අයි.එම්.එෆ්.ණයට වළකපන්නෝ


රට සම්බන්ධ ඉතා වැදගත් පුවතක් පෙරේදා එනම් 27 වැනිදා ප්‍රකාශයට පත් විය. ඒ ලෝක බැංකුවේ ආයෝජන ආයතනය වශයෙන් සැලකෙන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාව සඳහා හුවමාරු මූල්‍ය පහසුකම් යටතේ ඩොලර් මිලියන 400ක් පිරිනැමීමට තීරණය කර ඇති බවය. ඒ පිළිබඳ එම ආයතනයේ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය. ˝මෙම පහසුකම් ලැබීමෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ආයෝජන ප්‍රජාව අතර වර්ධනය වනු ඇත. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ආධාර වීම සඳහා ආයෝජන ගලා එනු ඇත˝. 

ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් මෙම අරමුදල පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකාව විසින් මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ රටට මූල්‍යාධාර සැපයීම අරමුණු කරගෙන පමණක් නොවේ. ආයෝජන ප්‍රජාව අතර විශ්වාසය තහවුරු කර රටට ආයෝජන ගලා ඒම සඳහා අවකාශ සැලසීම ද අරමුණු කරගෙනය.

ලෝක බැංකුව වැනි ආයතන රට පිළිබඳ එවැනි ආකල්පයක් දරද්දී එදින වාර්තා වූ අනෙකුත් සිදුවීම්වලින් ඇතැම් දේශපාලන පක්ෂ සහ ඇතැම් පිරිස් රට මෙම අර්බුදයෙන් ගොඩගැනීම වැළැක්වීමට ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා අවස්ථාව සැලසේ. පළාත්පාලන මැතිවරණය කල් තැබීම පිළිබඳ විරෝධය දැක්වීමට පසුගියදා පැමිණි පුද්ගලයකු මියයාම පිළිබඳ පුවත එදින ප්‍රකාශයට පත් වූ තවත් පුවතකි.

මරණ පරීක්ෂණයක්වත් පවත්වා නැතිව තිබියදී, හෘද රෝගයකින් පෙළෙන්නකු බවට වාර්තා වී ඇති මෙම පුද්ගලයාගේ මරණයේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බවට ජාතික ජන බලවේගය ප්‍රකාශ කර තිබුණි.  ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් ලෙඩ නිවාඩු දමා පැවැත්වූ උද්ඝෝෂණය පිළිබඳ පුවත තවත් එකකි. විදුලි ගාස්තු වැඩි කළ ද තවත් සති කිහිපයකින් විදුලි කප්පාදුවක් යළි ආරම්භ කිරීමට සිදු වනු ඇති බවට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ප්‍රකාශ කර ඇති බවට තවත් ප්‍රවෘත්තියක් එදිනම මාධ්‍යවල පළවී තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව විසින් අත් කරගෙන ඇති ප්‍රගතිය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තබා ඇති බලාපොරොත්තු ඉටු කරන අවස්ථාවකට පත් වී ඇත.  ඉන්දියාවේ පසුගියදා පැවති G 20  රටවල මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය ප්‍රකාශ කළේ කාලානුරූප සහ විධිමත් ක්‍රියාවලින් අනුව ශ්‍රී ලංකාව වැනි ආර්ථික අර්බුදයට ලක්ව ඇති රටවල් එයින් මුදා ගැනීමට  කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථික අර්බුදය G 20  සමුළුවේ දී විශේෂ අවධානයට යොමු වූ අතර එය කඩිනමින් විසඳා ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව තීරණවලට ද එළඹිණ. මේ අතර චීනය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීටම කෙටි කාලීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තමන්ගේ සැලසුම් ඉදිරිපත් කළ ආකාරයටම මධ්‍යකාලීන සහ දිගු කාලීන ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ද කඩිනමින් ශ්‍රී ලංකාව සමඟ එකඟතාවලට පැමිණීම සඳහා කටයුතු කරන බවය. 

ජාත්‍යන්තර ප්‍රජාවගේ සහ ජාත්‍යන්තර ආයතනවලින් එයාකාරයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ණය අර්බුදය විසඳා ගැනීම සඳහා ඉතා සුබදායී ප්‍රතිචාරයක් ලැබෙද්දී රට අභ්‍යන්තරයේ ඇතැම් පිරිස් විසින් ඒවා කඩාකප්පල් කර දැමීම සඳහා උත්සාහ කිරීම කනගාටුවට කරුණකි. රජය විසින් ක්‍රියාත්මක කර ඇති බදු ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ඇතැම් වෘත්තීය සමිති මාර්තු මාසයේ සිට උද්ඝෝෂණ සහ වැඩවර්ජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යන බව ප්‍රකාශ කර ඇත. දැනටමත් ඇතැම් සංවිධාන විසින් විවිධාකාරයේ උද්ඝෝෂණ පටන්ගෙන ඇත.

පෙබරවාරි මස 21 වැනිදා කොළඹ දී පැවති ˝2023 බදු සමුළුව˝ අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ˝වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොවේ. එය රට ගලවා ගැනීමේ මෙහෙයුමකි. මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත් වීමට නොහැකි වනවා සේම ශ්‍රී ලංකාවට කිසිදු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට නොලැබෙනවා˝ යැයි ප්‍රකාශ කළේය.

රටත් මහජනතාවත් මුහුණ දී සිටින මෙම අසීරු අවස්ථාවෙන් ගොඩ ඒම සඳහා සමාජය තුළ වැඩි ආදායම් ලබන පිරිස්වලට ඒ වෙනුවෙන් කැපකිරීමක් කිරීමට සිදුවේ. ඉහළ ආදායම් ලබන පිරිස් නව බදු ක්‍රමය පිළිබඳව විවිධාකාරයෙන් හේතු දක්වමින් එය සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටිති. රජයේ නව බදු ක්‍රමය අනුව රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබන සෑම කෙනකු විසින්ම බදු ගෙවිය යුතුව ඇත.

බදු විරෝධී පිරිස්වල එක ඉල්ලීමක් වන්නේ බදු නිදහසේ සීමාව රුපියල් ලක්ෂයේ සිට රුපියල් දෙලක්ෂය දක්වා ඉහළ දැමිය යුතු බවයි. අද රජය වැඩි වශයෙන්ම ආදායම ලබා ගන්නේ වක්‍ර බදු මඟිනි. රටේ බහුතරයක් පිරිස අඩු ආදායම් මට්ටමක පසු වෙතත් තම ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වක්‍ර බදු වශයෙන් ගෙවති. රුපියල් ලක්ෂයට වඩා වැඩි ආදායමක් ලබන්නේ ඉතා සුළු පිරිසකි. එවැනි තත්ත්වයක් තුළ බදු ගෙවිය යුතු සීමාව රුපියල් දෙලක්ෂය දක්වා ඉහළ නැංවූ විට බදු ගෙවන පිරිසෙන් විශාල ප්‍රමාණයක් හැලී යනු ඇත. 

අපගේ ණය ප්‍රතිව්‍යූහගත කර ආර්ථික අර්බුදය විසඳීම සඳහා විදේශ රටවලින් ආධාර ලබා ගැනීමට සිදු වේ. විදේශ රටවල ආණ්ඩු ඒ සඳහා උපයෝගී කර ගන්නේ එම රටවල ජනතාවගේ බදු මුදල්වලින් එකතු කර ඇති රජයේ ආදායමයි. අපේ රටේ ඉහළ ආදායම් ලබන පිරිස් බදු නොගෙවන විට අනෙක් රටවල බදුවලින් අපේ ආර්ථික ප්‍රශ්න විසඳීමට එම රටවල් ඉදිරිපත් වේයැයි බලාපොරොත්තු විය හැකිද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට අභියෝගයක් ඉදිරිපත් කළේය. රටේ ණය සහ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා එම පක්ෂවලට රජය ඉදිරිපත් කර ඇති විසඳුම හැර වෙනත් විසඳුමක් ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන ලෙසයි. එවිට එම අරමුදල විසින් එම විකල්ප විසඳුම් සලකා බලනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. බදු සමුළුවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණ ද වෙනත් කිසිදු ආයතනයක් පක්ෂයක් හෝ කිසිම පුද්ගලයකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් කර නොමැති බවය.

රජය විසින් ඉදිරිපත් කර ඇති සමහර යෝජනා හේතුවෙන් ඉහළ ආදායම් ලබන පිරිස්වලට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද යම් කැප කිරීම් කිරීමට සිදු වේ. එසේ වුවද ඒවා සටන් පාඨ වශයෙන් ගෙන මහජනතාව වෙත විවිධාකාරයේ පොරොන්දු ඉදිරිපත් කරන දේශපාලන පක්ෂවලට හෝ පුද්ගලයන්ට අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා ඉදිරිපත් කළ හැකි වැඩපිළිවෙළක් නොමැති බව ඉන් පැහැදිලි වේ.

නව බදු ක්‍රමයට එරෙහිව හඩ නගන පිරිස් දෙස බලන විට ඉහළ ආදායම් ලබමින් මේ දක්වා බදු නොගෙවා සිටි හෝ අඩුවෙන් බදු ගෙවූ පිරිස් හඳුනා ගැනීමට මහජනතාවට අවස්ථාව සැලසේ. අධික භාණ්ඩ මිල, පොලී අනුපාත ඉහළ යාම, ණය ගෙවීමට සිදු වීම ආදිය හේතුවෙන් බදු ගෙවීමට අපහසු බව එම පිරිස් ප්‍රකාශ කරති. එහෙත් ආර්ථික අර්බුදය නිසා එම පිරිස පමණක් නොව බදු ගෙවීමට තරම් ඉහළ ආදායමක් නොලබන බහුතරයක් සහ පහළ ආදායමක් ලබන පිරිස්වලට විශාල පීඩනයක් එල්ල වී ඇති බව පිළිගැනීමට සිදු වේ. ස්වයං රැකියා, කම්කරු සහ සහායක සේවාවල නියැලී සිටින බොහෝ පිරිසකට තම මුළු ආදායමම අහිමි වී ඇත. එසේ වුවද එම පිරිස් වක්‍ර බදු හේතුවෙන් තවමත් බදු ගෙවමින් සිටිති.

වෘත්තීයවේදීන්ටත්, බැංකු, වරාය සහ විදුලිය වැනි සේවාවල නියුතු පිරිස්වලටත් ගෙවීමට නියමිතව ඇති බදු අඩු කරන ලෙස කරන ඉල්ලීම පිළිගන්නේ නම් එනිසා ඇතිවන ආදායම් හිඟය පියවා ගැනීමට වක්‍ර බදු පැනවීමට සිදු වේ. අඩු ආදායම් ලාභීන්ගෙන් බදු අය කර ඉහළ ආදායම් ලබන අයට බදු සහන ලබා දෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමට නොහැකි අවස්ථාවකට ශ්‍රී ලංකාව දැන් පත්ව තිබේ. 

අර්බුදයට විසඳුම් වශයෙන් රජය ප්‍රකාශයට පත් කර ඇති ආර්ථික වැඩපිළිවෙල විවේචනය කරන පිරිස්වලට ඒ සඳහා විසඳුම් වශයෙන් කවර හෝ විකල්ප වැඩපිළිවෙළක් නොමැති බව එම පක්ෂ විසින් රටට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නොතිබීමෙන් පැහැදිලි වේ. දැඩි විවේචන වලින් හෝ විරෝධතාවලින් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් නොලැබේ. මේ දුෂ්කර අවස්ථාවේ සියලු‍ පිරිස්වල වගකීම වන්නේ එකමුතු වී මෙම ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා ක්‍රියාත්මක වීමයි.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර