අභියෝගවලටත් අභියෝග කළ නායකයා



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට ඊයේ 20 වැනිදා වසරක් සපිරිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

“මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුල පේන්නේ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය මම භාර ගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම, මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම, ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා.
ඒ උපුටා ගැනීම 2022 මැයි 16 වැනිදා එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ සිදුකළ විශේෂ ප්‍රකාශයෙන්ය. හුණුවටයේ ගෲෂා මුහුණදී සිටියේ, මයිකල් කුමාරයාගේ ජීවිතය බේරා ගැනීමේ අභියෝගයටය. රනිල් වික්‍රමසිංහ එදා උරමත දරා සිටියේ ඊටත් එහා ගිය මෙරට මිලියන 22ක ජනතාවගේ ඉරණම බේරාගැනීම පිළිබඳ අභියෝගයටය. ගෲෂා ගෘසීනියාවේ යුවරජගේ සේවිකාවක් වූවාය. රනිල් වික්‍රමසිංහ එදා පාර්ලිමේන්තුවේ තනි ආසනයක් සහිත මන්ත්‍රීවරයා විය. කොහෙත්ම වගනොකිය යුතු වූයෙන් දෙදෙනාම සිටියේ අභියෝගය බාරගන්නවාද ? නැද්ද ? යන තීන්දුව ගැනීමේ ස්වාධීනත්වය සහිතවය. එහෙත් දෙදෙනාම අභියෝගය බාරගත්හ. ඒද සිදුවන සුළු අතපසුවීමකින් පවා ජීවිතය වුවත් අහිමිවීමේ තර්ජනය බිඳකින් හෝ අඩු නොවූ පසුබිමකය. හුණුවටයේ ගෲෂා නම් වැල් පාලම සාර්ථකව තරණය කළාය. ඒ දුටු උදවිය කිව්වේ, “දෙවියනේ, මම හිතුවේ වැටෙයි”‍ කියාය. රනිල් වික්‍රමසිංහ අභියෝගය බාරගත් අවස්ථාවේද ඇතැමුන් සිතුවේ “රනිලු‍ත් වැටෙයි”‍ කියාය.
එදා රටේ ඉන්ධන නැත. ගෑස් නැත. කිරිපිටි නැත. තිබුණේ පෝලිම් පමණය. අධි උද්ධමන තත්ත්වයක් ඇතිව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අහස උසට යමින් තිබිණ. ඖෂධ හිඟය ඊටත් නොදෙවැනි විය. දෛනික විදුලි කප්පාදුව පැවතියේ පැය 12 ඉක්මවා යන තැනකය. ප්‍රවාහනය ඇනහිට, කර්මාන්ත වැසීයන්න පටන් ගෙන තිබිණ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් සංචිතය පතුළටම සිඳී ගොස් තිබිණ. භාණ්ඩ ආනයනය ගැන සිහිනයක්වත් නොතිබිණ. පොහොර ආනයනය නවතා දමා තිබූ නිසා රට තුළ ආහාර බෝග නිෂ්පාදනය ද ඇනහිට තිබිණ. සාගත තත්ත්වයක් ගැන දිගින් දිගටම අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් තිබිණ. ජීවත්වීමේ අවම කොන්දේසි ද අහිමිව ගිය තැන ජනතාව සිටියේ මරුවිකල්ලෙන්ය. විවිධ කල්ලි, කණ්ඩායම් සාමකාමී අරගලය ප්‍රචණ්ඩත්වයට ඇද දමා දිග්ගැස්සෙන අරාජිකත්වයක් නිර්මාණය කර තිබිණ.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කරන ආයතන ලංකාව සිය දර්ශකවල දිනෙන් දින පහළට දැමිණ. රට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ නිසා කිසිම විදේශීය මූල්‍ය මූලාශ්‍ර වෙතින් ණයක්වත් ගැනීමට පවා නොහැකිව තිබිණ. ජාත්‍යන්තර ආර්ථික සහ දේශපාලන විශ්ලේෂකයන් ලංකාව විග්‍රහ කළේ මතුව ඇති අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමට තබා පුරෝකථනයක්වත් කළ නොහැකි බව ය. ලංකාවේ අර්බුදය නූතන ණය උගුලේ සිරවීම සමඟ ඇතිවන දැවැන්ත මූල්‍ය - ආර්ථික අර්බුදයේ ගෝලීය ආදර්ශයක් බවය. ඒ කොයි විග්‍රහයත් අවසන් කෙරුණේ ලංකාවට ගොඩයන්න නම් ආශ්චර්යයක්ම සිදුවිය යුතු බව පවසමින්ය.
එවකට ජනාධිපති ගෝඨාභය, මහින්ද ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා නව ආණ්ඩුවක් පිහිටුවීමට කළ ආරාධනය සම්ප්‍රදායික කිසිම දේශපාලන නායකයකු බාර නොගත්තේද පැවති ආර්ථික දත්ත ඒ තරමටම භයානක වූ නිසාය.
එහෙත් රනිල් වික්‍රමසිංහ සිටියේ කොහොමටත් රට යන අත ගැන හොඳම කියවීමක් ඇතිවය. ලංකා රාජ්‍යය ඉතිහාසයේ මුහුණදෙන දරුණුම ආර්ථික අර්බුදය අතළඟ බව ඒ කියවීමට හසුව තිබිණ. වහාම IMFසමඟ වැඩපිළිවෙළකට ඇතුළත් වන ලෙස විපක්ෂයේ තනි මන්ත්‍රීවරයකුව සිටියදී පවා පළමුව හඬ නැගුවේ එනිසාය.
පළමුව අරගලයේ නාමයෙන් රට අරාජිකත්වයකට තල්ලු‍කර දමමින් සිටි බලවේග පලවා හැර නීතිය සහ සාමය ස්ථාපිත කෙරිණ. අනතුරුව 2022 වසර සඳහා අතුරු අය වැය යෝජනාවක් ගෙන එමින් පීඩාවට පත් පුරවැසියන්ට කඩිනම් සහන ලබා දීම සඳහා හදිසි ප්‍රතිකර්ම යෝජනා කෙරිණ. දිගු ගමනක් වෙනුවෙන් රට සූදානම් කිරීමට පොහොර, ආහාර, ඖෂධ, ඉන්ධන ගෑස් හිඟය අවසන් කළ අතර විදුලි කප්පාදුව ද ක්‍රමයෙන් අවසන් කරනු ලැබිණ. 2023 වසර වෙනුවෙන් වූ අයවැය යෝජනා හරහා යල්පීනු ආර්ථික ගමන් මාර්ගය වෙනස්කිරීම වෙනුවෙන් කඩිනම් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ලැබිණ.
ඒ සමග ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම වෙනුවෙන් පැවති එකම යතුර වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග වැඩසටහනක් වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය පදනම සකස් කෙරිණ. මාස කිහිපයක් තුළ IMF සමඟ නව වැඩපිළිවෙළක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නැගිණ. වියදම් හැකියාව තහවුරු කරගැනීම සඳහා රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම, ඒ වෙනුවෙන් නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම, අනවශ්‍ය වියදම් දැඩිව සීමා කිරීම, නිෂ්පාදන පිරිවැය ආපසු අයකරගැනීම පදනම් කරගත් ඉන්ධන සහ විදුලි මිල සූත්‍ර හඳුන්වාදීම සහ එමඟින් රාජ්‍ය මුල්‍ය එකාග්‍රතාවක් ඇතිකර ගැනීමට කටයුතු යෙදිණ.
ආයෝජන වර්ධන පරිසරයක් ගොඩනඟා ගැනීමට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා හැකියාව ගොඩනගාගැනීමට නම්‍යශීලී විනිමය අනුපාතයක් හඳුන්වා දීම සිදුවිය. රජයේ මුල්‍ය අංශයේ ස්ථායිතාව වෙනුවෙන් ප්‍රතිපත්ති හඳුන්වා දීම, රාජ්‍ය යාන්ත්‍රණයේ දූෂණය පිටුදැකීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය මූලික පසුබිමද සකස් කෙරිණි. ආර්ථික වශයෙන් දැඩි අවදානමක සිටි ප්‍රජාව ඉලක්ක කළ සමාජ ආරක්ෂණ වැඩසටහනක් ද ක්‍රියාවට නැගිණ. පසුගිය වසරේ මේ වන විට 65% ක් ලෙස පැවති උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට කටයුතු යෙදිණි. පොලී අනුපාතද පහත දැමීමට ඒ තුළ හැකියාව ලැබිණ. මේ ආකාරයට ආර්ථිකයේ පුනර්ජීවනයක් ඇති කිරීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගැනීම හේතුවෙන් වැටී සිටි රට මාස කිහිපයක් යන තැන වැටී තිබූ රට දෙපයින් සිටුවීමට හැකියාව ලැබිණ.
එසේම රජයේ ණය ගෙවීමේ හැකියා සකසා ගැනීමට මෙන්ම යළිත් ණය ගැනීමේ හැකියාව ඇතිකර ගැනීම වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කරණය සාර්ථක කර ගැනිණ. ජනාධිපතිවරයාගේ ඍජු උපදෙස් මත ක්‍රියාවට නැගුණු මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලෝකයේම අවධානය දිනාගනු ලැබූවක් පමණක් නොව ලෝකයට ආදර්ශයක් බව ඊට අදාළව ලැබුණු ගෝලීය ප්‍රතිචාරය විය.
දරුණු ආර්ථික අගාධයකට වැටුණු රටක්, එතැනින් යම් ඔසවා තැබීමක් සිදුකළ පමණින් එය කොහෙත්ම අවධානමෙන් මිදීමක් වන්නේ නැත. එය තවදුරටත් නිවැරැදි දිශානතිය ඔස්සේ ඉදිරියට ගෙනයා යුතුමය. නැතිනම් ඊටත් දරුණු අගාධයකට ඇද වැටීම අනිවාර්යය.‘ජාතික ප්‍රතිසංවිධාන සැලසුම’ මේ වන විට සකස් වෙමින් තිබෙන්නේ ඒ වෙනුවෙන්ය. එය ඉදිරි 5 වසර තුළ පූර්ණ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකරන මෙන්ම එළැඹෙන වසර 25 තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට මෙරට පත්කරන වැඩපිළිවෙළය.
එමෙන්ම ජාතික පරිවර්තන මාර්ග සිතියම ඔස්සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයන්ගෙන් ඉදිරියට යමින් රාජ්‍ය මුල්‍ය සහ ප්‍රතිසංස්කරණ සිදුකරන, කිසිවකු අත්නොහරින සමාජ ආරක්ෂණ ජාලය, ආයෝජන ප්‍රවර්ධනය කරන, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය පදනම් කරගත් 2048 දී බලගතු සංවර්ධිත ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් වන ගමන් මාර්ගය ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය මූල්‍ය සහ ප්‍රතිසංස්කරණ ඔස්සේ ආර්ථික වර්ධනය ඇතිකර ගැනීම, ජාතික ආදායම ඉහළ නංවා ගැනීම, දළ දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීම, උද්ධමනය පාලනය, වි‍රැකියාව අවම කිරීම, අපනයන ආර්ථිකය නංවන නව සාර්ව ආර්ථික දැක්මක් ලබාදී ඇත.
 රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම කෘත්‍රිම බුද්ධිය ඇතුළු ඩිජිටල්කරණය රටේ සංවර්ධනයට යොදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත. හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමඟ ආර්ථිකය ඉදිරියට ගෙන යාම පැරණි ක්‍රමවේද අනුව සිදු කළ නොහැකි බව දක්වමින් ඒ සඳහා යායුතු මාර්ගය පෙන්වාදී ඇත.
ජාතික ආරක්ෂාවේ සිට මෙරට විදේශ ප්‍රතිපත්තිය දක්වාද, මෙරට නාවුක - වෙළඳ මධ්‍යස්ථානයක සිට අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත්කිරීම දක්වාද අවශ්‍ය වැඩපිළිවෙළ මේ කාලය තුළ හඳුන්වාදී ඇති අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ සිට ඉදිරි වසර 25 ක කාලය තුළ රට යායුතු මඟ මෙන්ම, ඒ වෙනුවෙන් වන ක්‍රමෝපායික සැලසුම් ද සකස්කර ඉදිරිපත් කර ඇත. ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ පනත් රැසක් හඳුන්වා දෙමින් මෙරට සමාජ, ආර්ථික දේහය ව්‍යුහාත්මක වෙනසකට අවශ්‍ය මූලික පදනම් සකස් කර ඇත. එයින්ද නොනැවතී රටේ ස්ථිර සාර සංහිඳියාවක් වෙනුවෙන් විධිමත් ක්‍රියාවලියක් දියත්කර ඇත. ඒ සම්බන්ධව උතුරු නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන නායකයන් පසුගියදා හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ජාතික සංහිඳියාව මෙන්ම එම ප්‍රදේශවල ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් හොඳම ක්‍රියාවලිය තමා ඉදිරිපත් කර ඇති බවත් එය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න ඔබ සතු බවය. එසේම ජාතික ප්‍රශ්නය විසඳීම ඊළඟ පරම්පරාවට නොතබන බවය.
කොහොමටත් රනිල් වික්‍රමසිංහ කියන්නේ කොහොම වන්දියක් කුමන ප්‍රමාණයෙන් ගෙවන්න වූවත්, නිවැරදි ස්ථාවරය පාවා නොදුන් දේශපාලන පෞරුෂයක් ය. ග්‍රාමීය හා නාගරික මැද පන්තියේ, ග්‍රාමීය නිර්ධන පන්තියේ, නාගරික ලු‍ම්පන් සමාජ කොටස්වල අවිඥානික ආශාව බවට කවදාවත් ඔහු පත්නොවුනේද ඒ නිසාය. එහෙත් ඉතිහාසය විසින් තෝරනු ලැබූ මිලියන 22 ක ජනතාවගේ ගැලවුම්කරුවා වූයේ ඔහුය. ඒ තේරීම නිවැරැදි බව පසුගිය වසරේ රට පැවති තත්ත්වය සමඟ මේ මොහොතේ රට පවතින තත්ත්වය සාක්ෂි දරන්නේය. එසේ නම් තවත් කුමන විනිශ්චයක් ද? දැන් ඇත්තේ දහසක් බාධක, දහසක් දුෂ්කරතා මැද, ඇරඹි ගමන අතර මැද අවසන් නොකර, 2048 බලගතු සංවර්ධිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වසරක් තුළ දැමුණු පදනම් මත රට ගොඩනැගීමය. ගෲෂා වැල් පාලමේ යන විට මයිකල් කුමාරට කිව්වේ, ”අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ”‍ කියාය. ජනපති පදවි ප්‍රාප්තියට වසරක් පිරෙන තැන මිලියන 22 ක ජනතාවට ඇතිකරගන්නට තිබෙන සම්මුතියද එයමය.

එස්.එම්. ලියනගේ