අලුත් නායකත්ව පරපුරක් ඕනෑ - අගමැති


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16 වැනිදා) සවස මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ඉතා අසීරු ප්‍රශ්න කිහිපයකටම මුහුණ දුන් නමුත් තැන්පත් ලීලාවෙන් එම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දුන්නේය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අගමැතිවරයා මුහුණ දුන් පළමු වැනි පුවත් පත් සාකච්ඡාවද එයයි. මැතිවරණයේදී ලද පරාජය සම්බන්ධයෙන්ද අගමැතිවරයා වගකීම බාරගත්තේය.

එකකට පසුපසින් එකක් ඇදී ආ අසීරු ප්‍රශ්න වලට පිළිතුරු දෙන අතරවාරයේම වරක් දෙකක් සභාව සිනාගැන්වීමටද අගමැතිවරයා පසුබට නොවීය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම සඳහා රුපියල් මිලියන 20 ක් දීම පිළිබඳව කළ විමසීමේදී අගමැතිවරයාගේ පිළිතුර වූයේ “ටී.එන්.ඒ. එකට දෙන්නේ මොකටද? මට මිලියන 20 ක් තිබුණා නම් ඒක මම තියාගන්නවානේ” යන්නයි.
 
වත්මන් රජයේ පරාජයට හේතුව පසුගිය රජය සමයේ දූෂණ සහ වංචා කළ අයට විරුද්ධව නීතිය ක්‍රියාවේ යෙදවීමට නොහැකි වීමත් ඉහළ යන ජීවන වියදම බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

බොහෝ මාධ්‍යවේදීන්ගේ අපේක්‍ෂාව වූයේ අගමැතිවරයා පූර්ව සූදානමකින් ගෙන ආ ප්‍රකාශයක් කියවීමෙන් පසුව පිටව යනු ඇති බවයි. එහෙත් ප්‍රශ්න ඇසීමට සියලු දෙනාටම අවස්ථාව දෙමින් අගමැතිවරයා සභාව පුදුමයට පත්කළේය.

අගමැතිවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්න සහ අගමැතිවරයාගෙන් ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්වේ.


මාධ්‍ය    -     අගමැතිතුමා ඔබතුමා වසර 24 එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරල තියනවා. ඔබතුමා හිතන්නේ නැද්ද දැන් කාලය හරි කියලා අලුත් නායකත්වයට පක්ෂය භාර දෙන්න.
අගමැති    -     අලුත් නායකත්ව පරපුරක් බිහිකරන්න ඉන්නේ. එ්කයි මම කිව්වේ.

මාධ්‍ය     -    කවද්ද එහෙම කටයුත්තක් කරන්න බලාපොරොත්තුවෙන්නේ..?
අගමැති     -     වැඩකටයුතු සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙන්නේ. පැය 24 න් එක වෙන්නේ නෑ. ඒ පරිවර්තනය අපි කරගෙන යනවා.

මාධ්‍ය     -    අගමැතිධුරයෙන් ඉවත් වන්න කියලා, විශේෂයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය වගේම ජනාධිපතිවරයාත් ඒ ඉල්ලීමම කරනවා කියලයි ඔවුන් කියන්නේ.
අගමැති -     නෑ මම ව්‍යවස්ථාව අනුව වැඩකටයුතු කරනවා.

මාධ්‍ය -         විපක්ෂයත් එක්ක ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙක් එකතුවෙලා, එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් සම්බන්ධව අලුත් ආණ්ඩුවක් හදන්න යනවා කියලා කියනවා.
අගමැති -      එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු සමහරු කියනවා ඒ අයට කතා කළා කියලා. ඒ අයගේ අදහස්වලට එකඟ වුනේ නෑ කියලා. අපේ කණ්ඩායම ඊයෙත් රැස්වුනා.     මේ එකකවත් ඉවත් වුනා කියලා කියලා නෑ.

මාධ්‍ය -         ඔබතුමාට හිටපු ජනාධිපති තුමා කතා කලාද?
අගමැති -     මට ගිය සඳුදා කතා කලා.

මාධ්‍ය -         රාජිත අමැතිතුමා කිව්වා ඔබතුමාට කතා කරලා අගමැතිධූරයෙන් ඉවත්වන්න එපා කියලා කිව්වා කියලා.  එතුමා ඊට පස්සේ කියලා තිබුණා එක බොරුවක් කියලා.
අගැමැති -     එතුමා පාර්ලිමේන්තුවේ හිටියා. මොකක්ද කාරණයක් ගැන, එතුමා ඇහුවා පාර්ලිමේන්තුවේ කතාවක් යනවා අගමැතිකමෙන් ඉවත් වෙන්න යනවා කියලා. මම කිව්වා එහෙම එකක් නෑ මම දැන් කාර්යාලයේ ඉන්නේ. වැඩ කටයුතු කරගෙන යනවා කියලා. බොහොම හොදයි කියලා කිව්වා. ටිකක් කතා කරලා.

මාධ්‍ය -         සමහරවිට එන චෝදනාවක් තමයි ඔබතුමා දිගින් දිගටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග යම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා කියලා. ආරක්ෂා කලා කියලා..?
අගමැති -     කවුරුත් ආරක්ෂා කරලා නෑ. මං එයාවත් දැනගෙන ඉන්නවා ඉතිං. විටින් විට මට කතා කරලා එක එක ඉල්ලීම් කරනවා. නැත්නම් දැනුවත් කරනවා. ඊට වඩා එකක් නෑ ඉතිං.

