අපේ ණය සමාජ කතිකාව


මේ දිනවල රටේ දේශපාලන අවකාශයේ මතුවී තිබෙන ප්‍රධානම මාතෘකාව වන්නේ ‘ණය ප්‍රතිව්‍යුහගත කිරීම’ පිළිබඳවය. ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානම මගින් පෙන්නුම් කරන්නේ ‘මේ සති අන්තයේ මහ විනාශයක් වෙනවා’ වැනි හැඟීමක්ය. ආණ්ඩුව මේ සඳහා ලක ලෑස්ති වන ආකාරය නිසාම රටේ සමහරුන් සිටින්නේ යම් ආකාරයක චකිතයකින්ය.

මේ සති අන්තයේ බ්‍රහස්පතින්දා සහ ඊළඟ සතියේ සඳුදා රජයේ නිවාඩු දවස් දෙකක් වන අතර රජය ප්‍රකාශයට පත් කළේ අද (ජුනි 30) දිනයත් බැංකු නිවාඩු දිනයක් බවය. ඒ අනුව දින 05ක දීර්ඝ නිවාඩුවක් සහිත සති අන්තයක් බවට මේ සති අන්තය පත්වී ඇත. රජයේ සමහරුන් කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකු ක්ෂේත්‍රයට ඇතිවිය හැකි ඍජු බලපෑම් අවම කරන්නට මේ පියවර ගත් බවය.

එසේම කොටස් වෙළෙඳපොළ කටයුතුද සිකුරාදා දිනයේ අවලංගු කර ඇත. ආණ්ඩුව කරන්නට යන්නේ කුමක්දැයි අපැහැදිලි වන තරමටම ‘මේ පෙර සූදානම’ බරපතළ වී ඇත. එපමණක්ද නොවේ මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් තබමින් ආණ්ඩුවේ ප්‍රකාශකයාගේ කාර්ය භාරය සිදු කරන්නටත් පටන්ගෙන තිබීම මේ අපැහැදිලිභාවය තවත් වර්ධනය කර ඇත.

මෙවර කිවිදු දැක්මෙන් සාකච්ඡා කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ආණ්ඩුවේ ක්‍රියාදාමය පිළිබඳවය. සැබැවින්ම වෙන කිසිදු මාතෘකාවක් පිළිබඳව මේ සතියේ සාකච්ඡා කිරීම අදාළ නොවන තරමටම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය ආණ්ඩුව විසින් ඉදිරියට තල්ලු කර ඇත. ඒ නිසාම මේ කාරණය පිළිබඳව විමර්ශනයක් සිදු කිරීම අවශ්‍ය වී ඇත


රටේ ණය බර

මහ බැංකුව විසින් නිකුත් කළ 2022 වාර්ෂික වාර්තාවට අනුව රටේ සමස්ත ණය බර 2022 වර්ෂයේ අවසානය වන විට ඩොලර් බිලියන 83.6කි. එය සමන්විත වන්නේ ප්‍රධාන කොටස් තුනකින් යුක්තවය. ඒ අනුව මධ්‍යම රජයේ ණය ඩොලර් බිලිය 76.9කි. රජයට අයත් පොදු ව්‍යාපාර ඍජුව ලබා ගත් ණය ප්‍රමාණය වන්නේ ඩොලර් බිලියන 3.7කි. මහ බැංකුව ඍජුවම ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.1කි. මේ අනුව පෙනී යන එක් කාරණයක් වන්නේ රටේ සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 92 ක්ම ඇත්තේ ආණ්ඩුවේ ණය බවය.

ආණ්ඩුවේ ණය වන ඩොලර් බිලියන 76.9 අතරින් විදේශීය ණයවල ප්‍රමාණය සම්පූර්ණ මුදලින් සියයට 52 ක් වන අතර ඒ අතරින් දේශීය ණය ප්‍රමාණය වන්නේ උක්ත සම්පූර්ණ ගණනින් සියයට 47කි. මේ දේශීය වශයෙන් ලබාගත් ණය සියයට 47 මූලික වශයෙන්ම පදනම් වන්නේ භාණ්ඩාගාරික බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් යන දෙඅංශය මතය. ආණ්ඩුව මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් යෝජනා කරන්නේ මෙම රාජ්‍ය දේශීය ණය මුදල ප්‍රතිව්‍යුහගත (restructure) කිරීමටය. මේ සඳහා මහ බැංකු අධිපතිවරයා පාවිච්චි කරන වචනය වන්නේ ප්‍රශස්ථකරණය කිරීම (optimization) යන වචනයයි. ඒ කුමන වචනයෙන් කීවත් මේ කරන්නට යන්නේ ඉහත සඳහන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හෝ වෙනස් කර ගැනීම කරන්නටය. 

