අමද්‍යප සේවයක් සඳහා කැපවූ කළුකොඳයාවේ මහ නා හිමියෝ


ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ ශ්‍රී කල්‍යණි සාමග්‍රී ධර්ම මහා සංඝ  සභාවේ මහා නායක කොළඹ මාලිගාකන්දේ  විද්‍යෝදය මහ පරිවේනාධිපති නවගමුව සුගතබිම්බාරාම රජමහා විහාරාධිපති ආගම චක්‍රවර්ති, ත්‍රිපිටක වාගීශ්වර, මංගල ධර්ම කීර්ති ශ්‍රී  උපාධ්‍යය පණ්ඩිත අපවත් වී වදාළ කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහ නාහිමිපාණන් වහන්ගේ 44 වැනි ගුණ සැමරුම අද (12) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 

උන්වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කළුකොඳයාව නම් ගමේ ක්‍රි.ව. 1895 දෙසැම්බර් මස 30 වැනිදා ජන්මලාභය ලැබූහ. පුරාකෘත කුසල මහිමය නිසා 1911  පෙබරවාරි මස 23 වැනිදා නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම රජමහා විහාරස්ථානයේදී තත් විහාරාධිපතිව වැඩ විසූ කටුවාවල සුමනතිස්සාභිධාන මහා ස්වාමින්ද්‍රයන්ගේ ආචාර්යත්වයෙන් උතුම් පැවිද්ද ලැබූහ.

පැවිදි වී මුල් දෙවසර තුළ තම ආචාර්යයන් වහන්සේගෙන්ම මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා 1912 වසරේදී විද්‍යාදය  මහ පිරිවෙනට ඇතුළත්ව එවකට එම පිරුවන්පතිව වැඩ සිටි මහගොඩ ශ්‍රී ඥානේශ්වරාභිදාන නාහිමිපාණන් වහන්සේ සහ පණ්ඩිතාචාර්ය වලානේ ශ්‍රී ධම්මානන්දාභිදාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු ආචාර්යවරුන් ඇසුරින් අධ්‍යාපනය හැදෑරූහ. 1916 වසරේදී මුල්ලේරියාවේ කල්‍යාණි උදකුක්ඛේප සීමාමාලකයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටි අප කථානායකයාණෝ 1921 වර්ෂයේදී විද්‍යෝදය පිරිවෙනේ අවසන් පරීක්ෂණයෙන් ප්‍රමුඛයා ලෙස සමත්ව ශ්‍යාමරාජ ත්‍යාගය ඇතුළු තවත් ත්‍යාග රාශියකින් පිදුම් ලැබූහ.

පසුව 1922 වර්ෂයේ විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය හා උප ප්‍රධානාචාර්ය ධුරය හෙබවූ උන්වහන්සේ 1959 වර්ෂයේ පරිවේනාධිපති ධුරයට පත්ව වසර 53ක් ලක්දිව පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකර වදාළහ.
කුඩා කල සිට පොතපත ලිවීමෙහි ඇළුම් කළ උන්වහන්සේ උපස්ථාන සංග්‍රහය, පොසොන් පොහොය හා ලක්දිව බුදු සසුන පිහිටුවීම වැනි ග්‍රන්ථ රචනා කළහ. සූත්‍රාර්ථශේඛරය, ගරු භණ්ඩ විනිශ්චය, සිංහල බෝධිවංශ සංස්කරණය, බුත්සරණ සංස්කරණය, මහ රූප සිද්ධි ටීකාව, ධම්ම සංඝනිප්‍රකරණය හා පාචිත්තිය පාලියද උන්වහන්සේ විසින් පසුව සංස්කරණය කොට  පළකර ඇත. 

එසේම කංකාවිතරණී පිටපොත හා මහානාහිමි ජාතකයේ සංස්කරණය වැනි ග්‍රන්ථ නාහිමිපාණන් වහන්සේගේ ග්‍රන්ථ සංස්කරණයෙහි විශේෂත්වයක් උසුලයි. මීට අමතරව තත්කාලීන සමාජ අභිවෘද්ධිය උදෙසා සම්පාදනය කළ ග්‍රන්ථ ලෙස ග්‍රාම ප්‍රතිසංස්කරණය, අපරාධ මර්දනය, වර්තමාන බෞද්ධ තත්ත්වය වැනි ග්‍රන්ථ හැඳින්විය හැකිය. මෙම ග්‍රන්ථ පාඨකයා අතර නොමිලේ බෙදා දීම සඳහා සම්පාදනය කර ඇත.

උන්වහන්සේගේ ග්‍රන්ථකරණයේ සුවිශේෂී තැනක් උසුලන්නේ ලක්දිව මුද්‍රණශිල්පය ආරම්භ වූ දා සිට එතෙක් නිකුත් වූ සියලු පුවත් පත් සඟරා එක්තැන්කොට ඒ පිළිබඳව විවරණය කරමින් කාණ්ඩ නවයකින් යුතුව සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය නමින් කෝෂ ග්‍රන්ථයක් සකස් කිරීමය. ඒ සඳහා නාහිමියන් වහන්සේ ලක්දිව බොහෝ විහාරස්ථාන හා පුස්තකාල වෙත වසර ගණනාවක් තිස්සේ වැඩම කොට පර් යේෂණයක නියුතු වූ අතර එම පර් යේෂණයේ ප්‍රතිඵලය කිසිවෙකුටත් කළ නොහැකි තරමේ වටිනා ග්‍රන්ථයක් සම්පාදනය වීමය. එම ග්‍රන්ථය වෙනුවෙන් උන්වහන්සේ 1976 වසරේදී ජනාධිපති සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබූහ.

එදිනෙදා ජීවිතයේ  අත්දැකීම් හා කාලීන තොරතුරුද දිනපොත්වල සටහන් කර තැබීම උන්වහන්සේගේ සිරිතක් වූ අතර එම කරුණු එක්කොට රචිත ස්වයංලිඛිත ශ්‍රී ප්‍රඥාශේකර චරිතාපාදනය නම් කෘතිය තත්කාලීන සමාජයේ බොහෝ තොරතුරු අන්තර්ගත වටිනා ඉතිහාස ග්‍රන්ථයක් වැනිය.

ලේඛනයේදී මෙන්ම භාෂාණයේදී ද වියරණ ගරු කළ නාහිමිපාණෝ නිවැරදි ලෙස වචන උච්චාරණය කිරීමට උත්සුක වූහ. ලිවීමේදී නිවැරදි ලේඛන  රීති අනුගමනය කළ උන්වහන්සේ පුවත්පත්  සඟරා ආදියෙහි සදොස් තැන් නිදොස් කොට පෙන්වා දෙමින් එවකට ලංකාදීප  ඉරිදා පුවත්පතෙහි සතියේ අපබ්‍රංස නමින් ලිපි පෙළක් කළහ. එසේම එවකට ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදියකුව සිටි විජිතනන්ද මැණික්දිවෙල මහතාගේ සංවිධායකත්වයෙන් ගුවන් විදුලියේ මාධ්‍යවේදීන් සඳහා නිවැරදි භාෂා සාහිත්‍ය පිළිබඳව නාහිමිපාණන් වහන්සේ සතිපතා ගුවන් විදුලි සංස්ථාවේ පන්තියක්ද පැවැත්වූ අයුරු අපට සිහිවේ.  

යටත්විජිත සමයේ ලක්වැසියන් හීලෑකර ගැනීම සඳහා රටපුරා සුරාසැල් විවෘත කළ සුදු ජාතිකයෝ අප රටවැසියන් දුසිරිතට යොමු කළහ. ඉන් ජනතාව මුදවා ගැනීම සඳහා  රටපුරා විහාරස්ථාන හා පොදු ස්ථාන කරා වැඩම කළ නාහිමිපාණෝ සුරාපානයෙහි ආදීනව ඇතුළත් ධර්ම දේශනා පැවැත්වූහ. එසේම ග්‍රාම සංවර්ධනය හා අපරාධ මර්දනය උදෙසා කැප වී ක්‍රියා කළ උන්වහන්සේ බණ නොකී ධර්මශාලාවක් එවකට ලක්දිව සොයා ගැනීම උගහට විය. අමද්‍යප  ධර්ම දේශනාවලදී උන්වහන්සේ දෘශ්‍යාධාර හා අත්පත්‍රිකා භාවිත කිරීම සුලබ කරුණක් විය. මත්පැන් බී රකුසකු මෙන් ගෙදරට පැමිණෙන ගෙහිමියා දකින විට දූ දරුවන් ඇඳන් යට සැඟව ඉන්නා සැටිත් ඔහු තම බිරිඳගේ කෙස් වැටියෙන් අල්ලා අරක්කු බෝතලයෙන් පහර දෙන හැටිත් එහි අපූරුවට සිතුවම් කර තිබුණි. 

එවකට අප රටේ අග්‍රාමාත්‍යව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1957 වර්ෂයේදී ලක්දිව බුදු දම නගාසිටුවීමට අවශ්‍ය යෝජනා සකස් කර ඉදිරිපත් කිරීම සඳහා බුද්ධශාසන කොමිසන් සභාව නමින් කොමිසන් සභාවක් පත් කරන ලදී. එහි සභාපතිත්වයට එතුමාගේ නියෝගය පරිදි කළුකොඳයාවේ මහ නාහිමිපාණන් වහන්සේ පත් කෙරුණි. ඉන් පෙනී යන්නේ උන්වහන්සේ එවකට භික්ෂූන් වහන්සේලා අතර කෙතරම් සම්භාවනාවට පාත්‍ර වී සිටියාද යන්නය. එම කොමිෂන් සභාවෙන් ලක්දිව බුදු සසුනේ  ප්‍රවර්ධනයට වටිනා යෝජනා රැසක් ඉදිරිපත් කළත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර අවාසනාවට අගමැතිතුමා ඝාතනය කෙරුණි.

 උන්වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා.