කොවිඩ් මාරක වසංගතයෙන් මෙන්ම නිමක් නැති ආර්ථික අර්බුදයෙන් බරපතළම ප්‍රහාරයට ලක් වූයේ ජාතියේ දුවා දරුවන්ය. ගුරු වර්ජනය මෙන්ම රට හුදෙකලා කිරීම් ආදිය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා පැමිණුනි. සාම්ප්‍රදායික රිද්මයෙන් බැහැරව අධ්‍යාපනය ලැබීම පහසු කටයුත්තක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් මගහැර යා නොහැකි බාධාවලට කරබාගෙන මුහුණ දීම හැර වෙනත් විකල්පයක් දරුවන්ට නොවීය.
දරුවා සතුටෙන් සැහැල්ලුවෙන් සිටීමට විශේෂ කැමැත්තක් දැක්වීම ස්වාභාවිකය. කැමති කෑමක් කෑමට, රුචි බීමක් බීමට, විචිත්‍රවත් ඇඳුමකින් සැරසීමට මෙන්ම විනෝද චාරිකාවල යෙදීමට දරුවා දක්වන්නේ මහත් අභිරුචියකි.
එහෙත් ආර්ථික අර්බුදය ඒ සියල්ලම දරුවාගෙන් උදුරා ගත්තේය. මේ සියල්ලම එක් වූ විට දරුවා පසුවන්නේ ඉමහත් මානසික අසහනයෙන් බව අවිවාදිතය.
ඉහත මානසික අසහනයෙන් දරුවා ඉක්මනින්ම මුදාගත යුතුය. එහෙත් රට යථා තත්ත්වයට පත්වන තුරු එය ඉටුකර ගත නොහැකි බවද සත්‍යයකි. මෙම පරිසරය තුළ දරුවා සම්බන්ධයෙන් අසතුට රැගෙන එන පුවත් වැඩි වශයෙන් බලාපොරොත්තු වීම යථාර්ථය විනා අන් යමක් නොවේ.
කරුණු කාරණා එපරිදි වුවද මුළුමහත් දරු පරම්පරාවටම සොම්නසක් ඉපදවීමට සමත් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම සොම්නස් සහගත පුවත නම් දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක්වන තලපලකන්ද කනිටු විදුහලට ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරයක් නොතිබීම හේතුවෙන් පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසුන් 11 දෙනකු එක්ව මැටි ගසා කාමරයක් නිර්මාණය කිරීමය.
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තරම් පංති බේදය තිබෙන රටක් තවත් තිබේදැයි සැක සහිතය. ලංකාවේ තිබෙන්නේ පාසල් වර්ග දෙකකි. පළමුවැන්න සියලු පහසුකම් සහිත පාසල්ය. මෙම සියලු පහසුකම් සහිත පාසල්වලට නවීන ගොඩනැගිලි, විද්‍යාගාර, භාෂාගාර, හිඟයකින් තොරව ගුරු මණ්ඩලය, ක්‍රීඩා පිට්ටනි මෙන්ම පිහිනුම් තටාකද අයත්ය. පහසුකම් නැති පාසල්වල පන්ති කාමර ගරාවැටී තිබේ.
ඒවා කොයි මොහොතේ ඔළුවලට කඩාවැටේදැයි බිය නිසා ඉගැන්වීම් කටයුතු කෙරෙන්නේ ගස් යටය. වැහිදාට පන්තිකාමරය පිහිනුම් තටාකයකි. ප්‍රමාණවත් ගුරුවරු ඇත්තේ ද නැත. ජීවිතයේ අනාගතය දෛවයටම බාර දී සිටීමට ඒ දරුවන්ට සිදුවේ. දෙණියායේ තලපලකන්ද කනිටු විදුහල අයත් වන්නේ එබඳු පාසල් කාණ්ඩකටය.
තලපලකන්ද කනිටු විදුහලේ සිසුන් 100කට ආසන්න පිරිසක් ඉගෙනුම ලැබුවත් එහි සංගීත කාමරය, විද්‍යාගාරය හා පළමු ශ්‍රේණියේ සිට හතරවැනි ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යන්නේ එකම ශාලාවක බවත් එහිද වහලය අබලන් වී තෙමෙන නිසා වැසි දිනවල ඉගැන්වීම අසීරු යැයි දෙමාපියන් පවසන බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. පාසලේ පැවැති ඉංග්‍රීසි කඳවුරකට සමගාමීව ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ උපදෙස් ඇතිව මැටි ගසා එම පන්ති කාමරය ඉදිකළ බව පාසලේ ඉංග්‍රීසි විෂය භාර ආචාරිණී එම්.ඩබ්ලිව්. හර්ෂණී මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
පාසලේ සිසුන්ට ඉංග්‍රීසි ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා ස්ථිර කාමරයක් ඉදිකිරීමට ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් මෙම සිසුන් කණ්ඩායම එක්ව දිවා රෑ නොබලා දින 14ක් තුළ මෙම පන්ති කාමරය ඉදිකර ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
සිසු දරුවන්ගේ අකම්පිත මනසින් හා නොපසුබස්නා උත්සාහයෙන් ඉදිකළ පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවයක් ඉකුත් දා පැවැත්වී තිබේ. එම උත්සවයට විදුහල්පතිනි රුවනි දහනායක මහත්මියගේ හා ඉංග්‍රීසි විෂය භාර ආචාර්යවරියගේ අරාධනයෙන් කලාපයේ ඉංග්‍රීසි විෂය සම්බන්ධ අධ්‍යක්ෂිකා උපුලි සමරපාල මහත්මිය ඇතුළු දෙණියාය කලාපයේ ගුරු උපදේශකවරුන් පිරිසක් සහ දෙමාපියන් පිරිසක් එක්ව සිටි බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
බාධක ඉදිරිපිට නතරවීම කළයුතු දේ නොවේ. ඒ දුබලයාගේ තෝරා ගැනීමය. විශිෂ්ටයා යනු බාධකයම සාධකය කරගනිමින් මහෝඝයක් මෙන් පෙරට ඒමය. සකල අගති කුදලා දැමීමට හැකිවන්නේ එබඳු විශිෂ්ටයන්ටය. තලපලකන්ද කනිටු විදුහලේ දරුවන් එකළොස්දෙනා යනු එබඳු විශිෂ්ටයෝ වෙති. කඳුළ මත පය ගසා වඩාත් භාග්‍යවත් අනාගතයකට සිහින තනන මෙම දරුවන් මුළු රටටම සාඩම්බර පදක්කමකි. රටේ අනාගතය ජය ගනු ඇත්තේ මෙබඳු දරුවෝම වෙති. එම දරුවන් අප මෙසේ උත්කර්ෂයට නංවනු ලබන්නේ ද එහෙයිනි.
එම පාසලට පරිගණක කිහිපයක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලියකු සිටීනම් ඒ සඳහා ඉදිරිපත් වන ලෙස අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. සුධීමතුන්ගෙන් හිඟ නැති රටක් හෙයින් ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඵල දරනු ඇතැයි අපි ඒකාන්ත වශයෙන්ම විශ්වාස කරමු.
(***)