අය වැය අපේක්ෂා


වසර 2022 සඳහා වන රජයේ අයවැය ලේඛනය අද (12 වැනිදා සිකුරාදා) මැතිසබයට ඉදිරිපත් කෙරේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සම්පාදනය කරනු ලබන පළමු අයවැය ලේඛනය මෙයයි. නිදහසින් පසු ශ්‍රී ලංකාව ගෙවමින් සිටින අති දුෂ්කර කාල පරිච්ඡේදයක ඉදිරිපත් කෙරෙන මෙම අයවැය තවත් සම්ප්‍රදායික අයවැයක් නොවන බව අයවැය සම්පාදන ක්‍රියාවලියේ ප්‍රමුඛයකු වන ආචාර්ය පී.බී. ජයසුන්දර අවධාරණය කර තිබුණි. සමාජ පරිවර්තනයක් උදෙසා 2022 අයවැය සැකසෙන බවද ඔහු අවධාරණය කර ඇත. අධික ණය බරින් මිරිකෙන පතුලටම සිඳී තිබෙන වත්කම් සහිත භාණ්ඩාගාරයක් ඇතිව සමාජ පරිවර්තනයක් කෙසේ සිදු කළ යුතුද යන්න මෙහි දී මතුවෙන ප්‍රමුඛතම ප්‍රශ්නයයි.

ආණ්ඩුවේ අපේක්ෂාව සමාජ පරිවර්තනයක් වුවත් ජනතා අපේක්ෂාව ඊට වඩා හාත්පසින්ම වෙනස් බව ප්‍රකාශවන ජනමතයෙන් පැහැදිලි වෙයි. ජනතාව දැන් සිටින්නේ දැවෙන ප්‍රශ්න ගොඩකට මැදිවය. උද්ධමනය, බඩු මිල ඉහළ යාම, ණය බර, කොරෝනා වසංගතය, පොහොර අර්බුදය ඉන් සමහරකි. නව මුදල් අමාත්‍යවරයා මෙම ප්‍රශ්නවලට අයවැයෙන් ආමන්ත්‍රණය කරනු ඇත යන්න මූලික ජනතා අපේක්ෂාවය. එයින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුම් කටයුතුය. රටේ සමස්ත ජනගහනයෙන් සියයට 65කට ආසන්න පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දුන් රටවල් ලෝකයේම ඇත්තේ අතළොස්සකි. 

එහෙත් සෙසු ප්‍රශ්න සම්බන්ධයෙන් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග නිරන්තරයෙන් ප්‍රශ්න කෙරෙමින් පවතී. ඉන් ජීවන වියදම ඉහළ යාම බරපතළම සමාජ ගැටලු‍ව බව නොකියා නොහැක. ගතවූ මාස 6ක කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගියේ අධික වේගයෙනි. 2019 වසරේ සියයට 4.3ක් වූ උද්ධමනය ගිය මාසය වන විට සියයට 7කට ආසන්නය. මහ බැංකු අධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ ළඟදීම උද්ධමනය සියයට 8.5ක් තරම් ඉහළ අගයක් ගනු ඇති බවය. ගෑස්, ඉන්ධන, හාල්, කිරිපිටි, එළවළු ඇතුළු ජනතාවට එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකම මිල ගණන් විශාල ලෙස වැඩි වුවත් ඊට සාපේක්ෂව ජනතාවගේ ආදායම වර්ධනය වී නැත. 

රජයේ ණය බර අධික වීම, රටට ලැබිය යුතු ආදායම් අහිමිවීම, රුපියලේ අගය පාලනය කරගත නොහැකි වීම ආදී අර්බුද විසින් පවත්නා ව්‍යාකූල ආර්ථික ප්‍රශ්න තවත් සංකීර්ණ කරනු ලැබ තිබේ. මහ බැංකුවේ මූල්‍ය සංචිතය ඩොලර් බිලියන 3ක සීමාවට අඩු වෙද්දී රටේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 101ක ණය බරක් අප රට මත පැටවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික දත්ත පෙන්වා දෙයි. එහි සරල අරුත අප රුපියල් සීයක් උපයන විට ණය ගෙවීමට රුපියල් එකසිය එකක් වැය කරන්නට සිදුවීමය. 2015 මුල දී මහින්ද රාජපක්ෂ රජය බලය අතහරිද්දී දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර සියයට 72.3කි. යහපාලන රජය යටතේ 2019 දී එම ණය බර සියයට 86.8කි. වත්මන් රජය යටතේ දෙවසරක් ගත වෙද්දී එකී ණය බර සියයට 101ක් දක්වා ශීඝ්‍රයෙන් වැඩි විය. මේ නිසා 2022 වසරේ අයවැය හිඟය සියයට 8.5ක් ඉක්මවනු ඇතැයි ද වාර්තා වේ. එම නිසා 2022 වසරේ රජයට මුහුණ දෙන්නට තිබෙන බරතළම ගැටලු‍ව මෙකී අධික ණය බරින් නිදහස් වීමට පාර කපා ගැනීමයි. ඒ සඳහා නව ආදායම් මූලාශ්‍ර සොයා පාදාගත යුතුය. ජනතාවගෙන් තවත් බදු අයකර ගන්නට නම් ඉඩක් නැත. දැන් ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබෙන නිසා තව තවත් බර පැටවීම සමාජ අසහනය විප්ලවීය මාවතකට තල්ලු‍ කිරීමක් වන්නටත් බැරි නැත.

