යේදී එහි අවසානය කෙසේ සිදුවනු ඇතිදැයි අනාවැකි පළ කිරීම අපහසුය. එහෙත් ආරම්භයේදී පවතින තත්ත්වයට වඩා වසර අවසානයේදී රටත් ජනතාවත් ඉහළ මට්ටමක සිටිනු දැකීම කාගේත් ප්‍රාර්ථනයයි. 2023 ආරම්භයේදී අපගේ ප්‍රාර්ථනය වන්නේද එයයි. එය කිසිසේත් 2022 අවසානය මෙන් නොවිය යුතුය.
අවුරුද්ද ඊයේ උදාවිය. අවුරුද්ද අලුත් වුවද එහි වෙන අවුරුදුවල පැවති නැවුම් ප්‍රබෝධය ජනතාවට නොදැනිණි. එයට හේතුව ගෙවී ගිය අවුරුද්දේ රටටත් ජනතාවටත් මුහුණදීමට සිදු වූ කටුක, අමිහිරි අත්දැකීම්ය.
පසුගිය වසර ආරම්භයේදීම ගතට සිතට දැනෙන්න පටන්ගෙන තිබූ ආර්ථික අර්බුදයේ පෙරනිමිති අනාගතය ගැන බියකරු සංඥා වූ බව රට පාලනය කළ කිසිවකුගේත් අවධානයට ලක් නොවීය. ඒ බව මෙරට ඇතැම් දේශපාලනඥයන් පමණක් නොව වියතුන් පවා පෙන්වා දුන් නමුත් ආණ්ඩුවේ නායකත්වය එය ගණනකට ගත්තේ නැත. අද රටේ මුළු මහත් ජනතාව අත් විඳිමින් සිටින්නේ එහි ඵල විපාකය.
ගෙවී ගිය අවුරුද්දක් ගැන අලුත් අවුරුද්දක් ආරම්භයේදී කතා කිරීම නිෂ්ඵල දෙයක් වශයෙන් කෙනකුට හැඟී යා හැක. එහෙත් අප රට වර්තමානයේදී මුහුණ දී තිබෙන බරපතළ ආර්ථික සහ සමාජ අර්බුදය හේතුවෙන් පසුගිය වසරේ සිදුවීම් නොසලකා උදාවූ අලුත් අවුරුද්ද ගැන කතා කිරීමෙන් පලක් නැත. ගිය අවුරුද්ද ආරම්භ වී පළමු කාර්තුව ගෙවී යනවිට රටේ අනාගතය බරපතළ අර්බුදයක ගිලෙන බවට සියලු පෙරනිමිති පහළ වී තිබිණි. එහෙත් රජයේ ප්‍රමුඛතා වෙනස් මඟක් ගෙන තිබූ හෙයින් අරගලයත් සමඟ සියල්ල පුපුරා කඩා හැලී ගියේය.
ආරම්භ වුණු අලුත් අවුරුද්දේත් තිබිය යුතු වූ නැවුම් බව උදුරාගෙන ඇත්තේ එම සමස්ත ක්‍රියාදාමයේ අතුරු ප්‍රතිඵල විසිනි. අප සියලුදෙනාගේ ප්‍රාර්ථනය විය යුත්තේ අලුත් අවුරුද්ද එම අරගලවලින් ගලවාගෙන රට අලුත් දිශාවකට, දියුණුවේ මාවතකට යොමුකර ගැනීමටය. එසේ කර ගැනීමට හැකියාව ලැබුණොත් එය රටේත් ජනතාවගේත් විශාල ජයග්‍රහණයක් වනු ඇත. අවුරුද්දේ අවසානය වඩාත් තෘප්තිමත් ලෙසින් සැමරීමට ඉඩහසර විවෘත කර ගැනීමට නම් එසේ සිදුවිය යුතුය.