මෙයින් කරන්නේ කුමක්ද?

මේ වනවිට රට පුරාම යම් ආකාරයක තැති ගැන්මක් හටගෙන තිබෙන්නේ මේ වචනයත් සමගය. සමහරු සිතන්නේ තම තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වල තිබෙන මුදල්වලින් කොටසක් කපා හරින්නට ආණ්ඩුව සූදානම් වෙනවාය කියාය. එය නිවැරැදි මතයක් නොවන බව මෙහිදී කිව යුතුය. මේ කරන්නට යන වැඩෙන් සිදුවිය හැකි දේශපාලන හා ආර්ථික බලපෑමක් සාර්ව ආර්ථික (Macro economic) තිබෙන බව සැබෑවක්ය. එහෙත් එකිනෙකාගේ පෞද්ගලික ගිණුම්වල තිබෙන මුදල් සම්බන්ධව ඍජු අදාළත්වයක් මෙහිදී ඇතිවෙන්නේ නැති බව මගේ අදහසය. ආණ්ඩුව හරියටම කරන්නට යන්නේ කුමක්දැයි අපි දන්නේ නැති නිසා මෙහිදී ලොකු චරිත සහතිකයක් දිය නොහැකි බවත් සැබෑවක්ය. එහෙත් රටේ මූල්‍ය පද්ධතිය අර්බුදයට යන පරිදි ජනතාව කලබල කිරීමේ දේශපාලනයක්ද අපි කළ යුතු නැත.

රටක ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධව ණය ප්‍රතිව්‍යුහගත කරණය කියන්නේ අපිට ගෙවන්නට තිබෙන ණය ඒ ආකාරයෙන්ම ගෙවන්නට හැකියාවක් නොමැති අවස්ථාවක සිදුකරන උපක්‍රමයක්ය. එහිදී සිදුවන්නේ එක්කෝ එම ණය සඳහා අපි එකඟවී ඇති මූලික ආකෘතිය යළි සළකා බලමින් යම් වෙනස්කමක් ඒ ව්‍යුහාත්මක පදනමට (structural foundation) සිදු කිරීමය. ඒ කියන්නේ රට ලබාගෙන තිබෙන ණය නැවත ගෙවීමේ එකඟතාවය යළි සළකා බැලීමට ණය දුන් ආයතනය සමග අලුත් එකඟතාවයකට ගමන් කිරීමය.

දෙවනුව සැළකුවොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් සිදු කළ හැකි තවත් දෙයක් වන්නේ ණයෙහි ව්‍යුහාත්මක වෙනසක් (එනම් ගෙවන කාල පරාසය, ගෙවන interest එක වෙනස් කිරීම, වාරික ගණන් දික් කිරීම වැනි) පමණක් නොව ණයෙහි කොටසක් කපා හැරීමට බැංකුව හෝ ණය දුන් ආයතනය පුද්ගලයා සමග එකඟවීමය. මේ දිනවල රටේ සාකච්ඡා වන (Debt haircut) හෙවත් ණය මුදලේ කොටසක් කපා දැමීම ලෙසින් සළකන්නේ මේ කාරණාය.

ආණ්ඩුව දැන් කියන්නේ එවැනි කපා දැමීමක් සිදු කරන්නේ නැති බවය. එහෙත් කරන විට සිදුකරන්නේ කුමක්ද කියා ජනතාව දන්නේ නැති නිසා මේ පිළිබඳව තිබෙන සැකය හැම තැනම පැතිරී ඇත.


ණය කැපීමෙන් ජනතාවට සිදුවන පාඩුව
ණය කපා හැරීමෙන් ජනතාවට සිදුවිය හැකි පාඩුව යැයි කියන්නේ මේ ණය සමග සිදුකරන සම්බන්ධතාවය දෙපැත්තකින් රටේ ජනතාවට සම්බන්ධ වන නිසාය.

එක පැත්තකින් රජය ලබාගෙන ඇති මෙම දේශීය ණයවලින් වැඩි හරියක් නියෝජනය කරන්නේ රජයේ පාලනය යටතේ තිබෙන ජනතාවගේ අරමුදල් කීපයක්ම වන නිසාය.

සේවක අර්ථ සාධක අරමුදල වැනි මෙරට වැඩ කරන ජනතාවගේ අරමුදල් කළමනාකරණය කරන්නේ මහ බැංකුවය. සේවක භාරකාර අරමුදල වැනි ජනතා මුදල් සම්බන්ධ සමහර තීරණ ගන්නේ රාජ්‍ය භාණ්ඩාගාරය සහ මුදල් ප්‍රතිපත්ති තීරණය කරන අමාත්‍යංශයෝය.

