අවස්ථාවේ එයට උපහාරයක් ලෙස මෙම වචන කීපය මෙසේ සටහන් කරමු.

 

ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ මාධ්‍යවේදී දිවයින හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්