නූතනයේ අප අතර සිටින ප්‍රතිභාසම්පන්න කවියකු වන සුමින්ද කිත්සිරි ගුණරත්න පාඨක විචාරක අවධානයට ලක්වූ කෘති කිහිපයක්ම රචනා කළ නිර්මාණකරුවෙකි. චක්කරං කොටුව, ඇහැළි, නාරජ සහ වේ රජ, ලංකා පොකුණ, ලුම්බිණි වැනි කාව්‍ය කෘති ද ජී.බී. සේනානායක කාව්‍ය විමර්ශන, ආරියවංශ පතිරාජ ප්‍රතිරාව, දෘෂ්‍යාත්මක මානව විද්‍යාව හා මානව වංශ ලේඛ චිත්‍රපටය, කැමරාවෙන් ලියැවෙන මානව කතන්දර වැනි විමර්ශන කෘති ඒ අතර කැපී පෙනේ. ප්‍රිස්ම ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහයයි.
මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ අප කළ සංවාදයක සටහනකි.
• ප්‍රිස්ම ඔබේ කවි මගෙහි ලෙන්දොර හැරීමක් වගෙයි පෙනෙන්නේ. මේ අනුභූහීන් ආකෘතීන් හා පරිකල්පනාත්මක අවකාශ ගැන මුලින්ම කතා කරමු.
විවිධ සාහිත්‍ය ශානර අතරින් ‘‘භාෂාමය කවිය’’ එක්තරා ආකාරයකින් මනෝ විද්‍යාවක් ද වෙනවා. සංඥාමය තරලයක් මතයි භාෂාව කම්පන තරංග නගන්නේ. භාෂාවේ වචනයක් කියන්නේ ඒ මනෝ තරලය මතට දමන කුඩා කැට කැබල්ලක්. ඒ කැට කැබලිත්ත අරුත් රළ රස භාව සිය දහසක් නගනවා. එමගින් විවිධ අර්ථතල භවතල මතුවෙනවා. මේ සියුම් මනෝ විද්‍යාත්මක කාර්ය පිළිබඳ තාක්ෂණය හසුවූ තැනැත්තෙක් තමයි ‘‘කවියා’’ ලෙස හැඳින්වෙන්නේ. ඔහු තමා තුළින් අනෙකාගේ කම්පන නාඩිය හඳුනා ගන්නවා.
අද අපි ජීවත් වෙන්නේ ‘‘මහා කම්පනයකට’’ මුහුණ දුන්න සමාජයක. වසංගත, සාගත, දේශපාලන වංචනිකත්වය සහිත අසහනකාරිත්වයක් මේ සියල්ල නිසා කැළඹුණු මහා සමාජ මනස මහා කම්පනවලට දැන් සංවේදී නැහැ. එය නිර්වින්දනය වෙලා තියෙන්නේ. කැළඹුණු සයුරකට ගලක් අතහැරියට මහා කැළඹීම තුළ ඒ කුඩා කම්පනය විද්‍යාමාන නොවන තරම්. ඒත් වඩා සැහැල්ලු දෙයක් වෙරළකට පමුණුවාගෙන රසවිඳ විඳ ඉන්න ඒ රළම හේතු වෙනවා. ‘‘ප්‍රිස්ම’’ කියන්නේ එබඳු සැහැල්ලු දෙයක්. එහි සමාජ කම්පන රසික වෙරළකට පාවීමට නියමිතයි.
ඒ සඳහා සුදුසු සරල, සැහැල්ලු කාව්‍යමය ආකෘතීන් පිළිබඳ මා කලක සිට සැලකිලිමත් වුණා. එහිදී මේ හුරුබුහුටි කාව්‍ය ආකෘති කෙරෙහි මගේ අවධානය යොමු වුණා. දෙස් විදෙස් කවියන් ඒවා භාවිත කර ඇති ආකාරය පසුගිය සත් වසරක කාලයේ ගැඹුරින් හැදෑරුවා. ඒ හැදෑරීම් සමග මා තුළම විශාල අාධ්‍යාත්මික පුබුදුවක් ඇති වුණා. ත්‍රිපිටකය, බයිබලය උපනිශද් වේද ග්‍රන්ථ, මහායාන ධර්ම ග්‍රන්ථ, ජනශ්‍රැති අතරින් යෙදෙන කඳු බිමක ගමනක් ඒ. මේ කඳුකර ගමනෙදි මා විඳි චමත්කාරයයි. ප්‍රිස්ම අනුභූතින්වලින් එන්නේ.
• ඔබ මේ කවි හැඳින්වීමට අලුත් යෙදුමක් උපද්දවනවා. ඒ තමයි සංකිත කවි යන යෙදුම. කෙටි කවිය, සංක්ෂිප්ත කවිය යන යෙදුම් අපේ රසික සමාජයේ තහවුරු වී ඇති අවස්ථාවක ඇයි ඔබ මේ නම යෝජනා කරන්නේ?
සංකිත කවිය අපට අලුත් දෙයක් නොවෙයි. එහි ඓතිහාසික විකාශයක් තියෙනවා. ධම්ම පදයේ ගාථා සහ සීගිරි කවි ගත්තත් ඒවායේ උපමා රූපක උදේශාත්මක කොටසෙන් ව්‍යුත්පන්න කළ විට සංකිත කවියේ මූලධාතුව මතු වෙනවා. ‘‘ඡායාව අනපායිනි’’ ‘‘චක්කංච වහතෝ පදං’’ කියන චිත්ත රූප දෙකම උපමා බවට පත් වන්නේ ඒ පසුපසින් උපදේශය ආවට පස්සේ. ආගමික සාහිත්‍යයේ මේ රූපක භාවිතය මෙන්ම හයිකු කවියේ මුළුමනින්ම චිත්ත රූපික ප්‍රකාශනය මිශ්‍ර කර ගනිමින් එස්රා ෆවුන්ඩ් වැනි කවියන් බටහිර කවියෙදි වෑයම් කරනවා.
මේවා පිළිබඳ සිංහල බසින් ගැඹුරට දැනගන්න ආරියවංශ රණවීර, ලියනගේ අමරකීර්ති වැනි විචාරකයින්ගේ කෘති මගින් පුළුවන්. හයිකු කාව්‍ය සම්ප්‍රදාය ඇසුරේ පසුගිය කාලයේ ලංකාවේ හයිකු ලිවීමක් ගැනත් සංකථනයක් ඇති වෙනවා. ඒත් මගේ නම් විශ්වාසය හයිකු ආකෘතිය සහ අන්තර්ගතය ඊට අනන්‍ය සංස්කෘතියෙන් උලුප්පලා අරගෙන වෙනත් රටක පැළ කරන්න බෑ කියන එකයි. ඒ නිසා මම මේ හුරුබුහුටි කාව්‍ය ක්‍රමය සංකිත කවි යනුවෙන් හඳුන්වනවා. සංකිත්තේන කියන වචනය ධම්මචක්ක පවත්තන සූත්‍රයේ එනවා. ‘කොටින්ම කීම’ යන අර්ථය මෙහි ගැබ් වෙනවා. ස්කන්ධමය කීමක් නොව ධාතුමය කීමක්, කොවුල්මය කීමක් නොව කීරිමය කීමක්. මේ අර්ථයෙන් සංකිත කවිය යන්න මා යොදනවා.
• සංකිත කවියට සීගිරිය සමග ඇති ජානමය සම්බන්ධයක් ගැන ඔබ කියනවා. ඔබ කියන්නේ එහි උපත සීගිරිය බව ද?
සීගිරි කවිය සංකිත කවියක් වෙන්න පරිසර සාධකයත් බලපානවා. දීර්ඝ ලෙස කැට බිතක ලියන්න බැහැ. ඒ භෞතික පසුතලය සංක්ෂිප්තතාවය අපේක්ෂා කළා. එනිසාමයි බොහෝ සීගිරි කවි මේ සා ව්‍යක්ත ප්‍රකාශන බවට පත් වුණේ. අනෙක් අතින් සීගිරි කවියා යම් ප්‍රමාණයක ‘හයිකු’ අවස්ථාවක් ‘සතෝරි’ මොහොතක් ක්ෂණ දර්ශනයක් ප්‍රකට කරගත්තා.
• එතකොට ජපන් හයිකුව මෙතැනින් වෙනස් වෙන්නේ කොහොමද?
