වසර 2021 න් පසු උද්ගත වූ ආර්ථික අර්බුදය 2022 වන විට එහි උච්චතම අවස්ථාවට එළැඹිණි. ඒත් සමගම ප්‍රධාන ක්‍රම හතරකින් එහි බලපෑම ලාංකේය සමාජය වෙත විතැන් විණි. එනම්, උද්ධමනය ඉහළ යෑම, පොලී අනුපාතිකය වැඩි වීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය සහ ආදායම් අහිමිවීම යන ඒවාය.
එහි පළමුවැන්න වන උද්ධමනය වැඩිවීම සලකා බැලුවහොත් 2021 සිට 2022 ජූනි අග වන විට උද්ධමනය සියයට 103 කින් පමණ ඉහළ ගියේය. ආහාර උද්ධමනය සියයට 28 කින් සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 87 කින් පමණ වැඩි විය. අධිඋද්ධමනය නිසා සමාජය පීඩාවට පත් විය. සිවු දෙනකුගෙන් සමන්විත පවුලක අවම මාසික වියදම රුපියල් 76000 දක්වා ඉහළ ගියේය.
දෙවැන්න, පොලී අනුපාතිකය ඉහළ යෑමයි. 2022 ජනවාරි වන විට දින 91 ක් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 8.4 ක අගයක පැවතියද එය එම වසරේ දෙසැම්බර් වන විට සියයට 32.6 දක්වා වැඩි විය. එය සියයට 288 ක පමණ වර්ධනයකි.
ඒත් සමගම බැංකු විසින් ණය ලබා දීමේදී අය කරන පොලී අනුපාත ඉහළ නංවන ලදී. 2022 ජනවාරි වන විට සියයට 7.9 ක මට්ටමක පැවති බැංකු පොලී අනුපාතිකය එම වසරේම දෙසැම්බර් වන විට සියයට 27.2 දක්වා ඉහළ ගියේය. එය සියයට 244 ක පමණ වර්ධනයකි. මේ ආකාරයට එක් පැත්තකින් උද්ධමනය වැඩිවීමෙන් සහ අනිත් පැත්තෙන් බැංකු පොලී අනුපාත ඉහළ යෑමෙන් ජනතාවත් ව්‍යාපාරික පැලැන්තියත් තවත් පීඩනයට ලක් විය.
මේ වන විටත් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හා ඇතැම් ඖෂධවල හිඟයක් දක්නට ලැබේ. එහි බලපෑමත් සමාජයට දැඩිව බලපා තිබේ. ආදායම් අහිමි වීම සලකා බැලුව හොත් 2023 මැයි මාසය වන විට මෙරට පවුල්වලින් සියයට 62 ක පමණ ආදායම් පහළ යෑමක් පෙන්නුම් කෙරිණි. එසේම ශ්‍රම බළකායේ සියයට 20 ත් 30 ත් අතර පිරිසකගේ ආදායම් සියයට 50 කින් පමණ අඩු වී ඇත.
මේ තත්ත්වය මත 2022 අගභාගය වන විට මෙරට දරිද්‍රතාව විශාල වශයෙන් ඉහළ ගිය තත්ත්වයක් දක්නට ලැබිණි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන ආකාරයට ලංකාවේ මිලියන 3.9 ක පමණ පවුල් සංඛ්‍යාවක් ආහාර අනාරක්ෂිතාවෙන් පෙළෙති. ඒත් සමගම සෞඛ්‍ය හා අධ්‍යාපන යන අංශවල විශාල පිරිහීමක් ඇති විය. රට හැර යන අයගේ ප්‍රමාණයත් වේගයෙන් ඉහළ ගියේය.
අපනයන ආදායම මේ වසරේ පළමු මාස හය ඇතුළත සියයට 10 කින් පමණ කඩා වැටී තිබේ. දේශීය ණය ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වීමක් ද පෙන්නුම් කෙරේ. මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස සමාජයේ දැඩි අසහනකාරී තත්ත්වයක් උද්ගත විය. මෙම ප්‍රශ්න විසඳීම සඳහා විවිධ විසඳුම් ගෙනාවද ඒවා සාර්ථක වී ඇති බවක් නොපෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සමගාමීව විවිධ ප්‍රතිසංස්කරණ කිරීමට ආණ්ඩුව උත්සාහ කළ ද මේ දක්වා ඒවායෙහි කිසිදු යහපත් ප්‍රතිඵලයක් සමාජයට ලැබී නැත.
තීරණ ගන්නේත් ප්‍රතිපත්ති සකස් කරන්නේත් ඉහළ තලයෙනි. සමාජයේ පහළ තලයේ තිබෙන සැබෑ ප්‍රශ්න ගැන ඔවුන්ට අවබෝධයක් ඇති බවක් නොපෙනේ. කෘෂිකර්මයේ තිබෙන ප්‍රශ්න, ගම් මට්ටමින් යටිතල පහසුකම්වල ඇති ප්‍රශ්න සහ ශ්‍රම වෙළෙඳපොළේ තිබෙන ප්‍රශ්නවලට සාධනීය විසඳුම් ඉදිරිපත් කර නැත. එබැවින් දේශීය ආර්ථිකයක් ගොඩ නැගීමට පසුබිම සකස් වන්නේ නැත.
