2022 වර්ෂය සඳහා රජයේ අයවැය යෝජනාව ඉදිරිපත් කරන්නට යන්නේ නොවැම්බර් මස 12 වැනිදාය. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සුදානම් වෙමින් පවතී. යෝජිත අයවැය ප්‍රකාශයේ වියදම් පිළිබඳව වූ විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර ඇත. එහි යෝජනා වී ඇති වියදම් සඳහා මුල්‍යකරණය හෙවත් මුදල් සොයාගැනීමේ ක්‍රමවේද ඉදිරිපත් වන්නේ අයවැය කතාව මගින්ය. මෙවර අයවැය විවාදය නොවැ. 13දින සිට දෙසැ. 10 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මගේ මෙවර කිවිදා දැක්මේ ප්‍රධාන සාකච්ඡාව වන්නේ රටේ මුල්‍ය තත්ත්වය සහ අයවැයෙන් ආමන්ත්‍රණය කළ යුතු යැයි හැඟී යන කරුණු කීපයක් පිළිබඳවය. ඉතාමත් සංකීර්ණ ගැටලු ගණනාවක්ම රට හමුවේ ඇති මෙවන් කාලයක අයවැයක් ඉදිරිපත් කිරීම පහසු දෙයක් නොවේ. හැමවිටම පාහේ අපහසු ඉලක්ක හඹා යන දේශපාලන පරිචයක් ඇති බැසිල් රාජපක්ෂ මහතාට මෙවර අයවැය මගින් අපේ රටේ මේ මොහොතේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණයට හැකියාව ඇති බව මගේ විශ්වාසයයි.
මුලින්ම කිව යුත්තේ අපේ රටේ ආර්ථිකය මුහුණ දෙමින් සිටින්නේ බහුවිධ ගැටලු සංකීර්ණයකට බවය. ඒ කියන්නේ ආර්ථිකය තනි ඒකකයක් ලෙසින් සලකා බැලිය නොහැකි පැටලිලි ජාලයකට ගැට ගැසී ඇති බවයි. එය එක පැත්තකින් කොවිඩ් වසංගතය සමඟ ගැට ගැසී ඇත. තවත් පැත්තකින් කලාපීය දේශපාලනයේ ඉන්දියානු චීන ආර්ථික ක්‍රියාකාරීත්වයත් සමඟ ගැට ගැසී ඇත.
තවත් පැත්තකින් අපේ ආර්ථිකය ගෝලීය දේශපාලන ප්‍රවණතා සමග සම්බන්ධ වී ඇති බවද පැහැදිලි කාරණයකි. GSP සහනය වැනි දේවල් සෘජුවම රටේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමග සම්බන්ධවීමෙන් පෙනී යන්නේ ඒ කාරණයයි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මුදල් හෙවත් විදේශ මුල්‍ය ශක්තිය අපේ රටේ ආර්ථිකයට සෘජුවම සම්බන්ධ වී ඇත.
විදේශ මුදල් රට තුළට ගලා ඒම නිශ්චිත කර ගන්නේ නැතිව රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ හැකියාවක් නැත. එය එසේ වෙන්නේ රටක් ලෙසින් අපේ රටේ සේවා සහ අවශ්‍යතා විශාල වශයෙන් විදේශීය ආනයන සමඟ සම්බන්ධ වී ඇති නිසාය.
අපේ රටේ ඛනිජ තෙල් අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම විදේශයෙන් ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය භාණ්ඩයකි. අපේ රටේ සීනි අවශ්‍යතාවෙන් සියයට 80 වැඩියෙන් සපිරෙන්නේ පිටරටින් ගෙනෙන සීනි වලිනි. අපේ රටේ කිරිපිටි අවශ්‍යතාවෙන් සියයට 90ක් තරම් සම්පූර්ණ වෙන්නේ විදේශීය ආනයන හෝ විදේශීය කොම්පැනි මගින්ය. අපේ රටේ තිරිඟු පිටි අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ විදේශීය අනයන මතය. අපේ රටේ සිමෙන්ති අවශ්‍යතාවෙන් සියයට 70ට වඩා පැමිණෙන්නේ විදේශයෙන්ය.
මේ ලැයිස්තුව තවත් දිගින් දිගටම ලිවිය හැකිය. මේ සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය සමග සම්බන්ධ වන බව මේ අනුව පැහැදිලිය. ඉහත ලැයිස්තුවට එක් කරන්නට අමතක වූ අනෙක් භාණ්ඩය ගෑස්ය. අපේ රටේ ගෑස් අව්‍යතාව සම්පූර්ණයෙන්ම ගෙන්වන්නේ පිටරටින්ය.
මේ භාණ්ඩ වල මිල පාලනයක් කරන්නට නම් පාලනය කළ යුත්තේ අපි රටක් ලෙසින් ඩොලරයක් සඳහා ගෙවන මුදලය. ඩොලරයට සාපේක්ෂව දේශීය මුදලේ (රුපියලේ) අව ප්‍රමාණවීම හේතුවෙන් මා ඉහතින් කියූ සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමට නියමිතය.
ඒ නිසාම රට තුළ ඇති රුපියලේ තත්ත්වය රටට එන ඩොලරයේ ප්‍රමාණය සමග ගැට ගැසී ඇති ස්වභාවය පැහැදිලිය.
මෙවර අයවැය යනු අභියෝගාත්මක එකක් යැයි කිව යුත්තේ විදේශ මුදල් සොයා ගැනීමේ අපහසුතාව එක් ප්‍රධාන කාරණයක් ලෙසින් පවතින නිසාය. එය එසේ වෙන්නේ වත්මන් ආණ්ඩුවේ අවුලක් නිසා නොවේ. අපේ රටේ ආර්ථිකය තුළ නිදහසින් පසු කාලයේ සිදු වූ කරුණු රාශියක් මේ අර්බුදයට හේතුවය.
පසුගිය වසර 70කට අධික කාලය පුරා රටක් ලෙසින් අපි ගත් විදේශ ණය ප්‍රමාණය ඉතාමත් විශාලය. ඒ සමහර ණය සඳහා වාරික ගෙවීම අපේ ආර්ථිකයේ එක් ප්‍රධානතම කොන්දේසියක් බවට පත්වී හමාරය. මේ ණය මගින් රටේ සිදු කළ සමහර සංවර්ධන යෝජනා ක්‍රම මගින් එතරම් ප්‍රතිලාභයක් ලැබෙන්නේද නැත. ඒ නිසාම විදේශ ණය වාරික ගෙවීම සඳහා තවත් වර්ගයක ණය ගැනීමට සිදුවූ අවස්ථාද විය.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු සංචාරක ව්‍යාපාරය වැනි කේෂ්ත්‍රවලින් ලැබුණු ආදායමත් අහිමිවීම මේ තත්ත්වය තවත් වර්ධනය කළේය. රටේ ආපනයනයෙන් සහ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල තවමත් යම් පදනමක පවතින බව සැබෑවක්ය. එහෙත් මේ තත්ත්වය මීට වඩා ශක්තිමත් සහ ස්ථාවර තැනකට ගෙනයාම සඳහා සැලසුම් ඉදිරිපත් කිරීම මෙවර අයවැයේ එක් බලාපොරොත්තුවක් යැයි කිව හැකිය.
ඩොලර් ප්‍රශ්නය හැරුණු විට එයටම බැදුණු අනෙක් ගැටලුව වන්නෙ රාජ්‍යයේ නඩත්තුව සඳහා මුල්‍යකරණය කිරීමේ ක්‍රියාවලියයි.
2020 වර්ගයේ වත්මන් රජය විසින් හඳුන්වාදුන් නව බදු ප්‍රතිපත්තිය මගින් ආරම්භ කළ ආර්ථික ගමන් මග වූයේ ශක්තිමත් පෞද්ගලික අංශයක් ගොඩ නගා ගනිමින් ඉදිරියට යන ආර්ථිකයකි. එහිදී සමහර බදු අඩු කළේ ඒ පරමාර්ථය මත පදනම් වෙමින්ය.
මේ නව බදු ප්‍රතිපත්තිය පිළිබඳ විවේචනය කරන අයගේ මතය වන්නේ 2019 වර්ෂයේ බදු ආදායම රු: බිලියන 1025 සිට 2020 වර්ෂයේ රුපියල් බිලියන 523 දක්වා අඩු වූ බවය. එහෙත් රජයේ අදහස වන්නේ මේ සරල බදු ක්‍රමය මගින් ආර්ථික සමාජයේ වැදගත් කලාපයක් වන පෞද්ගලික ව්‍යවසායකත්වය ශක්තිමත් වූ බවයි.