පොහොර උදෙසා කරන ගොවි අරගලය තුළ දක්නට ඇති ආවේගය හා කෝපය රජය තේරුම් නොගැනීම පුදුම සහගත තත්ත්වයකි. මුදල් ඇමැතිවරයා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට කියා තිබුණේ මෙහෙම ගියහොත් රටට සාගතයකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. ක් වාර්තා වේ. භූමිතෙල් ලබාගන්නට පවා ජනතාව පෝලිම්වල සිටිනු පසුගිය දිනවල දක්නට ලැබුණි. පාකිස්ථානයේ හා එංගලන්තයේ ද මෙයට සමාන තත්ත්වයක් වාර්තා වුවත් ජනතාවට එම කතාවලින් පලක් නැත. ඒ හැර පාසල් වසා දැමීම්, ගුරු - විදුහල්පති වර්ජන ආදී නොවිසඳුණු තවත් ප්‍රශ්න ගණනාවකි. ගුරු ප්‍රශ්නය දැන් විසඳී ඇත. ආණ්ඩුව ගන්නා තීරණ බොහොමයක්ම කෙළවර වන්නේ අර්බුදයකිනි. බඩු මිල පාලනය සඳහා පසුගිය මාස හයෙහි ප්‍රකාශිත ගැසට් පත්‍ර දොළහක් පමණ විටින් විට අවලංගු කර දමා ඇත.

වෙළෙඳපොළ තුළ තරගකාරී ලෙස භාණ්ඩ සුලභ කිරීමට නොහැකි වීම නිසා මෙම මිල අර්බුදය හට ගැනුණි. අයවැය අපේක්ෂාව බඩු මිල පාලනය පමණක් නොවේ. ජාතික සංවර්ධනයේ දිශානතිය නිසි ලෙස සටහන් කිරීමයි. එහි එන යෝජනා සංවර්ධනාභිමුඛ විය යුතුය. මාර්ග සංවර්ධනය, ජල සම්පාදනය, යටිතල පහසුකම් වැඩි දියුණුව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය, මහා පරිමාණ ආයෝජන ලබා ගැනීම වැනි පුළුල් අරමුණු අයවැය මගින් දිරිමත් කළ යුතුව ඇත. එහෙත් රටේ දැන් තිබෙන දේශපාලන ව්‍යාකූලතා නිසා ආයෝජකයන් මෙරටට ඒවි ද යන්න සැක සහිතය.

දේශීය සම්පත් ආයෝජන මගින් සංවර්ධනය කරන්නට යන විට ‘‘ඔන්න රට විකුණනවෝ’’ කියා ඝෝෂා කරන්නේ ආණ්ඩුවේම හවුල්කාර පාර්ශ්වයෝය. එම ප්‍රශ්න දේශපාලන වශයෙන් කළමනාකරණය කරන්නට රජය තවමත් සමත්ව නැත. වරායේ නැගෙනහිර ජැටියේ වේවා, යුගදනවි බලාගාරයේ වේවා, ආයෝජකයන්ට එල්ල වන දේශපාලන තර්ජන හමුවේ දිරිමත් ආකාරයෙන් මෙරටට පැමිණේ යැයි සිතීම මුළාවකි. එසේම රජයේ තිබෙන සොච්චම් වත්කමෙන් සිදු කරන වංචා, දූෂණ හා කොමිස් ගැනීම් ද පාලනය කර නොගතහොත් රට නවතින්නේ ආගාධයේ පතුලේය.

එනිසා මුදල් අමාත්‍යවරයාට කරන්නට සිදුව තිබෙන්නේ දේශපාලන කුණාටු සාගරයේ නැවක් පදවමින් සිටින කපිතාන්වරයකුගේ කාර්යභාරයකි. ප්‍රකට කියමනක සඳහන් වන්නේ ‘‘නිශ්චල මුහුදට කවුරුත් කප්පිත්තන්ය’’ කියාය. එහෙත් මෙවන් ආකූල ව්‍යාකූල පරිසරයක ශ්‍රී ලංකාව නැමති නෞකාව යහපත් තීර්ථයක් කරා ප්‍රවේශ කරවීම අති දුෂ්කර ක්‍රියාවකි. ජනතා අපේක්ෂාවන් සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමපාත නොවන විට ආණ්ඩුවකට ජනප්‍රියභාවය රඳවා ගැනීම අසීරුය.

වත්මන් රජයට වසර දෙකක් ගෙවෙන විටම එම තත්ත්වය අත්දකින්නට සිදුව තිබේ. පවතින ආර්ථිකයේ ස්වභාවය ගැන අවබෝධයක් ඇති සමාජය ආණ්ඩුවෙන් යස ඉසුරු ප්‍රාර්ථනා කරන්නේ නැත. කිසිවකුට අතනොපා එදා වේල සරිකර ගන්නටත් දරුවන්ට අධ්‍යාපනය, ලෙඩට දුකට බෙහෙත් හේත් ලබාගෙන යහපත් අනාගතයකට පෙරනිමිති දකින්නටත් සමාජයේ සියලු‍ දෙනා කැමතිය. ජනතාවගේ එකම අයවැය අපේක්ෂාව එයයි. 

(***)