අල්කයිඩා සංවිධානයේ ක්‍රියා සුළුවෙන් නොතකමු


අල්කයිඩා නම ඇසූ පමණින් ලොවේ ඕනෑම වැසියකුට මර බිය ඇති වූ කාලයක් තිබිණි. වීඩියෝ කැමරා ඉදිරිපිට තමන් අල්ලාගත් සිරකරුවන්ගේ ගෙල කපමින් එය ප්‍රදර්ශනය කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදයකට පාර කැපුවේ එකී අල්කයිඩා සංවිධානයේ කෲරකම්ය. ලොව පුරා සිවිල් ජනතාව මෙන්ම ආරක්ෂක මර්මස්ථානද ඉලක්ක කරගනිමින් අල්කයිඩාව පැතිර වූ දරුණු ත්‍රස්තවාදයේ මංසලකුණු අතර 1998 වසරේදී අමෙරිකානු තානාපති කාර්යාලයක සිදුකළ බෝම්බ ප්‍රහාරයද සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සුනුවිසුනු කළ ගුවන් බෝම්බ ප්‍රහාරයද ඉහළින්ම කැපී පෙනෙයි. එම ප්‍රහාරත් සමඟ අල්කයිඩාව දරුණු ත්‍රස්ත සංවිධානයක් වශයෙන් ලොවේ සියලු‍ම ජාත්‍යන්තර සංවිධාන මගින් නම් කරනු ලැබීය.

ඒ තරම් දරුණු ත්‍රස්ත සංවිධානයක් සමඟ හිතමිතුරුකම් හෝ ඕනෑම ආකාරයක සම්බන්ධකම් පැවැත්වීම යනු මහා අනතුරකට අතවැනීමක් බව සියලු‍ පුරවැසියන් දැන සිටිය යුතුය.

එසේ දැන දැනම එම සංවිධානය සමඟ සබඳතා පවත්වන යම් කිසිවකු හඳුනාගත් සැණින් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. එය පොදුවේ මුළු රටටම සිදුකරන යහපතකි. අනාගතයේ සිදුවිය හැකි මහා විනාශයක් වළක්වා ගැනීමකි.

මේ කියන අල්කයිඩා සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික සැකකරුවන් 06 දෙනකු නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝගයක් ලබාදී තිබිණි. ඔවුන් 06 දෙනාට එරෙහි චෝදනාවට නිමිත්ත වී තිබුණේ අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිරගත කර සිටින ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ දුරකතන සබඳතා පැවැත්වීමයි. ඒ අර්ථයෙන් ගත්කල මේ චූදිතයන් 06 දෙනා ශ්‍රී ලාංකික අල්කයිඩා සගයකු සහ ඔහුගේ ගෝලයන් වශයෙන් සැලකිය හැකිය. එහි ප්‍රධානම අනතුර මේ ගෝලබාලයන් 06 දෙනා මෙරට සිදුවූ ම්ලේච්ඡතම ත්‍රස්ත ප්‍රහාරයක් වශයෙන් සැලකෙන පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධ නඩුවේ චූදිතයන් හය දෙනකු වීමය.

එසේ වූ පමණින් මේ චූදිතයන් 06 දෙනා සදහටම දඟගෙයි සිටිය යුතු යැයි අපි නොකියමු. එහෙත් මෙවැනි සබඳතා පවත්වන අය එසේ කරන්නේ රටට ඇති ආදරය නිසා නොවන බවද කිව යුතුය. ඒ සමඟම පෙන්වා දිය යුත්තේ මේ 06 දෙනා පාස්කු ප්‍රහාරයේ චූදිතයන් වීම හේතුවෙන් ඉහත කී සබඳතාව අනාගතයේදී බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට පවා හේතු විය හැකි බවය. 269ක් වූ මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලි ගනිමින් තවත් 500ක පමණ පිරිසකට දරුණු තුවාල සිදුකළ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට ගෑවුණු කිසිදු චූදිතයකුට සමාවක් දිය යුතු නැත. එවැනි පුද්ගලයන් අල්කයිඩාවේ සගයන් හා සම්බන්ධ වනවිට එතැන මැවෙන්නේ භයානක චිත්‍රයකි. ඒ චිත්‍රයේ කෙළවර තවත් දරුණු ලේ වැගිරීමක් විය හැකිය.

කාලයකට පෙර කෲරතම ත්‍රස්තවාදයේ දරුණුම ගොදුරක් බවට පත්වුණු ශ්‍රී ලංකාව මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් විය යුතු බව ඉන්පසුව සිදුවූ පාස්කු ඉරු දින ප්‍රහාරය රටටම පෙන්වා දී තිබේ. පාස්කුදා ප්‍රහාරයේ සිදුවීමට වසර කිහිපයකට පෙර සිටම එහි පෙරනිමිති පහළ වෙමින් තිබිණි.

එහෙත් අපේ රටේ ඇතැම් බලධාරීන් ඒ පෙරනිමිති සම්බන්ධයෙන් දක්වා තිබුණේ උදාසීන ප්‍රතිචාරයකි. මේ බව පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ පසුවිමර්ශනවලදී හෙළිදරව් විය. වසර කිහිපයක සිට අළු යට ගිනිපුපුරු මෙන් වරින්වර දැල්වුණු මහා ප්‍රහාරයක ගිනි පුළිඟු‍ අවුස්සා ඒ ගිනි නිවා දමනවා වෙනුවට සිදුවූයේ ඒ ගැන නෑසූ කන් ඇතිව සිටිමින් පාස්කුදා ප්‍රහාරය දක්වා එය රහසේම වර්ධනය වීමට ඉඩ හැරීමය. ඒ වැරැද්ද යළිත් සිදුවීමට ඉඩක් දියයුතු නැත.

රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැදිරි එළියටත් බියවීමේ න්‍යාය අනුගමනය කළ යුතු යැයි අපි සිතමු. අතපසුවීම් යළිත් සිදුවීමට ඉඩක් නොතැබීම සියලු‍ බලධාරීන්ගේ වගකීමය.

(***)