මාධ්‍ය -         අද ඒකාබද්ධ විපක්ෂය කිව්වා ජනාධිපති කිව්වා කියලා 19 වැනි සංශෝධනය අනුව අගමැති ඉවත් කරන්නේ කොහොමද කියලා නීතිපතිගේ උපදෙස් පතනවා කියලා.
අගමැති -     ව්‍යවස්ථාවේ තියනවා අගැමති ඉවත් කරන්නේ කොහොමද කියලා. විස්වාස භංගයෝජනාවක් ආණ්ඩුවට විරුද්ධව ගෙනාවාම, අයවැය පැරදුනාවම දේ ව්‍යවස්ථාවේ තියනවා.

මාධ්‍ය -         ඒ කියන්නේ විස්වාස භංග යෝජනාවක් ගෙනාවොත් ඔබතුමා සූදානම්ද මුහුණ දෙන්න. බහුතරය ඔබතුමාට තියනවද?
අගමැති -     දැනට බහුතරයත් තියනවා

මාධ්‍ය -      මොකද එක්සත් ජාතික පක්ෂය 106ක් හෝ වගේ මන්ත්‍රීවරු සංඛ්‍යාවක් නේද ඉන්නේ?
අගමැති -     එක පාර්ලිමේන්තුවේ දි බලන්න තියෙන්නේ.

මාධ්‍ය -         හොරු ඇල්ලීම සම්බන්ධයෙන් චෝදනා තිබුණා බලපෑම් කරා කියලා? මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශයකුත් කලා තාජුඩීන් ඝතනය වලක්වන්න කෝල් 61 ක් දුන්න ඇමැතිවරයෙක් ගැන.
අගමැති -     පොලිසියට කියලා තියනවා එහෙම එහෙම එකක් සිදු වුනොත් බලපෑමක් සිදු වුනොත් දැනුම් දෙන්න කියලා.

මාධ්‍ය -         ඇමතිවරුනේ බලපෑම කරන්නේ ?
අගමැති -     ඇමතිවරු කතා කලත් කියන්න කියලා

මාධ්‍ය -         ඒ කියන්නේ සමහරු චෝදනා කරන්නේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාත් මේ විදියට බලපෑම් කරනවා කියලා.
අගමැති -     මම කතා කරලා නෑ කාටවත් මේ ගැන

මාධ්‍ය -         එතකොට ජනාධිපතිවරයා ?
අගමැති -     මං දන්න තරමට නම් නෑ

මාධ්‍ය -         ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් විවිධ මත පලවෙනවා. විශේෂයෙන්ම ජනතාව දකිනවා අර්බුදයක් තියනවා කියලා. ඒ කියන්නේ ඔබතුමන් ගන්න තීරණ ජනාධිපතිතුමා වෙනස් කරනවා. ජනාධීපති ගන්න තීරණ ඔබතුමා වෙනස් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා පල වෙනවා.
අගැමැති -     තීරණයක් ගත්තට පස්සේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට තියන බාදා ටිකයි කල් යෑම. ඒ අතරතුරේ තියනවා. ඒත් මේක ප්‍රධාන පක්ෂ දෙකයි තවත් සුඵ පක්ෂ ගනාවක් සමග එකතුවෙලා ආව ආණ්ඩුවක්.

මාධ්‍ය -         ඔබතුමා හිතන් නැද්ද ඒ ගැන..?
අගමැති -     එහෙම ආව ආණ්ඩුවල ප්‍රශ්න තියනවා. මම ඉස්සෙල්ලත් කියලා තියනවානේ

මාධ්‍ය -         නායකයෝ දෙන්නෙක් නිසා ගමන අඩලා වෙනවා කියලා ඔබතුමා හිතන්නේ නැද්ද?
අගමැති -     නායකයෝ දෙන්නෙක් ඉන්නවානම් ඉන්න ඕනෑ. සභාග ආණ්ඩුවක. නැත්නම් තුන් දෙනෙක් නැත්නම් හතර දෙනෙක්.

මාධ්‍ය -         ඔබතුමන් එක්ක ඉදරි මැතිවරණයකට යාම දී විශේෂයෙන්ම ජයග්‍රහණය කිරීම අපහසුයි කියලා. යම් යම් මන්ත්‍රිවරු අදහස් පල කරනවා.
අගමැති -     13 කිව්වාම ආණ්ඩුව 2014 වැටෙනවා කිව්වාම සමහරු ඒකටත් එකඟ වූනේ නෑ සමහරු ඒකටත් මාව විවේචනය කලා. ඕවා දේශපාලන පක්ෂවල තියන අදහස්.

මාධ්‍ය -         මේ දේශපාලන අවිනිශ්චිත භාවය කොච්චර කාලයක් මොහෙම තියේද.? රුපියල් අවිනිශ්චිත වෙලා එහෙම. ආර්ථිකය සම්බන්ධව ගොඩාක් ප්‍රශ්න තියනවා. මාධ්‍යවේදීන්ටත් මේ ටිකේ ඒ ප්‍රශ්නයට තමයි තියෙන්නේ?
අගමැති -     නැත්නම් ඔය ගොල්ලෝ මොනවද ලියන්නේ?

මාධ්‍ය -         නමුත් රට විදියට?
අගමැති -     සමහරු කතා හදලත් දාලා තියනවා.

මාධ්‍ය -         නමුත් රටක් ලෙස මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදී යාම රටට හොද නෑ නේද අගමැතිතුමා.?
අගමැති -     ඔබතුමන්ලා ගොඩාක් අදින ප්‍රශ්න රටට හොද නෑ තමා. එකක් ඇද්දා තකියලා රට මේවා වෙන්නේ නෑනේ.