අපේ රටේ සල්ලි ගිලින විදේශ විශ්ව විද්‍යාල


ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළ නොහැකිද යන ප්‍රශ්නය පසුගියදා පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මතුකර තිබුණි. එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද අදහස් මෙන්ම රට ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දෙපාර්ශවයෙන්ම ඇති වූ එකඟතාවද ඉතා වැදගත්ය.

සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ඩලස් අලහප්පෙරුම, තිස්ස අත්තනායක, කාවින්ද ජයවර්ධන වැනි මැති ඇමතිවරුන් මෙම යෝජනාවට එකඟතාව දක්වන ආකාරයේ අදහස් ඉදිරිපත් කර තිබුණි.

මෙම යෝජනාව පිළිබඳව මීට පෙර ද විවිධාකාර සාකච්ඡා ඇති විය. එහෙත් එය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පසුබිමක් ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගුණේ හෝ එය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් හෝ ඉදිරිපත් වූයේ නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ වසරකට ඩොලර් බිලියන 3ක් විදේශවල අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් වැය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවත් එහෙත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයක් බවට පත්කළහොත් එම මුදල ඉතිරි කර ගැනීමට අමතරව ඩොලර් බිලියන 10ක ආදායමක් වාර්ෂිකව ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන බවත්ය. ශ්‍රී ලංකාව විදේශවලට භාණ්ඩ යැවීමෙන් ලබාගන්නා ආදායම රටට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට තරම් හෝ ප්‍රමාණවත් නැත. එවැනි තත්ත්වයක් යටතේ විදේශවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගෙවීම් සඳහා අපනයන ආදායම යොදාගත නොහැකිය.

ඒ සඳහා මුදල් යොදා ගැනීමට සිදුව ඇත්තේ විදේශ රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කරන අය විසින් එවනු ලබන මුදල්ය. ඔවුහු මැදපෙරදිග රටවල්වල අපමණ  දුක්විඳ රටට මුදල් එවති. තවත් පිරිසක් ඒ මුදල් මඟින් විදේශ රටවල අධ්‍යාපනය ලබති. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත. දේශීය විශ්වවිද්‍යාලවල වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා රුපියල් ලක්ෂ හැටක් පමණ වැය වේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වෛද්‍ය උපාධිය ලබා විදේශගත වෙති. සියල්ලටම වඩා සමාජ සාධාරණත්වය පිළිබඳව ද අප සැලකිලිමත් විය යුතුව ඇත.

විදේශ රටවල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල වශයෙන් පිටව යන්නේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහාය. රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා ගන්නා ලද සෑම පියවරකදීම එයට එරෙහිව මූලිකත්වය ගෙන කටයුතු කළ දෙපිරිසක් වූහ. එනම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ වරෙක ජනතා විමුක්ති පෙරමුණ විසින් ද දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ද නායකත්වය දෙනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙරට නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට තරයේ විරුද්ධ වෙයි. එහෙත් වෛද්‍ය අධ්‍යාපනය හැර රටේ අනෙක් ඕනෑම අධ්‍යයන ක්ෂේත්‍රයක පෞද්ගලික විශ්වවිද්‍යාල පැවතීම පිළිබඳව ඔවුන්ගේ විරුද්ධතාවක් නැත. ඔවුන්ගේ විරෝධතාව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යාම පිළිබඳව පමණි.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින එම සංගමයට නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීමට වුවමනාවක් තිබේද? යන ප්‍රශ්නය පැන නගී. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගැනීම පිළිබඳව ප්‍රබල විරෝධතා දක්වන එම සංගමය, රජයේ වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වල සේවය කිරීම පිළිබඳව කිසිදු අකැමැත්තක් නොදක්වති. ඔවුන්ගේ විරෝධතා හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැසී යද්දී අපේ දරුවෝ ඉන්දියාව, නේපාලය, බංගලිදේශය වැනි රටවලට මුදල් ගෙවා යති.

