අර්බුදයට අයි.එම්.එෆ් විසඳුමක්ද?


 

(සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)

එකතු කළ අගය මත බද්ද නොහොත් වැට් බද්ද 2019 දී පැවතියේ සියයට 12 ක අගයකය. 2022 දී එය සියයට 15 දක්වා වැඩි කළේය. 2024 ජනවාරි පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බදු අය කෙරෙන ප්‍රතිශතය සියයට 18 දක්වා පසුගිය දා ඉහළ නංවනු ලැබීය. වැට් යනු වක්‍ර බද්දකි. එය අප මිලදී ගන්නා බොහෝ භාණ්ඩ හා සේවාවලට අදාළ වේ. මෙම බද්දේ වැඩි වෙන අනුපාතය භාණ්ඩ හා සේවාවලට එකතු කිරීමක් සිදු වේ. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආදායම් ඉලක්ක කරා ළඟා විය නොහැකි බව මම පසුගිය වසරේදීත් කීවෙමි.

2020ට සාපේක්ෂව 2024 දී බදු වැඩි කිරීම නිසා සියයට 6 කින් පමණ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමක් සිදු වේ. වැට් සහ වෙනත් බදු වර්ග ද ඉහළ දැමීමත් සමග භාණ්ඩ හා සේවාවල මිල ගණන් වසරකට සියයට 10 කින් පමණ ඉහළ යා හැකිය.

මෙපරිදි බදු වැඩි කිරීම හේතුවෙන් සිදු වෙන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම ධනවත්, දුප්පත් සහ අන්ත දුප්පත් යන සෑම සමාජ ස්ථරයකටම දැනේ.

ලොව ඕනෑම රටක ආර්ථිකයේ මිලදී ගැනීමේ පැත්ත පවත්වා ගෙන යනු ලබන්නේ මධ්‍යම පන්තිය විසිනි. වැට් බදු ඉහළ නැංවීම නිසා මධ්‍යම පන්තිය මත අධික පීඩනයක් පතිත වේ. එයින් ද නාගරික හා ස්ථිර වැටුප් ලබන මධ්‍යම පන්තිය විශේෂය. බදු වැඩි කරමින් මේ විසඳා ගැනීමට උත්සාහ කරන්නේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් මිස ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. ආණ්ඩුවේ ප්‍රශ්නය නම්, ආදායම්වලට වඩා වියදම් වැඩි වීමය.

බදු වැඩි කරන්නේ ආණ්ඩුව පවත්වා ගෙන යෑමට අවශ්‍ය ආදායම් ජනතාවගෙන් රැස් කර ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. වැට් බදු වැඩි කිරීමෙන් වෙන්නේ සියලු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වීමයි. එවිට රටේ ඉල්ලුම පහත වැටේ. එයින් සිදු වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම පහළ යෑමයි. එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුමට අහිතකර බලපෑම් එල්ල වේ.

ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය 2022 වසරේ සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළේය. 2023 මේ දක්වාත් රටේ තිබෙන්නේ සෘණ ආර්ථික වර්ධන වේගයකි. ආර්ථික වර්ධන වේගය ඇති වෙන්නේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශවල නිෂ්පාදනයෙහි එකතු කළ අගයෙනි.

වැට් බදු ඉහළ නැංවීමෙන් සිදු වෙන්නේ නිෂ්පාදනය තවත් දුර්වල වීමකි. එවිට පහළ යමින් තිබෙන ආර්ථික වර්ධන වේගය යථා තත්ත්වයට පත්වීම තවත් පමා වීමට පිළිවන.. පොදුවේ ගත් විට ආර්ථික අවපාතය තවදුරටත් වර්ධනය විය හැකිය. ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මිනිසුන්ට අමතර පීඩාවක් මේ වැට් බදු ඉහළ නැංවීමෙන් ගෙන දේ.

බලයේ සිටි ආණ්ඩු කාලයක් තිස්සේ විදේශීය රටවලින් ණය ලබාගෙන ඒවා අවභාවිත කරමින් විදේශ විනිමය අර්බුදයක් ඇති කළේය. එය විසඳීමට ගන්නා ක්‍රියාමාර්ගවලින් යළිත් වරක් පීඩාවට පත් වෙන්නේ රටේ මහජනතාවයි.

විදුලි ගාස්තු වසරකට තුන් වතාවකදී සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව පසුගියදා විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය ආණ්ඩුව සහ දේශපාලනඥයන් බුද්ධිමත් නම්, විදුලි බිල වැඩි කළ යුතුව තිබුණේ රටේ ආර්ථිකය හොඳ මට්ටමක පවතිද්දීය. රටේ ආර්ථිකය අර්බුදයක පවතින විටෙක ජල, විදුලි ගාස්තු වැඩි කිරීමෙන් වෙන්නේ ජනතාව පීඩාවට පත් වීමය. විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ නම්, එහි ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැත. නාස්තිකාර වියදම් නතර කර වියදම් අඩු කිරීම ද කළ යුතුය.

මන්ද, විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ අඩු ආදායම් ලබන නිසාම නොවේ. අකාර්යක්ෂමතාව, නාස්තිය, සම්පත් අවභාවිතය ආදියෙන් ජනනය වෙන අධික වියදම් ද එම ආයතනයේ පාඩුවට හේතු වී තිබේ. ඒවා ගැන අවධානය යොමු නොකර විදුලි බිල වැඩි කිරීම අසාධාරණය. එසේම යළි විදුලි ගාස්තු වැඩි කරන්නේ ලංකා ඉතිහාසයේ නරකම අවස්ථාවේ බව මගේ අදහසයි. නොකළ යුතුම අවස්ථාවක විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම නිසා ඇති වෙන බලපෑම මීට ඉහත දී සාකච්ඡා කළ වැට් බදු වැඩි කිරීමෙන් උද්ගත වෙන අහිතකර බලපෑම්වලට වඩා දරුණු බව කිව යුතුය. විදුලි බලය යනු කර්මාන්ත, සේවා සහ කෘෂිකාර්මික අංශයෙහි ඇතැම් ක්ෂේත්‍රවල මූලික යෙදවුමකි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විදුලි බලය අත්‍යවශ්‍ය වේ. විදුලි ගාස්තු මෙපරිදි නිතර වැඩි කිරීම හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට අහිතකර බලපෑම් ඇති වේ.

එකක් නම්, පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනයයි. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමට මේ විදුලි ගාස්තු වැඩි කිරීම ඉවහල් වේ. එසේම කර්මාන්ත ක්ෂේත්‍රයටත් දැඩි බලපෑමක් එල්ල වේ. අපනයන දුර්වල වීමට ද මෙය හේතුවක් විය හැකිය. විශේෂයෙන්ම අපනයනවල තරගකාරීත්වය පිරිහීමට මේ තත්ත්වය ඉවහල් වේ. මධ්‍ය හා දිගුකාලීනව අපනයන දිරි ගැන්වීමට ද එයින් බාධා පැමිණේ.

මේ අවස්ථාවේ විය යුත්තේ අපනයන හා කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමයි. එවැනි අවස්ථාවක කර්මාන්තවල මූලික යෙදවුමක් වෙන විදුලිය ගාස්තු වැඩි කිරීමෙන් ඒවා පීඩාවට පත්වීම නොවැළැක්විය හැකිය. අවසානයේ දී මෙමගින් ද සිදු වනු ඇත්තේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම තවත් ප්‍රමාද වීමය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ අර්බුදය පෙනෙන්නට ගත්තේ 2022 වසරේ දී වුවද එහි ලක්ෂණ 2021 වසරේ සිට දැක ගත හැකි විය. එම අර්බුදය පුපුරා ගොස් මේ වෙන විට වසර තුනක් ගතවී තිබේ. එහෙත් මෙතෙක් රට එයින් ගොඩ යන බවක් පෙනෙන්නට නැත. විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් ඒ සඳහා වැය වෙන මුදල් ඉතිරි කරගෙන ඒවායෙන් අවශ්‍ය ආනයන කිරීමට ආණ්ඩුවට පිළිවන් වී තිබේ. ඒ හැර ආර්ථිකයේ වෙනත් කිසිදු සාධනීය වර්ධනයක් දක්නට නොලැබේ.

භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වීමේ වේගය අඩු වී තිබුණ ද භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහළ යෑමක් සිදුව නොමැත. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් වෙන්නේ මිල ගණන් අඩු විය යුතු භාණ්ඩ හා සේවාවල මිල ගණන් නැවත අඩු නොවීමය. එයින් වෙන්නේ ජනතාව තවත් පීඩාවට පත් වීමය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සමගාමීව ආණ්ඩුව මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ මූල්‍ය ස්ථායීතාව ඇති කිරීම වෙනුවෙනි. ඒවා කෙටි කාලීන ක්‍රියාමාර්ග විය යුතු වුව ද වසර තුනක් තිස්සේ මේවා ක්‍රියාත්මක කරමින් සිටියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සියලුම දේවල් කිරීම ආණ්ඩුවේ වගකීමක් නොවේ.

ආණ්ඩුව කළ යුත්තේ ජනතාව තවත් පීඩාවට පත් නොකර තමන්ගේ විකල්ප ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමය. මූල්‍ය අරමුදලේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීම මේ අර්බුදයට ඇති එකම විසඳුම නොවේ. ආණ්ඩුව තවදුරටත් මේ යන මාර්ගයේම ගමන් ගත හොත් ආර්ථිකය තිබුණාටත් වඩා විශාල අර්බුදයකට ඇද වැටීමට පිළිවන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආර්ථිකයේ අභ්‍යන්තර ව්‍යුහය නිසි පරිදි ග්‍රහණය කරගෙන නිර්දේශ ඉදිරිපත් කරතියි මම නොසිතමි.

අයවැය ඉදිරිපත් කිරීමට පෙර වැට් බද්ද වැඩි කිරීම හා විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන් පෙනෙන්නේ අයවැයෙන් ද එම මාර්ගයේ හෝ ඒ ක්‍රියාමාර්ග තහවුරු කිරීමට අදාළ මාර්ගයක ආණ්ඩුව ගමන් ගන්නා බවය. බදු පීඩනය අඩු කිරීමකින් තොරව ජනතාවගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

වෘත්තිකයන්ට සහ මධ්‍යම පාන්තිකයන්ට බලපාන බදු ඉදිරි අයවැයෙන් සංශෝධනය නොකළ හොත් එම අයවැය රට නිවැරදි කිරීමට අදාළ එකක් යැයි කිව නොහැකිය. ජීවන වියදම් ප්‍රශ්නය ආණ්ඩුවේ අයවැයේ ප්‍රමුඛ ඉලක්කයක් විය යුතුය. එනම්, ජීවන වියදම අඩු කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කළ යුතුය.

සෘණ ආර්ථික වර්ධන වේගය ධන කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්නත් අයවැයෙන් පැහැදිලි කළ යුතුය. ධන ආර්ථික වර්ධන වේගයක් ඇති කිරීම සඳහා සාර්ව ආර්ථික ස්ථායීතාව ඇති කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැත.

කාර්මික, කෘෂිකාර්මික සහ සේවා අංශවල නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා ආණ්ඩුව ලබාදෙන අනුග්‍රහය මොනවාද යන්නත් අයවැයෙන් ඉදිරිපත් කළ යුතුය. ඒවා 2022 සහ 2023 වර්ෂ වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනවලින් ද ඉදිරිපත් කර නොතිබුණි. දත්තවලට අනුව, ආර්ථික අර්බුදය උද්ගත වූදා සිට මේ දක්වා ලක්ෂ 5කට වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබේ. විරැකියා ප්‍රශ්නය විසඳෙන්නට නම් අලුතින් රැකියා නිර්මාණය විය යුතුය.

ඒ සඳහා කර්මාන්ත, සේවා සහ අපනයන අංශ පණ ගැන්විය යුතුය. මේවා නොකළහොත් ජන පීඩනය තවත් තීව්‍ර වීමට පිළිවන. ගත වූ වසර දෙකක කාලයේ දී ආර්ථික පුනර්ජීවනයට අවැසි ප්‍රතිපත්ති කිසිවක් ක්‍රියාත්මක කර නැත. ජාම බේරා ගෙන ඉදිරියට යන ක්‍රමයක් පෙනෙන්නට තිබේ. එබැවින් මෙවර අයවැයෙන් අප බලාපොරොත්තු වෙන්නේ හුදු ප්‍රකාශ වෙනුවට නිශ්චිත ක්‍රියා මාර්ගයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

(***)