අමරණීය මහ රැජිණ


1954 අප්‍රේල් මාසයේ දිනෙක හත් හැවිරිදි මා තම කර මත තබාගත් මගේ පියා අම්මා ද සමඟ ලේක්හවුස් වට රවුම ඉදිරිපිටටවී බලා සිටියේ ලංකාවට පැමිණි දෙවැනි එලිසබත් මහ රැජින රථයෙන් ගමන් ගන්නා අයුරු දැකබලා ගැනීමටය.

‘අන්න අන්න රැජින..... අතවනන්න...’’  අම්මා  මට කීවාය.
විවෘත නිල රථයේ සිටගෙන සිටි මහ රැජින එහි රැස් වූ මහ සෙනඟට අත වැනුවාය.
මේ සිද්ධිය මට මතක් වූයේ දෙවැනි එළිසබෙත්  රැජිනගේ  අභාවයත්, 1954දී මා දුටු ඒ මතකය අලුත් වූයේ ලේක්හවුසියේ එකල සිටි එල්.ඊ. සමරරත්නගේ එදා ගත් ඡායාරූපයක් මතක් වීමෙනි. 

එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි (Eizabeth Alexandra Mary) නොහොත් බ්‍රිතාන්‍යයේ රැජිනගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය සිදු වූයේ 1953 ජුනි 02 වැනිදාය. වයස අවුරුදු 27 දී එතුමියට මේ අවස්ථාව ලැබෙන්නේ හයවැනි ජෝර්ජ් රජතුමා 1952 පෙබරවාරි 6 වැනිදාය. වයස අවුරුදු  27 දී එතුමියට මේ අවස්ථාව ලැබෙන්නේ හයවැනි ජෝර්ජ් රජතුමා 1952 පෙබරවාරි 6 වැනිදා අභාවයට පත්වීමෙන් පසුවය. 1926 අප්‍රේල් 21 වැනිදා උපත ලැබු එළිසබත් රැජිනගේ රාජාභිෂේකය හඳුන්වා ඇත්තේ වංශාධිපතින්ගේ සංදර්ශනයක් වශයෙනි. මෙයට හේතු  වන්නේ ඔටුන්න මෙන්ම රත්තරන් සන් කටුවත්, සෙංකෝළයත්, අගය කළ නොහැකි ඇඳුම් ආයිත්තම් ප්‍රදර්ශනය ලෙස කැපී පෙනෙන නිසාය.

මේ සංදර්ශනය අලංකාර වී ඇත්තේ පාරම්පරිකව පැවත එන ඇඳුමෙන් සැරසුණු අර්ල්වරු, මාර්ක්විස්වරු බැරන්වරු, ආචි බිෂොප්වරුද රාජ්‍ය තාන්ත්‍රිකයන් 1200ක් ගමන් ගත් පෙරහරකිනි. රන් ආලේප කළ  අශ්වරියකින් ජය සක් හඬ නාද මධ්‍යයේ මහ රැජින ගමන් කර ඇති බව ‘‘ඩයිජස්ට් ඔෆ් වර්ල්ඩ් රීඩින්’’ සඟරාවට 1953 දී ලිපියක් ලියූ රින් ලෙක්ටර් පවසා තිබුණේ 1953ට එපිට වසර 100ක් තුළ මෙසේ රාජාභිෂේක ලැබු එංගලන්තයේ රජවරුන්ගේ සංඛ්‍යාව හතළිහකට අඩු බව සඳහන් කරමිනි. අගමැතිවරුන්ගේ ප්‍රථමයෙන් ගමන් කළ ඉතාම ලාබාල පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රාජ්‍යය වූයේ ලංකාවය. අපේ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාට විශේෂයෙන්  පැන වූ ආසනයේ එතුමා වාඩි වී සිටියේය.

ලංකාවේ මෞලි මංගල්‍ය උළෙල නිමිත්තෙන් උත්සව ගණනාවක් රටපුරා පවත්වා ඇත. රේස් කරත්ත තරග මේ අතර ප්‍රධාන විය. එයින් ද දළුගම රේස් කරත්ත කණ්ඩායමට විශේෂ තැනක් හිමි වී ඇත. මෞලි මංගල්‍යයේ වියදම් ගැන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රුවන්වැල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්. ඇම්. පෙරේරා මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රී විල්මට් ඒ. පෙරේරා කඩුගන්නාව මන්ත්‍රී ඒ.සී.එස්. මරික්කාර් හා කෝට්ටේ මන්ත්‍රී රොබට් ගුණවර්ධන යන මහත්වරුන් ද අගමැති ඩඩ්ලි සේනානායක මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි.

අගමැතිතුමා පිළිතුරු දෙමින් මෞලි මංගල්‍යයට ලංකාණ්ඩුවෙන් රුපියල් 1,70.000ක් වියදම් වූ බවත් මෞලි මංගල්‍යය වෙනුවෙන් ලංකාව සහභාගි වීමෙන් වහල්භාවයක් නොනැගෙන්නේ යැයි ද එසේ නොකිරීම අපේ ජාතියට යෝග්‍ය නොවේ යැයි පවසා ඇත.

ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. දහනායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෞලි මංගල්‍යයට අප පොදු රාජ්‍ය මණ්ඩලයේ සිටින නිසා අපේ කෘතඥතාව දැක්විය යුතුව තිබෙන බවත් අප එහි යාමෙන් යටත් බවක් හැඟෙන්නේ නැති බවත්ය. මෙහිදී අගමැතිතුමා පිළිතුරු දෙමින් කියා ඇත්තේ එංගලන්තයේ සිටින කාලය සඳහා ලංකාවේ නියෝජිත පිරිසට වියදම් වන සියලුම මුදල් එංගලන්ත ආණ්ඩුව දැරූ බවය. අතුරු ඇස්තමේන්තු ගැන ඡන්ද විමසනු ලදුව මන්ත්‍රීන් 25 දෙනෙකු පක්ෂවද මන්ත්‍රීන් 9 දෙනෙක් විපක්ෂව ද ඡන්දය දීමෙන් එය සම්මත විය. 

දෙවැනි එළිසබත් රැජිනගේ මේ රාජාභිෂේකයට ආරාධනා ලැබූ පිරිස 7600ක් බව වාර්තාවේ. මේ අවස්ථාවට විදේශිකයන්, විද්‍යාඥයන් කිහිප දෙනෙක් ද කම්කරු නායකයන් හා හමුදා නිලධාරීන් ද අවශේෂ  ජනතාවගෙන් 250ක් ආරාධනා ලැබුහ. 1953 මාර්තු මස ආනන්ද කුමාර විසින් සංස්කරණය කළ ‘පියබස’ නම් ඩයිජෙස්ට් වර්ගයේ සිංහල මාසික සඟරාවේ එන තොරතුරු අනුව දෙවැනි එළිසබත් රැජින පළඳින ලද ඔටුන්න එඩ්වඩ් රජතුමාට පෙර  සැට වසරක් රජ කළ වික්ටෝරියා මහ රැජින රාජාභිෂේක ලැබුදා පැළඳි කිරීටයම බවය.

එය දියමන්ති 2783කින්ද, මුතු ඇට 277කින්ද, නිල් කැට 18කින්ද, මරාමිණි 11ක් හා රතු කැට 5කින්ද යුතු පැරණි කිරීටයම බව පැවසේ. ආච් බිෂොප්තුමා විසින් රැජිනගේ හිස මත තබන ඔටුන්න එතුමිය හිස මත තබා ගන්නේ මොහොතක් බව ද එයට හේතුව එය දරා සිටිය නොහැකි තරම් බර නිසා බව ද ‘පියබස’ සඟරාවේ වැඩිදුරටත් සඳහන් වේ.

රාජාභිෂේකයට වැය වූ වියදම පවුම් 15 කෝටියක්  බවද, එයින් පවුම් හාර ලක්ෂයක්  දෙව් මැදුරේ ආසන පිළියෙළ කිරීමට ද බාහිර සැරසිලි සඳහා එනම් සැතපුම් හයක් දිග පෙරහර මග සූදානම් කිරීම සඳහා පවුම් හත් ලක්ෂයක් ද වියදම් කර ඇති බව සඳහන්ව ඇත. ආරක්ෂාවට සාමාන්‍ය යුද හමුදා සෙබළුන් 20,000යොදා තිබූ අතර විසි ලක්ෂයක් ජනතාව මංගල්‍ය නැරඹූ බවත් පැවසේ.‘‘රැජින (හෝ රජ) වරදක් නොකරයි’’ යන කියමන බ්‍රිතාන්‍යවාසීන් අතර ප්‍රකට කියමනකි.

1954 අප්‍රේල් මාසයේ එළිසබත් මහ රැජින ලංකාවට පැමිණියේ ලංකාවේ රැජින ලෙසිනි. මේ සංචාරයේ දී එතුමිය ලංකා පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උළෙලට ද සහභාගි වූවාය. අප්‍රේල් 20 වැනිදා ඇය පේරාදෙණිය රාජකීය උද්‍යානයේ ගොටුනුග පැළයක් රෝපණය කළාය.

දෙවැනි එළිසබත් මහ රැජින හා එඩිම්බරෝ ආදිපාදතුමා පිළිගැනීමේ අතිශය විචිත්‍ර උත්සවය අප්‍රේල් 20 වැනිදා මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්විණි. වසර 139කට පසු ලංකා රාජධානියෙහි රජ බව ලැබූ  කෙනෙක් මහනුවර රජවරුන්ගේ මඟුල් මඩුවෙහි අසුන් ගත්තේ එදිනය. ඉතිහාසයේ අලුත් පිටුවක් එකතු  විය. මහනුවර මඟුල් මඩුවෙහි රැජිනක් පළමුවරට අසුන් ගත් දවසත් මෙදිනය. ‘දිනමිණ’  අප්‍රේල් 20 වෙනිදා මහනුවර ගිය විශේෂ නියෝජිතයකු වූ ආනන්ද බුලත්ගම ලියූ වාර්තාවේ එය මෙසේ සඳහන් වෙයි. 

ඊයේ මහරැජින දළදා හිමියන් නැරඹීමට ධාතු මන්දිරයට ඇතුළුවන්නට පෙර පාවහන් ගලවා තැබුවාය. ඊයේ රාත්‍රි මහනුවර මිහිපිට සුරපුරක් මෙන් විය. විවිධ වර්ණ ආලෝකධාරා වස්වන විදුලි පහන් නිසා දළදා මාළිගාව හා අවට ප්‍රදේශයත් රජ මාවත් වැව රවුමත් එ්කාලෝක විය. මෙවැනි සිරියක් පෙර නොවූ විරුදෑය’’

දෙවැනි එළිසබත් මහ රැජිනගේ ලංකා සංචාරයේ කැපී පෙනෙන සිද්ධිය වූයේ සීගිරිය නැගීමය. මේ ගැන ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් ලියූ Rendering unto caesar’’(අරලිය ගහ මැදුරේ ස්පන්දනය) පරිවර්තනය කළ සුනේත්‍රා රාජකරුණානායක මෙසේ සඳහන් කර තිබුණාය.

‘‘සීගිරියේ සිංහ පාදය අසලදී සුළඟ තද වූයෙන් තරුණ රැජිනට ඇඟේ සැහැල්ලු කපු  ගවුම සුළඟට හසු වන්නට නොදී රඳවා ගැනීම දුෂ්කර කරුණක් විය. හදිසි සුළං රැල්ලකින් රැජිනගේ ගවුම උඩ යන විට සර් ජෝන් ගේ කටකම සෙයියාවක් නැති ගතිය ඉස්මතු වී ඔහු තම නිල ඡායාරූප ශිල්පියාට කෑ ගැසුවේ’’ ගනිං යකෝ..... ගනිං.....’’ කියාය.  රාජකීය අමුත්තන් පිටවී යන විට චාරිත්‍රානුකූලව ඔවුන්ට තිළිණ කළ ඡායාරූප එකතුවේ එම ඡායාරූපය ඇතුළත් නොවීය.  

ලේක් හවුසියේ මෙම ලියුම්කරු සිටි කාලයේ එහි සේවයේ නියුතු ප්‍රවීණ ඡායාරූප ශිල්පි නිමල් පෙරේරා අභයවර්ධන මහතාගෙන් විමසූ විට කිවේ ඒ ඡායාරූපය ගත්තේ ලේක්හවුස් ඡායාරූප ශිල්පි වොලි පෙරේරා  බවය.

දෙවන එලිසබත් මහ රැජින දෙවනවර 1981 දි ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ රැජින වශයෙන් නොවේ. 1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කරද්දී රැජින තවදුරටත් ලංකාවේ රැජින ලෙස නොසැලකෙන බව නීති ගත කරන ලදී.

 ඇගේ දෙවන ශ්‍රී ලංකා සංචාරයේ දී පේරාදෙණිය උද්‍යානයට පැමිණ සිය සංචාරය සිහි කරනු වස් උඩවැඩියා මලක් නම් කළාය. මහරැජිනගේ නමින් උයනේ රෝපණය වූ උඩවැඩියා මල ටෙන්ඩ්ඩෝවියම් කුලයේ දෙමුහුන් මලකි.

1952 දෙසැම්බර් 5 වැනිදා රැජිනගේ රාජ්‍යභිෂේකය නිමිත්තෙන් එංගලන්ත රජය නිකුත් කළ මුද්දරය එකල එහි SOUTHAMPTON හි පදිංචි සිටි වින්ස්ටන් ජේ. දිසානායක මහතාට ලැබුණු ලිපියක මුල් දින කවරයක් මගේ මිතුරෙකු වූ ප්‍රවීණ රූපවාහිනී කැමරා  ශිල්පි අභාවප්‍රාප්ත නිසිත වර්ණසූරිය මාගේ පුතණුවන්ට කාරුණිකව පරිත්‍යාග කර තිබුණි. 

ඒ.ඩී. රන්ජිත් කුමාර