 මේ රටේ ආරම්භ කරන ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක් G.M.O.A සහ අන්තරය එකතුව විනාශකර දමනු ලැබීය. ඒ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සහ සයිටම් ආයතනයයි. එහෙත් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල මුදල් ගෙවා වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව සලසා දී ඇත. සාක් රටක් වන භූතානයේ සිසුන් ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය පීඨ කීපයකම මුදල් ගෙවා ඉගෙනුම ලබන අතර විදේශගතව සිටින අයගේ දරුවන් යම් ප්‍රමාණයකට ද මුදල් ගෙවා ඉගෙනීම සඳහා ඒවායේ අවස්ථාව ලැබී ඇත. ඉන් ලැබෙන මුදල් සම්පූර්ණයෙන්ම එම වෛද්‍ය පීඨවල වියදම සඳහා යොදා ගනී. එනිසාම එසේ සිසුන් මුදල් ගෙවා ඇතුල් කර ගැනීම පිළිබඳව කුමනාකාරයේ හෝ විරෝධතාවක් එල්ල වී නැත.

දැනටමත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල රැසක විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මුදල් ගෙවා‍ අධ්‍යාපනය ලබති. ඉන් වැඩිම පිරිසක් අධ්‍යාපනය ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේය. එයට හේතුව කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශයටත් එම විශ්වවිද්‍යාලයේම පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයටත් බුදු දහම හැදෑරීම සඳහා අති විශාල පිරිසක් වාර්ෂිකව ඇතුළත් වීමයි. පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය විසින් චීනයේ බාහිර අධ්‍යයන ආයතනයක් ආරම්භ කරනලද අතර එයට සිසුන් 100 කට වැඩි පිරිසක් සම්බන්ධ වූහ. එක් ශිෂ්‍යයෙක් ලියාපදිංචි කිරීම සඳහා පමණක් ඩොලර් 600ක් අය කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ පවතින සම්පත් ආධාර කරගෙන එකවරම විශාල ප්‍රාග්ධනයක් යෙදවීමකින් තොරව රට ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළ හැකිය. චීනය සහ අගින්දිග ආසියාතික රටවලින් ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යයනය සඳහා විශාල උනන්දුවක් පවතී. දැනටමත් බොහෝ පිරිස් උපාධි පාඨමාලා, පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පාඨමාලා සඳහා අධ්‍යයනය ලබමින් සිටින අතර එවැනි පාඨමාලා සඳහාත් දේශීය ඥානය සහ පැරණි දැනුම ආශ්‍රිත පාඨමාලා සඳහාත් විශාල ඉල්ලු‍මක් ඇති වීමට ඉඩ තිබේ. එවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට කටයුතු කළ යුතුව ඇත.

අද බොහෝ රටවල සිසුන්ට ගැටලු‍වක් වී ඇත්තේ යුරෝපා රටවල, ඇමෙරිකාව, කැනඩාව සහ ජපානය වැනි රටවල අධ්‍යාපනය ලැබීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීමයි. දැන් පරිගණක සහ අනෙකුත් තාක්ෂණ අධ්‍යයන සඳහා විශාල ඉල්ලු‍මක් පවතින නමුත් අධික පිරිවැය නිසා එම රටවලට යාමට බොහෝ පිරිසකට හැකියාවක් නොලැබේ. ශ්‍රී ලංකාවට එවැනි අය සඳහා අඩු මිල අධ්‍යාපන අවස්ථා සලසා දිය හැකි අතර ඒ තුළින් දේශීය සිසුන් බොහෝ පිරිසකට අධ්‍යයන අවස්ථා සලසා දීමට ද අවස්ථාවක් සැලසේ.

මා ඉහතින් සඳහන් කළ පරිදි දැනටමත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල විදේශ සිසුන් සඳහා විවිධ පාඨමාලා පවත්වාගෙන යන නමුදු ගැටලු‍ව වී ඇත්තේ එම විශ්වවිද්‍යාලවල පවත්නා අර්බුද සහ අන්තරයේ කඩකප්පල්කාරී ක්‍රියා නිසා එම විදේශ සිසුන්ට තම අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇතිව තිබීමයි. නිරන්තරයෙන්ම පවත්නා විරෝධතා, වර්ජන සහ පෙළපාලි ආදිය නිසා දේශන සහ අධ්‍යයන කටයුතු කඩාකප්පල් වන අතර ඇතැම් අවස්ථාවල සති කිහිපයක් හෝ මාස කිහිපයක් අධ්‍යයන කටයුතු නතර කර දමන අවස්ථා ද තිබේ. එවැනි අවස්ථාවල දී කිසිදු පාඨමාලාවක් නොපැවැත්වෙන නමුත් මුදල් වැය කරමින් ශ්‍රී ලංකාවේ ගත කිරීමට ඔවුන්ට සිදු වේ.

ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යයන වර්ෂයක් නිශ්චිත අයුරින් පවත්වාගෙන යෑමට නොහැකිය. එයට හේතුව ඉහතින් කී හේතු නිසා අධ්‍යයන වර්ෂයන් සම්පූර්ණ කිරීමට නොහැකි වීමයි. බොහෝ රටවල් පෞද්ගලික, රාජ්‍ය සෑම විශ්වවිද්‍යාලයකටම නිශ්චිත අධ්‍යයන වර්ෂයක් නියම කර තිබිය දී ශ්‍රී ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාලවලට අධ්‍යයන වර්ෂ නියම කර තිබුණ ද අධ්‍යයන වර්ෂ පවත්වාගෙන යා නොහැකි වීම ඛේදනීය තත්ත්වයකි.

කෙසේ වුවද රටේ පවත්නා පෞද්ගලික අධ්‍යයන ආයතන නිශ්චිත කාලසීමාවක් තුළදී තම පාඨමාලා සඳහා කාල නියමය කර විධිමත් අයුරින් ඒවා පවත්වාගෙන යාම සතුටට කරුණකි. විදේශ විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධ වී පෞද්ගලික අංශයේ ආයතන ආරම්භ කිරීම, ශ්‍රී ලංකාව අවුරුදු කිහිපයක් අධ්‍යයනය ලබා ඉතිරි කාලය විදේශ විශ්වවිද්‍යාලවල ගත කිරීම. සම්පූර්ණ උපාධි පාඨමාලාවම ශ්‍රී ලංකාව තුළ පවත්වා විදේශ විශ්වවිද්‍යාල විසින් උපාධි පිරිනැමීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ හැකිය. 

ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ දී ප්‍රබල විරෝධතාවක් පැන නැගීමට ඉඩ සැලසුණේ අඩු සුදුසුකම් සහිත පිරිස් ඒවාට බඳවා ගැනීම වැනි හේතුය. මේ වන විට රජය විසින් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා අවම සුදුසුකම් නියම කර තිබේ. ඒ ආකාරයෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සහතික කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා නියමාවලියක් සැකසීමට ද කටයුතු කර ඇත.

එම ආයතන සම්බන්ධයෙන් තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා ද රජය විසින් පියවර ගත යුතුව ඇත. පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනවල ඉඩ පහසුකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් උසස්පෙළ විභාගයෙන් ඊළඟට සුදුසුකම් ලබා තිබෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව ක්‍රමයකට ලබා දීම, ඒවායේ අධ්‍යාපනය හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කිරීම, ඒවායේ අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන්ට ණය පහසුකම් ලබා දීම වැනි ක්‍රමවේද සකස් කළ යුතුව ඇත.

අඩු ආදායම්ලාභී සිසුන් සඳහා රජය විසින් මුදල් ප්‍රදාන ලබාදීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඔස්සේ ඔවුන් සඳහා ද එම ආයතනවල දොරගුළු විවෘත කර තැබිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විරෝධතාවලට හේතු ඇති වී ඇති බොහෝ කරුණු එවැනි පියවර ඔස්සේ නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇතැයි සිතමි.

ඇතැම් පිරිස්වල පටු, පසුගාමී සහ ද්වේශ සහගත මතවාද සහ ආකල්ප නිසා ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපනය සඳහා හිමිකම් ලබන බොහෝ දෙනෙකුට උසස් අධ්‍යාපන වරම් අහිමි වී ඇත. රට ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙන් උසස් අධ්‍යාපනයට දොරගුළු විවෘත වී නැති තවත් බොහෝ දෙනකුට ඒ සඳහා අවස්ථාව සලසා දීමට ද අධ්‍යාපනය වෙනුවෙන් රටෙන් එළියට ඇදී යන විශාල මුදල් ප්‍රමාණය රට තුළ රඳවා ගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර