රාජ්‍ය අය වැය ලේඛනය අවුරුද්දක් ඉලක්ක කරගත් කෙටිකාලීන ලේඛනයක් වූවාට එය රටේ මැදි හා දිගුකාලීන ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබිඹු කරන කැඩපතකි. දිගුකාලීන සහ මැදි කාලීන ඉලක්ක සපුරා ගන්නේ කෙටිකාලීන සැලසුම් මතය. 2019 සිට රටේ ආර්ථිකය දැඩි පසුබෑම්වලට මුහුණ දෙයි. දිගටම ආර්ථිකය හැකිළෙයි. වර්ධනය ඍණ වෙයි.
2024 සඳහා අය වැය ඉදිරිපත් කරන්නේ ඒ පසුබිම මැදය. 2024 වෙද්දි අර්බුද මගහැරගත හැකි බව 2023 අයවැයේදී කිව්වා අපට මතකය. දුෂ්කර කාලය 2023 දී නිමවී 2024 දී හොඳ කාලයක් උදාවන බව එදා කී කතාවයි. වර්තමාන මුදල් අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා පරිණත නායකයෙකි. ඒ නිසා ඒ අභියෝගයට පරිණතව මුහුණ දෙතැයි අපි බලාපොරොත්තු වූවෙමු.
එහෙත් මේ අය වැයේදී අපේ ඒ අපේක්ෂා බිඳ වැටෙයි. මේ අය වැය යෝජනා ආර්ථිකය ගැන ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව සැකසූ යෝජනාවලියක් බවක් නොපෙනෙයි.
මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක කිහිපයක් සාක්ෂාත් කරගැනීමටත් මැතිවරණය සඳහා ගැළපෙන අයුරිනුත් සකස් කළ අයවැයකි. ඒ බැලූ බැල්මට පෙනෙන ආකාරයයි.
මේ අය වැය යෝජනා දෙස බලද්දි ආර්ථිකයේ නිශ්‍චිත දිසානතියක් නොපෙනෙයි. මෙය හුදෙකලා ආදායම් වියදම් ලේඛනයක් පමණකි. ආදායම් ලබාගන්නා ආකාර කිහිපයකි. ඒ මත වියදම් ලැයිස්තුවකි. ඒ වියදම් ලැයිස්තුවද ප්‍රමුඛතා පදනම මත හඳුනාගත් ලැයිස්තුවක් නොවේ. ඒ යෝජනාවල ප්‍රමුඛතා පදනමක් තිබෙන බවක්ද නොපෙනෙයි.
රටේ ආර්ථිකය 2018 සිට මුහුණ දුන්නේ දැඩි අර්බුදවලටය. ඊට හේතුද විවිධාකාරයෙන් විග්‍රහ කර මැනවින් හඳුනාගෙන ද තිබිණි. විවිධ
පර්ෙ ය්ෂකයෝ සහ විශ්ලේෂකයෝ රටේ ආර්ථිකයේ ප්‍රශ්න මැනවින් හඳුනාගෙන සිටියහ. ආර්ථිකයේ පවතින ප්‍රශ්නවලට මූලික ගැටලු, ව්‍යූහමය දෝෂ මොනවාදැයි ඔවුහු මැනවින් හඳුනා ගත්හ. අප බලාපොරොත්තු වූයේ ඒවා මැඩලාගෙන ඉදිරියට යන ගමනකි. අවශ්‍ය ස්ථිරසාර විසඳුම් ලැබෙතැයි අපේක්ෂා කළෙමු. එහෙත් ඒ ප්‍රශ්න, ගැටලු සහ දෝෂ ගැන ප්‍රමාණවත් අවධානයක් යෝජනා කර තිබෙන බවක් මෙම අය වැයෙන් නොපෙනෙයි.
ගෙවුම් ශේෂයේ තිබෙන අර්බුදය, විදේශ වෙළෙඳාම්, වර්තන ගිණුමේ, නැතහොත් ආනයන වියදම සහ අපනයන ආදායම අතර පවතින අතිවිශාල ශේෂය වර්තමාන අර්බුදවලට නැතහොත් ආර්ථික බංකොලොත්භාවයට ප්‍රබල හේතුවකි. අය වැය හිඟය ක්‍රමයෙන් අතිවිශාල වීම රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින බරපතළ ප්‍රශ්නයකි. ඒ හිඟය පියවා ගන්නේ ණය ගැනීමෙනි.
ඒ නිසා රටේ ණය බරද වැඩිවෙයි. අනෙක් පැත්තෙන් ණය පොලිය ගෙවීම යනාදිය නිසා ගැටලුව තවත් උත්සන්න වෙයි. ශ්‍රම හමුදාවේ පවතින නිපුණතා, නවීන ලෝකයට නොගැළපෙන්නේය යන ප්‍රශ්නය මත නව්‍යතාවලට යොමුනොවන අධ්‍යාපන ක්‍රමයද බරපතළ ප්‍රශ්නයකි. ස්වාධීන චින්තනයක් බිහිනොවන මේ අධ්‍යපන ක්‍රමය නවීකරණය කිරීම කාලීන අවශ්‍යතාවකි.
ආදායම් විසමතාව ඉහළ ගොස් දුප්පත්කම දිගින් දිගටම වර්ධනය වීම තවත් ඛේදවාචකයකි. ආර්ථිකය දිගින් දිගට හැකිළීමද ගැටලු ලෙස හඳුනාගෙන තිබිණි. එසේම විදේශ විනිමය, විදේශ තාක්ෂණය සහ නූතන ලෝකයේ දැනුම අපේ රටට ලැබෙන විදේශ ආයෝජනවලට ලංකාව ආකර්ෂණීය නොවීම තවත් ප්‍රධාන ගැටලුවකි.
රටක් ඉදිරියට යා යුත්තේ ඒ ප්‍රධාන ගැටලු විසඳා ගැනීමෙනි. අය වැය ලේඛනයෙන් කළ යුත්තේ ඒ ප්‍රශ්න විසඳීමය. ගෙවුම් ශේෂයේ ප්‍රශ්නය විසඳා ගැනීමට නම් අපනයන වර්ධනය කළ යුතුය. එය නොකර විදේශ විනිමය වර්ධනය කර ගැනීම අපහසුය. එහෙත් අපනයන වර්ධනයට මේ අයවැයෙහි පැහැදිලි වැඩපිළිවෙළක් නැත. විදේශ වෙළෙඳ ගිවිසුම් ගැන කියන කතා පරණය. විදේශ වෙළෙඳ ගිවිසුම් ගැන කතාකරන්නේ තිබෙන ගිවිසුම්වලින් නිසි ප්‍රයෝජන නොගනිමිනි.
තරගකාරී පදනමකින් ලෝක වෙළෙඳ පොළෙහි විකිණිය හැකි භාණ්ඩ ලංකාවෙහි නිෂ්පාදනය නොකරයි. නිෂ්පාදන අංශයේ තිබෙන්නේ කඩා වැටීමකි. පර්ෙ ය්ෂණ මගින් නව නිෂ්පාදන සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතුය. තරගකාරීත්වය ඇතිකර ඵලදායිතාව ඉහළ නංවා ජාත්‍යන්තර වෙළෙඳ පොළට යා හැකි තත්ත්වයක් ගොඩනැගීමෙන් තොරව අපනයන ප්‍රවර්ධනය කළ නොහැකිය.
ආයෝජන කලාප ගැන මෙවර කරන යෝජනාව ගිය අවුරුද්දේ ද කළ දෙයකි. එහෙත් ඒ යෝජනා ක්‍රියාත්මක නොවිණි. ගැඹුරින් අධ්‍යයනය කිරීමකින් තොරව ඒ ඒ යෝජනා කරන බවක් පෙනෙයි. සංචාරක ව්‍යාපාරය කෙරෙහි වැඩි අවධානයක් මේ අය වැයෙන් යොමුකරයි. එය හොඳය. එහෙත් එය ස්ථිරසාර විසඳුමක් නොවේ.
සංචාරක ව්‍යාපාරය දැඩි ලෙස අස්ථාවරය. එය අපේ පාලනයෙන් පිට බාහිර හේතු සාධක මත රඳා පැවැතීම නිසාය. ඒ ඒ රටවල ආර්ථික තත්ත්වය, ගෝලීය සාමකාමී වාතාවරණය මත සංචාරක කර්මාන්තය රඳා පවතියි. ඒ නිසා සංචාරක කර්මාන්තය මත දැඩි බලාපොරොත්තු තබා ගැනීම නුවණට හුරු නොවේ. ඊට වඩා ප්‍රමුඛතාව දිය යුත්තේ අපනයන වර්ධනය කර ගැනීමටය. එහෙත් ඒ සඳහා මේ අය වැයෙන් සැලකිය යුතු අවධානයක් යොමුකර නැත.
රාජ්‍ය මූල්‍යයේ පවතින ප්‍රබල ප්‍රශ්නය අය වැය හිඟය ඉහළ යාමය. 2023 රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2,839 කි. මුළු වියදම රුපියල් බිලියන 5,253 කි. ඒ අනුව 2023 අය වැය හිඟය රුපියල් බිලියන 2,414 කි. එය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.6 කි. 2024 දී අපේක්ෂිත රජයේ ආදායම රුපියල් බිලියන 4,107 කි. එහෙත් වියදම රුපියල් බිලියන 6,978 කි. අය වැය හිඟය රුපියල් බිලියන 2,871 කි. එය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9.1 කි.
රටේ ණය බර ඉහළ ගොස් තිබෙන්නේද මේ අය වැය හිඟය නිසාය. එය විසඳා ගැනීමට මේ අය වැයෙන් යම් උත්සාහයක් ගෙන තිබේ. වියදම් අඩුකරගෙන ආදායම් වැඩි කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මග පෙන්වයි. එහෙත් ඒ සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ග එතරම් කාර්යක්ෂම නැති බව මගේ නිරීක්ෂණයයි.
වැට් බද්ද සියයට 15 සිට 18 ක් දක්වා ඉහළ නැංවීම මූල්‍ය අරමුදලේ නිර්දේශ මත කරන දෙයකි. ඇති නැති සියලු දෙනා සමාන ආකාරයකින් බදු ගෙවීම නිසා අඩු ආදායම්ලාභීන්ට වන බලපෑම් ඉතා ඉහළය. එමගින් ආදායම් විෂමතාවද ඉහළ යයි. අනෙක වැට් බද්ද වැඩි කිරීම නිසා භාණ්ඩ හා සේවා මිල තවත් ඉහළ ගොස් උද්ධමනයද ඉහළ යයි. එමගින් කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තවල වියදම් ඉහළ යයි. එහෙයින් කළ යුත්තේ අනුපාත කිහිපයකින් වැට් බදු අය කිරීමය.
සියල්ලට සහ හැමෝටම එක හා සමාන අනුපාතයකින් බදු අය කිරීම අතාර්තිකය. අනෙක බදු අනුපාතය ඉහළ යාමෙන් අපේක්ෂිත ආදායම ලැබේදැයි ඇත්තේ සැකයකි. බදු අනුපාත ඉහළ යාම නිසා ඒ ඇතැම් භාණ්ඩ පරිභෝජනයෙන් ඉවත්වීමට ජනතාව පෙළඹෙයි. එමගින් රජය බලාපොරොත්තු වන ආදායම නොලැබෙයි.
වක්‍ර බදු ඉහළ නංවනවාට වඩා ඍජු බදු ඉහළ නැංවූවානම් වඩාත් ප්‍රායෝගිකය. දේපළ හා වත්කම් පිළිබඳ බදු හඳුන්වා දුන්නා නම් එය වඩාත් සාර්ථකය. ඒ බදු පනවන්නේ ඇති හැකි අයටය. දේපළ හා වත්කම් තිබෙන අයටය. එසේ කළා නම් බදු ක්‍රමය වඩාත් යුක්ති සහගතද වෙයි.
2024 අය වැය හිඟය රුපියල් බිලියන 2,871 කින් ඉහළ යාම නිසා ණය ගැනීමේ සීමාව ඉහළ නංවා ගැනීමද බරපතළ කාරණයකි. රුපියල් බිලියන 3,450 කින් ණය ගැනීමේ සීමාව ඉහළ නංවාගෙන තිබේ. ඒ නිසා පොලී අනුපාත යළිත් ඉහළ යා හැකිය. එසේම උද්ධමනයද යළිත් ඉහළ යාමේ අවදානමක් පවතියි.
මේ අය වැය යෝජනා ගැඹුරින් සිතා තර්කානුකූල පදනමකින් සකස් නොකළ අය වැයක් වන්නේ එහෙයිනි. ආර්ථික විද්‍යාවේ සරල හා ප්‍රාථමික සිද්ධාන්ත ගැනවත් අවබෝධයක් නැති අය මේ අය වැය යෝජනා සකස් කර තිබෙන බව හෙළි වන්නේ එකිනෙකට පටහැනි මේ අයවැය යෝජනා හේතුවෙනි.
විදේශ ආයෝජන දිරිමත් කිරීමට පැහැදිලි යෝජනා නැතිකම මේ අය වැය යෝජනාවල අපැහැදිලි තවත් ලක්ෂණයකි. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට වරාය නගරය හොඳ සම්පතකි. එහෙත් ඉන් ප්‍රයෝජන ගැනීම සඳහා වූ යෝජනා මෙවර අය වැයෙහි නැත.
විදුලිය රටේ අතිවිශාල බහුතරයකට බලපාන ප්‍රශ්නයකි. විදුලි බිල ඉතා ඉහළය. ඒ නිසාම විසන්ධි කිරීම් ද ඉහළය. එය ආර්ථික ප්‍රශ්නයට අමතරව සමාජ ප්‍රශ්නයකි. එමගින් ආයෝජකයන්ට වන බලපෑම ඉතා ඉහළය. ඒ ප්‍රශ්න විසඳන නිශ්චිත වැඩසටහනක්ද මෙවර අයවැයෙහි නැත. එය මෙවර අය වැයෙහි බරපතළ අඩු පාඩුවකි.
රටේ දැනටත් පවතින්නේ කඩා වැටුණු ආර්ථිකයකි. ආණ්ඩුව කියන්නේ තිරසාර ආර්ථික සංවර්ධනයට යන කතාවකි. ඍණ ආර්ථිකය ධන කර ගැනීමට නම් නිෂ්පාදන වර්ධනය කරගත යුතුය. ඒ සඳහා ආයෝජන ඉහළ නැංවිය යුතුය. එහෙත් දැන් රජයට ආයෝජන ශක්තියක් නැත. රජයේ ප්‍රාග්ධන වියදමත් ඉතා කුඩාය.
දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමටද රජයට වැඩපිළිවෙළක් නැත. ඒ නිසා 2024 දීද ආර්ථිකයෙහි වෘද්ධියක්, වර්ධනයක් වෙතැයි බලාපොරොත්තු විය නොහැකිය. ප්‍රශ්න විසඳාගත හැක්කේ ආර්ථිකය වර්ධනය වුණොත් පමණකි. උද්ධමනය, බදු බර, ජල, විදුලිය හා ප්‍රවාහන ගාස්තු ඉහළ මට්ටමක පැවැතීම නිසා දෙස් විදෙස් පෞද්ගලික ආයෝජන සිදුවෙතැයි අපේක්ෂා කිරීමද අනුවණය.
බදු ගෙවන පිරිස විශාල කරගැනීමට සහ බදු අය කරන මුලාශ්‍ර ප්‍රමාණය වැඩිකර ගැනීමට ගෙන තිබෙන යෝජනා අගය කළ යුත්තකි. බදු කළමනාකරණය සහ පරිපාලනය සඳහා අන්තර්ජාලය යොදා ගැනීමට යෝජනා කිරීම ඒ සඳහා ඉවහල් වෙයි. එමගින් දැනට සිදුවන දූෂණ අවම කරගත හැකිය. වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයකුට බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බව සඳහන් යෝජනාවද ප්‍රසස්ථය. එවිට අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු අංකයක් (Tax Identification Number – TIN) ලැබෙයි.
ඉඩමක් වාහනයක් නිවසක් ව්‍යාපාරයක් වැනි යම් දේපලක් මිලදී ගනිද්දී ඒ ‘‘ටින්’’ අංකය ඉදිරිපත් කළ යුතුවෙයි. එමගින් අපේ හැම ගනුදෙනුවක්ම පරිගණක ගතවෙයි. එමගින් බදු බලධාරීන්ට අප පසුපස පන්නන්නට හැකිවෙයි. ඒ මිලදී ගැනීමට මුදල් කොහෙන්දැයි හෙළිකිරීමට සිදුවෙයි. එමගින් නොවිධිමත් අංශයේ සිදුවන ගනුදෙනු බදුවලට යටත් කර ගැනීමට හැකිවෙයි. එය මෙවර අය – වැයෙහි ඉතා හොඳ යෝජනාවකි.
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු