අයිඑම්එෆ් ගිවිසුම ඕනෑද? එපාද?


ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පෙර නොවූ විරූ ආකාරයේ ඓතිහාසික අවස්ථාවක් සටහන් කිරීමට අද (26) ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම පිළිබඳ විවාදය නිසා හැකි වනු ඇතැයි සිතිය හැක. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ අනෙකුත් ලේඛන පිළිබඳව විවාදයක් අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ වන අතර විවාදය අවසානයේ දී එම ගිවිසුම පිළිබඳව ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිදහස ලැබූ දවසේ සිට මේ දක්වා කාලය තුළ රජය විසින් කිසියම් ආයතනයක්, රටක් හෝ පුද්ගලයකු සමඟ ඇති කරගත් ණය ගිවිසුමක් මේ සා විවෘතව සහ පුළුල්ව විවාදයට ලක් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එවැනි ණය ගිවිසුමක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට ඡන්ද විමසීමක් පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව ද මෙය විය හැකිය.

මීට පෙර එවැනි ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථා පැවතුණි. ඒවා පිළිබඳව අදහස් දැක්වීම සඳහා පාර්ලිමේන්තුව විසින් කාලය වෙන් කර තිබූ බව ද දැකගත හැකි විය. එසේ වුව ද සම්පූර්ණ ගිවිසුමක් ඒ හා සම්බන්ධ සියලු‍ ලේඛන සමඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය විවාද කිරීමට සෑහෙන කාලයක් ලබා දී එම ගිවිසුම පිළිගන්නවා ද? නැද්ද? යන්න පිළිබඳ විවාදයක් පවත්වන්නේත් ඡන්ද විමසීමක් පවත්වන්නේත් ප්‍රථම වතාවටය. එහි තේරුම සරලව දක්වන්නේ නම් මෙසේය. හෙට දිනයේ ආරම්භ වන මෙම විවාදය අවසානයේ දී පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම අනුමත කළ හැකිය. එසේ නොමැති නම් එම ගිවිසුම නොපිළිගෙන එය පරාජයට පත් කළ  හැකිය. එය පරාජය කළහොත් ගිවිසුම අවලංගු වේ. එවිට IMF සහන නවතිනු ඇත. 

ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීමට බොහෝ කලකට පෙර විපක්ෂයේ ඇතැම් නායකයන් රජය IMF වෙත යෑමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබීය. වගකිවයුතු අමාත්‍ය ධුර හෙබ වූ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටත දී ද රජය IMF වෙත යා යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කළ ආකාරය බොහෝ දෙනකුට මතක ඇතැයි සිතමි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමහර නායකයන් එකල IMF වෙත යෑම පිළිබඳව දැක්වූයේ කිසියම් ආකාරයක මන්දෝත්සාහී බවක් යැයි ප්‍රකාශ කළ හැකි තරමට ඔවුන් ඒ පිළිබඳව උනන්දුවක් දැක්වූයේ නැත.

IMF යන ලෙස රජයට බල කළ විපක්ෂයේ එම මන්ත්‍රීවරුන් අද පැවැත්වෙන විවාදයේ දී කවරාකාරයේ ප්‍රතිචාරයක් මේ සම්බන්ධයෙන් දක්වනු ඇතිද යන්න පිළිබඳව මහජනතාව විශේෂ උනන්දුවක් දක්වනු ඇතැයි සිතිය හැක. දැනටමත් සමහර දේශපාලන පක්ෂ IMF ගිවිසුමට පාර්ලිමේන්තුවේ දී විරුද්ධව ඡන්දය ලබා දෙන බව ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික ජන බලවේගය සහ උත්තර ලංකා සභාගය ඊට විරුද්ධව ඡන්දය ලබාදෙන බව මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි. සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය ඡන්දය ලබාදීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිවිසුමට පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කර ඇතැයි පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබුණි.

රජය සහ IMF  එකඟ වූ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම විවාදය මගින් පාර්ලිමේන්තු  අවස්ථාව සැලසී තිබේ. එබැවින් තමන් කවර යෝජනාවට කවර හේතු මත පක්ෂ හෝ විරුද්ධ වන්නේ ද යන්න පාර්ලිමේන්තුව තුළින් මහජනතාව වෙත ප්‍රකාශ කිරීමේ වගකීම විපක්ෂ නායකවරයා සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පැවරී තිබේ. රජය විසින් අනුගමනය කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති සහ IMF එකඟතා ආදිය නිසා ටික කලක සිට ආර්ථිකයේ ඇතිවෙමින් පවත්නා සාධනීය වෙනස්කම් පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් වෙමින් තිබේ. 

මේ වසරේ මේ දක්වා (අප්‍රේල් 20 දක්වා) ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවා ඇත. මෙම මාසය අවසන් වන විට මාසික සංචාරක පැමිණීම තවදුරටත් වැඩි වීමට ඉඩ තිබේ. සියයට 70ට එහා ගිය උද්ධමන වේගය මේ සතිය වන විට සියයට 49 දක්වා අඩු වී තිබේ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බොහෝ භාණ්ඩවල මිල ගණන් අඩු විය. මේ සියලු‍ වෙනස්කම් සිදු වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම අත්සන් කිරීමත් එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව බංකොළොත් බවින් මිදීමත් නිසා සහ ගිවිසුමෙන් පසු අපේ රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙසය. 

රට අති දුෂ්කර අවස්ථාවකට මුහුණ දී සිටියත් අඩු ආදායම් ලබන සෑම පවුලකටම මසකට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000ක මුදලක් හෙක්ටයාරයකට සහ හෙක්ටයාර දෙකකට රුපියල් 40,000 බැගින් මේ කන්නයේ දී සෑම ගොවියකුටම ලැබෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවලින් එකක් වන්නේ ජන සංඛ්‍යාවෙන් වැඩි අවදානමකට ලක්ව ඇති පහළ ආදායම් ලබන කොටස්වලට සහන සැලසීමට රජය කටයුතු කළ යුතු බවයි.

ජූලි පළමුවැනි දින සිට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන නව සුබසාධක ප්‍රතිලාභ ක්‍රමය යටතේ දිළිඳු පවුල් ලක්ෂ හතරකට මාසිකව රුපියල් 15000 බැගින් ද අවදානම් පවුල් ලක්ෂ 4කට රුපියල් 5000 බැගින් ද සංක්‍රාන්ති පවුල් ලක්ෂ 4කට මසකට රුපියල් 2500 බැගින් ද ලබා දීමට කටයුතු කර තිබේ. මූල්‍යාධාර සහ සහල් ලබාදීම මගින් දෛනික පෝෂණ අවශ්‍යතා සැපයීමට ද පොහොර ලබා දීම මගින් ගොවීන්ගේ ආදායම සහ රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට ද කටයුතු කර තිබේ.  ආර්ථිකය පිළිබඳව ලැබෙන මෙම තොරතුරුවලින් පැහැදිලි වන්නේ IMF සමගින් ඇති කරගත් ගිවිසුම, රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවති ආර්ථික අර්බුදය නමැති මහා ව්‍යසනයෙන් අත් මිදීමට ආධාර වන ආකාරයයි.

පාර්ලිමේන්තු විවාදයේ දී රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කිරීම පිළිබඳව විපක්ෂයට බොහෝ දේවල් ප්‍රකාශ කිරීමට ඉඩ තිබෙනු ඇතැයි සිතිය හැක. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණ ක්‍රියාවලිය ආරම්භ කළ සහ බොහෝ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කළ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පෞද්ගලික අංශයට එම ආයතන විකිණීම හැඳින් වූයේ ජනතාකරණය කිරීමක් (Peopleization) වශයෙනි. ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය හොබවමින් සිටිය දී රාජ්‍ය අංශයේ ආයතන 26ක් පෞද්ගලිකරණය කළේය. එසේ නැත්නම් ජනතාකරණයට ලක් කළේය. ප්‍රේමදාස මහතා සෑම අවස්ථාවකදීම දුගී ජනතාව නගා සිටුවීම සඳහා කටයුතු කළ ද රාජ්‍ය අංශ විසින්  ව්‍යාපාර පවත්වාගෙන යෑම ඔහු දුටුවේ සම්පත් අපතේ යැවීමක් සහ නාස්තියක් ලෙසය.

සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ පියා විසින් ආරම්භ කරන ලද රාජ්‍ය ආයතන පෞද්ගලිකරණ කිරීමේ ක්‍රියාවලියට මෙවර කවර ආකාරයේ සහායක් ලබා දෙනු ඇති ද යන්න පිළිබඳ මහජනතාව දැඩි අවධානයකින් පසුවන බව පෙනේ. එබැවින් විපක්ෂ නායකතුමාට තම පියාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙන්ම වත්මන් රජය විසින් අනුගමනය කරනු ලබන පෞද්ගලිකරණ ප්‍රතිපත්ති පිළිබඳ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමට නොහැකි වනු ඇත. 

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ මෙන්ම රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද බොහෝ තරුණ පිරිස් දැඩි අකැමැත්තක් දක්වන බව පෙනී යයි. අද රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීමට එරෙහිව අදහස් දක්වන්නේ විපක්ෂයේ කිහිප දෙනකු පමණි. ජන ජීවිතයට ඉතා වැදගත් වන ප්‍රවාහන සේවා, ඉන්ධන, විදුලි බලය සහ ජලය සැපයුම වැනි අංශවල අසාර්ථකභාවය සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සාමාන්‍ය මහජනතාවටය.

එනිසා ඔහු ඒවා පෞද්ගලිකකරණය කිරීම පිළිබඳව දැඩි සහයෝගයක් පළ කර සිටිති. එහෙත් ඒ වෙනස වැඩි වශයෙන්ම කැපී පෙනෙන්නේ තරුණ පරම්පරාවේ සිතුම් පැතුම් විග්‍රහ කරන විටදීය. රටට බරක් වන එවැනි ආයතන පවත්වාගෙන යෑමට දැඩිව එරෙහි වන, ඒවා පෞද්ගලික අංශයට පැවරිය යුතු යැයි ප්‍රකාශ කරන පිරිස වර්ධනය වන බව විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතර එම පිරිස බලවත් වන බව කාටත් පැහැදිලි වන දෙයක් බවට පත්ව තිබේ.  

ආර්ථික අර්බුදය රට බංකොළොත් වීම දක්වා උග්‍ර වීමට බලපෑ ප්‍රධාන කරුණු දෙකක් වූයේ විදේශ විනිමය හිඟය සහ රජයේ ආදායම් පහළ මට්ටමක පැවතීමයි. එහෙත් IMF ගිවිසුමත් සමඟ අපේක්ෂා නොකළ ආකාරයෙන් සියල්ල වෙනස්වීමට පටන්ගෙන තිබේ. වරායට පැමිණි තෙල් නැව්වලට හෝ ගෑස් නැව්වලට මුදල් ගෙවා ගැනීමට නොහැකි වන තරමට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය ප්‍රමාණය අඩු වී තිබුණි.

එහෙත් රුපියල ශක්තිමත් වී විදේශ විනිමය රටට ගලා ඒමට පටන් ගැනීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 950ක් මිලදී ගෙන සංචිත ප්‍රමාණය වැඩි කරගෙන තිබේ. 2022 වසරේ ජනවාරි-මාර්තු කාර්තුවේ රජයේ බදු ආදායම රුපියල් බිලියන 145ක් විය. එහෙත් මේ වසරේ එම කාලය තුළ බදු ආදායම රුපියල් බිලියන 316 දක්වා සියයට 216කින් වැඩි වී තිබේ.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණේ මාර්තු 21 දින දීය. අද වන විට ගෙවී ඇත්තේ දින 37කි. දැන් එම ගිවිසුම තව දුරටත් පවත්වාගෙන යනවා ද? අහෝසි කරනවා ද? යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දී තිබේ.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර