රට පත්ව ඇත තත්ත්වය, අවශ්‍ය තීරණ කලින් නොගත්තේ ඇයි? අර්බුදය විසඳීමට ඇති මාර්ගය කුමක්ද යනාදී කරුණු සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය :- රට අතිශයින්ම තීරණාත්මක අවධියක් පසුකරමින් සිටිනවා. හිටපු මහ බැංකු අධිපති හැටියට මේ ගැන කියන්නේ කුමක්ද?
පිළිතුර :- ඒක හරියටම හරි. ඒ සමඟ රට යන දිශාව තීරණය කරන්න වෙනවා. අපට විකල්ප නැති බව ඇතැම් නායකයන් කියනවා. ‘‘නෝ ඔප්ෂන්’’ කියනවා. මේවා කියනවිට යම් චකිතයක් දැනෙනවා. කවුරු වුණත් ‘‘නෝ ඔප්ෂන්’’ තැනකට වැටුණොත් නැවත ගොඩ එන්න අමාරුයි. එහෙම වුවොත් ඕනෑම දුකක් විඳින තැනකට තල්ලු වෙනවා. 2005 දී 2006 දී ඔය කතාවම කිව්වා. සාම මාර්ගය හැරෙන්නට වෙනත් විකල්ප නැති බවට අදහස් පළවුණා. එහෙත් ඒ කතාව නොපිළිගත් නායකයන් එදා සිටියා. ඒ අය වෙනත් විකල්පයකට ගියා. ඒ නිසා රට නිදහස් වුණා. එසේ නොවුණා නම් අද මේ රට තිබෙන්නේ වෙනස්ම තත්ත්වයක. එවැනි නිර්භීත තීරණයක් ගතයුතු තැනකට අද රට පැමිණ තිබෙනවා. ‘‘නෝ ඔප්ෂන්’’ කතාව අනුව ගියොත් ඉදිරියේදී ඉතා දරුණු ප්‍රතිඵලවලට මූණ දෙන්නට වෙනවා. යම් හෙයකින් වෙනත් ගමනක් යන්නට ඕන කියල තීරණයක් ගෙන කටයුතු කළොත් රටට අනාගතයක් තිබෙවි.
ප්‍රශ්නය :- ආර්ථිකය හැසිරවූ ප්‍රධාන පුද්ගලයා හැටියට මේ අර්බුදයට පෙර අවශ්‍ය තීන්දු තීරණ ගත්තා නම් අද මේ තත්ත්වය ඇතිවන්නේ නැහැ නේද?
පිළිතුර :- අවශ්‍ය තීරණ ඒ කාලයේ ගත්තා. ඇතැම් තීන්දු ප්‍රමාද වුණා කියා සමහර විට අද බලන විට සිතන්න පුළුවන්. ඒ වුණත් අද තිබෙන ණය අර්බුදයට අවශ්‍ය තීරණ ගෙන කටයුතු කරමින් සිටියා. සමහර විට රටක් හැටියට ඉවසීමෙන් කටයුතු කිරීම ඒ කාලයේ අඩු වෙන්න ඇති. ඒ නිසා ප්‍රශ්න මතුවෙන්නත් ඇති. මම මහ බැංකු අධිපති හැටියට සිටි මාස හයක කාලයේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 4000 ක් පමණ සොයා ගැනීමට හැකි වුණා. ඒ වගේම සියලු ණය ගෙවා දැමීමට ඒ කාලයේ හැකි වුණා.
යම් ප්‍රමාදයක් තිබුණත් සෑම භාණ්ඩයක්ම පාහේ ගෙන්වීමට හැකිවූවා. ඒවා ජනතාවට දැරිය හැකි මිලකට වෙළෙඳපොළේ තිබුණා. බදු වැඩි කිරීමක් අවශ්‍ය වුණේ නැහැ. මේ ආකාරයේ සාධනීය පැති තිබුණා. ඒ වුණත් තව ටික කලක් ඉන්න ඉවසීමක් ජනතාවට තිබුණේ නැහැ. ආණ්ඩු වෙනස් වුණා. ඉන්පසු ණය පැහැර හැරියා. මූල්‍ය අරමුදලට යාමට තීරණය කළා. මේවා හරහා යම් පීඩනයක් එනවා. ඉදිරියට යන්න වෙන්නේ මේවා එක්ක. ඒක ඉතා අසීරු ගමනක්. ඒ අනුව එදා තෝරා ගැනීම් නිවැරදි බව වැඩි කලක් යාමට පෙර තේරේවී. අදට වඩා එදා හොඳයි නේද කියා සමහර විට සිතේවි. ඒක ඉතිහාසයට බාරදෙමු.
ප්‍රශ්නය :- විදෙස් ණය ගෙවීම නතර කර රටට ඩොලර් ඉතිරි කර ගන්න කියා ඔබේ කාලයේ විවිධ පාර්ශව කිව්වා. ඒවාට ඇහුන්කන් දුන්නා නම් අද මේ අර්බුදය නැහැ නේද?
පිළිතුර :- එහෙම කළා නම් මේ අර්බුදය මීට කලින් ඇති වෙනවා. ණය පැහැර හරිනවිට ඒ ක්ෂණයෙන් අර්බුදය ඇති වෙනවා. තමන් ගත් ණය නොගෙවන බව යම් අයෙක් හෙට බැංකුවට කිව්වොත් ක්ෂණිකවම අර්බුදය ඇති වෙනවා. නම ක්‍රිබ් එකට යනවා. වෙනත් කිසිම තැනකින් ණයක් ගන්න ලැබෙන්නෙත් නැහැ. ණය දීමට සිටි සියලු දෙනා එය නවතා දමනවා. ගෙදර ළඟ තිබෙන කඩෙන්වත් ණයට බඩු ටිකක් ගන්න ලැබෙන්නේ නැහැ. බංකොලොත් යන ලේබලය ඇලවෙනවා. පවුලේ අය දිහා පවා බලන්නේ වපර ඇසින්. ඒ නිසා රට බංකොලොත් කියන කතාව කිසිවිට කිව යුතුව තිබූ දෙයක් නෙවෙයි. අමාරු තත්ත්වයක් තිබුණත් එයින් ගැලවෙනව මිස අපි බංකොලොත් කියා ලෝකයට කියන්න යන්නේ නැහැ. ඒත් ඒ දේ කලා.
බංකොලොත් කියා කියන්න හේතුවක් තිබුණේ නැහැ. ලංකාවට මුදල් ලැබිය යුතුව තිබූ මාර්ග සාක්‍ෂි සාධක සහිතව දිවුරුම් ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට මම පෙන්නා දී තිබෙනවා. එසේ තිබියදී අපි ණය ගෙවන්නේ නැහැ කියන්න බලධාරීන්ට කිසිම අයිතියක් නැහැ. මම ලියූ පොතෙත් ඒ ගැන ලියා තිබෙනවා. මම ඒක දකින්නේ ආර්ථික ඝාතකයෙක්ගේ වැඩක් හැටියට. ණය ගෙවන්නෑ කියූ ගමන්ම අත්වන ඉරණම ඕන කෙනෙක් දන්නවා. මම හිතන්නේ මේක ඕනකමින්ම කළ වැඩක්. මේවා කළ අය ගැන අද රටටම තිබෙන්නේ ප්‍රශ්නයක්. එදා අපි ණය ගෙවූ නිසා ඔය ප්‍රශ්න මතුවුණේ නැහැ. ඒ නිසා කවදා හෝ ප්‍රශ්නවලින් ගැලවීමේ අවකාශය අපට තිබුණා. දැන් ඒ අවකාශය දරුණු ලෙස වැසී යමින් තිබෙනවා. ණය නොෙගවීමත්, අයි.එම්.එෆ් හැර වෙනත් විකල්ප නැතැයි සිතීමත් එයට දැඩිව බලපා ඇති බවත් කිව යුතුයි.
ප්‍රශ්නය :- ඔබ සිටියා නම් ණය ගෙවනවාද? රටේ ඩොලර් නැතිව ණය ගෙන්නේ කොහොමද? මොකක්ද තිබූ සහතිකය?
පිළිතුර :- මම සිටි කාලයේ එක ඩොලරයක්වත් නොගෙවා සිටියේ නැහැ. 2022 ට ගෙවීමට තිබූ මුළු ණයෙන් සියයට 44ක්ම මුල් කාර්තුවේදී ගෙවා අවසන් කර තිබුණා. ඉතිරි මාස නවයේදී ගෙවන්න තිබුණේ සියයට 56ක් පමණයි. මේ ණය ගෙවන ක්‍රමය ලැබීමට තිබූ ගලාඒම් හරහා මම පෙන්නා දී තිබෙනවා. එනිසා ණය ගෙවීමට අවශ්‍ය ක්‍රමවේදය තිබූ බව සහතික කර කියන්න පුළුවන්. ණය ගෙවන්න එපා කියන තැනට බොහෝ දෙනෙක් රට පැටලුවේ රට වට්ටන්න. ඒක මම බය නැතිව කියනවා. කොහොම හරි රට වට්ටන ක්‍රමන්ත්‍රණයක පිරිසක් සිටියා..
එහෙම නම් යුද්දේ කාලෙත් සල්ලි තිබුණේ නැහැ. අපිට සල්ලි ගෙවන්න බැහැ කියා මහ බැංකු අධිපති හැටියට මටත් එදා වීරයෙක් වගේ කියන්න තිබුණා. එහෙම කළා නම් යුද්දේ කරන්නේ කොහොමද? එසේ කළා නම් පරාජය වෙන්නේ යුද බිමේ නෙමෙයි ආර්ථිකයේ. ඒත් එසේ නොවන ලෙස කටයුතු කළා. එදා අදට වඩා පීඩනයක් තිබුණා. රටේ නායකයන්ගෙන්, මහ බැංකු අධිපතිගෙන්, මුදල් ඇමතිගෙන් රට බලාපොරොත්තු වෙන්නේ එවැනි දෙයක්. බංකොලොත් කිරීම නෙමෙයි. ඒත් අද මේ රටේ බංකොලොත් කළ කෙනා වීරයා වගේ සලකනවා. එසේ නොකළ කෙනාගෙන් ප්‍රශ්න අහනවා.
ප්‍රශ්නය :- ඔබ කලින්ම අයි.එම්.එෆ් එකට ගියා නම් ප්‍රශ්නය මෙතරම් ඔඩුදුවන්නේ නැතුව විසඳගන්න තිබුණා නේද?
පිළිතුර :- අයි.එම්.එෆ් ගියා නම් අපට ලැබෙන්න තිබුණ මුදල කීයද? දැන් තිබෙන ආකාරයටම හදා ගත්තා නම් ඩොලර් මිලියන3000 යි. ඒ අවුරුදු හතරකදී. එක් වසරකදී ඩොලර් මිලියන750යි. මාස හයකට මිලියන375යි. මම කටයුතු කළ කාලයේ අයි.එම්.එෆ් ගිහින් ඉක්මනින්ම මුදල් ගත්තා නම් මගේ මාස හයට ලැබෙන උපරිම මුදල ඩොලර් මිලියන 375යි. ඒත් අපි ඩොලර් මිලියන 4000ක් සොයා ගත්තා. එහෙම නම් 4000 ද 375 ද වඩා හොඳ?
ලංකාවේ සාර්ථකම අයි.එම්.එෆ්. ගනුදෙනුව කළෙත් මම යටතේ. ඒක මහ බැංකු වාර්තාවලත් සඳහන්. එහෙම නම් අයි.එම්.එෆ්. ගැන පුංචි දැනුමක් හෝ මටත් ඇති. අයි.එම්.එෆ්. ගිය ගමන්ම එයින් ලැබෙන මුදල්වලට අමතරව ලැබෙන සියලු මුදල් නවතිනවා. එහෙම වුණා නම් වෙන අයගෙන්වත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. දැන් මේ අය අයි.එම්.එෆ්. ගිහින් මාස අටක් වෙනවා. එක ඩොලරයක්වත් ලැබී නැහැ. ඒ හැර වෙනත් කිසිම රටකින් හෝ මූල්‍ය ආයතනයකින් කිසිම ඩොලරයක් ලැබිලත් නැහැ. අපි ණය ගෙවලත් නැහැ. එහෙම නම් හොඳ මොකක්ද කියන්න.
අයි.එම්.එෆ්. ගියාම වට්ටෝරුවක් දෙනවා. බදු, පොලී අනුපාත වැඩි කරන්න, සම්පත් විකුණන්න, විදුලිය, ඉන්ධන, ජලය මිල වැඩි කරන්න, බඳවා ගැනීම් කප්පාදු කරන්න, ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කරන්න යනාදිය ඒ වට්ටෝරුවේ තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවකුත් දැන් කෙරෙනවා. ඔය වට්ටෝරුව දන්නා කෙනකු හැටියට මම අයි.එම්.එෆ්. ගියා නම් මගෙන් අහන්නේ ඇයි ගියේ කියලයි. හැබැයි අද අහන්නේ නොගියේ ඇයි කියලා? දහසය වතාවක් අයි.එම්.එෆ්. ගියපු අය 17 වැනි වරට යද්දී මේවා ගැන සිතුවේ නැත්තෙ ඇයි කියලත් ප්‍රශ්න කරාවි. ඒකත් සාධාරණ ප්‍රශ්නයක්. එනිසා අයි.එම්.එෆ්. නොගොස් ණය පැහැර නොහරිමින් ගත් තීරණය හරි කියා මම අදත් කියනවා. ඒවා නිවැරදි බවත් දැන් ගෙන ඇති තීරණය වැරැදි බවත් කවදා හෝ ලියැවේවි. එදා තිබූ සහ අද තිබෙන ඉන්ධන මිල දිහා බැලුවාම මේ කාරණය තේරේවි. අද පෝලිම් නැත්තේ සලාකය සහ අධික මිල නිසයි. හපන්කම ඒක නෙමෙයි. සාධාරණ මිලකට භාණ්ඩ ලබාදීමයි.
ප්‍රශ්නය :- ඔබ කෘතිමව ආර්ථිකය පාලනය කළා. රුපියලේ අගය ඊට උදාහරණයක්. පොලී අනුපාත අඩු අගයක තබා ගත්තා. දිගින් දිගටම එලෙස පීඩනයක තබාගත් ආර්ථිකය පසුව පුපුරා ගියා කිව්වොත් කියන්නේ කුමක්ද?
පිළිතුර :- යම් පාලනයක් අවශ්‍යයි කියන ස්ථාවරයේ මම අදත් ඉන්නවා. මහ බැංකුවක්, මුදල් අමාත්‍යංශයක් කියන්නේ ඒ වෙනුවෙන්. වෙළෙඳපොළටම සියල්ල බාර කළොත් පාලනයක් නැතුව අයාලේ යනවා. අද තිබෙනව වගේ පොලී අනුපාතයක් තිබුණොත් කිසිම රටකට ඉදිරියට යන්න බැහැ. යම් අවස්ථාවලදී පාලනයක් අවශ්‍යයි. එසේ නොවන තැනක ප්‍රතිවිපාක දරුණු විය හැකියි.
හාල් මිල පාලනය කරන්න කියා ජනතාව ඉල්ලන්නේ ඇයි? යම් හේතුවකින් රුපියලේ අගය පන්සියය වුවොත් ඒ හරහා වැඩිවන බඩු මිලට වග කියන්නේ කවුද? එනිසා යම් තීරණ ගන්න වෙනවා. රුපියලේ යම් පාලනයක් අවශ්‍ය බව මම නිතරම සිතුවා. මහ බැංකුවට එහි වගකීම තිබෙනවා. ඒත් රුපියල පා කරන්න කියා මුළු රටම කිව්වා. රුපියල පා කළාම යම් පීඩනයක් එන බව මම දැනගෙන සිටියා.
කබ්රාල් පමණක් රුපියල අල්ලගෙන ඉන්නව කියා බොහෝ දෙනා සිතුවා. රුපියල අතෑරියාම කියන තරම් ප්‍රතිලාභ නොලැබෙන බව මම දැන සිටියා. මාර්තු 31 වනවිට බැංකු සමඟ කතාකර රුපියල299ක අගයක රුපියල රඳවා ගන්න හැකි වුණා. මම ගියාට පසු නැවත රුපියල පා කළා. ඒ අනුව 377 ට ගියා 2022 මැයි 12 වැනිදා නැවත වරක් රුපියල කෘතිමව පාලනය කළා. මහ බැංකුව මේ පාලන මිල නියම කර තිබෙනවා.
මැයි 12 වැනිදා සිට අද දක්වාම මගේ නිල කාලයට වඩා කාලයක් රුපියලේ අගය කෘතිමව පාලනය කරගෙන සිටිනවා. එහෙම නම් රුපියල කෘතිවම පාලනය කර ඇත්තේ ඇයිද කියා වත්මන් අධිපතිගෙනුත් අහන්න ඕන. මම කරන කොට වැරදියි. වෙන කෙනෙක් කරනකොට හරි. මේක පුදුම න්‍යායක්. හැබැයි මේක හරි. මම කියන්නේ මීට අඩු අගයකට ෆික්ස් කරන්න කියලයි. මම සිටිය නම් මීට අඩු අගයක ෆික්ස් කර රුපියල ශක්තිමත් කරනවා. මම අනුගමනය කළේ මහාචාර්ය ලක්ෂ්මන්ගේ ක්‍රමයයි. පීඩනය වැඩි වනවිට වීරසිංහ කර තිබෙන්නෙත් එයමයි. එක එක්කෙනා මොනව කිව්වත් දැන් අනුගමනය කරන්නෙත් ලක්ෂ්මන් - කබ්රාල් ක්‍රමයම බව කියන්න වෙනවා.
ප්‍රශ්නය :- මුදල් අච්චු ගසා උද්ධමනයට පාර කැපීම ගැනත් ඔබට චෝදනා නැගෙනවා. ඒ ගැන කියන්නේ කුමක්ද?
පිළිතුර :- රජයෙන් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මුදල් අච්චු ගැසීම කියා කියනවා. මගේ මුළු කාලයේදීම නිකුත් කර තිබුණේ රුපියල් බිලියන 446යි. දිනකට රුපියල් බිලියන 2.2යි. කොවිඩ් කාලයේ හැම රටකම මුදල් අච්චු ගැසීම සිදු වුණා. ඒ නිසා උද්ධමනය වැඩිවන බව කිව්වත් රටක් අවපාතයට යනවිට උද්ධමනයක් ඇති නොවන බව ඉන්දීය මහ බැංකුව කළ සමීක්ෂණයකින් පෙන්වා දී තිබෙනවා. අපි ඒක පැත්තකින් තියමු. වත්මන් අධිපති කර තිබෙන්නේ කුමක්ද? මගේ කාලයට වඩා සියයට 70කට වැඩියෙන් රජය මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙනවා.
ස්වාධීනයි කිව්වට මේ කර තිබෙන්නෙත් අපි කළ දේම තමයි. රජයේ වැටුප් ගෙවන්න මුදල් නැති වුවොත් කරන්න වෙන්නේ මොකක්ද? කළ යුත්තේ මොකක්ද? සල්ලි දෙන්නෑ කියා මහ බැංකුව කිව්වොත් වෙන්නේ මොකක්ද? වැටුප්, ණය ගෙවන්න රජයට බැරි වෙනවා. එවිට ඇතිවන අර්බුදය බලන්න. එහෙම වුණා නම් මුදල් ටිකක් අච්චු ගහල හරි දෙන්න තිබුණ නේද කියල අසාවි. රාජ්‍ය සේවකයන් විශ්‍රාමිකයන් ගැන හිතන්න තරම් හිතක් පපුවක් නැද්ද කියල අසාවි. ඒ නිසා අවස්ථාව අනුව තීරණ ගන්න වෙනවා. ඒවා රට වෙනුවෙන්.
ප්‍රශ්නය :- රටම අර්බුදයක. ඔබ විසඳුමක් දකින්නේ නැතිද?
පිළිතුර :- දකිනවා. ඒ මේ යන ගමනෙන් නෙමෙයි. ග්‍රීසිය මේ වගේ ගමනක් ගියා. අයි.එම්.එෆ්. කියන්නේ තිත්ත බෙහෙතක් නෙමෙයි විෂ මත්ද්‍රව්‍යයක් බව එරට සිටි මුදල් ඇමැති මාධ්‍යයට කියා තිබුණා. ඒ බෙහෙත් අපිත් ගන්නවා නම් වෙනදේ ගැන සිතන්න වෙනවා. එනිසා දේශීයව සිතන්න අවශ්‍යයි. අයි.එම්.එෆ්. දෙන විසඳුම ගැන කවුරුවත් දන්නේ නෑ. ඒක හදන්නේ වොෂින්ටනයේ. ඒක ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒත් අපි දේශීයව සැලැස්මක් හැදුවාම ප්‍රශ්න කරනවා. අකුල් හෙලනවා.
මේවා හදපු මුදල් ඇමැතිට මහ බැංකු අධිපතිට දඬුවම් කරන්න ඕන කියනවා. ඒත් අයි.එම්.එෆ්. යෝජනා ගේන කෙනෙක්වත් දන්නෙ නෑ. ඒවා වැරදුනොත් ‘‘සොරි’’ කියයි. ඒ වනවිට රට ගිනිගෙන අවසන්. වගකීම දරන්න කෙනෙක් නෑ. හානිය ගැන ප්‍රශ්න කරන්නත් බැහැ. මේ රටට එහෙම විසඳුමක් හරියාවි කියා සිතන්න බැහැ. දේශීය විසඳුමක් මගේ පොතේ යෝජනා කර තිබෙනවා. දැන් ඉන්න අයට ඊට වඩා හොඳ යෝජනා ගේන්න පුළුවන්.
ප්‍රශ්නය :- ඔබ ‘‘ආර්ථික ඝාතකයන් මැද’’ නමින් කෘතියක් රචනා කළා. මේ ඔබට එල්ල වෙන චෝදනාවලින් නිදොස්කොට නිදහස්වීමට ගත් පියවරක්ද?
පිළිතුර :- ඔව්. මම මොකටද ඒවා බාර ගන්නෙ. මම කළේ මොනවද කියා රටට ලෝකයට පෙන්වාදීමේ වගකීම මට තිබෙනවා. ඒක එක කොටසක් පමණයි. මගේ තීරණ ගැනීම් ඒවා ක්‍රියාත්මක කිරීම් ගැන ලියන්න අයිතිය මට තිබෙනවා. ඒ ලියපුවා වැරැදි බව කියන්න කෙනකුට පුළුවන්නම් ප්‍රශ්නයක් නෑ. ඒත් ආර්ථිකයට මේ පීඩනය ආවෙ කොහොමද කියා පෙන්නාදී තිබෙනවා. මේවාට විරුද්ධව ලිවීමේ අවකාශය ඕනෑම කෙනකුට තිබෙනවා. මට එල්ලවන චෝදනාවලට පිළිතුරුදීම මට අයිති කාර්යයක්. සමහරු උත්තර නොදී පැනයාවි. ඒත් මම එහෙම නෑ. සමහර දේවල්වලට වචනෙන් දෙකෙන් උත්තර දෙන්න බෑ. පොතකින්ම උත්තර දෙන්න වෙනවා. ඒදේ මම කළා.
සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්