පසුගිය වසර අවසානයේ පසුගිය සිකුරාදා (30) අපගේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක සඳහන් වුණේ අනුරපුර පවුල් දහතුන්දාහක් උග්‍ර ආහාර අහේනියකින් පෙළෙන බවය. මෙලෙස ආහාර අනාරක්ෂිතභාවයට දැඩිව මුහුණදෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් නවසිය දෙනකු පමණ සිටින බවද ආහාර රක්ෂිතතාව හා පෝෂණය සඳහා වන උතුරු මැද පළාත් සැලසුම් කමිටුවේදී හෙළි වී තිබිණි.
ඒ අතර රතුකුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ලක්ෂ 24ක පමණ පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැටී ඇති බවය. එම පිරිස් කෑම බීම සඳහා තම වත්කම් විකිණීමට පවා පෙළඹී ඇති බවත් ජීවත් වීම සඳහා ඔවුන් ණයකරුවන් වී ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව තිබිණි. පසුගිය වසරේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ බරපතළකම තේරුම් ගැනීමට මීටත් වඩා සාක්ෂි අවශ්‍ය නැත.
මේ අර්බුදයෙන් මේ වසර තුළදී ගොඩඒමට හැකිවනු ඇතැයි විශ්වාස කිරීම මිරිඟුවක් පමණි. එහෙත් රටේ පාලකයනුත් ජනතාවත් සෙසු දේශපාලන පක්ෂත් සියලු උත්සාහයන් දැරිය යුත්තේ එම අභියෝගය හැකිතරම් ඉක්මනින් ජය ගැනීමටය. එය පහසු නැත. එයට මහත් වෙහෙසක්, කැපකිරීමක් දැරිය යුතුය. දැඩි අධිෂ්ඨානයකින් යුතුව සියලුදෙනා කටයුතු කිරීමද අවශ්‍යය.
ආණ්ඩුව කොතරම් අකැමැති වුවත් මේ වසරේ ආරම්භය සිදුවන්නේ ජනතාවගේ විරෝධාකල්ප උත්සන්න වන අවස්ථාවක බව පෙන්වා දිය යුතුය. වැඩිවන ජීවන වියදමත් අලුතින් හඳුන්වා දෙන ආදායම් බදු ඉහළ නැංවීමත් විදුලිය ගාස්තු විශාල ප්‍රතිශතයකින් ඉහළ නංවන බවට සිදුකරන ප්‍රකාශත් එම තත්ත්වයට හේතු වී තිබේ.
කඩා වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමට දැඩි තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතු වුවත් ජනතාවටද දැරිය හැකි සීමාවක් තිබෙන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. අත්‍යාවශ්‍ය ආහාර ලබාගැනීම පවා රටේ මිලියන ගණනකට අසීරු වී ඇති අවස්ථාවක ඔවුන් තවත් බදු ගෙවන්නේ කෙසේද යන්න ආණ්ඩුව සලකා බැලිය යුතු නොවේද?
අලුත් අවුරුද්ද අවසානය පිළිබඳ අප කතාකළ යුතු වන්නේ මේ පසුබිම පිළිබඳ අවබෝධය ඇතුවය. දරිද්‍රතාව දිගින් දිගටම වර්ධනය වන රටක අලුත් අවුරුද්දේ නැවුම් බලාපොරොත්තු ගැන කතා කිරීමත් විහිලුවකි. එහෙත් එම තත්ත්වයෙන් ගොඩ ඒමට වැඩපිළිවෙළක් හදාගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කිරීමට එය බාධාවක් කරගත යුතු නැත.
අපට නිදහස ලැබුණායින් පසුව මෙවර උදා වී ඇත්තේ 74 වැනි අලුත් අවුරුද්දයි. ආපසු හැරී බැලූවිට වසර 73කට පසුව වැඩිම පීඩනයකට මුහුණ දෙමින් උදාවූ අලුත් අවුරුද්ද වන්නේද 2023ය. අඩුම තරමින් 2024 උදා වනවිට හෝ මේ පවතින තත්ත්වයෙන් යම්තාක් දුරකට අපට රටක් වශයෙන් හිස ඔසවා ගැනීමට හැකි වුවහොත් එය විශාල ජයග්‍රහණයක් වනු ඇත. ඒ සඳහා අපි සියල්ලෝම කැපවීමෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කරමු.
(***)