ජනතාව විශාල වශයෙන් සහනාධාර මත යැපෙති. ජනගහනයෙන් මිලියන 1.75 ක පිරිසකට සමෘද්ධි සහනාධාරය ලබාදෙන අතර අස්වැසුම වැඩසටහන යටතේ මිලියන 2.5 කට ආසන්න පිරිසකට සහනාධාර හිමි වන බව ප්‍රකාශ වේ. විය යුත්තේ එම තත්ත්වයෙන් ජනතාව මුදාගෙන ස්වශක්තියෙන් නැගී සිටීමට හැකි වන පරිසරයක් නිර්මාණය කිරීමය. එහෙත් එවැන්නක් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ.
වෙසෙසින්ම අල්ලස දූෂණය අතින් අපේ රට ඉතාම නරක තැනකට වැටී ඇත. ජාත්‍යන්තර දූෂණ දර්ශකයට අනුව, 2000 වසරේ ආරම්භය වන විට ශ්‍රී ලංකාව පසු වූයේ 52 වැනි ස්ථානයේ වුවද මේ වන විට අප එහි සිටින්නේ 102 වැනි ස්ථානයේය. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ක්‍රියාත්මක වන්නේ අඩු ඵලදායීතා මට්ටමකි. සෑම ක්ෂේත්‍රයකම ඉහළ අකාර්යක්ෂමතාවක් ද දැකිය හැකිය.
මෙවැනි සන්දර්භයක ආණ්ඩුව විසින් සාර්ව මට්ටමින් පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලැබුවද එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැත. 2019 වන විට රුපියල් බිලියන 6629 මට්ටමක පැවති දේශීය ණය ප්‍රමාණය 2020 වන විට රුපියල් බිලියන 9065 දක්වා වැඩි වූයේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසාය. එම අගය 2021 වන විට බිලියන 11097 දක්වාත් 2022 අවසානය වන විට බිලියන 15034 දක්වාත් වැඩි විය. 2023 අප්‍රේල් වන විට මෙය රුපියල් බිලියන 15664 දක්වා ඉහළ ගියේය.
වසර 2023 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය අනුව, සමස්ත ආදායම ඇස්තමේන්තුගත කර තිබෙන්නේ රුපියල් බිලියන 3415 ක් වශයෙනි. එහි ආදායම් හා ප්‍රදාන යන දෙකම ඇතුළත් වේ. සමස්ත වියදම දැක්වෙන්නේ රුපියල් බිලියන 5819 ක් ලෙසය. රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4979 ක් බව ද එම අයවැය ලේඛනයෙහි සඳහන් වේ.
එහෙත් ආණ්ඩුව පසුගිය දිනෙක රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13979 දක්වා වැඩි කර ගත්තේය. ඒ අනුව, රුපියල් බිලියන 9000 න් පමණ රජයේ ණය ගැනීමේ හැකියාව වැඩි කර ගෙන තිබේ. එය රාජ්‍ය ණය ගැනීමේ සීමාව ඉහළම අගයකින් වැඩි කළ අවස්ථාවයි. මේ අවුරුද්ද අවසන් වීම සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ මාස හතරක් වැනි කෙටි කාලයකි. එවැනි කෙටි කාලයක් වෙනුවෙන් මෙතරම් විශාල ණය ප්‍රමාණයක් ලබාගන්නේ කුමක් සඳහා ද යන්න පැහැදිලි නැත.
දේශීය ණය ප්‍රමාණය පැවතියේ රුපියල් බිලියන 15000 කට ආසන්න මට්ටමකය. මේ වසර සඳහා පමණක් දේශීය ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 14000 කට ආසන්න අගයකින් වැඩි කර ගැනීම නිසා දේශීය ණයවල විශාල වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. මේ සා ඉහළ ණය ප්‍රමාණයක් ගෙන ඒවායෙන් ආණ්ඩුව කුමක් කරන්නේ ද යන්න විමසා බැලීම වැදගත්ය. වර්තන වියදම් පියවා ගැනීම, ලබාගත් ණය යළි පියවීම ආදී දේවල්වලට මේ ණය මුදල් යොදවන්නේ නම් එයින් රටේ නිෂ්පාදන ආර්ථිකයට දායකත්වයක් ලැබෙන්නේ නැත. ආර්ථිකයේ ප්‍රසාරණයක් සිදු වීමට එයින් ලැබෙන පිටිවහලක් ද නැත.
නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට අදාළ සැලසුම් කිසිවක් නොමැතිව ආර්ථිකය මෙහෙයවීම පිණිස ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබේ. ආණ්ඩුවේ සහ මධ්‍යම බැංකුවේ ප්‍රවේශය වී තිබෙන්නේ වැඩි වැඩියෙන් ණය ගෙන එමගින් රට තාවකාලිකව යහපත් තත්ත්වයක තිබෙන බව පෙන්වීමය. පසුගිය දිනෙක මධ්‍යම බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය අඩු කරනු ලැබීය. එයින් අපේක්ෂා කරන්නේ බැංකුවලින් රජයට ණය ලබා ගැනීමේ හැකියාව ඉහළ දැමීමය.
බැංකු පද්ධතියේ මේ වන විට අධිසංචිත පවතින තත්ත්වයක් දැකිය හැකිය. එවැනි පසුබිමක බැංකුවල ද්‍රවශීලතාව වැඩි කළ පමණින් රටේ ආර්ථික ප්‍රසාරණයක් ඇති වේ යැයි විශ්වාස කළ නොහැකිය.
මේ අනුව පැහැදිලි වන්නේ රටේ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මකින් තොරව ආර්ථිකය හසුරුවමින් සිටින බවය. ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලු ගණනාවක් තිබේ. ඒවා නොවිසඳා වෙනත් කවර දේවල් කළත් මේ ආර්ථිකය ගොඩනැංවිය නොහැකිය. එම ව්‍යුහාත්මක ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම යෝජනා කිරීමේ දී අපි ආර්ථික විද්‍යාඥයන් වශයෙන් ප්‍රධාන කරුණු පහක් ගැන අවධානය යොමු කරන්නෙමු.
තොරතුරු පද්ධතිය නිතර යාවත්කාලීන කිරීම, රාජ්‍ය වියදම්වල ප්‍රතිඵල ඇගයීමට ලක් කිරීම, නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම, වඩාත් වාසිදායක ආයෝජන අවස්ථා හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සහ රජයේ කාර්යභාරය නිවැරදිව හඳුනාගෙන ක්‍රියාත්මක වීම යනු ඒවාය. මේ ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ මේ කරුණු පහ ක්‍රියාත්මක කිරීමෙන් පමණි.
නිවැරදි තොරතුරු යාවත්කාලීන කිරීම හා සමාජයට ලබාදීම මගින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව කිරීමට හැකියාව ලැබේ. ඊට සමගාමීව රජයේ ගිණුම්කරණ ක්‍රියාවලියත් විගණන ක්‍රියාවලියත් දියුණු විය යුතුය. රාජ්‍ය වියදම්වල ප්‍රතිඵල ඇගයීමට ලක් කිරීමත් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමත් වැදගත්ය. මේ කාරණා ත්‍රිත්වය සැපිරීමෙන් අල්ලස දූෂණය අඩු කිරීමටත් ඵලදායීතාව ඉහළ නැංවීමටත් නිලධරවාදය අඩු කිරීමටත් හැකි වේ. ආර්ථිකයේ අවම අවදානම් සහිත තත්ත්වයක් ඇති කිරීමටත් එමගින් අවස්ථාව උදා වේ.
වඩාත් සුදුසු ආයෝජන අවස්ථා තෝරාගැනීමත් සාපේක්ෂව වැඩි වාසි සහිත ක්ෂේත්‍රවල ආයෝජන කිරීමත් වැදගත්ය. එහිදී දෙස් විදෙස් ආයෝජන සඳහා තිබෙන බාධා හඳුනගෙන ඒවා ඉවත් කළ යුතුය. රජයේ කාර්යභාරය නිවැරදිව හඳුනාගෙන ක්‍රියාත්මකවීමත් ඉතාම වැදගත් වේ. ඊට අදාළ ප්‍රතිපත්ති රජය විසින් සකස් කරනු ලැබිය යුතුය. රටක් ගොඩ නැංවිය හැක්කේ ප්‍රාග්ධනය ගොඩගැසීමෙන් මිස ණය ගොඩගැසීමෙන් නොවේ.
ඒ අනුව, ප්‍රාග්ධන තොගය ක්‍රමයෙන් වැඩි කර ගැනීම සඳහා අප කටයුතු කළ යුතුය. එහෙත් මේ දක්වා රටේ ආර්ථිකය එවැනි ප්‍රවේශයකට යොමු කර ඇති බවක් නොපෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ දේශීය හා විදේශීය ණය ප්‍රමාණය වැඩි වෙමින් තිබේ. විනිමය අනුපාතිකය උච්චාවචනය වෙමින් පවතී. එය තවදුරටත් පිරිහෙතැයි අපේක්ෂා කළ හැකිය. ආර්ථිකය මේ ආකාරයේ අවිනිශ්චිතතාවකට මුහුණ දී තිබෙන්නේ රජය මේ තත්ත්ව නිවැරදිව තේරුම්ගෙන සාර්ව මට්ටමින් කටයුතු නොකිරීම නිසා ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ
සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