අවිධිමත් බදු ක්‍රමයක බේදවාචකය


 

බදු වර්ග දෙකක් තිබේ. එනම්, සෘජු බදු සහ වක්‍ර බදුය. එකතු කළ අගය මත බද්ද (වැට්), ආයාත බදු, සුරා බදු සහ සෙසු භාණ්ඩ හා සේවාවලින් අය කරන බදු වක්‍ර බදු ගණයට අයත් වේ. සෘජු බදුවලට අයත් වන්නේ සමාගම් බදු හා ආදායම් බදුය. ඒවා සෘජුව සමාගම්වලින් හා පුද්ගලයන්ගෙන් අය කෙරේ.

මතභේදයට තුඩු දී තිබෙන උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) පෞද්ගලික ආදායම් බද්දකි. සේවකයන් උපයන විට ඔවුන්ගේ වැටුපෙන් මෙම බද්ද අය කෙරේ. එම බද්දට අදාළව වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන ලද සංශෝධනයට අනුව රුපියල් ලක්ෂය ඉක්මවා මාසික වැටුප් ලබන සෑම අයකුම ඊට අදාළ ප්‍රතිශතවලින් බදු ගෙවිය යුතුය.

එහෙත් ප්‍රශ්නය වන්නේ එසේ මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් උපයන විශාල පිරිසක් සමාජයේ සිටීමත් ඔවුන් මෙම බද්දට යටත් කිරීම අරබයා නිසි යාන්ත්‍රණයක් නොතිබීමත්ය. නිදසුනක් ලෙස රියැදුරන්, කාර්මික ශිල්පීන්, තොග හා සිල්ලර වෙළෙඳුන්, නීතිඥයන්, උපකාරක පන්ති ගුරුවරුන් සහ උපදේශන සේවා සපයන්නන් දැක්විය හැකිය. ඔවුන්ගෙන් ඇතැම්හු මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් ලබති. එසේ නම් ඔවුන්ගෙන්ද මෙම බද්ද අය කළ යුතු වේ. කෙසේවෙතත් එවැනි පිරිස් ලබන ආදායම් නිශ්චිතව දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් රජයට නොමැත. 

වෙනත් රටවල් ඒ වෙනුවෙන් ඩිජිටල්කරණය කරන ලද දත්ත පද්ධතියක් සකස් කර ගෙන තිබේ. එම පද්ධතිය ඔස්සේ රටවල ආණ්ඩුවලට පුද්ගලයන්ගේ ආදායම් හා වත්කම් පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. පුද්ගලයන් ලබන ආදායම් මෙන්ම කරනු ලබන වියදම් ගැන ද එයින් තොරතුරු ගත හැකිය. එහෙත් ලංකාවට එවැනි දත්ත පද්ධතියක් නොමැත. අතිවිශාල ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ පුරවැසියන්ගෙන් සියයට 40 කට පමණ උප්පැන්න සහතික පවා නොමැත. එහෙත් ඉන්දීය රජය වඩාත් කාර්යක්ෂම දත්ත පද්ධතියක් පවත්වා ගෙන යයි. ඒ යටතේ එරටේ ඩිජිටල් කාඩ්පත් දෙකක් හඳුන්වා දී තිබේ. එකක් “ආධාර කාඩ්පත” යනුවෙන් හැඳින්වේ. රජයෙන් ආධාර ලැබෙන අයට මෙම කාඩ්පත හිමි වේ.

දෙවැන්න “පෑන් (PAN) කාඩ්පත” යි. එය බදු ගෙවන පුරවැසියන්ට හිමි වේ. මිලියන 22 ක් තරම් අඩු ජනගහනයක් සිටින රටක් වන ලංකාවට ද එවැනි ඩිජිටල් ක්‍රමවේදයක් පවත්වා ගෙන යෑමට නොහැකියාවක් නොමැත. ඒ සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පමණක් මුල පිරිය යුතු නැත. ඒ අරබයා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සහාය ද ලබා ගත හැකිය. මන්ද, එම දෙපාර්තමේන්තුව සතුව ජනගහනය පිළිබඳ තොරතුරු තිබෙන නිසාය. එවැනි දත්ත පද්ධතියක් සකස් කළ හොත් රජයේ විවිධ දෙපාර්තමේන්තුවල කටයුතු කාර්යක්ෂම කර ගැනීම පිණිස මහඟු සේවයක් සැපයේ.

ලෝකයේ වෙනත් රටවල පවතින සෘජු බදු අනුපාත සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ සෘජු බදු අනුපාතය පවතින්නේ ඉතා පහළ අගයකය. ප්‍රතිශතාත්මකව එය සියයට 20 ත් 25 ත් අතර අගයක පවතියි. සමහර රටවල සෘජු බදු අනුපාතය සියයට 50 හෝ එය ඉක්ම වූ මට්ටමක තිබේ. මෙරට බදු අනුපාතය ගතහොත් වැඩි වශයෙන් තිබෙන්නේ වක්‍ර බදු ය. එය ප්‍රශ්නසහගතය. සෘජු බදු අනුපාතය ඉහළ නැංවීම සඳහා පියවර ගත හැකිය.

