අලුත් අයවැයේ නැවුම් බලාපොරොත්තු


මහා දේශපාලන සුලි කුණාටුවකට පසුව බිහි වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේත්, දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාගේත් නායකත්වයෙන් යුත් වත්මන් රජයේ ප්‍රථම අයවැය අද (30) ඉදිරිපත් කෙරේ.

එය පූර්ණ කාලීන අයවැයක් නොව අතුරු අයවැයක් වශයෙන් ඉදිරිපත් වුවත්, ඉදිරි මාස කිහිපය තුළදී ක්‍රියාත්මක වීමට නියමිත රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි අදහසක් එමගින් ඇති කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසයක් තිබේ. රට මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ වත්මන් රජයට තිබෙන වියදම් කුමක්දැයි දැනගැනීමට ද අතුරු අයවැය ඉවහල් වනු ඇත.

2023 සහ 2025 අතර කාලය ඉලක්ක කරගනිමින් ඉදිරිපත් වන අයවැය මගින් රාජ්‍ය ආදායම සියයට 9 සිට සියයට 11.3 දක්වා වර්ධනය කරගැනීමටත්, රාජ්‍ය වියදම සියයට 18.9 සිට සියයට 18.1 දක්වා අඩු කරගැනීමටත් යෝජනා කර ඇතැයි ප්‍රකාශ වී තිබේ. පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයට ලක්කිරීම ද තවත් යෝජනාවකි.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා මාධ්‍ය හමුවේ හෙළි කළ තොරතුරු අනුව තවදුරටත් ප්‍රකාශ වී තිබුණේ, ලබන වසර තුළදී අයවැය පරතරය සියයට 9.8 සිට සියයට 6.8 දක්වා පටු කරගැනීමට ද අපේක්ෂා කරන බවය. ඇතැම් පාඩු ලබන ආයතන වසා දැමීමට පවා සිදු විය හැකි බවට ද අනාවැකි පළවෙමින් තිබේ.

අතුරු අයවැය පිළිබඳ පවතින මේ පූර්විකාවලින් පෙනී යන්නේ එය සාම්ප්‍රදායික නොවන පවතින යථාර්ථය හොඳින් හඳුනාගෙන සකස් වන අයවැයක් බවය. සාමාන්‍ය සම්ප්‍රදාය නම්, රජයේ සේවක වැටුප් වැඩි කිරීම්, ජනතාවට සහන ලබාදීම් සහ බදු අඩු - වැඩි කිරීම් ඇතුළත් ලියැවිල්ලක් අයවැය වාර්තාව වශයෙන් පොදු මහජනතාව බලාපොරොත්තු වන බවය. තමන්ගේ කර මත පැටවී තිබෙන අධික ජීවන බර මඳකින් හෝ සැහැල්ලු කරගත හැකි යෝජනා පිළිබඳ අපේක්ෂා ඔවුන් තුළ පවතින බව ද ඒ සමග පෙන්වා දිය යුතුය.

ආර්ථික අර්බුදය විසින් රටේ දේශපාලනය තුළ ඇති කරන ලද මහා වියවුල මැද ඉදිරිපත් වන අලුත් අයවැය සම්ප්‍රදායෙන් පිට පැන නැවුම් අදහස් රැගත් ලියැවිල්ලක් වීම අවශ්‍යය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය පිළිබඳව අලුත් විදිහට සිතන ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳ නිරන්තර දැනුමින් සන්නද්ධව සිටින නායකයකු වශයෙන් ප්‍රසිද්ධය. මේ හේතූ තමන්ට දේශපාලන වශයෙන් අතීතයේදී අවාසිදායක වූ බව ද ඒ මහතා දැන සිටී. එහෙත් ගතානුගතිකත්වයෙන් මිදීගත නොහැකි පැරැණි ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ රටට තවදුරටත් අනාගතයක් නොමැති බව දැන් ජනතාව ද වටහාගෙන සිටී.

පසුගිය වසරේ අද වැනි දිනක තමන් ගත කළ ජීවිතයත්, අද තමන්ට ගතකිරීමට සිදුව තිබෙන ජීවිතයත් අතර සන්සන්දනයක් කිරීමෙන් මේ බව ඕනෑම අයකුට තේරුම්ගත හැකිය. ප්‍රතිසංස්කරණ සහිත අයවැයක් ගෙන එන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා ගණනාවකදී වරින් වර ප්‍රකාශ කර තිබිණි. එවැනි ආර්ථික ප්‍රතිසංස්කරණවලින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟත්වයකට පැමිණීම ඉතා අසීරු බව කෘතහස්ත දේශපාලන නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටින බව නිසැකය.

ජනප්‍රිය නොවන තීරණ ගැනීම හැර වෙන විකල්පයක් නොමැති තැනකට රට තල්ලු වී තිබෙන විට ජනතාවගේ සිතුම් පැතුම් ද බිත්තියට හේත්තු වීම වළක්වාගත නොහැක. රටටත්, ජනතාවටත් බරක්ව පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස්වලින් සියයට 49ක් විදේශිය සමාගමකට පැවැරීමට කටයුතු කරගෙන යන බව රජය ඊයේ ප්‍රකාශයට පත් කළේය. එය සුබ පණිවුඩයකි.

මේ අනුව දීර්ඝ කාලීන සංවර්ධනය අරමුණු කරගත් එසේම වර්තමානයේ දුකට පීඩනයට පත්ව සිටින පොදු මහජනතාවට කෙටි කාලීන සහන ලබාදෙන යෝජනා ද ඇතුළත් අයවැයක් මෙවර ඉදිරිපත් කෙරෙනු ඇතැයි අනුමාන කළ හැක. දීර්ඝ කාලීන සංවර්ධන උපායමාර්ග අතර පාඩු ලබන රාජ්‍ය ආයතන ඒවායේ රැකියා නියුතුවූවන්ට අගතියක් නොවන පරිදි දැවැන්ත ප්‍රතිසංස්කරණයකට ගෙන යන ක්‍රම ඇතුළත් විය යුතුය. සුබසාධන ප්‍රතිලාභීන් විය යුතු වන්නේ සමාජයේ පහළම ස්ථරයේ සිටින දිළිඳු පවුල් පමණි. එය දේශපාලන වාසි ලබා ගැනීමට සිදු කරන සූදුවෙන් ගලවාගත යුතු වෙයි.

මේ සමග රටට ඍජු විදේශ ආයෝජන කැඳවා ගැනීමට හැකි සෑම සහායක් ලබාදීම ද අත්‍යවශ්‍යය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරගැනීමට සියලු පහසුකම් සම්පාදනය ද වැදගත්ය. මේ වැනි රටට ඩොලර් ලැබෙන ක්‍රම වළක්වා ඒවා දේශපාලන සටන් පාඨ බවට පත්කරගැනීමේ ප්‍රතිවිපාකවලට දැන් මුළු රටම මුහුණදී සිටීම හේතුවෙන් පටු දේශපාලන මතවාද අත්හැර දැමීමට ද උනන්දු කළ යුතුය.

කෙටියෙන් කිවහොත් මෙවර අතුරු අයවැයේ යෝජනා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවට පමණක් තනිව කළ නොහැක. ඒ සඳහා ආණ්ඩු පක්ෂ, විපක්ෂ කණ්ඩායම් අතර ටික කාලයකට හෝ දේශපාලන සංහිඳියාවක් ඇති කරගැනීම ඉතාම වැදගත්ය. එසේ නොවී වටිනා ආයෝජන ගෙන්වා ගැනීමට අත්‍යවශ්‍යම සාධකය වන ආර්ථික ස්ථායිකරණය ඇති කරගැනීම සිහිනයක්ම පමණක් වනු ඇත.

රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ ආණ්ඩුව මාරු වන විට ප්‍රතිපත්ති වෙනස කිරීමේ ක්‍රමයෙන් අප රට මුදාගත යුතුය. රටක් දියුණු කළ හැක්කේ දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති අනුව නොව ජාතික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් පමණි. අනම්‍ය ජාතික ප්‍රතිපත්ති තිබෙන රටක් සමග ගනුදෙනු කිරීමට ජාත්‍යන්තරයේ සිටින ඉහළම පෙළේ ආයෝජකයන් වුව ද අකැමැති වන්නේ නැත. එවැනි තත්ත්වයකට මග පාදන යෝජනා මෙවර අයවැයේ ඇතුළත් නම්, මෙය නියම සංවර්ධන අයවැයක් බව කට පුරා කිව හැකි වනු ඇත.

(***)