ජපන් හයිකු කවියේ මේ ක්ෂණ දර්ශනය තිබෙනවා. ඒත් එය කිසියම් ප්‍රබල සම්ප්‍රදායක් නියෝජනය කරනවා. එහිදී හයිකු කිගෝ (Kigo) නම් භාවිතයක් තිබෙනවා. නිදසුනක් ලෙස වසත් සමය, ඉපල් ගස, පැරණි විල මෙබඳු කිගෝ යෙදුම්. සෘතුමය අත්දැකීම් සහිත රසිකයෙකුට ‘‘වසත් සමය’’ ආදි සෘතුමය පදයක් මගින් ඇති කරන කම්පනය අපගේ ඒකතානීය දේශගුණයක් පවතින රටක සිදුවන්නේ නැහැ. එනිසා එබඳු පද යොදමින් සිංහල හයිකු ලිවීමට උත්සාහ කිරීම අනුකාරකවාදී ප්‍රයත්නයක්. සංකිත කවි වෙනස් වෙන්නෙත් මෙතැනින්.
• ඒත් පුහුණු කළ රසිකත්වයත් නොමැති කෙනෙකුට සංක්‍ෂිප්ත කවි කලාව රසවිඳීමේ දුෂ්කරතාව ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා. කවිය පොදු සමාජයෙන් ඈත්වීමට මෙය හේතු වූ බවයි ඔවුන් කියන්නේ.
සංකිත කවිය යනු ලිවීමට වඩා ලියැවෙන කවියක්. එය එක් අතකට ජන සාහිත්‍යමය අංගයක්. විධග්ධ පුහුණු තාක්ෂණමානී අංගයක් නොවේ. ඒ නිසා මෙම කවි රස විඳීමට එබඳු පුහුණුවක් අවශ්‍ය නැහැ. ඒත් ජපන් හයිකු කවියට මෙබඳු පුහුණුවක් අවශ්‍ය වෙනවා. කිසියම් පෘථුල විචාරකයෙකුට සංකිත කවිය ඔස්සේ ගැඹුරු රසාස්වාදී විචාරයකට පිවිසෙන්නත් පුළුවන්. හොඳ සංකිත කවියක් රහස් උමං පද්ධතියක දොරක යතුරක් වගේ. එහි සැරි සරලා විනෝද වෙන්නත් පුළුවන්.
පුදුම වෙන්නත් පුළුවන්. තීක්ෂණ රසිකයෙකුට අර්ථ නිධාන පාදගන්නත් පුළුවන්. වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ ‘‘සීගිරි ගී සිරි’’ කේ. ජයතිලකගේ ‘‘ සීගිරි ගී නිර්මාණය’’, ඩබ්ලිව්.ඒ. අබේසිංහගේ ‘‘ධම්මපද ගීතය’’ උදිත අලහකෝන් විසින් පරිවර්තිත ‘‘හයිකු කවි පිළිබඳ ඕෂෝගේ විවරණ’’ කෘතිය ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි අයගේ හයිකු කවි විමර්ශන මෙහිදී නිදසුනට ගත හැකියි.
• ඔබ මතු කරන සංකිත කවිය විචාරක සමාජය කොයි විදිහට බාර ගනියි ද?
මෙරට විචාරක සමාජය තියෙන්නේ පෞද්ගලික ග්‍රහණයක. කල්ලි, කණ්ඩායම් විවිධ ආදානග්‍රාහිත්වයන් ද නැතුවා නොවේ. ඒත් මේ මඩ ගොහොරුවේම සියපත් පිපෙනවා ඒකාන්තයි. එබඳු විචාරකයන් කිහිප දෙනෙක් හරි අපට සිටිනවා. සංකිත කවියකින්ම කියනවා නම්.
පස් වගක් ඒ හොඳටම ඇති සමහරවිට මේ සංකිත කියන පදය ඇතමෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. මම ඒ අයගෙන් ඉල්ලන්නේ මේ පදය පැත්තකට වීසි කරන්න කියල. යන්න ඊට ඔබ්බෙන් ඇති කවියට. නැත්නම් අන්ධ අලියෙකු වගේ ගස් පතුරු ගලවන විචාරකයෙක් වෙන්න පුළුවන්. සැබෑම විචාරකයා ලෙස මා සලකන්නේ 1996 දී මා පළ කළ ‘‘චක්කරං කොටුවේ’’ සිට විවිධ මුද්‍රණ වාර හරහා කාව්‍ය කෘති කීපයක් ඔස්සේ මා මෙතැනට ඔසවා තැබූ ‘‘නාඳුනන රසිකයා’’යි. ඔහු තුළ විචාරකයා සිටිනවා.
ප්‍රවීණ කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න
සංවාද සටහන ගාමිණි කන්දේපොළ