මෙවර අයවැයෙන් රටේ බදු ක්‍රමය පිළිබඳ පළල් වෙනසක් සිදු වෙතැයි මා බලාපොරොත්තු වෙන්නේ නැත. එහෙත් මේ අංශය පිළිබඳ යම් ශක්තිමත් මැදිහත්වීමක් සිදුකිරීමේ වැරැද්දක්ද නැත.
රාජ්‍යයේ මුල්‍යකරණය පැත්තෙන් බලන විට පෙනී යන අනෙක් වැදගත් කාරණය වන්නේ ඉතාමත් විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කරන්නට වීමය.
රටේ රාජ්‍ය සේවයේ නියුතු ප්‍රමාණය මේ වනවිට ලක්ෂ 16ක් ඉක්මවා ගොස් ඇති බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් ඉදිරිපත් වෙන කාරණයය. මේ රාජ්‍ය සේවය යනු රජයේ ආයතනවලට අවශ්‍ය නිසාම බඳවා ගත් අය නොව රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවෙන දහස් ගණනක් උපාධිධාරීන්ගේ රැකියා අවශ්‍යතාව පිරවීමට බඳවා ගත් අයත් ඇතුලත් කණ්ඩායම්ය. බරපතළ ලෙසින් දේශපාලනකරණය වී ඇති රජයේ රැකියා ලබාදීම පිළිබඳ කාරණය මේ වනවිට පාලනය කරගත නොහැකි තැනකට වර්ධනය වී ඇත.
මේ පැත්තෙන් බලන විට මේ ප්‍රශ්නය අපේ අධ්‍යාපන ක්‍රමය සමගද ගැට ගැසී ඇත. අපේ අධ්‍යාපන ක්‍රමයෙන් (පාසල්/විශ්වවිද්‍යාල) එළියට එන තරුණයා යනු විවෘත රැකියා වෙළඳපෙළ තුළ ඉල්ලුමක් ඇති නිෂ්පාදනයක් (Product) නොවන බව මේ තත්ත්වයට හේතුවය. අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් නොමැතිව විශ්වවිද්‍යාල තොග ගණන් අලුතින් බිහි කරමින්, මේ පන්නයේ උපාධිධාරීන් වැඩි වැඩියෙන් සමාජයට දැමීමෙන් වෙන්නේ මේ රාජ්‍ය සේවය තවත් දෙතුන් ගුණයකින් වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැති තැනට ප්‍රශ්නය දිග් ගැසීමය. එය මුදල් ඇමතිතුමාගේ ප්‍රශ්නයක් නොවුණත් අවසානයේ රාජ්‍ය වියදම පැත්තෙන් එය ඔහුට ප්‍රශ්නයක් වීම අයවැය තුළ දැකිය හැකි කාරණයක්ය.
රාජ්‍යයේ මුල්‍ය සම්බන්ධ ඊළඟ බරපතළ කාරණය වන්නේ කිසිදු ලාභයක් හෝ සමාජ සුබසාධනයක් නොලබමින් සමහර රාජ්‍ය ව්‍යවසාය පද්ධතියක් නඩත්තු කන්නට සිදුවීමය. මේ රාජ්‍ය ව්‍යපාර සමහරක් පවත්වා ගෙන යන්නේ වෙන කිසිම හේතුවක් සඳහා නොව හුදු ඒ ආයතනවල සිටින සේවක පිරිස නඩත්තු කිරීමටය.
මේ ආයතන පද්ධතිය පිළිබඳ පළල් සාකච්ඡාවක් රට තුළම ඇති විය යුතුවා මිස එය මුදල් ඇමැතිවරයාට තනියෙන් විසඳිය හැකි දෙයක්ද නොවන බව පැහැදිලිය. මේ සමහර ආයතන පවත්වා ගෙන යාමට විශාල මුදලක් ගෙවන්නට සිදුවෙනවාට අමතරව ඒ සමහර ආයතන පවත්වාගෙන යාමේදී සිදු කරන අවභාවිතාව සහ දූෂණය හේතුවෙන්ද රාජ්‍යයේ වියදම බරපතළ බලපෑමකට ලක්වෙන බව පෙනී යන කාරණයකි.
නිදර්ශණයකට අපේ රටේ ජාතික ගුවන් සේවය, ජාතික ගුවන් විදුලිය, ජාතික රූපවාහිනිය වැනි ජාතික යැයි සැලකෙන ආයතන ගත හැකිය. මේ ආයතන සියල්ලම පවත්වාගෙන යන්නට සිදුවී තිබෙන්නේ රාජ්‍යයට යම් ආකාරයක බරපැනක් දරන්නට සිදුවෙමින්ය. මේවා පවත්වා ගෙන යන්නේ එක පැත්තකින් මේවායින් ජාතික සේවයක් සිදු වෙනවා යන තර්කය මතය. අනෙක් පැත්තෙන් ඒවායේ සිටින සේවක කණ්ඩායම් නඩත්තු කරන්නටය. ඒ වෙනුවෙන් රටේ බදු මුදලින් වැය කරන මුදල් ප්‍රමාණය ඉතාමත් විශාලය.
ජාතික ගුවන් සේවය හෙවත් ශ්‍රීලංකන් ආයතනය ආපසු රජයට පවරා ගත් දින සිට මේ දක්වා ගණන් බලා ඇති පාඩුව බිලියන 372කි. ඒකියන්නේ කෝටි 3,720කි.
ඒ ආයතනය 20/21 වර්ෂ තුළ කෝටි 450 අලාභයක් ලබා ඇතැයිද වාර්තා විය. ඒ කියන්නේ රු: මිලියන 45,674කි. මේ සියලු තත්ත්වයන් යටතේ රාජ්‍යයේ ගුවන් සේවය නඩත්තු කරන්නට රජයට මුදල් යොදවන්නට සිදුවී ඇත. 2020 වර්ෂයේ කැබිනට් මණ්ඩලය මේ සඳහා වියදම් කිරීමට එකඟවී ඇති මුදල ඩොලර් මිලියන 500ක් වන අතර එයින් ඩොලර් මිලියන 240 මේ වනවිටත් ඒ ආයතනයට ලබාදී ඇත. මෙවැනි බරපතළ ආකාරයේ මුල්‍යදායකත්වයක් සපයමින් ජාතික ගුවන් සේවය පවත්වාගෙන යන්නට රාජ්‍යයට සිදුවී තිබීම අපේ රටේ රාජ්‍ය ආයතන පද්ධතියේ ස්වභාවය පිළිබඳව පෙන්නුම් කරන්නේ කනගාටුදායක කතාවකි.
ගුවන් යානයක් දෑසටවත් නොදැක්ක ඈත ගමේ ජනතාවගේ බදු මුදලින් ගුවන් සේවයක් පවත්වා ගෙන යන්නට සිදුවීම රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් කියන්නේ ඉතාමත් සෝචනීය කතාවක් බව ඉතාමත් පැහැදිලිය.
මීළඟට මෙවර අයවැය සම්බන්ධව වැදගත්විය හැකි කාරණය වන්නේ රටේ රාජ්‍ය සුබසාධනය වඩාත් ඵලදායි ආකාරයෙන් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව දිසාවක් ලකුණු කිරීමය. යටත් විජිත යුගයෙන් ආරම්භ වෙන බරපතළ සුබසාධන රාජ්‍යයක් මේ වනවිට අප විසින් ගොඩ නගා ඇති බව කවුරුත් දන්නා කරුණකි.
එහි අධ්‍යාපනය, සෞඛ්‍යය පමණක් නොව පිටරටින් ගෙනෙන ඛනිජ තෙල් ටික පවා ලබා දෙන්නේ සුබසාධන ආකෘතියෙන්ය. ඒ කියන්නේ තෙල් මිලදී ගන්න මිලටත් වඩා අඩු මුදලක් පාරිභෝගිකයාගෙන් අය කර ඉතිරිය රජයෙන් දැමීමය. මේ ආකෘතිය නඩත්තු කරගෙන යන සුබසාධනයක් යනු දීර්ඝ කාලයක් කළ හැකි දෙයක් නොවන බව මාගේ අදහසය.
ඉදිරිපත් වෙන්නට නියමිත අයවැයේ ආමන්ත්‍රණය කළ යුතු යැයි මට සිතෙන මේ කරුණු කීපය මගේ මේ සතියේ කිවිදා දැක්මය.
මහාචාර්ය චරිත හේරත්