ශ්‍රී ලංකාවේ දූෂණය ජාතික රෝගයක් ලෙස සැලකෙන අතර, අසමානතාවටත්, ආදායම් විසමතාවටත්, වර්ධනය වී ඇති දරිද්‍රතාවටත්, අඩු වර්ධන වේගයටත් මූලික හේතු වී ඇත්තේ එකී ව්‍යාධියයි. බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම මෙකී රෝගය දුරු කරන්නට උත්සාහ කළ ද බලවත් දේශපාලනඥයන්, නිලධාරීන් හා ව්‍යාපාරික ධනවතුන් දූෂණයට සහාය දෙනු ලබන සංස්කෘතියක් නිර්මාණය කර ඇති නිසා මෙම කාර්යය අපහසු වී තිබේ.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට පිළිවෙළින් 2,578ක් සහ 1,300ක් බඳවා ගෙන සිටි බවත්, ඔවුන්ගේ පාලන කාලය තුළ එම සේවකයන් සඳහා රුපියල් මිලියන 630ක් සහ රුපියල් මිලියන 850ක් වැය කර ඇතැයි යන්නත් ඔබට සිතාගත හැකි ද? මෙම වියදමට ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා සේවයෙන් මුදාහල පොලිස් සහ සන්නද්ධ සේවාවල පුද්ගලයන් උදෙසා වැය කළ වියදම් ඇතුළත් කොට නැත. එතරම් විශාල සමූහයක් ධවල මන්දිරයේ හෝ බකිංහැම් මාලිගයේ හෝ සේවයට බඳවාගෙන නැත.
දූෂණ දර්ශකයේ දක්වන රටවල් 180 අතරින් ශ්‍රී ලංකාව 102 වැනි ස්ථානයේ පසු වීම දුක්ඛිත තත්ත්වයකි.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම දත් නැති කොටියකුගේ තත්ත්වයට පත් විය. එහි කළමනාකාර දුර්වලතා නිසාත්, මන්දෝත්සාහී බවත්, ආකර්යක්ෂම ස්වභාවයත් නිසා මෙම තත්ත්වය උදා වූයේය. යහපත් පාලකයන් නොමැතිකමත්, ඒවා හෙළිදරව් කොට හඬ නගන්නන්ට නිසි ආරක්ෂාවක් නොමැති වීමත් නිසා දූෂණයට විරුද්ධව නැගී සිටීමට ජනතාවට ඇති කැමැත්ත වෙත අහිතකර බලපැම් ඇති කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුගත වෙමින් යෝජිත දූෂණ විරෝධී පනතට නොබෝදා කැබිනට් අනුමැතිය ලැබීම මෙම ව්‍යාධිය ශ්‍රී ලංකා භූමියෙන් අතුගා දැමීම සඳහා වූ මිනී පෙට්ටියට ගසනු ලබන අවසන් ඇණය වේ යන බලාපොරොත්තු තබාගත හැකිය. මෙම දූෂණ විරෝධී පනතේ දූෂණ දුටු තැන එය හෙළිදරව් කොට හඬ නගන්නට ප්‍රතිප්‍රහාරවලින් ආරක්ෂා වන්නට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අඩංගු වී තිබිම වැදගත් ලක්ෂණයකි.
මෙම පනත් කෙටුම්පත 2022 දෙසැම්බර් 8 වැනිදා උපත ලැබුවේ “ඔබේ අයිතිය, ඔබේ කාර්යභාරය, අල්ලස හා දූෂණයට එරෙහි වෙමු” යන තේමාව යටතේ වූ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සනිටුහන් කරමිනි.
මෙම මෙහෙවර ඉටුකරනු පිණිස දැනට පවතින දැඩි අකාර්යක්ෂම අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවට, ඇති තරම් අලුත් ප්‍රතිපත්ති, ක්‍රමවේද, පියවර හා ආයතන මෙමගින් අලුතෙන් බිහි වේ යයි බලාපොරොත්තු වේ.
