මෙවර කිවිදා දැක්ම ලියන්නට තිබෙන්නේ වත්මන් රජයේ 2024 අය වැය ලේඛනය පිළිබඳව රටේ සාකච්ඡාවක් ඇති වී තිබෙන වෙලාවකය. අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ තවත් සතියකින් පසුවය. ඒ නිසාම මෙවර මා ලියන්නේ අයවැයට සම්බන්ධ කාරණා කීපයක් පිළිබඳවය.
හරියටම කිවහොත් අයවැයට පෙර සිතා බැලිය යුතු කරුණු කීපයක් පිළිබඳවය. පැරණි කියමනක් තිබුණේ ‘පනින්නට පෙර සිතා බලනු’ කියාය. මෙවර අයවැයත් එක්තරා ආකාරයක පැනීමක්’ බව මගේ අදහසය. මේ පැනීමත් සමග රටේ බොහෝ වෙනස්කම් සිදුවීමට නියමිතය. ‘අයවැයට පෙර සිතා බලනු’ යැයි කිව හැක්කේ ඒ නිසාය.
මෙසේ කියන විටම සමහරෙක් කල්පනා කරනු ඇත්තේ මා කියන කාරණා තනිකරම ආර්ථිකයට අදාළ දේවල් විය හැකි යැයි කියාය. එහෙත් එය එසේ නොවේ. මගේ අදහස වන්නේ අයවැය සමග සම්බන්ධ දේශපාලන ආර්ථික ක්ෂේත්‍රයේ (Political Economy) කරුණු කීපයක් සාකච්ඡා කිරීමය.
ආර්ථිකයේ තත්ත්වය
බොහෝ අය දන්නා පරිදි මෙරට ආර්ථිකය තිබෙන්නේ බරපතළ පුපුරා යාමකය. මේ ආර්ථික කඩා වැටීම 2021 සිට තවත් සංකීර්ණ වූ අතර එය එළියට පැන්නේ 2022 විදේශ සංචිත කළමනාකරණය කරන්නට නොහැකි වීමත් සමගය. 2022 එවකට පැවති ගෝඨාභය ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශය මේ විදේශ සංචිත ගැටලුවට අවධානය යොමු කරනවාට වඩා වෙලාවක් ගත කළේ කැබිනට් මණ්ඩලයේ අභ්‍යන්තර දේශපාලන ආරවුල් පියවා ගැනීමටය.
එවකට ඛනිජ තෙල් ඇමැති ගම්මන්පිලට එරෙහි අභ්‍යන්තර ගැටලු එළියට ආවේ ඛනිජ තෙල් ආනයනයට මුදල් නොදෙන ආකාරයේ මැදිහත් වීමකින්ය. අන්තිමට ගම්මන්පිලට යන්නට සිදුවූ බව සැබෑවක්ය. එහෙත් ඒ යාම හරහා ඇතිකල බලශක්ති ප්‍රභවයන්ගේ ඌනතාව නිමාවට පත් වූයේ ජනාධිපති ගෝඨාභය, අගමැති සහ කැබිනට් මණ්ඩලයම ඉවත් වී යන තැනට වැඩ සැලසීමෙන්ය.
මා කියන්නේ එවකට රටේ ඇති තරම් විදේශ සංචිත තිබී එය වැරදියට කළමනාකරණය කළා කියා නොවේ. විදේශ සංචිත පිළිබඳව බරපතළ ගැටලුවක් තිබූ බව ඇත්තය. එහෙත් එය ජනතාවට දැනෙන සුළු පැට්රල්, විදුලිය සහ ගෑස් අර්බුදයක් බවට ක්ෂණිකව වර්ධනය වුණේ ඒ ආණ්ඩුවේ තිබූ සමහර අභ්‍යන්තර ගැටලුකාරීත්ව නිසාය.
මේ ආර්ථික ගැටලුවේ ආරම්භය සිදුවුණේ 2021 හෝ 2022 නොවන බවත් මෙහිදී සඳහන් කළ යුතුම කාරණයකි. 2008 සිට ආරම්භ වූ ISB ණය හෙවත් වැඩි පොලියට, අඩු කාලයකින් ගෙවිය යුතු ස්වෛරී බැදුම්කර ණය ගැනීම වත්මන් අර්බුදයේ එක පැත්තක්ය. 2015-19 යහපාලනය යැයි කියාගත් ආණ්ඩුව මේ ISB ණය ගැනීම පැත්තෙන් ‘කප්’ ගැහුවේය. ඒ කාලයේ ගත් ණය අනෙක් සෑම කාලයකටම වඩා වැඩිය.
දෙවනුව මේ ආර්ථික අර්බුදයටය හේතුව වූයේ අපරිණත හා ඩීල් මත පදනම්ව අසමාන ලෙසින් පටන් ගත් විදේශීය ණය ව්‍යාපෘති දේශපාලනයක් පටන් ගැනීමය. වරායවල්, ගුවන් තොටුපොළවල්, කුලුනු සහ සම්මන්ත්‍රණ ශාලා වැනි තැනින්තැන පටන් ගත් ව්‍යාපෘති අධික ණය මතින් පැමිණියේ මේ හරහාය. රටට ව්‍යාපෘති පැමිණියේ ශක්‍යතා අධ්‍යයනයකින් නොව ඒ ඒ ව්‍යාපෘතිය ගෙනන සහචර තැරව්කරුවාට හා අදාළ කණ්ඩායම්වලට ඒ ඒ ව්‍යාපෘතිවලින් ලැබෙන කොමිස් මුදල අනුවය. හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළට සිදුවුණේ එම සන්තෑසිය ය. ඒවා සඳහා ණය ලබා ගැනීමට හා ඒවා කොන්ත්‍රාත්කරුවන් හරහා ඉදිකිරීමට ගත් මෙහෙය එම ව්‍යාපෘති ‘මාකට්’ කිරීමට ගත්තේ නැත.
මේ වැනි කරුණු රාශියක් නිසා 2008 සිට ආර්ථිකය ඉදිරියට ආවේම බරපතළ අභ්‍යන්තර අර්බුද ගණනාවක්ම සමගිනි. 2022 පුපුරා ගියේ ඒ අර්බුද සහිත ආර්ථිකයය.
දැන් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටලු 03 එක ලෙස මතු වී ඇත. එයින් පළමු ගැටලුව වන්නේ විදේශ විනිමය අර්බුදය විසදා ගැනීමය. රටට අවශ්‍ය ආනයන සිදුකිරීමට අවශ්‍ය තරම් විදේශ මූල්‍යය නොමැතිවීම නිසා මතු වූ ගෙවුම් ශේෂ අර්බුදය 1976 සිට මේ දක්වාම රටේ ආර්ථිකයට බරපතළ බලපෑමක් සිදුකරනු ලැබුවේය. එය කළමනාකරණය කළ නොහැකි තරම් සංකීර්ණ වී ඇත. දෙවන ගැටලුව වන්නේ ආණ්ඩුවේ අය වැය අතර පවතින හිඟය පියවා ගැනීමයි. අය වැය හිඟය යනු වෙනත් ප්‍රශ්න ගණනාවකටම හේතු වූ අර්බුදයකි. 2022 දක්වා කාලයේ අය වැය හිගය සමනය කළේ අභ්‍යන්තරික ණය හෙවත් අවිධිමත් ලෙස රුපියල් වෙළඳපොළ ප්‍රසාරණය කිරීම හරහාය.
කැමැති ගණනට මුදල් අච්චු ගැසුවා යැයි කියන්නේ ඒකටය. IMF එකට අනුව මහ බැංකු පනතක් සම්මත කරගෙන තිබෙන තත්ත්වයක තවදුරටත් මුදල් අච්චු ගසා අයවැය හිඟය පියවා ගත නොහැකිය. ඒ නිසා මෙවර අයවැයෙන් තව තවත් බදු වැඩි කරනවා හැර වෙනත් විසඳුමක් නැති ගානට තත්ත්වය සංකීර්ණ වී ඇත. තුන්වෙනුව ආණ්ඩුව මුහුණ දී ඇති බරපතළ අර්බුදය වන්නේ ණය කළමනාකරණය කර ගැනීමයි. 2022 සිට රට බංකොලොත් රාජ්‍යයක් වී ඇත්තේ ගෙවා ගැනීමට නොහැකි තරමට විශාල වූ ණය අර්බුදයකට රට හිරවී ඇති නිසාය.
මෙවර අයවැයට පෙර සිතා බැලිය යුතු ප්‍රධානතම කාරණයක් වන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ මේ අභියෝග තුන කළමනාකරණය කිරීමට මෙතෙක් කාලයක් පුරාවට අත්හදා බැලූ පිළිතුරුම නැවතත් යෝජනා කිරීම පලක් වේද යන්නය. විදේශ සංචිත වර්ධනය කරන්න අලුත් යෝජනා කිසිවක් මේ දක්වා වත්මන් රජය ඉදිරිපත් කර නැත. ඒ සඳහා ආණ්ඩුවේ බොහෝ අය යෝජනා කරන්නේ රටේ තියෙන යම් ව්‍යාපාරයක් හෝ රාජ්‍ය දේපොළක් කාට හරි විකිණීමටය. අය වැය හිඟය පියවන්නට හදන්නේ තියෙනවාටත් වඩා වැඩි බදු බරක් ජනතාව මත පටවමින්ය.
මහා බදු වංචා, අසාමාන්‍ය බදු සමා ආවරණය කරමින් සමාජයේ යටි මහලේ ජනතාවගෙන් බදු ගැනීමට පිඹුරුපත් සකස් කිරීම ඊළඟ ක්‍රියාවලියයි. ණය අර්බුදය විසදීමට යැයි කියමින් IMF න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නට ගොස් රටේ ETF / EPF අරමුදල් අනතුරට ලක්කිරීම හැර වෙනත් ධනාත්මක යමක් සිදුවූයේ නැති ගානය. මේ ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ මාලාවක් හරහා සිදුකරන මූල්‍ය හා රාජ්‍ය වියදම් ආකෘතියකින් මිස පසුගිය වසරේ මෙන් වූ අය වැය යෝජනාවකින් මේ අභියෝග 03 (විදේශ විනිමය අර්බුදය. අය වැය හිගය සහ ණය අර්බුදය) විසදිය හැකි යැයි මා සිතන්නේ නැත.
ආර්ථිකය සහ දේශපාලනය
වත්මන් ආණ්ඩුවේ සමහරුන් සහ විපක්ෂයේ සමහර අය සිතන්නේ මෙරට ආර්ථිකය ගොඩ නැගීම කළ හැක්කේ දේශපාලන ක්‍රියාදාම වෙතින් වෙනස්ව සිතීමෙන් බවයි. මේ අදහස දරන්නෝ බොහෝ විට තර්ක කරන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ තීරණ ගත යුත්තේ දේශපාලන අභිලාෂ නොසලකා බලා කියාය. මගේ අදහස වන්නේ මේ ආකල්පය අවසාන වශයෙන් සේවය කරන්නේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවල සහචර ධනවාදීන් හෙවත් ‘ක්‍රෝනි කැපටලිස්ට්ලා’ ටය.
රටේ ජනතාවගේ අභිලාෂය නියෝජනය නොකරන දේශපාලකයන් සේවය කරන්නේ තෝරාගත් කණ්ඩායමකට පමණය. රටේ ජනතාවගේ අභිලාෂය නොසලකා හරිනු ලබන ආර්ථිකයක් සේවය කරන්නේ තෝරාගත් කණ්ඩායමකට පමණය. ඒ නිසා මෙරට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ ජනතා අභිලාෂය රැකෙන පරිදිය.
වත්මන් ආණ්ඩුවට තිබෙන එක ප්‍රධාන විවේචනයක් වන්නේ මේ ආණ්ඩුවට ජනමතයක් නොමැති බවය. ජනමතයක් තිබේ දැයි බලන්නට හැකියාවක් නැත්තේ මේ ආණ්ඩුව කිසිදු ආකාරයකින් ඡන්දයක් පවත්වන්නේ නැති නිසාය. ඒ නිසා දැන් රටේ ආර්ථිකය ගමන් කරන්නේ දේශපාලනමය අධිකාරියකින් තොරවය.
මෙවර අයවැයෙන් මතුවිය හැකි එක් කාරණයක් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ඉහත සඳහන් ආකාරයේ ‘දේශපාලනයෙන් පිටත සිට සිදුකරන ආර්ථික ක්‍රියාවලියක්’ අනුමත නොකිරීමේ ඉඩක් ඇති බවයි. වෙනත් ලෙසකින් පැවසුවහොත් වත්මන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලබන මෙම අය වැය ලේඛනය ජනතා පදනමක් ඇති කිසිදු දේශපාලන පක්ෂයක සහායක් නැති හුදු තාක්ෂණික අයවැයක් වීමේ බරපතළ ඉඩක් ඇත.
මේ අය වැය ලේඛනයට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ස.ජ.බ. පක්ෂයේ සහායක් නැත. එසේම දැනට විපක්ෂයේ සිටින ස්වාධීන මන්ත්‍රීවරුන් 45 ක් පමණ වන අතර ඒ අයගෙන් 35 ක් වත් මේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාදාමයට එකඟතාව දක්වා නැත. තුන්වෙනුව ජ.වි.පෙ. සහ ටී.එන්.ඒ මන්ත්‍රීවරුන්ගේ සහාය මේ සඳහා නොලැබෙන බව පැහැදිලිය. එපමණක් නොවේ. ආණ්ඩුවට සහාය පළකරන SLPP මන්ත්‍රී කණ්ඩායම තුළ ද මේ ආර්ථික ක්‍රියාවලියට බරපතළ විවේචනයක් මතුවීමේ තත්ත්වයක් ගොඩ නැගී ඇත.
මේ සියල්ලෙන් පෙනී යන්නේ ‘දේශපාලනයෙන් ඉවත් වූ ආර්ථිකයක්’ යන ක්‍රියාවලියට වැඩි ආයුෂක් නැති බවය. මම හිතන්නේ මෙවර අය වැයට පරෙ සිතා බැලිය යුතු ප්‍රධාන කාරණයක් බවට මේ තත්ත්වය පත්වන බවය.
ආර්ථිකයට දේශපාලන එකඟතාවක්
මේ අනුව මගේ නිරීක්ෂණය වන්නේ මෙවර අය වැය යනු රටේ ආර්ථිකයේ පැත්තෙන් පමණක් නොව දේශපාලනය පැත්තෙන් ද ඉතාමත් තීරණාත්මක එකක් වන බවයි. විධායකය සහ එහි තවත් එක දිගුවක් වූ කැබිනට් මණ්ඩලය විසින් රටේ ආරථිකය සම්බන්ධව වියුක්තව ගනු ලබන තීරණ සංයුක්තව සලකා බැලීමේ ඉඩක් සමහර විටක මෙවර අයවැයත් සමගින් උදා විය හැකිය. ඒ කියන්නේ මෙවර අයවැයත් සමගින් වත්මන් ආණ්ඩුවට මැතිවරණයක් හරහා ස්වකීය වැඩපිළිවෙළ අනුමත කර ගැනීමේ තැනට තල්ලුවීමේ ඉඩක් ඇති බවය.
මගේ පෞද්ගලික අදහස වන්නේ රට වැටී ඇති අර්බුදයේ තරමේ හැටියට හුදු ජනාධිපතිවරණයක් නොව වැඩපිළිවෙළක් සහිත ජනතා නියෝජිත තෝරා ගැනීමක් දක්වා ගමන් කිරීමේ වැරැද්දක් නැති බවය.
ඒ නිසා මෙවර අයවැය යනු හුදු සාම්ප්‍රදායික අර්ථයේ අයවැයක් නොවන බව මගේ වැටහීමය. එක පැත්තකින් මවිසින් සඳහන් කළ ආර්ථික තලයේ අර්බුද 03 විසදන ආකාරය අයවැයට පෙර හරියට සිතා බැලිය යුතුව ඇත. දෙවනුව රටේ ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය වියුක්ත භාවයෙන් මුදවා දේශපාලනය සමග සම්බන්ධ කළ යුතුය. තුන්වෙනුව අයවැය සඳහා වූ අනුමැතිය පාර්ලිමේන්තුවේ බහුතරයෙන් නොලැබෙන්නේ නම් මහ මැතිවරණයකින් මේ අයවැය ක්‍රියාවලිය නිමාවනු ඇත.
මේ සියල්ල අයවැයට පෙර සිතා බැලිය යුතු බව මගේ කිවිදා දැක්මය.
මහාචාර්ය චරිත හේරත්