මෙම උපයන විට ගෙවීමේ ආදායම් බද්ද අදාළ වන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල මාසික වැටුප් ලබන අයටය. ඔවුන් ලබන වැටුපෙන් අදාළ බදු මුදල සේවා යෝජකයා විසින් රඳවා ගනු ලබන අතර පසුව එම මුදල දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යොමු කරයි. ප්‍රශ්නය වන්නේ මෙම බද්දට යටත් වන්නන් බදු වැඩි වශයෙන් ගෙවන පිරිසක් වීමය. මන්ද, ඔවුන් ලබන ආදායම් පිළිබඳ විස්තර රජයට පහසුවෙන් දත හැකි නිසාය. බදු නොගෙවන විශාල පිරිසක් සමාජයේ සිටිති. මෙරට ඇති මුළු ආදායම් බදු ලිපි ගොනු ගණන ලක්ෂ පහක් පමණක් බව ද පැවසේ.

එසේ නම් මිලියන 22 ක් සිටින රටේ ජනතාවගෙන් රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් උපයමින් මෙම බද්ද ගෙවන්නේ ලක්ෂ 5 ක පිරිසක් පමණකදැයි කියා අපට ප්‍රශ්න කිරීමට පිළිවන. මගේ විශ්වාසයේ හැටියට රුපියල් ලක්ෂයට වඩා ආදායම් උපයන මිලියන ගණනක් සමාජයේ සිටිති. ඔවුන්ගේ ආදායම් පිළිබඳ විස්තර රජය සතු නොවීම ප්‍රශ්නයයි. එවැනි සන්දර්භයක මෙම බද්ද ගෙවීමට යටත් වන අය ගෙන යන විරෝධතාවල සාධාරණයක් තිබේ. 

අද රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට බලපා තිබෙන මූලික කාරණයක් නම්, රජයේ ආදායම් අඩු අගයක පැවතීමය. එබැවින් රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගත යුතුය. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ද අවධාරණය කරන ලද දෙයකි. උපයන විට ගෙවීමේ බද්දට අදාළව සිදු කරන ලද සංශෝධනය සැලකිය හැක්කේ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම අරබයා ගත් ක්‍රියාමාර්ගයක් හැටියටය. මෙම පුද්ගල ආදායම් බදු සංශෝධනය සිදු කරන ලද්දේ පොලී අනුපාත හා උද්ධමනය ඉහළ මට්ටමක පවතින අවස්ථාවකදීය. එබැවින් ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා සේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනයා එයින් තවත් පීඩාවට පත් වේ.

මෙපරිදි බදු ආදායම් වැඩි කර තිබුණ ද මේ වසරේදීත් රුපියල් බිලියන 2004 ක අයවැය හිඟයක් පවතී. එය පියවීම සඳහා එම මුදල් ප්‍රමාණය ණයට ගැනීමට සිදු වනු ඇත. උපයන විට ගෙවීමේ බදු සංශෝධනය මගින් රජයේ හා පෞද්ගලික අංශයේ සුළු පිරිසක් ඉලක්ක කර තිබුණද එයින් රජයේ අයවැය හිඟය පියවීමට හැකියාවක් නැති බව පැහැදිලි වේ. බදු පදනම පුළුල් කිරීමට එනම්, සමාජයේ සියලු දෙනා බදු ගෙවීමට යටත් කිරීමට අදාළ ක්‍රමවේදයක් සකස් කර ගැනීමට අපි අපොහොසත් වී සිටිමු. එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමේ දී සමාජයෙන් විරෝධතා එල්ල විය හැකි අතර බොහෝ දෙනකුට තමන්ගේ ආදායම් හා වියදම් ගළපා විස්තර කිරීමේ දී දුෂ්කරතාවලට මුහුණ පෑමට ද සිදු වනු ඇත.

රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් උපයන පිරිස් බදු ගෙවිය යුතුය යන්න ආණ්ඩුවේ තර්කය වුවද ලොව බොහෝ රටවල සියලු පුරවැසියෝ බදු ගෙවති. “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට මෙම බදු ප්‍රශ්නය ගැන මා ලියූ ලිපියක් කැනඩාවේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණි අයකු කියවා තිබූ අතර විද්‍යුත් තෑපෑල ඔස්සේ මා සමග සම්බන්ධ වෙමින් ඔහු මාහට ප්‍රකාශ කළේ මාගේ ලිපිය කියවීමෙන් පසු ලංකාවේ බදු ප්‍රශ්නය පිළිබඳ අවබෝධ වූ බවත් ලංකාවේ පුරවැසියන්ට බදු ගෙවීම සම්බන්ධයෙන් පුරුද්දක් නැති බව පෙනී යන බවත්ය. ඔහුගේ එම තේරුම් ගැනීමට මම එකඟ වෙමි.

මන්ද, ශ්‍රී ලාංකිකයන්ට ඉතිහාසයේ සිටම බදු ගෙවීම ගැන පුරුද්දක් නොතිබූ නිසාය. එබැවින් අලුත් බදු හඳුන්වා දීමේදී විවිධ විරෝධතා මතු වේ. බදු ගෙවීම පරමාදර්ශී ආකාරයට ක්‍රියාත්මක වන්නේ නම්, ආදායම් ලබන සියලු දෙනා බදු ගෙවිය යුතුය. අඩු ආදායම් ලබන්නන් පවා රුපියල් 10 ක් හෝ රජයට ලබා දිය යුතු බව මගේ අදහසයි. ඒ, එසේ ගෙවන බදු මුදල්වල ප්‍රතිලාභ අප ලබන නිසාය.

ශ්‍රී ලාංකේය ජාතිය බදු ගෙවීමට කැමැති ජාතියක් බවට පත් වුවද නාස්තිකාර රාජ්‍ය වියදම් අඛණ්ඩව පවත්වා ගෙන යන්නේ නම්, එය නිෂ්ප්‍රයෝජනය. රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව මේ දක්වා යහපත් පියවර ගෙන නැත. බදුවලට ඇතුළත් කර තිබූ මුදල් නොවන ප්‍රතිලාභ ඉවත් කර ගෙන තිබේ.

එය කර තිබෙන්නේ මේ ආදායම් බදුවලින් දේශපාලනඥයන් ඉවත් කර තැබීමට බව පැහැදිලිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹින් නිල නිවාස, නිල රථ හා ඒවාට ඉන්ධන, දුරකථන පහසුකම්, ආරක්ෂක නිලධාරීන් හිමි වේ. එහෙත් ඔවුන් බද්දට යටත් කර නොමැත. එය ඉතා අසාධාරණය. මුදල් නොවන ආදායම් ලබන දේශපාලනඥයන්ද මේ බද්දට යටත් කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබුණ ද පසුව එය ඉවත් කෙරිණි.

එපරිදි බදු අය කිරීමේ දී සිදු කරන අසාධාරණකම් මෙන්ම එකතු කරන බදු මුදල් වියදම් කිරීමේදී ද අසාධාරණකම් සිදු වනු දැකිය හැකිය. ඊට දැක්විය හැකි කදිම නිදර්ශනය නම්, රජයේ නිලධාරීන් විදේශ ගත වීමේදී ව්‍යාපාර පන්තියේ ආසන වෙන් නොකර ගත යුතු බවට ජනාධිපතිවරයා පසුගියදාක කළ ප්‍රකාශයයි.

එහෙත් ඔහු එය දේශපාලනඥයන් සඳහා අදාළ වන බව පැවසුවේ නැත. දේශපාලනඥයන් යනු අමුතු සත්ව කොට්ඨාසයක් නොවේ. නීතිය ඔවුන්ට ද අදාළ විය යුතුය. රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාව කැප කිරීම් සිදු කරමින් සිටින සන්දර්භයක දේශපාලනඥයන් කරන කැප කිරීම කුමක්ද යන්න ප්‍රශ්න සහගතය. ඊට එරෙහිව මිනිසුන් පාරට බැස උද්ඝෝෂණ කිරීම ගැන පුදුම විය යුතු නැත.

රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක් පමණ ලැබෙන්නේ බදු ආදායම්වලිනි. ආණ්ඩුව අය කරන විවිධ ගාස්තු, බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරන ගාස්තු, උසාවියට ලැබෙන දඩ මුදල් යනා දී මාර්ග ඔස්සේ රජයට ලැබෙන්නේ මුළු ආදායමෙන් සියයට එකක් වැනි අඩු මුදලකි. ඊට අමතරව රජය විසින් පවත්වා ගෙන යනු ලබන ව්‍යවසායවලින් සිදු වන පාඩු පියවා ගනු ලබන්නේ ද ජනතාව මත බදු බර පැටවීමෙනි. ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණෙමින් සිටියේ මෙම මාර්ගයේය. එය ජනතාව නිසි පරිදි අවබෝධ කර නොගත් අතර එයින් දේශපාලනඥයෝ වාසි ලැබූහ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම හිමි වුවද අපේ අර්බුදය එයින් විසඳෙන්නේ නැත. එම ආයතනයේ ණය පහසුකම් ලැබීම හරහා අපට නැවතත් ජාත්‍යන්තර මුල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමට හැකියාව ලැබේ. එපරිදි ණය ගැනීම සඳහා යළි ඉඩ ප්‍රස්ථා විවර වුවද අප නැවතත් ණය ගන්නේ ද යන්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බව මගේ අදහසයි.

ඊට අමතරව එම ආයතනයේ ද එකඟත්වය ඇතිව ආර්ථික ස්ථායීතාව උදෙසා අප මුල පිරූ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මුල්‍ය අරමුදලෙහි ණය පහසුකමට අනුමැතිය හිමි වීම ඔස්සේ වඩාත් සක්‍රීය වනු ඇත. මෙම වැදගත්කම් ද්විත්වය හැරෙන්නට ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සෘජු දායකත්වයක් නොලැබේ. අපට මේ ආර්ථික අර්බුදයෙන් ගැලවිය හැක්කේ ඩොලර් ඉපැයුව හොත් පමණි. ඒ වෙනුවෙන් අපි තවම සූදානම් වෙමින් සිටිමු.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