අස්වැසුමේ අවසානය කොයිබටද?


මීට වසර තිස්හතරකට පෙර, 1989 වසරේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස  මහතා විසින් ශ්‍රී ලංකාවේ දුගීභාවය පිටු දැකීම සඳහා ඉලක්ක කණ්ඩායමට ඍජුවම මුල්‍ය සහ භාණ්ඩ ආධාර ලබා දෙන වැඩසටහනක් ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී. එය ‘ජනසවිය’ නම් විය.

ප්‍රේමදාස මහතා අදියරෙන් අදියර ‘ජනසවිය’ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ අතර, වසර දෙකක් යන තුරු ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මුල්‍ය ආධාර තෝරා ගත් දුගී පවුල්වලට පිරිනමන ලදී. ප්‍රේමදාස මහතාගේ අභාවය නිසා සිය අදියර සම්පූර්ණ වන තුරු ජනසවිය  පවත්වා ගෙන යාමට ඉඩක් ලැබුණේ නැත. 

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 2006 වසරේ දී ‘ජනසවිය’ වෙනුවට ‘සමෘද්ධිය’ හඳුන්වා දුන්නාය. ප්‍රධාන වෙනස ප්‍රේමදාස මහතා ‘ජනසවිය’ ක්‍රියාත්මක කිරීම සඳහා එකදු සේවකයකු හෝ අලු‍තෙන් බඳවා ගත්තේ නැතත් චන්ද්‍රිකා මහත්මිය සෑම ගමකින්ම තෝරා ගන්නා ලද සමෘද්ධි නිලධාරීන්ගෙන් සමන්විත මහා සමෘද්ධි බලකායකට එම කටයුතු පවත්වා ගෙන යෑමේ වගකීම පැවරීමයි.

එක්සත් ජාතික පක්ෂ රජය යටතේ පත් කරන ලද විශේෂ නිලධාරින්, වගා නිලධාරීන් ඇතුළත් කර සෑදු ග්‍රාමසේවා ක්‍රමය සකස් කළාක් මෙන් සමෘද්ධි බලකාය ද  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය දේශපාලන බලවේගය බවට පත් කරන ලදී.  

2011 දී මහින්ද රාජපක්ෂ මහතා විසින් සමෘද්ධිය දිවිනැගුම බවට පරිවර්තනය කොට සමෘද්ධි නිලධාරීන් රාජ්‍ය සේවයේ ස්ථිර කර දුගීභාවය පිටුදැකීමේ ව්‍යාපාරය තුළ තවදුරටත් වෙනස්කම් ඇති කරන ලදී.

1989 සිට 2023 දක්වා වසර 34ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දුගීභාවය පිටු දැකීමේ සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක වේ. බොහෝ දෙනකුට ඇතිව තිබෙන ප්‍රශ්නය වන්නේ මේසා දිගු කලක් දුගී බව පිටුදැකීමේ ව්‍යාපාරය මහා වියදමක් දරමින් ක්‍රියාත්මක කරනු ලැබුව ද තවමත් අතිවිශාල මුදලක් වැය කරමින් පවුල් විශාල සංඛ්‍යාවක් නඩත්තු කරන්නේ ඇයි ද යන්නයි. දුගීභාවය අඩු වී ඇති බවක් නොපෙනෙන්නේ මන්දැයි සමහරු ප්‍රශ්න කර සිටිති. ඒ අතර සැබෑ දුගී පිරිස්වලට මෙම සහන නොලැබෙන අවස්ථා කොතෙකුත් තිබෙන බව ද ආර්ථික වශයෙන් ශක්තිමත්ව සිටින විශාල පිරිස් විසින් ද එම සහනාධාර ලබා ගන්නා බව පෙන්වා දෙති. 

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව ජනසවිය ආරම්භ කළ 1989 දී රටේ දරිද්‍රතා මට්ටම සියයට 16 ක් පමණ වුව ද එය 2018 වසරේ දී සියයට 3.2ක් දක්වා පහත වැටී තිබුණි. රටේ දරිද්‍රතාව පිටුදැකීමේ වැඩසටහන්වල යම් යම් දුර්වලතා පැවතුණ ද ඒවා හේතුවෙන් රටේ දරිද්‍රතාව සැලකිය යුතු මට්ටමකින් පහළ වැටුණි. 

එහෙත් වසර දෙක හමාරක පමණ කාලයක් පැතිර පැවැති කොවිඩ් වසංගතය නිසාත් ඉන්පසුව ඇති වූ අර්ථික අර්බුදය නිසාත් ශ්‍රී ලංකාවේ දුගීභාවයෙන් පෙළෙන මහජනතාවගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පෙනේ. එසේ වුවද ණය ගෙවා ගැනීමට නොහැකිව රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක දුගී බව පිටුදැකීම සඳහා මුදල් වෙන් කිරීම ද පහසු කාලයක් නොවේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර නිෂ්පාදනය අඩුම තරමින් කොරෝනාවට පෙර පැවැති තත්ත්වයට හෝ ගෙන ඒමට නම් ඒ වෙනුවෙන් අරමුදල් විශාල ප්‍රමාණයක් යෙදවීමට සිදු වේ. ඒ සඳහා මුදල් යොදා ගැනීමම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත් ව තිබිය දී දුගී පවුල්වලට අවම ජීවන මට්ටමක් හෝ සහතික කිරීම සඳහා මුදල් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව රට තුළ  ආර්ථික වෙනස්කම් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිමය දුගීභාවය පිටුදැකීමේ ව්‍යාපාරය සඳහා ඒ ආකාරයෙන්ම යොදා ගෙන ඇති බව පෙනේ. ආර්ථික ප්‍රතිසංස්කරණවල දී ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු‍වේ හේතු ලෙස පෙන්වා දුන්නේ  රටේ වියදම් හැකියාව ඉක්මවා යන පිළිවෙතක් සෑම රජයක් විසින්ම අනුගමනය කර තිබීමයි.

අප ලැබූ ආදායමට වඩා රට විසින් සෑම වසරකදී ම මුදල් විශාල ප්‍රමාණයක් වැය කර ඇති අතර, එය හැඳින්විය හැක්කේ ‘ණයට ගෙන මඟු‍ල් කෑමක්’ ලෙස බව ප්‍රසිද්ධියේම පෙන්වා දුන්නේය. කෙසේ වුවද දේශපාලන වශයෙන් පිරිහීමට ලක් වෙතැයි යන බියෙන් දේශපාලනඥයන් රටේ සැබෑ තත්ත්වය මහජනතාවගෙන් වසන් කළ බව ද සැබෑ තත්ත්වය මහජනතාවට පෙන්වා දුන්නේ නම් එවැනි ගැටලු‍වලට මුහුණ දීමට සිදු නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය. 

‘අස්වැසුම’ නමින් ඔහු දුගීභාවය පිටුදැකීම සඳහා වූ නව වැඩපිළිවෙළක් රටට හඳුන්වා දුන්නේය. ඒ අනුව අඩු ආදායම් ලබන පිරිස් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කොට ඒ අනුව සහනාධාර ලබා දීමට කටයුතු කර තිබේ. සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු වශයෙන් එම වර්ගීකරණය සිදු කෙරේ.

සංක්‍රාන්තික ප්‍රතිලාභී පවුල් හාරලක්ෂයක් සඳහා රුපියල් 2500.00 බැගින් 2023 දෙසැම්බර් 31 දක්වා ගෙවනු ලැබේ. අවදානමට ලක් වූ යන කාණ්ඩයට අයත් වන පවුල් හාරලක්ෂයක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින් වෙන් කරන අතර එය 2024 මාර්තු 31 දක්වා ලබා  දීමට නියමිතය. අන්ත දිළිඳු වශයෙන් වර්ග කෙරෙන පවුල් ලක්ෂ හතරකට මාසිකව රුපියල් 15000.00 බැගින් වසර තුනක කාලයක් සඳහා සහනාධාර ලබා දෙනු ඇත. 

මේ සඳහා පවුල් තෝරා ගැනීමට පුළුල් සමීක්ෂණයක් පැවැත් වූ අතර, සමීක්ෂණය සඳහා සංවර්ධන නිලධාරීන් 3190 ක්, ආර්ථික සංවර්ධන නිලධාරීන් 494 ක්, ග්‍රාම නිලධාරීන් 2005 ක්, වෙනත් නිලධාරීන් 1127ක් සහ තවකාලිකව බඳවා ගත් නිලධාරීන් 1712කින් සමන්විත සමීක්ෂණ කණ්ඩායමක් ගෙයින් ගෙට ගොස් මෙම සමීක්ෂණය සිදු කරන ලදී.

එයින් ලබා ගත් තොරතුරු අනුව ‘අස්වැසුම’ ප්‍රතිලාභ හිමිවන පවුල්වල විස්තර ප්‍රකාශයට පත් කර තිබේ. මීට පෙර ප්‍රතිලාභ ලැබූ ආබාධිත පුද්ගලයන් 7200 ක් සඳහා රුපියල් 5000.00 බැගින් ද වකුගඩු රෝගීන් 39150 ක් සඳහා රුපියල් 5000.00 බැගින් ද වැඩිහිටි ආධාර ලබන පුද්ගලයන් 416,667 සඳහා රුපියල් 2000.00 බැගින් ද ලබා දෙයි. ඊට අමතරව තෝරා ගත් පිරිස්වලට ඉහත සඳහන් ආකාරයට මුදල් ආධාර ලබා දෙනු ඇත.

ජනසවියෙන්  ආරම්භ වී අද ‘අස්වැසුම’ දක්වා පැමිණ ඇති දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන පිළිබඳ නැගෙන ප්‍රධාන විවේචනයක් වන්නේ එය සුදුස්සන්ට නොලැබෙන නුසුදුස්සන්ට ලැබෙන දුගී පුද්ගලයන් රජය මත යැපීමට ඉඩ සලසන ආර්ථික වශයෙන් රට පිරිහීමට පත් කරන වැඩසටහනක් බවයි. විවිධ ආණ්ඩු විසින් දේශපාලන අරමුණු මත දුගීකම පිටුදැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ. එයින් රටට හෝ දුගී ජනතාවට සිදුවන සෙතක් නැත.

‘අස්වැසුම’ මේ දක්වා පැවැති වැඩසටහන්වලින් වෙනස් වන්නේ සැබෑ දුගී පුද්ගලයන් ඉලක්ක කරගෙනම එය ක්‍රියාත්මක කර තිබීම හේතුවෙනි. රජය විසින් එම වැඩසටහන යටතේ ආධාර ලැබීමට සුදුසුකම් ලබන පිරිස්වලට අයදුම් කරන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව ලැබුණු අයදුම්පත් පිළිබඳව සමීක්ෂණය කර ඒ සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගේ නාමලේඛන ප්‍රකාශයට පත් කර තිබේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ සිටම ඇතැම් පිරිස් මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය. අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස දැනට සමෘද්ධිය ලබන පිරිස්වලට පෙළඹවීම් කළහ. රජයේ වැටුප් ලබන ඇතැම් නිලධාරීහු සමීක්ෂණ කටයුතුවලින් වැළකී සිටියහ. ඇතැම් දේශපාලන පක්ෂවල මෙහෙයවීම් යටතේ සිදු වූ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවල අරමුණ වන්නේ අඩු ආදායම්ලාභීන් තවදුරටත් පීඩනයට පත් කර දේශපාලන වාසි ලබා ගැනීම බව පැහැදිලිය.

රට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටී. ඒ හේතුවෙන් රටේ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් නවතා දැමීමටත්, රජයේ වියදම් කපා හැරීමටත් සිදුවිය. එසේ වුවද රටේ අඩු ආදායම් ලබන ජනතාවගේ සමෘද්ධි ආධාර ආදිය අඛණ්ඩව ලබා දීමට කටයුතු කළේය.

මෙම දුෂ්කර කාලපරිච්ජේදයේ දී එම පවුල්වලට නොමිලේ සහල් ලබා දීම, මුල්‍ය ආධාර ලබා දීම, ප්‍රාග්ධන සහ භූමිතෙල් ලබා දීම වැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලදී. එම ආධාර ලැබිය යුත්තේ ඒවාට හිමිකම් ලබන අයට බව සහතික කිරීම සඳහා සහාය වීමේ වගකීම මහජනතාවට මෙන්ම මේ තුළින් බොර දියේ මාළු බෑමට උත්සාහ කරන දේශපාලන පක්ෂවල ද වගකීමකි.

‘අස්වැසුම’ නාමලේඛනවල නම් නැති එහෙත් සුදුසුකම් ඇති අයට අභියාචනා කිරීම සඳහා දැන් අවස්ථාව ලබා දී ඇත. නුසුදුස්සන්ගේ නම් ලේඛනවල ඇතුළත්ව තිබේ නම් විරෝධතා දැක්වීමට අවස්ථාව ලබා දී තිබේ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන දරිද්‍රතාව පිටු දැකීම සඳහා මෙම වැඩසටහන ශක්තිමත් කිරීම මගින් ඒවා ලබන අයට අස්වැසුමක් ලබා ගැනීමටත් රටට එය අස්වැසුමක් වීමටත් අවස්ථාව ලැබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර