අභියෝග තුනක් අභියස


පසුගිය වසර එකහමාරක් පුරාවටම රට තිබෙන්නේ බරපතළ ආර්ථික ගැටලුවක බව හැමෝම දන්නා කාරණයක්ය. මේ ආර්ථික අර්බුදය 2019 පසු කාලයේ ආරම්භ වූ එකක් නොවන බව සැබෑවක්ය.  එහෙත් එය බරපතළ අර්බුදයක් බවට පත් වූයේ 2019 න් පසුවය. 2019 ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ගත් සමහර අමනෝඥ තීරණ මේ තත්ත්වය උත්සන්න කළ බව ඉතාමත් පැහැදිලිය.

දේශපාලනයේ දී සමහර නායකයන් මෝඩ තීරණ ගන්නා බව සැබෑවක්ය. එහෙත් තමන්ගේ තීරණය වැරදි සහගත යැයි දැනෙන විට හෝ එසේත් නැතිම් එම තීරණ වැරදි යැයි අනෙකෙක් පෙන්නා දුන් විට ඒවා වෙනස් කර ගැනීම සාමාන්‍ය බුද්ධියක් ඇති අයගේ ස්වභාවය වේ.

එහෙත් ගෝඨාභය මහතා ඇතුළු ඒ රජයේ තීරකයන්ගේ විශේෂ ලක්ෂණය වූයේ වැරැද්දක් පෙන්නා දුන් විට එම වැරැද්දම වඩාත් වැඩියෙන් කරන්නට පෙළඹෙන උද්දච්චභාවයක් පෙන්නුම් කිරීමය. එහි ප්‍රතිඵලය වූයේ වසර 02ක් වැනි සුළු කාලයක් තුළ මුළු ආණ්ඩුවම ජනතා අප්‍රසාදයට හා වෛරයට පත්වීමය. වෙනදා මැතිවරණ පරාජයකින් නායකයන් මාරු කරන ක්‍රමයට වෙනස් ජනතා විරෝධය හමුවේ පසු පස දොරෙන් පලා යන්නට නායකයන්ට සිදුවීමය. 

මා මේ පරණ සිදුවීමෙන් මෙවර කිවිදා දැක්ම ආරම්භ කළේ ගෝඨාභයගෙන් පසුව ඒ තනතුරට පත් වූ පුද්ගලයා සහ කණ්ඩායමත් ඒ වැරැද්දම යළිත් වරක් සිදු කරන්නට පටන් ගන්නා වැනි තත්ත්වයක් මතුවෙමින් තිබෙන නිසාය. ගෝඨාභය සහ කණ්ඩායම අවුල් කළේ ආර්ථිකයයි. වික්‍රමසිංහ සහ කණ්ඩායම අවුල් කරන්නට පටන් ගෙන ඇත්තේ දේශපාලනය. මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ආර්ථිකය හදන්නට උත්සාහ කරනවා යැයි කියමින් රටේ දේශපාලන ස්ථාවරභාවය කඩන්නට උත්සාහ කිරීම පිළිබඳවය. 

දේශපාලන ප්‍රශ්න 03ක් 

මේ වනවිට රට තුළ මතුවී තිබෙන අලුත් දේශපාලන ප්‍රශ්න 03ක් අවධානයට ගැනීම මෙහිදී වැදගත්ය. එයින් පළමුවැන්න වන්නේ IMF එකේ යෝජනා ක්‍රියාත්මක කරනවා යැයි කියමින් විදුලි බිල අහස උසට නැංවීමය. දෙවැන්න වන්නේ ආණ්ඩුවේ ආදායම වැඩි කරනවා  යැයි කියමින් රටේ වෘත්තීය මට්ටමේ හැමෝටම දරාගත නොහැකි බදු බරක් පැටවීමය. තුන් වෙනුව කරන්නට තැත් කරන්නේ රටේ මූල්‍ය තත්ත්වය නරක යැයි කියමින් ඡන්ද පැවැත්වීම නවතා දමන්නට උත්සාහ කිරීමය.

විසාලා මහනුවර තුන් බියෙන් වෙළා ගත්තා යැයි පැරණි භාරතයේ කථාවක් බෞද්ධ සාහිත්‍යයේ තිබේ. දැන් මෙරට සිදුවෙමින් පවතින්නේ ද එවැන්නක්මය. විදුලි බිල, බදු බර සහ ඒකාධිපතිත්වය යන තුන්බිය නගරය වෙළා ගනිමින් තිබේ. ගම්මාන තැති ගන්වමින් තිබේ. 

මේ තත්ත්වය රටේ සමස්ත දේශපාලනයම අවුල් කිරීමේ විශාල ඉඩක් ඇති බව මගේ නිරීක්ෂණයයි. ගෝඨාභය පාලනයේ ඇති වූ අරාජිකත්වය හා අපැහැදිලි තත්ත්වය යළිත් වතාවක් සමාජය තුළින් මතුවීමේ විශාල විභවතාවක් ඇති බව ඉතාමත් පැහැදිලිය. ගෝඨාභයට වැරදුණේ තමන් වැරදි තීරණ ගැනීම පමණක් නිසා නොව ඒ වැරදි නිවැරදි කරන්නට තරම් බුද්ධිමත් නිහතමානිකමක් නොතිබූ නිසා යැයි මම ඉහතින් පැවසුවෙමි.  මෙවරද වෙමින් පවතින්නේ ඒ වැඩේම වෙන ආකාරයකට සිදුවීමය.

විදුලි බිල වැඩි කිරීම 

විදුලි නිෂ්පාදනය සම්බන්ධව රටේ ප්‍රශ්නයක් ආවේ 2021 සිටන්මය. රටේ ගෙවුම් ශේෂ අර්බුදය හේතුවෙන් විදේශ සංචිත හිඟවූ අතර ඒ නිසාම ඉන්ධන මිලදී ගැනීම අඩපණ වූ බව ඔබට මතකය. ඒ නිසා වැඩියෙන්ම බලපෑම එල්ල වූයේ විදුලි බල නිෂ්පාදනයටය. දවසකට පැය 12ක් විදුලිය කපන්නට සිදු වුණේ මේ තත්ත්වය නිසාය. 

ඒ දවස්වල කීවේ විදුලි බල මණ්ඩලයේ නිෂ්පාදනයෙන් සියයට 45 පමණ සිදු කරන්නේ තාප බලාගාරවලින් බවය. ඒ සඳහා ඉන්ධන අවශ්‍ය බවය. ඉන්ධන ගැනීමට ඩොලර් අවශ්‍ය බවය. ඩොලර් නැති නිසා ඉන්ධන නැත. ඒ නිසා විදුලිය නැත කියාය. ඒ තර්කයට පදනමක් ඇති බවත් සැබෑවක්ය. 

ඒත් දැන් විදුලි බල ඇමැතිවරයා කියන්නේ වෙන කතාවක්ය. ඔහු කියන්නේ විදුලිය කපන්නේ රුපියල් නැති නිසා කියාය. විදුලි බල මණ්ඩලයේ වසර 40 පමණ කාලයේ සිදුවී ඇති පාඩුව නිසා කියාය. ඒ පාඩුව පියවා ගන්නට විදුලි බල මණ්ඩලයට ලැබෙන රුපියල් ගණන වැඩි කර ගත්විට ඩොලර් නැති වුවත් විදුලි බලය අඛණ්ඩව ලබාදිය හැකි බවය. 

විදුලි බිල අහස උසට නැංවූ විගස විදුලිය කැපීම නවත්වන්නට තීරණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඇමැතිවරයාගේ කථාවට පදනමක් තිබෙන බව ද? මට නම් මේ කාරණය තේරෙන්නේ නැත. 2021 සිට මේ දක්වා විදුලිය කැපුවේ ඉන්ධන ගෙන ඒමට ඩොලර් නැති නිසාද එසේත් නැතිනම් ඩොලර් ගැනීමට විදුලිබල මණ්ඩලයට රුපියල් නොතිබූ නිසාදැයි පැහැදිලි නැත. ඇමැතිවරයා නොකියා කියන්නේ 2021, 2022 වර්ෂවල විදුලි බිල වැඩිකර තිබුණේ නම් විනාඩියක්වත් විදුලිය කපන්නේ නැතිව විදුලි බලය සපයන්නට හැකියාවක් තිබූ බවද? මේ කාරණය මට නම් තේරෙන්නේ නැත. 

අනෙක් අතට මේ විදුලි බිල වැඩි කිරීම සිදුකර තිබෙන්නේ මහජන උපයෝගිතා  කොමිෂන් සභා පනතට අනුවද යන්නද පැහැදිලි නැත. එය අනාගතයේ පැහැදිලි විය හැකි කාරණයක්ය. මේ විදුලි බිලේ වැඩිවීම බොහෝ පාරිභෝගිකයන්ට තවමත් හරියට තේරෙන්නේ නැත. බදු වැඩි කිරීම බොහෝ අයට තේරුණේ ජනවාරි වැටුපෙන් ඒ මුදල අඩු වූවාට පසුවය. විදුලි බිලේ තත්ත්වය එසේමය. පෙබරවාරි මාසයේ විදුලි බිල අතට ලැබෙන දවසට පාරිභෝගිකයාට කරන්ට් වැදීමට නියමිතය.

බදු වැඩි කිරීමේ ගැටලුව 

අපේ රටේ  බදු ක්‍රමයට ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය විෂයයක් බව සැබෑවක්ය. මේ පිළිඳව 1977  පසු එක් ආණ්ඩුවක්වත් හරි හමන් දෙයක් කර නැති ගානය. අලුතින් රට සංවර්ධනය කරන්නට ආණ්ඩුවලට යෝජනා ගෙනෙන බොහෝ අය ඒ සංවර්ධන වැඩ සඳහා ආණ්ඩුව මුදල් සොයන්නේ කෙසේදැයි කියන්නේ නැත. සමහරුන් සිතන්නේ කොහෙන් හරි මුදල් සොයා ගෙන ඒ  වැඩ කළ යුතු බවය. ආණ්ඩු කරන්නේ ගත හැකි සෑම තැනකින්ම ණය ගනිමින් තම තමන්ගේ කාලය තුළ සංවර්ධන වැඩ කිරීම්ය. එසේ ණය ගන්නට නොහැකි වූ විට හෝ පමා වූ විට කරන්නේ අභ්‍යන්තර ණය ලෙසින් හඳුන්වමින් අචිචාරවත් ලෙසින් රුපියල් අච්චු ගැසීමය. හිතේ හෝදිසියට ණය ගැනීමත් වැරදිය. හිතේ හෝදිසියට මුදල් අච්චු ගැසීමත් වැරදිය. ඒත් හැම ආණ්ඩුවක්ම ආණ්ඩුවට සල්ලි හොයනවා යැයි කියා මූලිකවම කළේ මේ වැඩේය. 

මේ බදු ප්‍රතිපත්තේ තිබෙන අසාධාරණභාවය සහ අසාර්ථකභාවය දකිනවා වෙනුවට ආණ්ඩුව මෙවර කරන්නේ පරණ වැඩේම වෙනස් ආකාරයකට කිරීමය. ඒ කියන්නේ ලේසි පාරෙන් හැමෝටම වක්‍ර බදු ගෙවන්නට සැලැස්සුවා මෙන් මධ්‍යම පාංතික වෘත්තීයවේදීන් සහිත තීරුවට බරපතළ හා දරාගත නොහැකි බදු බරක් පටවමින් ‘ආණ්ඩුවේ බැලන්ෂීට් එක’ ගළපා ගැනීමය. වාර්ෂික ආදායම ලක්ෂ 12 හිමි පංතිය යනු මාසයකට රු. ලක්ෂයක් උපයා ගන්නා වැටුපක් සහිත අයෙක්ය. එතෙනින් පටන් ගෙන උපයන විට බදු ගෙවීම හරහා මෙරට වෘත්තියවේදීන් බරපතළ අර්බුදයකට මේ වනවිටත් තල්ලු කර හමාරය. 

මෙම බදු ප්‍රතිපත්තිය කිසිදු සැලැස්මක් මත සිදුකළ එකක් නොව හුදු IMF එකේ අවශ්‍යතාවට ආණ්ඩුවේ ශේෂ පත්‍රය නියමාකාරයෙන් සිදුවන බව පෙන්වීමට කරන දෙයක් බවත් පැහැදිලිය. මේ බදු ආකෘතිය වෙනස් කිරීම අනිවාර්යය. මීළඟ දේශපාලන නැගිටීමේ පදනම වැටෙන්නේ මෙම විකාර රූපී බදු ප්‍රතිපත්තිය මත බව ම​ගේ අදහසය. 

‘සල්ලි තිබුණොත් ඡන්දය තියමු’ තර්කය

මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් යන වඩාත් බරපතළම අර්බුදය වන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය සමග සෙල්ලම් කිරීමට පටන්  ගැනීමය. 2023 පළාත් පාලන මැතිවරණය කල් දමන්නට මේ රජය මේ වනවිට නොකළ දෙයක් නැත. විධායක ජනාධිපතිධූරයේ හැම පැත්තක්ම යොදා ගනිමින් ඔවුන් කරන්නේ ඡන්දය කල්දැමීමට උප්පරවැට්ටියක් දැමීමය.

ඡන්ද බලය යනු ජනතාවගේ පරමාධිපත්‍ය පෙන්නුම් කරන බලයක්ය. ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ දැක්වෙන්නේ ‘ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එම පරමාධිපත්‍ය අත්හැරිය නොහැකි බවයි. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන බවයි. (අවධාරණය මගේ).

ව්‍යවස්ථාවේ මේ වගන්තියේ තිබෙන වැදගත් කාරණයක් වන්නේ පරමාධිපත්‍යය ප්‍රධාන ධාරා 03ක් හරහා ක්‍රියාත්මක වන බවයි. එනම් 1. පාලන බලතල ජනතාව විසින් පත් කරන ලද විධායක ජනාධිපතිවරයකු හරහාත් 2. මූලික අයිතිවාසිකම් රටේ ව්‍යවස්ථාදායක හා විධායකය විසින් පත් කරන අධිකරණයක් හරහාත් 3. ඡන්ද බලය ජනතාව විසින් සෘජුවත් ක්‍රියාත්මක කරන බවයි. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නෙ මෙම පරමාධිපත්‍යය බලයේ ජනතාව විසින් සෘජුවම ක්‍රියාත්මක කරන ඡන්ද බලයට ඉඩ ඇහිරීම හරහා පරමාධිපත්‍යය වැළැක්වීමටය. 

මේ දිනවල සමහරුන් මතු කරන තර්කයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඉ) වගන්තියේ දැක්වෙන්නේ ප්‍රධාන මැතිවරණ වර්ග 03ක් (එනම් ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ ජනමත විචාරණය) පමණක් බවත් එනිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකට සම්බන්ධයක් නැති බවත්ය. මේ තර්කය පදනම් විරහිත එකක් පමණක් නොව අමනෝඥ එකක්ද වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන අවස්ථාවේ මේ රටේ පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා පිහිටුවා තිබුණේ නැත.

පළාත් සභා පනත අනුමත වූයේ 1987 වන අතර අද තිබෙන ප්‍රාදේශීය සභා පනත අනුමත වූයේ 1989 දීය. ඒ නිසා මෙම මැතිවරණ දෙක ව්‍යවස්ථාවට එක්වී ඇත්තේ පසුව ගෙනා ව්‍යවස්ථා සංශෝධන මගින්ය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළත් එසේම එයින් පසුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (ආ) 1 වගන්තිය මගින් නිශ්චිතවම මැතිවරණ 05ක් (එනම් ජනාධිපතිවරණය, මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය  සහ ජනමත විචාරණය) ව්‍යවස්ථාපිත මැතිවරණ ලෙසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පවරා ඇත. 

එපමණක් ද නොවේ. මෙම මැතිවරණ 05ට සම්බන්ධ ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති අවස්ථාවක රටේ සියලුම නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ බලයට යටත් වන බව 104 ආ (2) වගන්තිය මගින් ව්‍යවස්ථාපිත කර ඇත. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මුද්‍රණාලාධිපති වැනි නිලධාරීන් මේ නීතියට යටත් නොවිය හැක්කේ ඒ අය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉහළින් සිටිනවා නම් පමණය. 

එසේම ව්‍යවස්ථාවේ 61 ඈ වගන්තියට අනුව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බව සෑම නිලධාරියකු විසින් දිවුරුම් දිය යුතුව ඇත. හතරවැනි උපලේඛනයේ  තිබෙන එම දිවුරුම් ප්‍රකාශය  තුළ දැක්වෙන්නේ සෑම නිලධාරියෙක්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාත වන බවට සහ එය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දිය යුතු බවය. 

ඒත් මෙවර මැතිවරණය සම්බන්ධයෙන් මුදල් ලේකම් සහ මුද්‍රණලයාධිපතිනිය  කටයුතු කරන ආකාරයෙන් පෙනී යන්නේ ඒ දෙපොල මෙම දිවුරුම කරන්නේ යම් ව්‍යතිරේඛයන්ට යටත්ව බවයි. ඒ අය කියන්නේ ව්‍යවස්ථාවට පක්ෂපාත වුවත් එය ආරක්ෂා කරන්නේ සල්ලි තිබුණොත් පමණක් බවයි. 

මෙරට දේශපාලනයේ අනාගත පිපිරීම ආරම්භ විය හැක්කේ මෙවැනි ව්‍යවස්ථා විරෝධී තැනකට රාජ්‍ය පාලනය තල්ලු කිරීමෙන්ය. මෙය වැළැක්වීම රජය නොපමාව සිදුකළ යුතු බව මගේ කිවිදා දැක්මය.

මහාචාර්ය චරිත හේරත්