ඕනෑම ආයතනයක සේවය කරන උදවිය එම ආයතනය තුළ පවතින දූෂණ කිනම් මට්ටමින් සිදු වේ ද යන්න ගැන හොඳින් දන්නා බව අත්දැකීමෙන් පෙනී ගොස් තිබේ. ඒවා හෙළිදරව් කළ විට පලිගැනීමක් සිදු වේ යයි බියෙන් මෙකී නීති විරෝධී, ආචාරධර්ම විරෝධී ක්‍රියා හෙළිදරව් කිරීමට සේවකයෝ බිය වෙති. එම නිසා දූෂණ හෙළිදරව් කොට හඬ නගන්නාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපැයීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක පටන් දිස්වූයේය. එවන් ආරක්ෂාවක් ඇතොත් දූෂණ දුටු විගසම ඒ ගැන දැනුවත් කොට හඬ නගන්නට දූෂණ විරෝධීන් උනන්දු වනු නිසැකය.
වරද දුටු කල එය හෙළිදරව් කොට හඬ නගන්නා යනු කවුද?
හෙළිදරව් කොට නළා හඬ නගන්නා (Whistle Blower) යම් සංවිධානයක හෝ මිනිසුන් සමූහයක් තුළ වැරැදි ක්‍රියා සිදු වේ දෝයි අවධානයෙන් පසුවන අයෙකි. අනාවරණය කරනු ලබන විෂමාචාර ආකාර කිහිපයකින් වර්ග කොට දැක්විය හැකිය. නීතියේ නියාමන රීති උල්ලංඝනය කිරීම, හෝ වංචාව, දූෂණය, සෞඛ්‍යය හෝ ආරක්ෂාව සවිමත්ව උල්ලංඝනය කිරීම, සංවිධානය තුළ හෙළිදරව් කිරීම හෝ බාහිර නියාමකයන්ට, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට හෝ මාධ්‍ය වෙත හෝ හෙළිදරව් කිරීම ඊට උදාහරණ වේ.
ගෝලීයකරණය සිදුවන මේ යුගයේ සියලු සදාචාරය හා සම්ප්‍රදාය නොසලකා ආර්ථික අභිප්‍රාය ඉදිරියට ඇදෙද්දී, මහා පරිමාණ වංචාවලින් මහජනයා ආරක්ෂා කර තැබීම වඩා වැදගත් කටයුත්තකි. යහපාලනය තහවුරු කොට පවත්වා ගැනීම සඳහා සමාගම් තුළ දූෂණ හෙළිදරව් කිරීම වඩාත් හොඳ ක්‍රමවේදයක් ලෙස සැලකුණ ද ශ්‍රී ලංකාව ඒ අතින් තවමත් සිටින්නේ ළදරු අවධියේය. මගේ විමර්ශන අනුව පෙනී ගියේ සුරැකුම්පත් හා විනිමය කොමිසමත්, කොළඹ කොටස් හුවමාරුව යටතේ පවතින සමාගම් හෝ සංස්ථා අතරින් කිසිම සමාගමක දූෂණ හෙළිදරව් කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කොට නොමැති බවයි.
පනත් කෙටුම්පතේ අපැහැදිලි හා අසම්පූර්ණ තැන්
යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ අපැහැදිලි, අඩුලුහුඬුතා සහ අසම්පූර්ණ තැන් කිහිපයක් ඇත. දූෂණ දුටු විට අනතුරක හඬ නගා දැනුම් දීම පැත්තෙන් බලා මෙවැනි ප්‍රශ්නකාරී ප්‍රතිපාදන නීතිය ඉදිරියේ වැරැදි අර්ථකථනවලට ලක්වීමට පෙරාතුව නිසි පරිදි නිවැරැදි කළ යුතුය. මෙම අවස්ථාවේදී එවැනි තැන් හුවා නොදක්වන්නේ නම් මෙම ලිපිය අසම්පූර්ණ එකක් වන්නේය.
73 (1) වගන්තිය
තොරතුරු දෙන්නන්, හෙළිදරව් කරන්නන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම
කෙටුම්පතේ 9 වැනි ඡේදයේ 73 (1) වගන්තියේ විශේෂයෙන්ම තොරතුරු සපයන්නන්, හෙළිදරව් කරන්නන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වීම ප්‍රශංසා කටයුතුය. විශේෂයෙන් ඒ අයගේ නම හෝ අනන්‍යතාව අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ වෙනත් අධිකාරියක් හෝ යටතේ නඩු විභාගයක් පැවැත්වෙන්නේ නම් හෙළි නොකළ යුතු බව එහි සඳහන් වේ. රහස්‍යභාවය කොතරම් දුරට ආරක්ෂා කෙරෙන්නේ ද යන්න එහි සඳහන් නොවන නිසා එය තවදුරටත් විස්තර කිරීම අවශ්‍ය වේ.