රජය ලබාගෙන ඇති දේශීය ණයවලින් වැඩි හරියක් ඇතුළත් වන්නේ ETF සහ EPF යන අරමුදල්වලටය. ඒවා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bills and Treasury bonds) තුළ ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එම අරමුදල් සඳහා වැඩි පොළියක් ලබා ගැනීමය. නැවත ගෙවීම ස්ථිර තත්ත්වයක් ආණ්ඩුවට ණය දීමෙන් ලැබෙන නිසා මෙතෙක් කාලයක් මේ මුදල් රජයේ ආයෝජනය කිරීමේ ගැටලුවක් තිබුණේ නැත. එහෙත් පසුගිය වසරේ (2022 අප්‍රේල් 12) සිට රට බංකොළොත් බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් රාජ්‍යයට ආයෝජනය කිරීම ප්‍රශ්නයක් බවට පත්විය.

යම් ආකාරයකින් මෙසේ රජයට ලබාගත් ණය ආපසු ගෙවන්නට බැරි පදනම මත එම ණයවලින් කොටසක් කපා හරින්නට තීරණය කළහොත් එයින් ඉහත සඳහන් ජනතා අරමුදල්වලට මරු පහරක් වදින බව ඉතාමත් පැහැදිලිය. රටේ බොහෝ අය මේ සම්බන්ධව කලබලයට පත්වී තිබෙන්නේ මේ කාරණය නිසාය.

ආණ්ඩුවේ කලබලකාරී හැසිරීම
රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ මේ අවුල් සහගත තත්ත්වයට ප්‍රධානතම හේතුව වන්නේ ආණ්ඩුව මේ ප්‍රශ්නය කළමනාකරණය කළ ආකාරයේ තිබෙන අපිරිනිතභාවය යැයි කීම නිවැරැදිය.

මුලින් ආණ්ඩුව කීවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැති බවය. රටේ විදේශ ණය පමණක් ප්‍රතිව්‍යූහගත කරනවා කියාය. ඒ බව ඇමැතිවරු පාර්ලිමේන්තුවට පුන පුනා කීවෝය. එහෙත් දැන් කරන්නේ වෙන දෙයක් නිසා ජනතාව මුලින්ම මේ ගැන කලබලයට පත්වූ බව කිව යුතුය.

දෙවනුව ආණ්ඩුව මේ සඳහා අනුගමනය කළේ ඉතාමත් ගුප්ත ආකාරයේ උපක්‍රම බව ඉතාමත් පැහැදිලිය. පාර්ලිමේන්තුව හදිසියේ සෙනසුරාදා/ඉරිදා දිනවල රැස් කරන්නට තීරණය කර ඇත්තේ මේ ගුප්ත තත්ත්වය නිසාය. ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ කරුණු පළමු වරට කීවේ ප්‍රංශයේ රූපවාහිනි නාලිකාවකට දුන් සම්මුඛ සාකච්ඡාවකදීය.

මහ බැංකු අධිපතිවරයා මාධ්‍යයට පැමිණ කළ ප්‍රකාශය නිසා ජනතාව තව දුරටත් යම් ආකාරයක ප්‍රහේලිකාවකට තල්ලු කළේය. සාමාන්‍යයෙන් මහ බැංකු අධිපතිවරයා ආණ්ඩුවේ ඍජු නියෝජිතයෙක් ලෙසින් නොව රාජ්‍යයේ නියෝජිතයකු වශයෙන් පෙනී සිටිය යුතු බව කවුරුත් පිළිගන්නා කාරණයක්ය. අලුත් මහ බැංකු පනතක් ගෙනත් තියෙන්නේ මේ කාරණය නිසා යැයිද කියනු ලැබේ. ඒ කුමක් වුවත් මෙවර මහ බැංකුවේ අධිපතිවරයා ඇමැතිවරුන්ගේ මට්ටමේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නට ඉදිරියට පැමිණීම නිසා රටේ සමහරුන් මේ කරන්නට යන සම්පූර්ණ වැඩය පිළිබඳව සැක කරන්නට පටන්ගෙන ඇති බව සත්‍යයක්ය.

මේ සති අන්තයේ සිදුවිය හැකි මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය රටට හෝ මූල්‍ය ක්ෂේත්‍රයට බරපතළ ප්‍රතිවිපාක ලබාදෙන බව සමහර ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. ඒ නිසා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ගනු ලබන තීරණය ඉතාමත් පරිස්සමෙන් ගත යුතු බව මගේ අදහසය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු නිකම්ම අත ඔසවන ලයිට් කණු නොව බුද්ධියක් හා පෞරුෂයක් ඇති පිරිසක් බව සිහියේ තබාගෙන මෙවැනි සංකීර්ණ අවස්ථාවල වැඩ කළ යුතු බව මගේ මේ සතියේ ‘‘කිවිදා දැක්ම’’ය.


මහාචාර්ය චරිත හේරත්