පෙනෙන ආකාරයට මෙම ආරක්ෂාව සැපැයෙන්නේ සදාචාර සම්පන්න නොවූ ගනුදෙනුව සිදුවන තෙක් මිස දඬුවම් පැමිණවීම සිදු කිරීමෙන් පසුව නොවේ. මෙම ලුහුඬුතාව තවදුරටත් විස්තර කොට ඒ සියලු පුද්ගලයන්ගේ ආරක්ෂාව විමර්ශන, නඩු විභාග හා අධිකරණයේ වරදකරුට දඬුවම් පමුණුවන තුරු පවත්වාගත යුතුය. එසේ නොකළහොත් තොරතුරු සපයන්නා වරදකරුගේ හෝ වෙනත් ඊට උනන්දු වන අයගේ හිරිහැරවලට ගොදුරු විය හැකිය.
74 වගන්තිය – වැරැදි පැහැදිලිව දැක්විය යුතුය
කොමිසම වෙත පැමිණිලි කරමින් තොරතුරු හෙළිදරව් කරන්නන්, විමර්ශනයක් කිරීමට තරම් වරදක් සිදු වී ඇති බව දැඩි ලෙස විශ්වාස කරන පදනමක පිහිටා එසේ කළ යුතුය. එසේ තොරතුරු පවසන්නා සේවකයන්ගෙන් පළිගන්නා චේතනාවෙන් හෝ එකටෙක කිරීමක් ලෙස එසේ නොකළ යුතුය.
ව්‍යාජ චෝදනා කරන්නන් සම්බන්ධයෙන් වූ ප්‍රතිපාදන 74 වගන්තියේ දැක්වේ. කෙසේ වුව ද (4) වැනි උප වගන්තිය යටතේ යම් පුද්ගලයකුගේ මැදිහත් වීම සම්බන්ධයෙන් ඔහු වරදකරුවකු වේ ද ඔහුට පනවන දඩය හෝ සිරදඬුවම සඳහන් කිරීම සම්බන්ධයෙන් කෙටුම්පත ගොලුවත රකී. එම දඬුවම පැහැදිලිව දක්වන්නේ නම් අයෙක් ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කිරීමට මැලි වෙති.
76 (2) වගන්තිය – කොමිසමට සහාය දෙන සාක්ෂිකරුවන් හා පුද්ගලයන් ආරක්ෂා කිරීම
76 (2) වගන්තිය යටතේ විමර්ශනයට හා කොමිසමට, පොලීසියට හා රාජ්‍ය අධිකාරියට තොරතුරු හෙළිදරව් කරමින් සහාය දෙන පුද්ගලයාට සපයන ආරක්ෂාව, ‘සාධාරණ ලෙස හැකිතාක් දුරට’ යන යෙදුම එකතු කොට දියාරු ස්වභාවයට පත්කර තිබේ. මෙම යෙදුම නිසා තොරතුරු සපයන්නා සිය කාර්යය ඉටු කිරීමට මැලි වන්නට ඉඩ තිබේ.
කොමිසමේ ව්‍යුහය සහ සාමාජිකයන්ගෙන් අවංක බව
පනත් කෙටුම්පතේ (4) වැනි වගන්තිය අනුව කොමිසම (a) අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු (b) නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ධුරයෙන් පහළ නොවන තනතුරක වූ නිලධාරියකු සහ ගණකාධිකරණ, විගණන කළමනාකරණ හෝ රාජ්‍ය පරිපාලන යන ක්ෂේත්‍රවලින් එකක සුදුසුකම්ලත් පුද්ගලයකු යන අයගෙන් සමන්විත විය යුතු වේ.
ව්‍යවස්ථාපිත මණ්‍ඩලයේ නිර්දේශය අනුව මෙම සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු බව ද කෙටුම්පතේ කියවේ. ස්වාධීන කොමිෂන් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පත්කිරීම ගැන ප්‍රශ්නය පැන නැගිය හැකිය. රජයේ ප්‍රධාන නීති උපදේශකවරයා නීතිපති නිසා ලබැඳියා ගැටලුවක් මතු වීමට ඉඩ තිබේ. විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරියකු පත් නොකිරීමට වඩාත් පරිස්සම් සහගත විය යුතු වේ. පොලිස් කොමිසමේ සභාපති ධුරයට විශ්‍රාමලත් පොලිස්පතිවරයකු පත් කිරීමෙන් පසු, ශ්‍රී ලංකා ආර්ථිකය විනාශ මුඛයට ගෙන ගිය දේශපාලකයකු නැවත මෙරටට පැමිණි විට ඔහු සමග සංවාදයේ යෙදෙන පුවත පසුගියදා අන්දෝලනයට ලක්විය.
93 වගන්තිය – පාරිතෝෂික පිළිගැනීම
යම් ලිඛිත නීතියකින් බලය හමි වී ඇති යම්කිසි රාජ්‍ය නිලධාරියකුට කිනම් හෝ පාරිතෝෂිකයක් ඉල්ලා සිටීමට හෝ පිළිගැනීමට බලය පවරන ඉහත වගන්තිය දූෂණ විරෝධී පනතේ ඒකායන අරමුණ සමග ඍජුවම ගැටෙන්නකි. මෙය කිසිදු රාජ්‍ය නිලධාරියකුට පාරිතෝෂික පිළිගැනීම මුළුමනින් තහනම් කළ යුතු වූ ක්ෂේත්‍රයකි. මෙය නිසැකවම ධනවත් පුද්ගලයන්ට බේරී යන්නට මංපෙත් විවර කරන්නා වූ ප්‍රතිපාදනයකි.
තොරතුරු හෙළිදරව් කිරීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇති තවත් බාධකයක් වන්නේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දූෂණ තොරතුරු හෙළිදරව් කිරීමේ (Whistle Blowing) යාන්ත්‍රණය නිසි වාච්‍යාර්ථයෙන් විස්තර ඇතිව (නීතියෙන්) සංස්ථාපනය නොකිරීමය. මෙය අනිවාර්යයෙන් තිබිය යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපාදනයකි.
විගණකයන් හවුල්ව සිදු කරන වංචා
විගණකයන් හා හවුල් වී ඩොලර් මිලියන ගණන් වංචා කළ අවස්ථා ද ඇති බව මෙහිදී අවධාරණයෙන් කිව යුතුය. කිසිදු පදනමකින් ඔවුන්ගේ අවංකත්වය හෝ පක්ෂපාතීභාවය ප්‍රශ්න කළ නොහැකි, අල්ලස් කොමසාරිස්වරුන්, විගණකයන් හා කමිටු සභාපතිවරුන් අපට සිටිය යුතුය. තමන්ට බාර වූ විගණන කාර්යය අතිශය උසස් ප්‍රමිතියෙන් යුතු ගණකාධිකරණ මිමිවලින් යුක්ත බාහිර විගණන නිලධාරීන් පෞද්ගලික අංශවල ද සේවයේ යොදවා ගැනේ.
නමක් දිනාගත් බාහිර විගණකයන් පවා ප්‍රධාන විධායක නිලධාරීන් හා එක්ව සැක සහිත ක්‍රියාවල නිරත වූ අවස්ථා ඇති බව අනුනාමික අධ්‍යයනවලින් පෙනී ගොස් තිබේ. සුරැකුම්පත් හා විනිමය කොමිසම සහ කොළඹ කොටස් හුවමාරුව තම විගණන සභාපතිවරුන් සුවිශේෂ කාර්යභාරයකින් අවංකව බැඳී ඇති බවට වගබලා ගත යුතුය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන රුපියල් මිලියන 23ක පමණ වන බව පෙනී යන සුදුලූනු වංචාව හෙළිදරව් කළේ මෙවැනි පසුබිමකය. බලධාරීන් සහ දේශපාලනඥයන්ගේ උදහසට ලක්වූ ඔහුට තනතුර අතහරින්නට ද සිදු වූයේය.
2011/12 KPMG විගණකවරුන් විසින් කළ නිර්දේශ නැවත සලකා බැලීම
වංචා විමර්ශනවලින් පසු KPMG විගණකවරුන් කරන ලද නිර්දේශ දෙස වසර 10කට පසු හෝ ආපසු හැරී බලනු වටනේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දූෂණ රහිත පරිසරයක් බිහි කිරීමට එකී නිර්දේශ අනුව ක්‍රියා කිරීම වඩාත් ඉවහල් වේ.
2022 දෙසැම්බර් 09 DailyFT පුවත්පතේ පළවූ Whistleblower's legal protection.A giant …Stride against corruption drive ලිපියේ සංක්‍ෂිප්ත පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ
ජේ.ඒ.ඒ.එස්. රණසිංහ විසිනි